උතුර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, උතුරු මැද, ඌව, සබරගමුව, බස්‌නාහිර සහ දකුණු පළාත්වල මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ, මධ්‍යස්‌ථානය පවසයි.
මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ එක් පුද්ගලයකු මියගොස් ඇත.
මීට අමතරව උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හා බණ්‌ඩාරවෙල අතර ගමන්ගත් දුම්රියක් මතට පස් කන්දක් කඩාවැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඊයේ සවස් වනවිටත් ඇනහිට තිබිණි.
මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා නිවාස තුන්දහස් පන්සිය දහනවයක් (3519) මුළුමනින්මද තවත් නිවාස එකළොස්‌දහස් තුන්සිය හැට හයක් (11366) අර්ධ වශයෙන්ද විනාශ වී ගොස් ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
එසේම අවතැන් වූ පවුල් විසිදෙදහස් නමසිය හතළිස් එකකට (22941) අයත් පුද්ගලයන් අසූදහස් හත්සිය තිස් හයක් (80736) අවතැන් කඳවුරු තුන්සිය තිස් හතරක් (334) තුළට යොමු කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව කියා සිටියේය.
නැගෙනහිර
අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමකට ලක්‌ව ඇත්තේ නැගෙනහිර පළාතයි. එහි පවුල් එක්‌ලක්‌ෂ පනස් තුන්දහස් හත්සිය හතළිස් තුනකට අයත් පුද්ගලයන් පන්ලක්‌ෂ පනස් දෙදහස් හාරසිය දොළහක් විපතට පත්ව ඇති අතර නිවාස 3387 ක් මුළුමනින්මද, තවත් නිවාස හත්දහස් හැට හතක් අර්ධ වශයෙන්ද හානිවී ඇත. එසේම එම පළාතේ පවුල් දාහතර දහස් අටසිය අනූ හයකට අයත් පුද්ගලයන් පනස් එක්‌දහස් පන්සිය විසි එක් දෙනකු ආරක්‌ෂක ස්‌ථාන එකසිය හතළිස් දෙකක් වෙත යොමු කර තිබේ.
සේරුවිල
අධික වර්ෂාව නිසා සේරුවිල කන්තලේ මාර්ගය හා සේරුවිල මඩකලපුව (A 15) මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇත. ඒ අනුව සේරුවිල, සේරු නුවර, තෝපූර්¨, මුතූර්, වෙරුගල් ආදී ප්‍රදේශවල ජනතාවගේ සියලු ගමනා ගමන කටයුතු කින්නියාව ත්‍රිකුණාමලය මාර්ගයට සීමා වී ඇත. ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ වෙරුගල් ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙන බැවින් මගී ප්‍රවාහන බස් රථ ත්‍රිZමලේ සිට වෙරුගල් දක්‌වා පමණක් ධාවනය වේ. එතැන් සිට කිලෝ මීටරයක් පමණ නාවික හමුදා බෝට්‌ටු මගින්ද පැමිණ නැවත වෙරුගල් සිට මඩකලපුව දක්‌වා වෙනත් බස් රථවලින් ගමන් කිරීමට සිදුව තිබේ.
නුවරඑළිය
නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය ආසන්නයේ විශාල පස්‌කන්දක් නායයාමට ලක්‌වීමෙන් ඊයේ අලුයම රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීය.
පෙරේදා (24 දා) මැදියම් රාත්‍රි දොළහට පමණ හග්ගල රක්‌ෂිතයේ මෙම කඳු බිම් නායයැමට ලක්‌වී ඇති අතර ඊයේ (25 දා) අලුයම වනවිටත් කඳු බිම් නායයැමට ලක්‌වෙමින් තිබිණි.
විශේෂයෙන් නුවරඑළිය සිට මෙම මාර්ගය ඔස්‌සේ, වැලිමඩ, බදුල්ල, බණ්‌ඩාරවෙල, හපුතලේ, වැල්ලවාය, මොණරාගල, කතරගම, හම්බන්තොට, මාතර, ගාල්ල, දෙසට ගමන් ගත් හා එහි සිට නුවරඑළිය දෙසට ගමන්ගත් සියලු රථ වාහන මේ හේතුවෙන් නතර විය.
නත්තල් නිවාඩුව සඳහා මෙම මාර්ගය ඔස්‌සේ තම ගම්බිම් බලා ගමන් ගත් විශාල පිරිසක්‌ද මේ හේතුවෙන් අසීරුවට පත් වූහ.
මාතලේ
මහවැසි, ගංවතුර නාය යැම් හේතුවෙන් මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 237 ක පුද්ගලයන් 872 ක් අවතැන්වී සිටින බව මාතලේ දිස්‌ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර මහතා පැවසීය.
පවුල් 128 ක පුද්ගලයින් 498 ක් කඳවුරු 08 ක තාවකාලිකව රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගත් බවත් පස් කඳු, ගල් සහ ගස් පෙරළීම හා ගං වතුර නිසා මාතලේ - ගලේවෙල, නාඋල -ලග්ගල, රත්තොට - ඉළුක්‌කුඹුර හරහා ලග්ගල, රත්තොට වෙලංගහවත්ත, රත්තොට -ගම්මඩුව ඇතුළුÊමාර්ග 15 කට වැඩි ප්‍රමාණයක් අවහිරවී තිබෙන බවත් ඒ මහතා පැවසීය.
ගංවතුර නිසා කොටුවී සිටින ජනතාව බේරාගැනීමට නාවික හමුදා කණ්‌ඩායම් 04 ක් මාතලේ දිස්‌ත්‍රික්‌කයට අනුයුක්‌ත කළ බවත් එයින් කණ්‌ඩායම් 03 ක් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයටද එක් කණ්‌ඩායමක් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයටද යෑවූ බවත් අමරවීර මහතා පැවසීය.
මාතලේ ඉහළ හරස්‌ගම අඹන්ගඟ කෝරළය නාගස්‌වත්ත නාය යැමේ අවදානම හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් 33 ක් එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම
මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ වල ජල මට්‌ටම සියයට 82 ක් දක්‌වා ඊයේ (25 දා) ඉහළ ගිය බවත් ප්‍රධාන ජලාශ 73 න් 53 ක් වාන් දමන බවත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය පැවසුවාය.
මධ්‍යම ජලාශ 120 ක් සහ කුඩා වැව් සියල්ල වාන් දමයි
ඊයේ දහවල් 12.00 න් අවසන් වූ පැය 24 තුළ මධ්‍යම කඳුකරයට මිලි මීටර් 200 වැඩි වර්ෂාවක් ලැබීම නිසා වික්‌ටෝරියා, බෝවතැන්න, රන්දෙණිගල ජලාශවල ජලධාරිතාවය ශීඝ්‍රයෙන් ඉහළ යැම නිසා වාන් දොරටු විවෘත කිරීමෙන් මහවැලි ගඟ සහ අඹන්ගඟේ ජල මට්‌ටම ඉහළ ගොස් පිටාර ගැලූ බවද ඇය පැවසුවාය.
දැදුරුඔයේ ජල පෝෂක කලාපයට මිලි මීටර් 150 වැඩි වර්ෂාපතනයක් ලැබීම නිසා කිඹුල්වානාඔය එක්‌වටුනාඔය, සහ දැදුරුඔයේ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළ යැම නිසාද ගංවතුර තත්ත්වයක් හටගත් බව ඇය පැවසුවාය.
ගම්පොළ
අධික වර්ෂාවත් සමග පිරී ඇති කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ද වාන් දොරටු විවෘත කොට ජලය මුදා හැරීමට පියවර ගෙන ඇත. ජලාශයේ වාන් දොරටු දෙකෙන් එකක් මෙසේ විවෘත කොට ඇත.
මේ සමග ජලාශයෙන් පහළ හපුගස්‌තලාව, දඹගල්ල රිවසයිඩ් මාර්ගයේ සපත්තු පාලම ජලයෙන් යටවිම නිසා එම මාර්ගය වසා දැමීමට ද පියවර ගෙන ඇත.
කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ 1979 වසරේ ඉදිකිරීම් ආරම්භ කොට 1985 වසරේ දී විවෘත කළ කොත්මලේ ජලාශයේ ජලධාරිතාව ඝන මීටර් මිලියන එකසිය හැත්තෑ හතරක් හෙවත් අක්‌කර අඩි 141000 කි.
කොත්මලේ ජලාශය මෙතෙක් විවෘත නොකර තිබීම නිසා රජරට ප්‍රදේශය ඇතුළු පහත් බිම් යටවීම අවම වී තිබුණද ජලාශ අතරින් ඉහළින්ම ඇති මෙම ජලාශය විවෘත කිරීමට සිදුවීම නිසා පහත් බිම් යටවීමේ අවදානමද ඉහළ ගොස් ඇත.
කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ඩබ්. ඒ.චන්ද්‍රතිලක මහතා සඳහන් කරනුයේ අයහපත් කාලගුණය සමග ජලාශය විවෘත නොකර මේ දක්‌වා පාලනය කළ ද විදුලි නිෂ්පාදනය සඳහා අවම ජලයක් භාවිතා කිරීම හා අධික වර්ෂාව නිසා මෙසේ ජලාශය විවෘත කිරීමට සිදුවූ බවයි.
කෙසේ නමුත් මේ සමග උලපනේ පහළ ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය සිට පොල්ගොල්ල දක්‌වා ගඟ දෙපස සිටින පිරිස් මහවැලි ගඟේ ජලය ඉහළ යැමේ අවදානම නිසා පරිස්‌සම් විය යුතු බවද ඉංජිනේරුවරයා සඳහන් කළේය.
(divaina)
පසුබිම් වාර්තා - මාතලේ නිමල් ගුණතිලක, සේරුවිල සුගත් විඡේකුමාර, හපුතලේ එස්. බුවනෙක, නුවරඑළිය - ඩග්ලස් නානායක්‌කාර, ගම්පොල - සුරංග දිල්හාන්, නිමල් කනහැරආරච්චි