කරුගෙන් විපක්ෂයේ චෝදනාවට පිළිතුරක්

Published in පුවත්
Saturday, 17 February 2024 15:08

ජනාධිපතිවරයා, ජනාධිපතිධුරය අහෝසි කිරීම හෝ ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් උත්සාහයක නිරත බවට විපක්ෂ දේශපාලන පක්ෂ ගෙන යන ප්‍රචාරයට පදනම වූයේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යපාරය පසුගියදා ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට නිකුත් කළ නිවේදනයය.

කෙසේ නමුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 12 වැනි දා, කොළඹ දී සංවිධානය කළ ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක්’ මැයෙන් වූ විශේෂ කතිකාවතේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මීට පිළිතුරු බැඳ තිබිණි.

නියමිත පරිදි මැතිවරණ පැවැත්විය යුතුමයි - කරු ජයසූරිය

මෙහිදී කතා කළ කරු ජයසූරිය මහතා අවධාරණයෙන් කියා සිටියේ මැතිවරණ කල් දැමීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත් පෙනී නොසිටින බවයි. සියලු මැතිවරණ නියමිත පරිදි පැවැත්විය යුතු බව අවධාරණය කළ ජයසූරිය මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් විධායක ජනාධිපති ධූරය සම්බන්ධ සිය ස්ථාවරය රටට හෙළි කළ යුතු බව ද ජසූරිය මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් කරු ජයසූරිය මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා නව මැතිවරණ ක්‍රමයක්’ මැයෙන් මේ සම්මන්ත්‍රණය සංවිධානය කළේ ජාතික යුතුකමක් වශයෙන්. මේ වන විට නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උද්යෝගයක් තිබෙනවා. මෙය 90 දශකයේ සිටම පවතින තත්ත්වයක්. 2001 පැවැති එක්සත් ජාතික පෙරමුණු රජය විසින් යෝජනා කළා, මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා විශේෂ කමිටුවක් පත් කළ යුතුයි කියලා. ඒ වගේම ඒ අවස්ථාවේදීම තීරණය කළා තොරතුරු පනතක් අවශ්‍යයි කියලා.

ඒ අනුව අපි යෝජනා කළේ ඒ කමිටුවේ නායකත්වය ආණ්ඩු පක්ෂය විසින් දරනවාට වඩා විපක්ෂය විසින් දැරිය යුතු බවයි. මීට පෙරත් මංගල මුණසිංහ කමිටුව තුළින් එවැනි පූර්වාදර්ශයක් ලබාදී තිබුණා. ඒ නිසා අපි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ආරාධනා කළා එහි සභාපතීත්වය භාර ගන්නා ලෙස. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් තමයි නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන කමිටුව ක්‍රියාත්මක වුණේ. නමුත් අපිට මේ කමිටුව මගින් සියලු දෙනාට එකඟ විය හැකි මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා. දැන් වසර 21ක් ගතව තිබෙනවා. මේ අතර පසුගිය වසර තුන තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපි ආචාර්ය සුජාතා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම කමිටුව මගින් නව මැතිවරණ ක්‍රමයක් ගැන විවිධ පර්යේෂණණ කළා. ලෝකයේ විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් අපට උදව් කළා. අපි ඔවුන්ගේ අදහස් ලබා ගත්තා. මේ සියලු පාර්ශ්ව වල සහභාගීත්වයෙන් කෙටුම්පත් කළ යෝජනාවලිය තමයි අද ඔබ අතට පත් වන්නේ.

ජනාධිපතිතුමා විසින් පසුගිය දෙසැම්බර් මාසයේ නව මැතිවරණ ක්‍රමයක් ගැන සොයා බැලීමට කමිටුවක් පත් කළා. අපි එම කමිටුවට අපේ යෝජනා ඉදිරිපත් කළා. මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කිරීමට මා කැමතියි. අපි කිසිසේත්ම මැතිවරණ කල් දැමීමට එකඟ වන්නේ නැහැ. නිසි වේලාවට මැතිවරණ පැවැත්විය යුතුයි. ඒ වගේම තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ තම ස්ථාවරය ඉතාම පැහැදිලිව රටට හෙළි කළ යුතුයි. එපමණක් නොවෙයි, එය අහෝසි කිරීමට සූදානම් නම් ඒක කරන නිශ්චිත දිනයක් රටට හෙළි කළ යුතුයි. ඒ වගේම තමයි අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ඒ ඒ අපේක්ෂකයා දරන ස්ථාවරය දැන ගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා.

අපි මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. අපි ඒ වෙනුවෙන් සති පතා ‘කතිකාවත’ නමින් වැඩමුළු මාලාවක් පවත්වා ගෙන යනවා. සැලකිය යුතු පිරිසක් මෙම වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ මෙම වැඩසටහන ගැන විශේෂ උනන්දුවක් දක්වනවා.

අපේ අපේ ප්‍රතිපත්ති, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්ති හදන්නේ මෙම සාකච්ඡාවලින් පසුවයි. ඒ අනුව අපේ මතය තමයි, නියමිත පරිදි සෑම මැතිවරණයක්ම පැවැත්විය යුතුයි. ඒ වගේම මැතිවරණ කොමිෂමේ යෝජනා හෝ අපේ යෝජනා නිසා කිසිසේත්ම මැතිවරණ කල් දැමිය යුතු නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන අපි 2013 සිට කතා කරනවා. අපේ ඒ ස්ථාවරය අද දක්වා වෙනස් වෙලා නැහැ. ඒ වගේම අපේ මේ ස්ථාවරයෙන් වත්මන් ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ධුරයට පත්වීමට බලාසිටින කිසිවෙකුට අගතියක් වෙන්නේ නැහැ”

ආරාධිතයින්ගේ අදහස් දැක්වීමේ අවස්ථාව උණුසුම් හා උද්වේගාකාර වූ අතර සැලකිය යුතු පිරිසක් නව මැතිවරණ ක්‍රමයක් උදෙසා සිය යෝජනා හෝ අදහස් ඉදිරිපත් කළහ.

නියමිත දිනයේදී ජනපතිවරණය පැවැත්විය යුතුයි - ජී.එල්. පීරිස්

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ මාදුළුවාවේ සෝහිත හිමියෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තුන්කල් දක්නා නුවණකින් යුතුව පෙරට ආ යතිවරයෙක්. උන්වහන්සේ එදා එසේ පෙනී සිටියේ විධායක ජනාධිපති ධූරය නිසා අන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට දැඩි බලපෑමක් ඇති වන නිසා බවයි. මේ තත්ත්වය වත්මන් ජනාධිපතිවරයා යටතේ ව්‍යවස්ථා සභාවට අත්ව ඇති ඉරණම තුළින් ද මනාව පැහැදිලි වන බව කී ජී.එල්. පීරිස් මහතා සෝහිත හිමියන් මේ තත්ත්වය මීට බොහෝ කලකට පෙර මනාව දුටු බව ද කීවේය.

මෙහිදී සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට එල්ල වන බරපතළ චෝදනාවක් නිවැරදි කරමින් අදහස් දැක්වූ ජී.එල්. පීරිස් මහතා, කරු ජයසූරිය මහතා ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විධායක ජනාධිපති ධූරය අහෝසි කරන මෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත් වූ පසුව බව ද එනිසා එම ඉල්ලීම තුළින් ඉදිරි ජනාධිපතිවරණය කල් දැමීමක් සිදුනොවන බව ද පෙන්වා දුන්නේය.

සිය ස්ථාවරය වන්නේ ද නියමිත දිනයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව යැයි සඳහන් කළ ජී.එල්. පීරිස් මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් මැතිවරණ ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අනිවාර්යයෙන් සිතිය යුතු බව ද පෙන්වා දුන්නේය.

මනාප ක්‍රමය ඉවත් කළ යුතුමයි - රාජිත සේනාරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ අවස්ථාවේදී කියා සිටියේ, විධායක ජනාධිපති ධූරයට පත් සියලු දෙනාම නීති හා ප්‍රායෝගික ප්‍රශ්න ඉදිරිපත් කරමින් විධායක ජනාධිපති ධුරය රැක ගැනීමට පියවර ගත් හෙයින් එය අහෝසි කිරීමට නොහැකි වූ බවයි.

විධායක ජනාධිපති ධූරය පමණක් නොව කවර තනතුර වුව ද තම වාසියට හරවා ගැනීමට තැත් කළ හොත් විනාශයක් සිදුවන බව කී සේනාරත්න මහතා රට මුහුණ දෙන ඛේදවාචකය එය බව ද කීවේය.

“ අපි මෙම මැතිවරණ ක්‍රමයට විරුද්ධ ඇයි ? ඒ මැතිවරණයකට තරඟ කිරීමට යන වියදම අපිට පුද්ගලිකව දරාගත නොහැකි නිසයි. 77 පස්සේ දේශපාලනඥයින් දූෂණයට යොමු වුණේ මේ දැවැන්ත වියදමක් යන මැතිවරණ ක්‍රමය නිසයි. මනාප ක්‍රමය තමයි මේකට හේතුව. ඒ නිසා පළමුවෙන්ම මේ මනාප ක්‍රමය අහෝසි කළ යුතුයි. මනාප ක්‍රමය නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට අපි යා යූතුයි. එහෙම වුණොත් රටට ආදරේ, වැඩක් කළ හැකි තරුණයින්ට, උගතුන්ට, වෘත්තිකයින්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි” යැයි ද සේනාරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

කලාප ක්‍රමය හොඳ යෝජනාවක් - රංජිත් මද්දුම බණ්ඩාර

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කෙටුම්පත් කර ඇති නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන කලාප ක්‍රමය සම්බන්ධ යෝජනාව හොඳ යෝජනාවක් බවයි. නමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ තබා ගෙන නව මැතිවරණ ක්‍රමයක් ගැන කතා කිරීම ගැටලු සහගත බව ද ඔහු පෙන්වා දුන්නේය. එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ නව මැතිවරණ ක්‍රමයක් ගැන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

සියලු දෙනා සංතෝෂ කළ හැකි මැතිවරණ ක්‍රමයක් නෑ - අනුර ප්‍රියදර්ශන යාපා

කේවල ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය බවත් සියලු දෙනා සංතෝෂ කළ හැකි පාර්ලිමේන්තුවක් හැදිය නොහැකි බවත් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී සඳහන් කළේය. ඉන්දියාවේ මෙන් සුළුජන නියෝජනය සම්බන්ධ ගැටලුවක් තිබේ නම් ඒ ඒ ආසන වල සුළු ජන නියෝජනය සහතික කිරීම සරලව කළ හැකි බව කී ප්‍රියදර්ශන යාපා මහතා වත්මන් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවත් එ හරහා මැතිවරණ වියදම ද විශාල වශයෙන් අඩු කළ හැකි බවත් පෙන්වා දුන්නේය. මෙහිදී අනුර ප්‍රියදර්ශන මහතා වැඩි දුරටත් කියා සිටියේ කේවල ක්‍රමය යටතේ මන්ත්‍රීවරයා නිරන්තරයෙන් අධීක්ෂණයට ලක්වන බවයි. මෙනිසා ඔහු සම්බන්ධයෙන් අදාළ කොට්ඨාශයේ ජනතාවට ඍජු තීරණයක්ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

සාමානුපාතික ක්‍රමය ජනතාව සහ මහජන නියෝජිතයා දුරස්ථ කළා - ආසිරි පෙරේරා බිෂොප් තුමා.

තමා නියෝජනය කරන තෘණමූල මට්ටමේ ජනතාව පාර්ලිමේන්තුවේ සිටින 225ම තව දුරටත් වැදගත් නොවන බව සිතන බවයි. දිස්ත්‍රික් ක්‍රමය දැඩිව විවේචනය කරමින් බිෂොප්තුමා කියා සිටියේ වත්මන් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය මගින් ජනතාව සහ මන්ත්‍රීවරයා දුරස්ථ වූ බවයි. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර බරපතළ ගැටුමක් පවතින බව පෙන්වා දෙමින් බිෂොප්තුමා මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර ගැටුමෙන් ජනතාව අතරමංවන බව ද කියා සිටියේය.

සුළුජන නියෝජනය නෛතිකව සහතික කළ යුතුයි - කදුරට ජනතා පෙරමුණේ උපසභාපති ආචාර්ය සතිෂ් කුමාර්

මෙම සාකච්ඡාවේදී සුළුජාතික නියෝජනය තහවුරු කිරීම වෙනුවෙන් සිය අදහස් ඉදිරිපත් කළ සතිෂ් කුමාර් මහතා කියා සිටියේ සුළු ජනතාව ජීවත් වන රත්නපුර, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල (වන්නි දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවටත් මේ බලපෑ හැකියි) බොහෝ විට ප්‍රධාන පක්ෂවලින් සුළු ජනතාව නියෝජනය කරන අපේක්ෂකයින් නම් කළත්, මනාප අනුව ඔවුන් ජයග්‍රහණය නොකරන බවයි. ඒ නිසා අදාළ දිස්ත්‍රික්ක වල සුළු ජන නියෝජනය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තු හෝ පළාත් සභා මැතිවරණයට තරඟ කරන නාමයෝජනා ලැයිස්තුවල සුළු ජාතිකයෙක් නම් කරන්නේ නම්, එම අපේක්ෂක ලැයිස්තුවල පළමු හෝ දෙවැනි තැනට අදාළ සුළු ජාතිකයින්ගේ නම් යෙදිය යුතු බව ඔහු විසින් පෙන්වා දුන්නේය.

එසේ කළොත් ඔහුට සේම ඔහු නියෝජනය කරන ජනතාවටත් තම නියෝජිතයෙක් පත්වීම ගැන විශ්වාසයක් ඇති වන බවත්, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා මෙවැනි පියවර ඉතා වැදගත් බවත් ඔහු විසින් පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම එලෙසම තබාගෙන පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු අඩු කිරීමට යෝජනා කිරීම තමාට ගැටලුවක් බවයි. එසේම පළාත් පාලනය දේශපාලනයෙන් වියුක්ත කිරීම කළ නොහැකි දෙයක් බව මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ සියල්ල තුළ අපි අපේක්ෂා කළේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් - සුනිල් ජයසේකර

මෙහිදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, සුනිල් ජයසේකර මහතා කියා සිටියේ මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් 2013 දී ආරම්භ කළේ හුදු දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියක් නොව ජනතාවට පරමාධිපත්‍ය බලය ලැබෙන, ජනතාවගේ සහභාගීත්වය සහිත දේශපාලන ක්‍රමයක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් බවයි.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස විද්වතුන්, දේශපාලන ප්‍රවාහයේ දැවැන්තයින් ඇතුළු බොහෝ පිරිසක් සෝහිත හිමියන්ට බල කළ බව කී ජයසේකර මහතා උන් වහන්සේ ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ බව ද කීවේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා ‘මේ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේ කරමින් සෝහිත හිමියෝ කියා සිටියේ, ‘තම අරමුණ බලය සඳහා නොව මේ රටේ ජනතාවට සැබෑ බලය අත්පත් කර දීම බවයි. ඒ තනි පුද්ගලයෙක් මත කේන්ද්‍රගත වෙලා තිබෙන, අසීමාන්තික, අත්තනෝමතික බලය වෙනුවට මහජන නියෝජිතයින්ට සැබෑ බලයක් ලැබෙන ක්‍රමයකට යොමු විය යුතු බවයි උන් වහන්සේ කියා සිටියේ. ඒ ඉතිහාසය කිසිවෙකුට අමතක කළ නොහැකියි”

සෝහිත හිමියන් අපවත් වීමෙන් පසු කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය භාර ගත් පසු මේ රටේ බල දේශපාලනයේ නිරත නොවන ක්‍රියාවලියක නිරත වූ බව ද ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් හරහා 2020 දී නව මැතිවරණ ක්‍රමයක් උදෙසා සිය යෝජනා රජයට ඉදිරිපත් කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට හැකි වූ බව ද සුනිල් ජයසේකර මහතා මෙහිදී හෙළි කළේය.

“මේ සියල්ල තුළ අපි අපේක්ෂා කළේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට යොමුවන ක්‍රියාවලියක්. අපි යම් යම් අයගේ වුවමනා එපාකම් මත, කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් කියලා ඇතැමුන් චෝදනා කරනවා. අපි ඒ ගැන ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. එසේම අද අපි ඉදිරිපත් කරන මෙම යෝජනාවලිය මේ රටේ යහපත් මැතිවරණ සංස්කෘතියකට පදනම සකසනු ඇතැයි යන විශ්වාසය අප තුළ තිබෙනවා. එය පෝෂණය කිරීමේ වගකීම තිබෙන්නේ මේ රටේ දේශපාලන පක්ෂවලට බවත් මම මෙහිදී සිහිපත් කරනවා” යැයි ද සුනිල් ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය‍.

සටහන - තුෂාල් විතානගේ

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us