එයට අනුව පැවසෙන්නේ එන්නත් මාත්‍රා දෙක ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත්වලින් ලබා දුන් විට වැඩි දෙනකු අතුරු ආබාධවලට ලක් වීමක් දක්නට ලැබුණු බවයි. ඇඟ සීත කිරීම, හිසරදය, මස්පිඬුවල වේදනාව ආදී ලක්‍ෂණ පළ කළ පිරිස මෙහි දී වැඩි වී තිබිණි. ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම මාත්‍රා දෙකම ලබා දුන් විට අතුරු ආබාධවලට ලක්ව තිබුණේ සියයට 10 ක පමණ ප්‍රතිශතයක් පමණි. නමුත් එන්නත් මිශ්‍ර කළ විට එම ප්‍රතිශතය සියයට 34 ක් දක්වා වැඩි වූ බව ඉහත පර්යේෂණ වාර්තාව අනාවරණය කර තිබිණි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මෙම පර්යේෂණය සිදු කර තිබුණේ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් 830 දෙනකු යොදා ගනිමිනි. කෙසේ නමුත් මෙම අතුරු ආබාධ වැඩි කලක් නොපැවතුණු බව ද සඳහන් වේ. මේ අතර පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන මහාචාර්ය මැතිව් ස්නේප්, මාධ්‍ය සමග පවසා තිබුණේ මේ ආකාරයෙන් වැඩි දෙනකු අතුරු ආබාධවලට ලක් වීම ඔවුන් අපේක්‍ෂා නොකළ තත්ත්වයක් බව සහ කුතුහලය දනවන කාරණයක් බවයි.
මේ ආකාරයෙන් එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබා දිය හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමට විශේෂඥයන් යොමු වුණේ කාරණා කිහිපයක් නිසා ය. එසේ එන්නත් මිශ්‍ර කර ලබා දීමෙන් එන්නතේ ප්‍රතිශක්තිය බලපැවැත්වෙන කාල සීමාව දීර්ඝ කළ හැකිද යන්න සොයා බැලීම එක් කාරණයක් විය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් ඇතැම් පුද්ගලයන් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීම ද මීට බලපෑ තවත් හේතුවක් වූයේය. එමෙන්ම යම් එන්නත් වර්ගයක සැපයුමෙහි අඩුවක් සිදු වුවහොත් දෙවැනි මාත්‍රාව සඳහා වෙනත් එන්නත් වර්ගයක් ලබා දිය හැකි ද යන්න පිළිබඳව සොයා බැලීමට ද විශේෂඥයන්ට අවශ්‍ය විය.
-අරුණ