එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ සිදුකරන 'උරුමය' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානාය මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ මූලිකත්වයෙන් දියත්වන මෙය කාලෝචිත වගේම ඓතිහාසික මුලපිරීමක් බව කිව යුතුයි. ස්වර්ණ භූමි, ජය භුමි ඇතුළු විවිධ නම් වලින් ඉඩම් බලපත්‍ර ජනතාව වෙත ලබා දී තිබුණත් ඊට විධිමත් ඔප්පුවක්, නැතිනම් සින්නක්කර ඔප්පුවක නොමැතිකම හේතුවෙන් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයක්, දශක ගණනාවක සිට දැඩි පීඩාවට පත්ව සිටියා. දැන් ඒ තත්වයෙන් මිදීමට අවස්ථාව හිමිවී තිබෙනවා.
වැට ඉන්නට මිණී මරාගන්න සහෝදරයන්, අසල්වාසීන් ගැන අපි අහලා දැකලා තියෙනවා. භූමිය වෙනුවෙන් රටවල් ආක්‍රමණය කරනවා අපි අසා දැක තියෙනවා. ඒ ඉඩමට, බිම් කොටසකට තියෙන වටිනාකම නිසයි. කවුරුත් කැමතියි අඟලක හෝ බිම් කොටසක් තමන්ට තිබෙනවාට. මොකද ඉඩම කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක්. ඒ අර්ථයෙන් එය වත්කමක්ද වනවා. නමුත් එවැන්නක් බලපත්‍රයකට සීමා වී තිබු විට එහි නියම අගය , වටිනාකම අත්විඳින්න ලැබෙන්නේ නෑ.
ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ එය සින්නක්කර ඔප්පුවක් වශයෙන් තිබියදීයි. ඒ හරහා ජනතාවගේ පෞද්ගලික වත්කම වැඩි වෙනවා. මෙතෙක් යම් ගෙවීමක් සිදුකිරීමට වුණා නම්, ඒ මුදල් ඉතුරු වෙනවා.
ඉඩම වෙනුවෙන් බැංකු ණයක් ගෙන , එය තවදුරටත් වත්කම් උපයන ආයෝජනයක් බවට පත්කර ගැනීමේ සිට ඕනෑම ආර්ථික කටයුත්තක් වෙනුවෙන් භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ උරුමය හරහා බිලියන ගණනක වටිනාකමක් ආර්ථිකයට උරුම වෙනවා. එය ඉතාම වැදගත් කාරණයක්.
එක් පසෙකින් ලක්ෂ 20 කට අධික ජනතාවක් දශක ගණනාවක් තිස්සේ මුහුණදුන් ගැටළුවකට ස්ථිරසාර විසඳුමක් ලැබෙනවා වගේම, අනෙක් පසින් මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
වැදගත්ම කාරණය තමයි නිදහසින් පසු මෙරට ජනතාවට ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා නොතිබීම. ජනතාවට ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල හිමිකම පිළිබඳ තිබුණේ සිහිනයක් පමණයි.
ඉතිහාසය මතක් කර දුන්නොත්, යටත් විජිත සමයෙන් පසු රජය සතු ඉඩම් පිළිබඳ අයිතිය වෙනස් කිරීමේ මුල් පියවර තබන ලද්දේ 1933 වසරේ දීයි . ඒ එවකට කෘෂිකර්ම ඇමති ඩී.එස්. සේනානායක මහතා විසින්. රජයේ ඉඩම් අයිතිය ජනතා සන්තක කිරීමේ වැඩසටහන පුළුල් කරමින් ඒ මහතා 1934 මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළා. ඒ වගේම තමයි, 2002 වර්ෂයේත් එක්සත් ජාතික පක්ෂ රජය බලයට පැමිණි විට ගොවි ජනපද සහ දිළිදු පවුල් සඳහා ලබාදුන් ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ඔවුන්ට ලබාදීමට සැලසුම් කළා. නමුත් ඒ ආණ්ඩුවේ ආයුෂ පැවතියේ වසර දෙකක් පමණයි. අනතුරුව 2015 වසරේදී බලය ලැබුණු විගස අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. අයවැය යෝජනා වලට ඇතුළත් කළා. නමුත් එවරද විපක්ෂය ඊට විරෝධය දැක්වූයේ මෙරට ඉඩම් බහුජාතික සමාගම් වෙත පවරන බවට ජාතික මුසාවක් සමාජගත කරමින්. ඒ නිසා ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලැබීමේ ඒ අයිතිවාසිකම උල්ලංඝනය වුණා. ඇත්ත වශයෙන් කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සැළකුවද එය වැරදි ක්‍රියාවක්.
ඒ අනුව තමයි, නැවත බලය ලැබුණු මොහොතේ ක්‍රියාත්මකවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා සඳහා “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේකෂා කර ඇත” යන්න ඇතුළත් කළේ. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන වෙන්කොට තියෙනවා .
අපේ රටේ මෙතෙක් තිබුණේ, දෙන්නම් කාසි දේශපාලනයක් සහ හැමදේම නිකං දෙන්න පොරොන්දු පිට ජන්දය ගන්න අල්ලස් සංස්කෘතියක්. ඒ නිසා තමයි රට මූලිකවම ආර්ථික අගාධයකට ගියේ. ඒ වෙනුවට ජනතාවට දෙපයින් නැගී සිටීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.
තමන්ගේ වත්කම සමඟ ආර්ථිකයට බද්ධ වීමට අවස්ථාව හිමිව තිබෙනවා. දැන් ඒ ඉඩම ආයෝජනයක් බවට පත්කර ගන්නවාද ? පරිභෝජනය කරන්නේ කොහොමද යන්න ගැන තීන්දුව ගන්න ජනතාවට අවස්ථාව හිමිවෙනවා.
ඒ අනුව මෙය රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක, එම තත්වයෙන් අමාරුවෙන් මිදෙමින් සිටින මොහොතක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගීම සඳහා ගෙන යන දැවැන්ත වැඩපිළිවෙලට ජනතාවද තමන්ට හැකි අයුරින් සහභාගී වෙමින් ඊට දායක වීමක් මේ හරහා සිදුවෙනවා.
එසේම ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනියි. ඒ අනුව මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් ලෙස දැක්විය හැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණාක මහතා පවසනවා.