මෙම බඩු සංශෝධනය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් යෝජිත වැට් බද්ද සියට 18 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබා දී ඇති බව එම කාරක සභාවේ සභාපති සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබිණි.
මේ වන විට මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම හා සංවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගැනීම ද තහනම්කර තිබේ. මේ රජය විසින්ම රජයට පනවා ගත් තහනමකි. රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයකට ආසන්න තත්වයකදී මුදල් නොමැතිව රජය පවත්වාගෙන යෑම අති දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම තහනම් කොන්දේසි නොමැතිව සැබෑ ආර්ථික වර්ධනයක් ලබාගැනීම කළ නොහැකි බවය. කෙසේ නමුත් රාජ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් බදු ආදායම් වර්ධනය කරගැනීම රජය සතුව ඇති ආසන්නතම පිළියමය. බදු පදනම් පුළුල් කිරීම සහ බදු ආදායම් නිසි ආකාරයෙන් අත්පත් කරගැනීමට රජය මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකර ඇත. ඒ අතර වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමටද පියවර ගැනිනි.
බදු පැනවීම් ගැන කවර විවේචන එල්ල වුවත් මෙරට ආර්ථික ස්ථායීතාව සහ තිරසාර වර්ධනයට ඉක්මනින් වැඩි බදු ආදායමක් එකතු කරගැනීම අනිවාර්ය තත්වයක පවතී. කාලාන්තරයක් තිස්සේ රටේ බදු පදනම ක්‍රමානුකූලව අඩු වීම හා පසුගිය පාලන සමයේදී ඒ කිසිදු ගනන් බැලීමකින් තොරව විශාල බදු සහන දීම නිසා ආර්ථික අර්බුදයක් අවුළුවා රට බංකොලොත් වන තැනට පත් කළේය. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ පහළම අගයක් වන සියයට 7.3 දක්වා බදු පදනමේ අනුපාතය පහත වැටීණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩසටහනේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2026 වන විට මෙම අනුපාතය සියයට 14 දක්වා ඉහළ නැංවීමයි. බදු ආදායම ද.දේ.නිෂ්පාදිතයෙන් සියයට 15කට ආසන්න වූ පසු රටවල් ඉහළ වර්ධන මාවතකට ගමන් කරන බවට ලෝකයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. 90 දශකයට පෙර මෙරට බදු පදනමේ අනුපාතය සියයට 20ත් ඉක්මවා පැවැතිනි. එදා රට වේගවත් සංවර්ධන ගමනක සිටියේ එබැවිණි. එමෙන්ම සමාජ ආරක්ෂණය අධ්‍යාපනය සෞඛ්‍ය වැනි දේ වෙනුවෙන් රාජ්‍යයට වැඩි බදු ආදායමක් එකතුකර ගැනීමත් අත්‍යාවශ්‍යය.
කෙසේ නමුත් 2023 වසර සඳහා ආදායම් ඉලක්කයට ළඟා වීමට රජය අපොහොසත් විය. මේ නිසා මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය නිකුත් කිරීම ද ප්‍රමාද විය. බදු ආදායම ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස 2023 දී සියයට 9.2 ක් වු අගය මෙවර 2024 අයවැය ඉලක්ක අනුව සියයට 12.1 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ඒ අනුව බදු රහිත සීමාව දැනට පවතින රු. මිලියන 80 අගය රු. මිලියන 60 ක් තෙක් පහළ දැමීම සහ බදු බලපාන විශේෂිත අයිතම ගනනාවක් ලැයිස්තුවට ඇතුලත්කකරඇත.
වැට් බද්ද මෙරටට සීමා වූ අමුතු දෙයක් නොවේ. මේ වන විට රටවල් 160කට වඩා වැඩි සංඛ්‍යාවක මේ ක්‍රියාත්මක අතර, ඔවුන් මුළු බදු එකතුවෙන් සියයට 30 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ හරහා එකතුකරගනී. ද.දේ.නිෂ්පාදිතයේ කොටසක් ලෙස වැට් බද්ද වෙනම ගතහොත් දියුණු ආර්ථිකයන් සහිත රටවල එය සියයට 7කට වඩා වැඩි වේ. අඩු ආදායම් සහිත රටවල සාමාන්‍යය සියයට 4 කි. නමුත් ශ්‍රී ලංකාවේ, වැට් බදු ආදායම ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස 2004 දී සියයට 6 ක් වූ අතර 2022 දී සියයට 2 දක්වා පහත වැටී තිබිණි.
එමෙන්ම සාමාන්‍යයෙන් වැට් බද්ද යනු රටක ස්ථිරව පැවැතිය යුතු රාජ්‍ය ආදායමකි. එය සැරින් සැරේ වෙනස් නොවන ප්‍රතිපත්තියක් විය යුතුය. නමුත් 2002 වසරේ වැට් බද්ද ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ වැට් බදු අනුපාතිකය අට වතාවක් වෙනස් කර ඇත. වැට් බදු සීමාව හය වතාවක් සංශෝධනය කර ඇත. වැට් බද්දේ පුරෝගාමීයකු වන නවසීලන්තය, 1986 දී එය සම්මත කිරීමෙන් පසු වැට් බදු අනුපාතය වෙනස් කර ඇත්තේ දෙවතාවක් පමණි. පිලිපීනය 1988 දී සම්මත කිරීමෙන් පසු වෙනස් කර ඇත්තේ එක් වරක් පමණක් වන අතර, බංග්ලාදේශය 1991 සිට තවම එම අනුපාතයම පවත්වා ගෙන යයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වෙනස්වීම් නිසා 2009, 2015 සහ 2020 වැනි වසරවල වැට් බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් වූ අතර, වැට් බදු අනුපාත අඩු කිරීම්, ලියාපදිංචි සීමාවන් වැඩි කිරීම සහ විවිධ භාණ්ඩ හා සේවා සඳහා නිදහස් කිරීම් හඳුන්වාදීම වැනි වෙනස්කම් නිසා මේ සිදුවිය. ශ්‍රී ලංකාවේ වැට් බදු සීමාව ආසියාවේ ඉහළම එකක් වන අතර එම නිසාම විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට කටයුතුකර ඇති බවත් සදහන් කළ යුතුය. මෙවර සංශෝධනයේදීද එය සිදු විය.
කොහොම නමුත් වැට් බදු අනුපාතය වැඩි කිරීම පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාවට අඩු කිරීමට, පරිභෝජන රටාවට අහිතකර ලෙස බලපෑ හැකි බවත් නිෂ්පාදනයට සහ අඩු ඉල්ලුමක් ව්‍යාපාරවලට ද අත්විඳිය හැකි බවටත් ආර්ථික විශ්ලේෂක මතය වේ. නමුත් ඊට විසඳුම වැට් බදු අනවශ්‍ය ලෙස අඩු කිරීම නොවන බව 2019 දී සියයට 15 ක පැවැති අනුපාතය සියයට 8 දක්වා විශාල අඩුකිරීමක් කළද භාණ්ඩ හා සේවා මිළ අඩු නොවීම හා ව්‍යාපාර ආදායම් වර්ධනය වීම මඟින් පෙන්නුම්කර තිබේ. මේ නිසා වැට් සම්බන්ධයෙන් ගොඩනැඟී ඇත්තේ අනවශ්‍ය බියක් බව සැලකිය හැකිය. එසේම මෙහිදී වැඩි වන්නේ පවතින සියයට 15 අගය 18 දක්වා ඒකක 3කින් පමණය.
වැට් බදු අය කිරීම ආරම්බ කළ ප්‍රමුඛ රටක් වන නවසීලන්තය සලකා බැලු විට එම බදු දැලෙන් නිදහස්ව පවතින්නේ ආයිත්තම 4ක පමණක් බව පෙනෙන්ට තිබේ. නවසීලන්තයේ, මූල්‍ය සේවා, ලාභ නොලබන සංවිධාන විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ විකිණීම, ඇතැම් දේපල ගනුදෙනු සහ වටිනා ලෝහ සැපයීම වැනි ක්ෂේත්‍ර හතරක් පමණක් වැට් සහ GST7 බදු ක්‍රම වෙතින් නිදහස් කර ඇත.
නවසීලන්තයේ වැට් බදු අය කිරීමට සාපේක්ෂව OECD රටවල බදු අය කිරීම් සම්බන්ධ සංසන්දනාත්මක සටහන් කිහිපයක්ද මේ සමඟ දැක්වේ.
ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) යනු වෙළඳපල පදනම් කරගත් ආර්ථිකයන් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 37 ක රජයන් තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රමිතීන් වර්ධනය කිරීමට සහයෝගීව කටයුතු කරන සුවිශේෂී සංසදයකි. මේ අනුව එම රටවල් සිය ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් වැට් බදු අය කිරීම් කොතරම්ද යන්න පැහැදිලිවේ.
මේ අනුව මෙවර වැට් බදු සියයට 18 දක්වා ඉහළ නැංවුවත් ලෝකය සමග සංසන්දනයේදී ශ්‍රී ලංකාව ඇත්තේ අඩුවෙන්ම වැට් බදු අය කරන සහ රාජ්‍ය ආදායමක් ලබන රටක් ලෙසය.
කෙසේ නමුත් මෙම නව වැට් බදු අනුපාතයන් වර්ථමානයේ මුහුණ දෙන අභියෝගය ජයගැනීම සඳහා ගත් තාවකාලික පියවරක් බව රජය පවසයි.