එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණ අපේක්ෂකය පිළිබඳ තීන්දුව ගැනීමේ බලයක් පක්ෂ නායකයා වෙත ලැබී තිබේ. ඒ අනුව පක්ෂ නායකයා තමන්ව හෝ නායකයා විසින් නම් කරනු ලබන තැනැත්තාට එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමිවේ. ඉන් පසුව එය පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් ජාතික විධායක සභාවේ අනුමැතිය සමඟ පක්ෂයේ තීන්දුව බවට පත් වේ.
කෙසේ නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එජාපය තුල වූ උග්‍ර මතබේදය මින් නිමාවට පත්වනු ද යන්න සැක සහිතය. නියෝජය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් දැඩි සටනක යෙදුනු අතර ඊයේ ඒ වෙනුවෙන් කුරුණෑගල දැවැන්ත රැලියක්ද සංවිධානය කෙරුණි. එහෙත් ඔහුගෙ බලපෑම එජාප නායකයා විසින් නොසලකා හැර තිබේ. රනිල්ගේ තීන්දුව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය කවර තීන්දුවක් ගන්නේද යන්න ගැන තවමත් අනාවරණය නොවන නමුත් එම පාර්ශ්වය මෙම තීන්දුව නිසා බලවත් කම්පනයකට පත්වනු ඇති බවට නම් සැකයක් නැත.
කෙසේ වෙතත් එජාප නායකයා අද පැවැති රැස්වීමේදී අවධාරණය කර ඇත්තේ තමාට නිසැක ලෙසම ජය ගත හැකි බවය. ඔහු අපේක්ෂා කරන ලෙස මේවන විට එජාප සන්ධානයක් වෙනුවෙන් එක් රැස්වී සිටින සියලු පක්ෂවල සහය ඔහුට හිමිවනු ඇත. වඩාත් තීරණාත්මක වන උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් ජනතාවගේත් කඳුරට සහ බස්නාහිර සුලු ජාතිකයන්ගේ ඡන්දත් ඔහුට නියත ලෙසම ලැබෙනු ඇත. සිංහල බෞද්ධ ඡන්ද වලින් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් කොහොමත් එජාපයට හිමි වන නිසා පළමු වටයෙන්ම සිය ජයග්‍රහණය ලකුණු කළ හැකි බව ඔහුගේ නිගමනය වී තිබේ.
1999 වසරේදී පළමු වතාවට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක (51.1%) හමුවේ දරුණු පරාජයකට රනිල් (42.7%)පත්විය. පසුව 2005 මහින්ද රාජපක්ෂ (50.2%) හමුවේ තවත් පරාජයකට රනිල් (48.4%) පත් විය. අනතුරුව 2010 සහ 2015 වසර වල ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයකුට සහය දැක්වීමට රනිල් කටයුතු කළේය. 2015 දී ලත් ජයග්‍රහණය අනුව මෙවර එජාපයට ඊට වාසිදායක වාතාවරණයක් තිබීම හේතුවෙන් මෙවර රනිල්ට ඉදිරිපත්වී ජය ගත හැකි බව එම පාර්ශ්වයේ මතය වී තිබේ.