මෙය බරපතළ ප්‍රශ්නයක් බවත්, මේ ඔස්සේ පැන නඟින සෞඛ්‍ය හා පාරිසරික ගැටලු මහනුවර නගරයේ සිට මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය දක්වා බලපා හැකි බව ඔවුන් පවසා ඇත.
මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම මෙයට ප්‍රබල ලෙස බලපා තිබේ.
2010 දී ආරම්භ කරන ලද ජයිකා ආධාර සහිත මහනුවර අප ජල පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ව්‍යාපෘතිවලට ලැබිය යුතු රුපියල් බිලියනයක මුදලක් අහිමිවීම නිසා මෙම ව්‍යාපෘතිය අතරමග ඇනහිට ඇති බව නාගරික සනීපාරක්‍ෂක අංශ පවසා සිටියි.
ඒ හේතුවෙන් ඔවුන් පවසා සිටින්නේ, අවම වශයෙන් තවත් රුපියල් මිලියන 150ක මුදලක් හෝ මේ සඳහා රජය මගින් ලබාදෙන්නේ නම් දැනට සිදුවන අප ජල හානිය සියයට 50 කින්, එනම් ඝන මීටර 3500කින් අවම කරගත හැකි බවයි.
රුපියල් බිලියන 22ක ජයිකා ආධාර යටතේ ආරම්භ කරන ලද මෙම මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පිරිපහදු ඒකකය ඇතුළු නළ මාර්ග පද්ධතිය රුපියල් බිලියන 21ක වියදමෙන් ස්ථාපිත කර ඇති නමුත් නිවාස, කර්මාන්ත, හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන 10,000කින් 6000ක් අප ජල නළ පද්ධතියට සම්බන්ධකර ගැනීමට නොහැකිවීම මෙම ගැටලුවට හේතුව බවද කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (WDC) සහ පරිසර යුක්ති කේන්ද්‍රය (CES) එක්ව පෙරේදා (14දා) මහනුවර නගරාශ්‍රිතව සිදුකරන ලද ක්‍ෂේත්‍ර මාධ්‍ය අධ්‍යයනයකදී අනාවරණය කර ගැනීමට හැකි විය.
ජයිකා ආයතනයෙන් ලැබිය යුතු ඉතිරි රුපියල් බිලියනයක මුදල ලැබෙන්නේ නම් මෙම තත්ත්වය වළකාගත හැකි බවද නාගරික බලධාරීහු පවසති. එම මුදල ලබාගැනීමට රජය වහා මැදිහත්ව කටයුතු කළ යුතු බවද පරිසරවේදීහු පවසති.
මහයියාව, දෙයියන්නේවෙල, කටුගස්තොට, ගාලේවත්ත, සුදුහුම්පල, පතනේ වත්ත ආදී ප්‍රදේශවල තිබෙන නිවාස 4000 කින් පමණ පොදු වැසිකිළිවලින් ගලා යන අසූචි මිශ්‍ර අප ජලය මැද ඇළට සම්බන්ධවී කටුගස්තොටදී කෙළින්ම මහවැලි ගඟට මිශ්‍ර වන බවද මෙම අධ්‍යයනයේදී අනාවරණය විය.
මහනුවර නගර සභාව සහ ජල සම්පාදන මණ්ඩලය එක්ව ‘ජයිකා’ ආධාර යටතේ මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන අතර 2020 දී අවසන් වීමට නියමිතව තිබූ ව්‍යාපෘතියට අපේක්‍ෂිත ආධාර මුදල් ඇණහිටීම මත මෙසේ ව්‍යාපෘතිය අතර මග කඩා වැටී ඇත.
මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය හා පරිසර යුක්ති කේන්ද්‍රයේ නියෝජිතයන් පිරිසක් මෙම ක්‍ෂේත්‍ර මාධ්‍ය ආවරණය සඳහා සහභාගි වූ අතර මහනුවර මහනගර සභාවට අයත් අංශ කීපයකින්ම තොරතුරු අනාවරණය කරගනු ලැබීය.