අනවබෝධයෙන් ජීවත් වෙන මිනිස්සු බියට පත් වූ විට ආගම් සිහි කිරීම සාමාන්‍ය දෙයකි. ඒ මිනිස්සු ආගම් සිහි කර මොනව කළත් එය කිසිවකුට ප්‍රශ්නයක් නොවේ. ඒ ඔවුන්ගේ අහිංසක හෝ මෝඩ විශ්වාසයයි. එහෙත් ඊට අනෙක් මිනිසකු ගොදුරු විය යුතුද? එයින් අනෙකෙකු පීඩා විදිය යුතුද?
මේ ගම් නගර සිසාරා කරදරකාරී ඝෝෂාවක් පැතිර යන සේ ලවුඩ්ස්පීකර්ස් දමා, දවසේ පැය 24 පුරාවටම පිරිත්, සුත්‍ර, බණ, වැදි බණ, සිංදු විකාශය කිරීම හේතුවෙන් දැන් ඒ අහල පහළ සිටින්නන්ට රාත්‍රියෙහි නින්දක් නැත. මේ ඇති වන ඝෝෂාව හේතුවෙන් වන කේන්තිය නිසා නින්ද නොයාම සහ ආතතිය ඇති විය හැකිය. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම සඳහා ප්‍රධානතම හේතුව නිදි වරිත වීම සහ ආතතිය බව වෛද්‍ය විද්‍යාත්මක මතයයි.ඒ අනුව මේ අකාරයේ ශබ්ධ දූෂණය කොරෝනා වෛරසය පැතිරයාම වේගවත් කළ හැකිය.
ලංකාවේ පවතින නීතියට අනුව ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් පොලීසියේ සහ අධිකරණයේ අවසර ලබා ගතයුතුය. ඒ උදේ 6 සිට රාත්‍රී 10 දක්වා භාවිතා කරන්නේ නම් අදාළ ප්‍රදේශය අයත් වන පොලිස් ස්ථානයෙන්ද, රාත්‍රී 10 සිට උදේ 6 දක්වා වන අධිකරණයෙන්ද යන ලෙසය. සංගීත සංදර්ශන ආදියට රාත්‍රී 12 දක්වා අවසර හිමි විය. මේ තහංචි පැනවුයේ අනෙකෙකුගේ සතුට තව කෙනෙකුගේ නිදහසට බාධාවක් වීම අවම කිරීමටය. එහෙත් එය නොතකා අද මේවා සිදු වන්නේ කිසිඳු අවසර ගැනීමකින් තොරවය. ඒ චීවරයේ චණ්ඩිකම පාවිච්චි කරමින්ය. සිංහල බෞද්ධකමේ චණ්ඩිකම පාවිච්චි කරමින්ය.
පල්ලියෙහි ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතයට එරෙහිව පසුගිය කාලයේ බෞද්ධයෝ කැට මුගුරු අතට ගත්හ. ඒ එහි ඇති කරදරකාරීත්වය සහ ආගම් ප්‍රචාරය කිරීම නිසාය. දැනුත් වන්නේ එයමය. ආගම පමණක් වෙනස් වී තිබේ. දැන් වුන් කැට මුගුරු අරන් අපේ බණ අහපන් යැයි තර්ජනය කරමින් තිබේ.
මේ පන්සල් නාඩගම් හරහාද පෙන්නුම් කරන්නේ කොරෝනා වසංගතය හමුවේ පාලකයන්ගේ දුර්වලතාවයමය. අඩු තරමින් මේ පන්සල් ලව්ඩ්ස්පීකර් හරහා වෛරසයෙන් ආරක්ෂාවන හැටියක් ගැන දැනුමක් බෙදාහරිනවා නම් එය සමාජ යුතුකමක් ලෙසවත් සැලකිය හැකිව තිබිණි. එහෙත් මේ කරන්නේ ආගමේ අසමත්භාවය වසා ගැනීමේ තක්කඩි වැඩකි. අනාගතයේ දීත් පිංකැට පුරවා ගැනීමේ ප්‍රචාරක වැඩකි.
වෛරසය හමුවේ ආගමට කළ හැකි දෙයක් නැත. යළි යළිත් මිනිසුන් මිත්‍යාවේ ගිල්වා මෝඩයන් කර ආත්මාර්ථය මිනිසුන් තුළ ගොඩනැගුවා හැර ආගම මේ තාක් ඉතිහාසය පුරා කළ වෙන ඉටිගෙඩියක් ද නැත. ආගම පරාර්ථය ගැන ඉගැන්වීම කළා නම්, මේ ලව්ඩ්ස්පීකර් ශබ්ද පූජා පවත්වන්නේ නැත.