කඩාකප්පල්කාරයන්ට රට වට්ටන්න ඉඩ තිබ්බෙ නෑ. අභියෝග ජය ගත්තා - අගමැති

Published in පුවත්
Monday, 15 July 2019 23:58

ඇතිවන ඕනෑම අභියෝගයකට තමනුත් ආණ්ඩුවත් මුහුණදීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

‍ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේදී 2019.07.14 දින පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අමතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්.

මේ මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බවත්, පාස්කු ප්‍රහාරයෙන් සිදු වුණු පීඩාවන් සමනය කර රට යළි යථා තත්වයට පත් කරලීම උදෙසා සියළු කඩිනම් පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඩපණ වූ සංචාරක ව්‍යාපාරය දැනි යළි ඉහළට එසැවෙමින් ඇති බවද පෙන්වා දුන්නේ ය.

ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ වික්‍රමසිංහ මහතා විපක්‍ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී පාර්ලීමේන්තුවේ ඝණපූර්ණය තබා ගැනීමට පවා විපක්‍ෂයට නොහැකි වූ බව ද පෙන්වාදුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල, නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රේක්ෂකාගාරය ද විවෘත කෙරිණි.

ත්‍රීකුණාමලය නගර සභ ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සවය එක්වෙමි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අද දින ත්‍රිකුණාමල ප්‍රදේශයට පැමිණ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයට සහභාගිවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මේ වේදිකාව මත ශ්‍රී ලාංකීය අනන්‍යතාවය පෙන්නුම් කරමින් සංගීත සංදර්ශනය ඉදිරිපත් කළ සියලූ දෙනාටම ප්‍රශංසා කරන්න කැමතියි.

මෙම අවස්ථාවට සහභාගි නොවූනත්, පාර්ලිමේන්තුව තුලත්, මෙම දිස්ත්‍රික්කයටත් විශාල සේවයක් ඉටුකරන්න ආර්. සම්බන්ධන් මහතා දැක්වූ සහයෝගය නිසා අද මෙම ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහන සාර්ථක කරගැනීම හැකියාව ලැබුණා. 1977 වර්ෂයේ එතුමාටත් මටත් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකි වුණා. අද මෙම ස්ථානයේ එතුමා නොසිටියත් මට එතුමා දැනුම් දුන්නේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකරන ලෙසයි.

සුභානාජොරොන් සිංගප්පූරු සමාගමක් ලවා අප සකස් කළ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමේ සැලැස්ම සකස් කර මේ වන විට අපට ලබාදීලා තියෙනවා. ඒ අනුව ඊළඟ අපේ ආණ්ඩුව යටතේ එය ක්‍රියාත්මක කිරීමට අප පියවර ගන්නා බව කිව යුතුයි.

අද මෙම උත්සවය සංවිධානය කළේ බලපත්‍රයක් කඩදාසියක් වෙනුවට ඔබට නිවසක් සෑදීමට, වගා කිරීමට. ව්‍යාපාරික ආයතනයක් ඉදිකිරීමට හැකි වෙන පරිදි සහතික වන ඔප්පුවක් ලබාදීමටයි. මින් පසුව ඔබට සින්නක්කර ඔප්පු ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට හැකිවුණේ ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ කැපවීම නිසායි. එදා ඉඩම් අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාවේ එතුමාට මම උපදෙස් දුන්නා ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කරන්නැයි කියලා. ඒ අනුව එතුමා රට වටේම මෙම වැඩසටහන ඉතා උනන්දුවෙන් ක්‍රියාවට නංවලා තිබෙනවා. කොළයක් වෙනුවට දැන් වටිනාකමක් සහිත ඔප්පුවක් සියලූ දෙනාටම හිමිවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාට ස්තුතිවන්න විය යුතුයි.

එතුමා පාර්ලිමේන්තුව තුලත් විශාල වැඩ කොටසක් සිදු කරනවා. පසුගිය දින කිහිපය තුල පාර්ලිමේන්තුව තුල හිදිමින් අපට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජය කිරීමට විශාල දායකත්වයක් ලබාදීම විශේෂයෙන් මතක් කළ යුතුයි. විපක්ෂය විසින් ගෙන ආ එම විශ්වාසභංගය වැඩි ඡන්ද 27 කින් පමණ පරාජය කිරීමට අපට හැකිවුණා. විපක්ෂයට එවැන්නක් වත් සංවිධානය කිරීමට නොහැකි බව ඒ තුලින්ම ඔප්පු වෙනවා.

විශ්වාසභංගය විවාදයට ගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණයවත් තබා ගැනීමට එය ඉදිරිපත් කළ පක්ෂයට හැකිවුණේ නැහැ. එම යෝජනාවට ඝණ පූර්ණයවත් නැත්නම් රටේ විපක්ෂයේ තත්වය මොකක්ද කියලා මම අළුතින් කියන්න අවශ්‍ය නැහැ.

ඇතිවන ඕනෑම අභියෝගයකට මමත්, අපේ ආණ්ඩුවත් මුහුණදීමට සූදානම්. පාස්කු ප්‍රහාරයෙන් පසුව කිසිදු උත්සවයක් රටේ සංවිධානය කරන්න බැරිවෙයි කියලා බොහෝ දෙනා එදා හිතුවා. නමුත් අපි රටේ වැඩ කටයුතු අඩපන කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා රට මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්කර ගැනීමට අපට හැකිවී තිබෙනවා.

රටේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව සිදුකරගෙන යනකොට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ අපට ආණ්ඩුව අහිමි වුණා. ඒ සමඟ ආර්ථිකය පසුබෑමකට ලක්වුණා. නැවත ආණ්ඩුව ලබාගෙන රට ඉදිරියට ගෙන යන විට පාස්කු බෝම්බ ප්‍රහාරයට මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවා කිසිවක් කරගන්න බැරිව ජනතාව බියෙන් සිටිවි කියලා. ඊයේ දිනයේ ගයන්ත ඇමතිතුමාත් මමත් කතරගම ඇසල පෙරහැර උත්සවයට සහභාගි වුණා. එම පෙරහැර උත්සවයට ලක්ෂ හතරකට වැඩි ජනකායක් සහභාගි වූ බව පොලිසිය අපිට සඳහන් කළා. එම අවස්ථාවට ජනතාව ප්‍රීතියෙන් එක්ව සිටියා. මහනුවර ඇසළ පෙරහැර නැරඹිමට මීටත් වඩා විශාල පිරිසක් එක්වේයැයි මම හිතනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු බොහෝ දෙනා මෙරට ජනතාව බිය ගැන්වීමට උත්සාහ ගත්තා. රජයක් වශයෙන් අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අපට හැකිවූ නිසා ජනතාවට ඉදිරියට පැමිණීමට හැකිවුණා. ඒ නිසා අපට කතරගම පෙරහැර උත්සවයට විශාල ජනකායක් සහභාගි කර ගැනීමට හැකිවුණා.

රටේ සෑම ක්ෂේත්‍රයකම වැඩ කටයුතු දැන් අපි සාර්ථකව ඉදිරියට කරමින් යනවා. පාස්කු ප්‍රහාරයත් සමග බොහෝ දෙනා ජනතාව බියට පත් කළා. වෙසක් පොහොයට පන්සල්වලට යන්න එපා කිව්වා. නමුත් ජනතාව වෙසක් පොහොයට පන්සල්වල ආගමික වතාවත්වලට සහභාගි වුණා. පාසල්වලට දරුවන් එවන්න එපා, පාසල්වල බෝම්බ තිබෙනවා වැනි අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරිමට ඇතැමුන් උත්සාහ ගත්තා. එදා පාසල්වලට දරුවන් ආවේ නැහැ. නමුත් අප ගොඩනැගූ ඒ විශ්වාසය නිසා ගැටළුවකින් තොරව පාසල් සියල්ලටම සාමාන්‍ය පරිදි දරුවන් පැමිණියා.

අද වන විට රට යථා තත්වයට පත්ව තිබෙනවා. සමාජය තුල බිය නැති වී විශ්වාසය ගොඩනැගී තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට අප බිය වන්නේ නැහැ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩකටයුතු මෙන්ම උසාවිය තුල නඩු ගොනු කර තිබෙනවා. එම ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට අපේ කරුණු ඉදිරිපත් කිරීමට අප බිය වන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරයෙන් පසුවත් අපේ රජයේ වැඩකටයුතු සියල්ල නැවතත් ඉදිරියට ගෙන යාම ආරම්භ කළා. ඒ පිළිබඳව ඔබ සියලූ දෙනාම දන්නවා. පවුල් ලක්ෂ 06කට අලූතින් සමෘද්ධි සහනාධාර ලබාදීම සිදුකරගෙන යනවා. එයින් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයකට මේ වන විටත් සමෘද්ධි සහනාධාර ලබාදී තිබෙනවා. ඉතිරි ලක්ෂ 2ක පිරිසටත් සමෘද්ධි සහනාධාර ලබාදීමට ප්‍රාදේශීය මට්ටමින් පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. ඉඩම් ඔප්පු ලබාදීම, ගුරුපත්වීම් ලබාදීම මේ වනවිට සිදුකර තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එයින් නොනැවතී අනෙකුත් ආගමික නායකයින්ට ඉදිරියේදී එවැනි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. මෙම සියලූ වැඩකටයුතු සිදුකිරීමට හැකිවුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුවයි.

උතුරු නැගෙනහිර පත්වීම් ලබාදීම ඇතුළු වැඩකටයුතු ගණනාවක් සිදු කිරීම සඳහා මීට පෙර දිනයක මම ත්‍රිකුණාමලයට පැමිණියා. එහිදී නිවාස ව්‍යාපෘති, මහමාර්ග අප විවෘත කළා. ඒ වගේම වන්දි ගෙවීම, සමෘද්ධි සහනාධාර ලබාදීම සිදු කළා. අද දිනයේ ඔප්පු ලබාදීම සිදුකරනවා. මීට පෙර ආණ්ඩුවලට නොහැකි වූ වේගයකින් රටේ සංවර්ධනය ඇති කිරීම ඇතුළු අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවුණා. මෙම සියලූ වැඩසටහන්වලට අමතරව අලූතින් තවත් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මෙම උත්සවයෙන් පසුව නව පාලමකට මුල්ගල තබනවා. ඒවගේම නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමට සහභාගි විය යුතුව තිබෙනවා.

රටේ සංවර්ධනය ඇතුළු අනෙක් වැඩපිළිවෙල කඩා වැටීමට මම ඉඩ තිබ්බේ නැහැ. සමාජය බිය වැද්දීමට මම ඉඩ තිබ්බේ නැහැ. ආණ්ඩුවේ වැඩ කටයුතු ඉතා වේගයෙන් සිදුවනවා. පෙරටත් වඩා වැඩි වේගයකින් ගම්පෙරළිය, ළඟම පාසල හොඳම පාසල, නිවාස ව්‍යාපෘති, රන් මාවත් වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ඒ සියල්ලේ ප්‍රගතිය පිළිබඳව මම සොයා බැලූවා. මෙම සියලූ සංවර්ධන වැඩසටහන් ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයට පෙර අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් අදාල ආයතනවලට ලබාදී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය නිසා මෙරට ආර්ථිකය කඩා වැටේ යැයි ඇතැමුන් සඳහන් කළා. ඇත්ත වශයෙන්ම ප්‍රහාරය නිසා රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය, බදු ආදායම, ආනයන අඩු වුනා. ප්‍රහාරයෙන් පසුව සිදුවූ නොසන්සුන්කාරී තත්වයන් නිසා ව්‍යාපාර ආයතනවලට හානි සිදුවුනා. ජනතාව බිය වැද්දුවා. උපවාසවලින් තවත් බය කරන්න හැදුවා. එවැනි ප්‍රශ්න ඇතිවුණා. මේ සියලූ සිද්ධීන් තුලින් රජයේ ආදායම පහතට වැටුණා. රජයේ ආදායම් ඉහලට නංවා ගනිමින් රට ඉදිරියට ගෙන එමින් තිබෙනවා. පසුගිය මාස තුනේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. අප ආර්ථික වර්ධන වේගය ඉහල නංවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කර තිබෙනවා.

මෙම මාසය අවසන් වීමට පෙර බැංකු පොලිය 12% සිට 10% දක්වා අඩු කරනවා. මූලික ණය අනුපාතය 10% දක්වා අඩු වෙනවා. අනෙක් සියල්ල 12% ඉක්මවන්නේ නැහැ. ඉදිරියේදී මූලික ණය අනුපාතය 8% දක්වා තවත් පහත හෙළන ලෙස මම උපදෙස් ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරකයින්ගේ පැමිණීම අඩු වුණා. ඒ තුලින් සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන්ගේ ආදායම් අහිමි වුණා. ඔවුන්ට අවශ්‍ය සහන හා ණය ලබාදීමට අපි කඩිනමින් පියවර ගත්තා. කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරයේ නිරත පිරිසට සහන ලබාදිය යුතුව තිබෙනවා. ඇතැම් ව්‍යාපාරිකයන්ට ණය නොලැබුණ බව සඳහන් කර තිබූ නිසා ඒ පිළිබඳව වෙනම කමිටුවකින් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක් ඇතිවුවත් ඉදිරියේදී එම ක්ෂේත්‍රයේ ඇතිවන දියුණුව පිළිබදව මූල්‍ය ආයතන දැනුවත් කළා. එහිදී සංචාරක ව්‍යාපාරයට යොදවා ඇති කල්බදු සහිත රථ වාහන අත්පත් කර නොගන්නා ලෙස මම ඉල්ලීමක් කළා.

එමෙන්ම සතියේ ගුවන් යානා ඉන්ධන මිල, ගුවන් තොටුපළ ගාස්තු අඩු කිරීමට කටයුතු කළා. ඉදිරියේ ගමන් බලපත්‍ර ගාස්තු 10% ක් 15% ක් දක්වා පහළ යනු ඇති. හෝටල් කාමර ගාස්තු අඩුකර තිබෙනවා. මේ පියවර නිසා ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍ර විශාල දියුණුවක් ලබනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මාසයේ සංචාරකයින් 166,000 ක් පැමිණ තිබුණා. නමුත් මැයි මාසයේ එම ප්‍රමාණය 37,000 දක්වා පහත වැටුණා. නමුත් රජය සිදුකළ කඩිනම් වැඩපිළිවෙළ නිසා එම පහත වැටුණු සංචාරක පැමිණීම ජුනි මාසය තුළ 63,000 ක් දක්වා වැඩි වුණා. සංචාරක මණ්ඩලයේ සභාපති තුමා මට සඳහන් කළා ජුලි මාසය තුළ සංචාරකයින් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා කියලා. ලබන අගෝස්තු මාසය තුළ 125,000 ක් දක්වාත් වසර අවසන් වන විට ලක්‍ෂ 19 සිට 20 දක්වාත් සංචාරකයන්ගේ පැමිණීම අපේක්‍ෂා කර තිබෙන බව සභාපතිතුමා ප්‍රකාශ කළා.
පසුගිය වසරේ සංචාරකයින් ලක්‍ෂ 23 ක් මෙරටට පැමිණ තිබුණා. ඒ අනුව පාස්කු ප්‍රහාරය නිසා පසුගිය වසරට සාපේක්‍ෂව ලක්‍ෂ 4 ක පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවීමක් සිදු වුණා.

බාලී බෝම්බ ප්‍රහාරයෙන් පසුව එරට සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට වසර දෙකක් පමණ ගත වුණා. නමුත් මෙරට සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කිරීමට අවශ්‍ය සියලූ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අදාළ අංශවලට මම නියෝග ලබාදුන්නා. මේ අනුව අද එහි ප්‍රගතියක් ඇතිවෙමින් තිබෙන බව කිව යුතුයි.

2019 ජනවාරි මස තුළ "ලෝන්ලී පැලැනට්" සඟරාව මඟින් ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය වශයෙන් නම් කළා. බොහෝ දෙනා බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ස්ථානය මෙරටට අහිමිවෙයි කියා සිතුවා. නමුත් සිදු කළ කඩිනම් ක්‍රියාමාර්ගය නිසා ජූනි මාසය තුළ නැවතත් ශ්‍රී ලංකාව පළමුතැනට පත් වුණා. ඒ වගේම තවත් සංචාරක සඟරාවක් මගින් ලංකාව පළමුතැනට පත් කර තිබුණා. මීට පෙර එක් සඟරාවක් මගින් පමණක් පළමු තැනට නම්කර තිබුණු ශ්‍රී ලංකාව ප්‍රහාරයෙන් පසුව කෙටිකාලයක් තුළ සඟරා දෙකක් මගින් සංචාරයට සුදුසු ස්ථාන අතර පළමු තැනට නම් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය කඩාවැටීමට මම ඉඩ ලබාදුන්නේ නැහැ. රජයේ සියලූ අමාත්‍යවරු කැපවීමෙන් ප්‍රශ්නවලට මුහුණදෙමින් රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කළා.

ප්‍රහාරයෙන් මාස දෙකක් ගතවීමටත් පෙර ප්‍රහාරයට සම්බන්ධ වූ සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර මේ ආකාරයට කිසිදු පරීක්‍ෂණයක් සිදුවී තිබුණේ නැහැ. රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම අපට විශාල ගැටළුවක් වුණා. ඔවුන් රට තුළ සෑම ස්ථානයකම අයි.එස්. ත්‍රස්ත ක්‍රියා සිදුවන බවත්, සෑම ස්ථානයකම බෝම්බ සවිකර තිබෙන බවත් සඳහන් කරමින් ජනතාව බියවැද්දීමට ඇතැමුන් උත්සාහ කළා. දරුවන් පාසල්වලට පැමිණීම වැළැක්වීම සඳහා ජනතාව තුළ බිය ඇති කළා. ඒ සියලූ බොරු ප්‍රචාර අසාර්ථක වූ නිසා ඔවුන් ජාතිවාදී කෝලහාල ඇති කිරීමට ඉන්පසුව උත්සාහ ගත්තා. නමුත් ඒ කිසිවකට රටේ ජනතාව ඉඩ දුන්නේ නැහැ. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු විවාදය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන් මදිවන තත්ත්වයට ඔවුන් බංකොළොත් වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ගෙන යෑමට අවශ්‍ය ඝණපූර්ණය වන මන්ත්‍රීවරුන් 20 ක් පාර්ලිමේන්තුවේ රදවා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.

අපි අපේ රට කඩාවැටීමට ඉඩ තියන්නේ නැහැ. ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමට අපි සූදානමින් සිටිනවා. රට ඉදිරියට ගෙන යෑමට අප සූදානම්. ගයන්ත කරුණාතිලක, දයා ගමගේ වැනි දක්‍ෂ කැපවීමෙන් කටයුතු කරන මැති ඇමතිවරු රැසක් අප සතුව සිටිනවා. නිවාස, නගර, පාසල්, ගම්මාන ඉදිකරමින් අනෙකුත් පහසුකම් ජනතාවට ලබාදෙමින් කටයුතු කරනවා.

අප ජනතාවට පොරොන්දු වූ පරිදි රට දියුණු කිරීම වෙනුවෙන් 2015 වසරේ සිට අපට එල්ල වූ අභියෝග සියල්ලටම සාර්ථකව මුහුණ දුන්නා. එක් අභියෝගයකට මුහුණදුන් විට තවත් අභියෝග වැඩි වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ සමාජ තත්ත්වය සාමාන්‍ය අතට පත් කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමත් සිදු කර තිබෙනවා. ඉදිරියේදී ධනවත් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ වැඩපිළිවෙළ සකස් කර තිබෙන බව සඳහන් කිරීමට කැමැතියි. අප සියලූදෙනාම රටේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කරමු.

මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලාහ් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, එම්.එස්. තෞෆීක්, කේ. ධුරෙයි රත්නසිංගම්, සන්දිත් සමරසිංහ, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us