මහින්දට එරෙහිව පෙර‍ටුගාමීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Published in පුවත්
Monday, 02 February 2015 14:55

ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල පවරන ජනාධිපති රෙගුලාසි වලට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළේය.

2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කරන ලදී. එසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්ති උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකම රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදුකරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පවත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කාලය තුළ මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොපැවති තත්වයක් තුළ ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවා තිබුණේ ඉහත කී ලෙස සන්නද්ධ හමුදා වලට පොලිස් බලතල පවරමින් නිකුත් කෙරෙන රෙගුලාසිවල පදනම මතය.

අද දින ( පෙබරවාරි 02 ) පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන රෙගුලාසිවල මාර්ගයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හමුදාවට පොලිස් බලතල පැවරීමේ පිළිවෙත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන වග උත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලූම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.

පෙත්සමේ සිංහල පරිවර්තනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවේ 17 වගන්තිය සමග කියැවෙන 126 වගන්තිය
යටතේ ගොනු කෙරෙන පෙත්සමකි

දුදීෂ දුමින්ද නාගමුව
41/32.
පළවෙනි මාවත,
කැන්දහේනවත්ත පාර,
දෙපානම,
පන්නිපිටිය

පෙත්සම්කරු

1. මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති
කාල්ටන්,මහවෙල පාර
තංගල්ල

2. ලූතිනන් ජෙනරාල් දයා රත්නායක
ශ්‍රී ලංකා යුද හමුදාවේ අණ දෙන නිලධාරී,
හමුදා මූලස්ථානය
කොළඹ 00300

3. වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණ දෙන නිලධාරී
නාවික හමුදා මූලස්ථානය
කොළඹ

4. එයාර් මාර්ෂල් කෝලිත ඒ ගුණතිලක
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය
කොළඹ 00200

5. මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමසාරිස්
මැතිවරණ ලේකම් කාර්යාලය
සරණ මාවත
රාජගිරිය, 10107

6. එන්.කේ. ඉලංගකෝන්
පොලිස්පති,
කොළඹ 00100

7. ගරු නීතිපතිතුමා
නීතිපති දෙපාර්තමේන්තුව
කොළඹ 01200

වග උත්තරකරුවන්

2015 වර්ෂයේ ජනවාරි 30 වන දිනදීය

අග්‍රවිනිශ්චයකාර උතුමාණන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් ගෞරවණීය විනිශ්චයකාර උතුමාණන් වහන්සේලා වෙත

ඉහත නම සඳහන් පෙත්සම්කරු තම ලේඛනගත නීතිඥ ලලිත් ගුණරත්න මගින් ඉදිරිපත් වෙමින් ඉදිරිපත් කරන පෙත්සමේ මෙසේ කියා සිටී.

1. පෙත්සම්කරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් වන අතර මෙම පෙත්සම උතුමාණන්ගේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙහිලා හිමිකම් දරයි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2015 ජනවාරි 08 වන දා පැවැති ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස පෙත්සම්කරුව නාම යෝජනා කරන ලදී.

පෙත්සම්කරුගේ අපේක්ෂකත්වයට අදාළ නාම යෝජනා පත්‍රයේ පිටපතක් පැ 1 ලෙස සලකුණු කොට මෙහි අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලියාපදිංචි සහතිකයේ සත්‍ය පිටපතක් පැ 2 ලෙස සලකුණු කොට අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

2. මින් පසු සවිස්තරාත්මකව දක්වා ඇති පරිදි පෙත්සම්කරු විසින් මෙම අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ සියලූම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම නිමිත කොට ගෙන මෙම පෙත්සම අධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබේ.

3. අ) පලමු වගඋත්තරකරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති වන අතර ඔහුගේ නිල කාලය 2015 ජනවාරි 9 වන දා ඉහත සඳහන් කළ 2015 ජනවාරි 08 වන දා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල හේතුකොට ගෙන අවසන් විය.

ආ) දෙවන වග උත්තරකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ අණ දෙන නිලධාරී වන අතර පළමු වග උත්තරකරු විසින් 2013 අගෝස්තු 01 වන දා 1949 අංක 17 දරන යුද හමුදා පනතේ 8 වන වගන්තියට අනුකූලව ඔහුව එම ධූරයට පත් කරන ලදී.

ඇ) තෙවන වග උත්තරකරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණ දෙන නිලධාරී වන අතර පළමු වග උත්තරකරු විසින් 2014 ජූලි 01 වන දා 1950 අංක 34 දරන නාවික හමුදා පනතේ 8 වන වගන්තියට අනුකූලව ඔහුව එම ධූරයට පත් කරන ලදී.

ඈ) හතරවන වග උත්තරකරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරී වන අතර පළමු වග උත්තරකරු විසින් 2014 පෙබරවාරි 28 වන දා 1949 අංක 41 දරන ගුවන් හමුදා පනතේ 8 වන වගන්තියට අනුකූලව ඔහුව එම ධූරයට පත් කරන ලදී.

ඉ) පස්වන වගඋත්තරකරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 103.1 වගන්තිය ප්‍රකාරව පළමු වග උත්තරකරු විසින් පත් කරන ලද මැතිවරණ කොමසාරිස් වන අතර ඔහුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ඞී වගන්තිය යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හෝ මෙහෙයවීමට හානිදායක වන ක්‍රියා හෝ සිදුවීම් වැලැක්වීම හෝ පාලනය කිරීම සඳහා ජනරජයේ හමුදා බල ඇණි යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ඇත.

ඊ ) සයවන වග උත්තරකරු පොලිස්පතිවරයාය. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා වන අතර 1865 අංක 16 දරන පොලිස් පනත යටතේ පුද්ගලයින්ගේ සහ දේපළ වල ආරක්ෂාව සඳහා අවශ්‍ය වන බලය සහ කාර්යයන් අභ්‍යාස කරයි.

මෙම පෙත්සමට අදාළ වන සියලූම කාල පරිච්fඡ්දයන් තුළ ඔහු එම ධූරය ඉසිලීය.

උ) සත්වන වග උත්තරකරු ශ්‍රී ලංකාවේ ගරු නීතිපති වන අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 134 වන වගන්තියේ සඳහන් අවශ්‍යතා සහ 1990 ශ්‍රේෂ්ඨාධිකරණ රෙගුලාසිවල 44 (1) බී රෙගුලාසියට අනුකූලව මෙම පෙත්සමේ පාර්ශවකරුවෙක් ලෙස නම් කොට ඇත.

පසුබිම

4. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 31(3) අ වගන්තිය යටතේ පළමු වග උත්තරකරු වෙත ලබා දී ඇති බලයට අනුකූලව ඉහත සඳහන් ජනාධිපතිවරණය නිවේදනය කරන ලද බව පෙත්සම්කරු පවසා සිටී. ඒ අනුව පළමු වග උත්තරකරු 2014 නොවැම්බර් 20 වන දින තවත් ධූර කාලයක් සඳහා ජනවරමක් ඉල්ලමින් ප්‍රකාශනයක් නිකුත් කරන ලදී.
2014 නොවැම්බර් 20 දිනැති අති විශේෂ ගැසට් අංක 1889 / 31 හි අඩංගු එම ප්‍රකාශනයේ සත්‍ය පිටපතක් පැ 3 ලෙස ලකුණු කොට මෙහි අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

5. ඉන් පසුව පස්වන වග උත්තරකරු 2014 දෙසැම්බර් 8 වන දින නාම යෝජනා භාර දෙන ලෙස කැඳවුම් කළ අතර ජනාධිපතිවරණය 2015 ජනවාරි 08 වන දින පැවැත්වෙන බවට නිවේදනය කළේය. එම නිවේදනය අනුව එම මැතිවරණය 2015 ජනවාරි 08 වන දා පැවැත්වුණු අතර එක් එක් අපේක්ෂකයාගේ වලංගු ඡන්ද ප්‍රමාණය ගණන් කිරීම අවසන් කිරීමෙන් පසුව මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය 2015 ජනවාරි 09 වන දා ප්‍රකාශයට පත් කරන ලදී.

6. 2015 ජනවාරි 03 වන දින හා 08 වන දින අතරතුරත් 2015 ජනවාරි 09 වන දා උදෑසන හෝරාවන් හිදීත් ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයන් සේවයේ යොදවා තිබූ බවට විශ්වාසදායී ලෙස දැනගැනීමට ලැබුණු බව පෙත්සම්කරු කියා සිටී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු අණ දෙන නිලධාරී ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇතුලූ මාධ්‍ය වාර්තාවල සත්‍ය පිටපත් පැ 4 ලෙස ලකුණු කොට මෙහි අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සේවයේ අනුයුක්ත කළා යැයි චෝදනා කරමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාරික වාර්තාවල සත්‍ය පිටපත් පැ 5 ලෙස මෙහි අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

7. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ඞී වගන්තිය යටතේ පස්වන වග උත්තරකරු විසින් පළමු වග උත්තරකරු වෙත නිදහස් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හෝ මෙහෙයවීමට හානිදායක වන ක්‍රියා හෝ සිදුවීම් වැලැක්වීම හෝ පාලනය කිරීම සඳහා ජනරජයේ හමුදා බල ඇණි යෙදවීම සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් නොකරන ලද බවට පෙත්සම්කරුට විශ්වාසදායී තොරතුරු මගින් දැනගන්නට ලැබී තිබෙන අතර ඔහු එය සැබැවින්ම විශ්වාස කරයි.

8. ඒ අනුව පෙත්සම්කරුට උපදෙස් ලැබී ඇත්තේ ඉහත සඳහන් දිනවලදී ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයින් අනුයුක්ත කරනු ලැබ ඇත්තේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂන ආඥා පනතේ 12.1 වගන්තිය යටතේ පලමු වග උත්තරකරු විසින් නිකුත් කරන ලද 2015 ජනවාරි 02 දින දරන ආඥාවකට අනුකූලව බවයි. මහජන ආරක්ෂක ආඥා පනතේ 12.1 වගන්තියට මෙසේ දක්වයි -

මහජන ආරක්ෂාවට තර්ජනයක් වන තත්වයක් ඕනෑම ප්‍රදේශයක ඇති වී තිබෙන විට හෝ ඇතිවීම පිළිබඳ තර්ජනයක් ඇති විට හා එම ප්‍රදේශයේ එවැනි තත්වයක් සම්බන්ධයෙන් කටයුුතු කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවේ යැයි ජනාධිපතිවරයා සිතන විට දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශිත ආඥාවක් මගින් එම ප්‍රදේශයේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ඕනෑම හෝ සියලූම සන්නද්ධ හමුදාවක ඕනෑම හෝ සියලූම හමුදා සාමාජිකයින් ගණනක් කැඳවීමේ බලය ඇත.

2015 ජනවාරි 02 දිනැති අංක 1895/ 24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ අන්තර්ගත එම ආඥාවේ සත්‍ය පිටපතක් පැ 6 ලෙස ලකුණු කොට මෙහි අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

9. 2015 ජනවාරි 02 දිනැති ආඥාව අනෙකුත් කරුණු අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ ශ්‍රී ලංකා හමුදාව අනුයුක්ත කිරීමේ අරමුණ මත නිකුත් කරන ලද්දක් බව පෙත්සම්කරු මෙම අධිකරණයේ අවධානයට යොමු කරයි.

10. පෙත්සම්කරු ගෞරවයෙන් පවසා සිටින්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12.1 වගන්තිය යටතේ ආඥාවක් නිකුත් කිරීමට පළමු වග උත්තරකරුට බලය ලැබෙන්නේ පහත සඳහන් නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පමණක් බවයි.

අ) මහජන ආරක්ෂාවට තර්ජනයක් වන්නා තත්වයක් යම් ප්‍රදේශයක ඇති වී තිබෙන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇතිවීම පිළිබඳ අත්‍යාසන්න අනතුරක් පවතී නම්

ආ ) එම ප්‍රදේශයේ ඇති වන එබ`දු තත්වයක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවන බවට ජනාධිපතිවරයා ( එනම් පළමු වගඋත්තරකරු ) අදහස් කරන්නේ නම්

11. 2015 ජනවාරි 02 වන දා හෝ ඉන් පසුව ඉහත දැක්වූ නිර්ණායක කිසිවක් සම්පූර්ණ වී නොතිබුණු බව පෙත්සම්කරු ප්‍රකාශ කොට සිටී. පළමුව කිසිදු ප්‍රදේශයක මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන තත්වයක් උද්ගත වී නොතිබුණු අතර ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම සමගාමීව එවැනි තත්වයක් කිසිසේත්ම ඇතිවී තිබුණේ නැත. දෙවනුව ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ එවැනි තත්වයක් ඇති වී තිබුණද එවැනි තත්වයක් සම්බන්ධව කටයුතු කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවේ යැයි සිතීමට පළමු වගඋත්තරකරුට සාධාරණ හේතුවක් තිබුණා යැයි කිව නොහැක.

12. පෙත්සම්කරු නැවතත් කියා සිටින්නේ මහජන සාමය පවත්වා ගැනීම සඳහා සන්නද්ධ හමුදා අනුයුක්ත කළ යුතු යැයි පස්වන වග උත්තරකරු විසින් කිසිදු අවස්ථාවක දී පළමු වග උත්තරකරුට නිර්දේශ නොකළ බවයි.

13. පෙත්සම්කරු තවදුරටත් පවසන්නේ 2015 ජනවාරි 02 වැනි දිනැති ආඥාවට පෙර මහජන ආරක්ෂක පනතේ 12.1 වගන්තිය යටතේ එවැනි ආඥා මාසිකව නිකුත් කිරීමේ පුරුද්දක් පළමු වග උත්තරකරුට තිබුණු බවයි. පෙත්සම්කරු මෙම අධිකරණයේ අවධානයට යොමු කරන්නේ එවැනි අවස්ථාවල දී එවැනි ආඥා “නීති විරෝධී, අයුක්තිසහගත සහ බලාතික්‍රමණය සහිත” ලෙස විස්තර කරමින් 2014 ජූලි 07 වන දිනැති ප්‍රකාශයකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කරන ලද බවයි.

2014 ජූලි 07 දිනැති එම ප්‍රකාශයේ පිටපතක් පැ 7 ලෙස සලකුණු කොට මෙහි අමුණා ඇති අතර පෙත්සමේ කොටසක් ලෙස සලකා භාරගන්නා ලෙස අයැද සිටී.

14. පෙත්සම්කරු ගෞරව පූර්වකව කියා සිටින්නේ මහජන ආරක්ෂක පනතේ 12.1 වගන්තිය යටතේ සඳහන් තත්වයන් යටතේ හැර අන් අවස්ථාවල දී එම වගන්තිය යටතේ එන බලය අභ්‍යාස කිරීම බලාතික්‍රමණයෙන් යුක්ත සහ මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලය අත්තනෝමතික ලෙස අභ්‍යාස කිරීමක් හා / හෝ අපයෝජනය කිරීම හා / හෝ අවභාවිතා කිරීමක් හා / හෝ බවයි.

15. පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ මහජන ආරක්ෂක පනතේ 12.1 වගන්තිය යටතේ පනවා ඇති නිර්ණායක වලට අනුකූල නොවන අවස්ථාවන් හිදී යට කී බලයන් අභ්‍යාස කිරීම මගින් පලමු වගඋත්තරකරු මහජන ආරක්ෂක පනතේ සඳහන් බලය අතික්‍රමණය කරමින් හැසිරී ඇති බව හා මහජන ආරක්ෂක පනත යටතේ ඔහුට පවරා ඇති බලතල අත්තනෝමතික ලෙස අභ්‍යාස කිරීමක් හා / හෝ අපයෝජනය කිරීම හා / හෝ අවභාවිතා කිරීමක් හා / හෝ බවයි.

16. ඒ අනුව පළමු වගඋත්තරකරු විසින් මහජන ආරක්ෂක පනතේ 12.1 වගන්තිය යටතේ ඔහුට පවරා ඇති බලය අත්තනෝමතිකව අභ්‍යාස කිරීම අභ්‍යාස කිරීම හා / හෝ අපයෝජනය කිරීම හා / හෝ අවභාවිතා කිරීම මගින් පළමු වගඋත්තරකරු විසින් සිදුකොට ඇති සාපරාධී ක්‍රියාව හා / හෝ නොකර හැරීම ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ නීතිය ඉදිරියේ සමානතාවයට ඇති අයිතිය උල්ලංඝනය කොට ඇත. එම නිසා සහ වෙනත් කරුණු මත ඉහත කී වගඋත්තරකරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12. 1 වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සහතික කොට තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කොට එකී මූලික අයිතිවාසිකම් අනතුරට භාජනය කොට ඇත.

17. නීතිය මගින් දක්වා ඇති පරිදි අපේක්ෂා කරන ප්‍රතිකර්ම ඉල්ලා සිටීමේ ඇති හදිසි අවශ්‍යතාව නිසා ඇති වී ඇති කාලයේ සීමාසහිතභාවය හේතු කොට ගෙන පෙත්සම්කරු මෙම පෙත්සම්කරු ඉදිරිපත් කරන්නේ දැනට ඔහු සතුව තිබෙන සීමිත කරුණු මත පදනම්වය. එම නිසා පසුව සිදුවන හෙලිදරවු කිරීම් අනාවරණය කිරීම් හා සංවර්ධනයන් අනුව පෙත්සමට අදාළ සංශෝධන එකතු කිරීමට අදාලව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට හා / හෝ පාර්ශව එකතු කිරීමට පෙත්සම්කරුට ඇති අයිතිය පෙත්සම්කරු ගෞරව පූර්වක ලෙස තමා සන්තකව තබා ගනී.

18. මෙහි පැමිණිලි කොට ඇති පළමු වගඋත්තරකරුගේ ක්‍රියාවන් පරිපාලනමය හා විධායක ක්‍රියාවන් සංයුක්ත කරන බවත් එම නිසා ඉහත නම් සඳහන් වගඋත්තරකරුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය සමග එකට කියැවෙන 17 වන වගන්තිය යටතේ මෙම අධිකරණයේ අධිකරණ පාත්‍රතාවයට විෂය කළ හැකි බව පෙත්සම්කරු කියා සිටී.

19. මෙම කරුණු පෙත්සම්කරු මීට පෙර මෙම අධිකරණයේ අධිකරණ පාත්‍රතාවය වෙත ඉදිරිපත් නොකළ බව වැඩිදුරටත් කියා සිටී.

20. මේ සමග මෙහි සඳහන් සම්ප්‍රකාශ තහවුරු කිරීම සඳහා පෙත්සම්කරුගේ දිවුරුම් පෙත්සමක් අමුණා තිබේ.

මේ අනුව පෙත්සම්කරු මෙම අධිකරණයෙන් ගෞරව පූර්වකව පහත සඳහන් සහන ඉල්ලා සිටී.
අ) මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම,

ආ) මෙහි සඳහන් ක්‍රියා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය මගින් තහවුරු කොට තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ප්‍රකාශ කිරීම,

ඇ) අධිකරණය සුදුසු යැයි සිතන නිසි වන්දි මුදලක් ලබා දීම,

ඈ ) නඩු ගාස්තු සහ

උ) අධිකරණය සුදුසු යැයි සිතන වෙනත් වැඩිමනත් සහන ලබා දීම.


පෙත්සම්කරුගේ ලේඛනගත නීතිඥ

 

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us