මේ නිසාම අප රටේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් ‛ගම් බල්ලන්’, ‛පර බල්ලන්’ හෝ ‛වල් බල්ලන්’ සේ හැඳින්වීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. ඉංග්‍රීසි බසින් මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛මන්ග්‍රල්’ (mongrel - දෙමුහුම්, පර, සංකර) නමිනි. සුනඛ වර්ග අභිජනනය කිරීමේදී විවිධ වර්ගයන් මිශ්‍ර කිරීම සිදු කෙරේ. මෙවැනි මිශ්‍ර කිරීම් සිදුකරනු ලබන්නේ යම් යම් පර්යේෂණ කිරීමෙන් අනතුරුව එවැන්නක් සිදුකිරීමෙන් ගුණාත්මක සුනඛ වර්ගයක් බිහි වේ යැයි ඔප්පු වීමෙන් පමණි. කෙසේ නමුත් එවැනි පර්යේෂණයක් සිදු නොවී, සැලසුම් කිරීමකින් තොරව සුනඛ වර්ග දෙකක් අතර ඇතිවන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වන සුනඛයන් ‛මන්ග්‍රල්’ නමින් හඳුන්වනු ලබයි. එවැනි සුනඛයන් පැහැදිලි පරම්පරාවකට හිමිකම් පාන්නේ නැත. මෙවැනි සුනඛයන් ‛අයාලේ’ හෝ ‛දඩාවතේ යන බල්ලන්’ (Stray Dogs) ලෙසින් ද හඳුන්වනු ලබයි.
සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් මොවුන් ‛වල් බල්ලන්’ (wild dogs) ලෙසින් ද හඳුන්වනු ලැබුවත්, සැබැවින්ම පැවසිය හැක්කේ අප රටේ ‛වල් බල්ලන්’ දක්නට නොලැබෙන බවය. නමුත් ලෝකයේ බොහෝ රටවල වල් බල්ලෝ දක්නට ලැබෙති. ඇමරිකාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙවැනි වල් බල්ලන් බොහෝ සංඛ්‍යාවක් දක්නට ලැබේ. මොවුන් එසේ හඳුන්වනු ලබන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත් වන බැවිනි. නමුත් අප රටේ වල් බල්ලන් නැතැයි පවසන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත්වන සුනඛ විශේෂ දක්නට නොලැබෙන බැවිනි. එමෙන්ම ඉහත ‛මන්ග්‍රල්’ යනුවෙන් හඳුන්වනු ලබන සුනඛයන් ද වල් බල්ලන්ගේ ගොඩට දැමීමට හැකියාවක් නැත. මන්ද ඔවුන්ට පැහැදිලි පරම්පරාවක් නැතත්, ඔවුන් බෝ වී ඇත්තේ ‛කානිස් ලූපස් ඩොමෙස්ටිකස්’ (canis lupus domesticus) යන සුනඛ වර්ග අතර ඇතිවන ප්‍රජනන ක්‍රියාවලියක් මගින් පමණක් වීම නිසාය.
එමෙන්ම අප සාමාන්‍යයෙන් දකින සුනඛයන් ‛අයාලේ’ හෝ ‛දඩාවතේ’ යන බල්ලන් ලෙස හඳුන්වන්නට අප පුරුදුව සිටිය ද එම වචන දෙකේ අර්ථය ගෙන බැලුවහොත්, සැබැවින්ම ඒවා ද මොවුන්ට කිසිසේත් නොගැළපෙන බැව් පෙනේ. මෙම වචන දෙකෙහි අර්ථය ගෙන බැලුවහොත් සඳහන් කළ හැක්කේ ‛කිසිදු වග විභාගයකින් තොරව හිස හැරුණු අතේ ගමන් කිරීමක්’ වැනි අදහසකි. නමුත් අප දකින සුනඛයන්ට එසේ ඇවිදීමේ චර්යාවක් දක්නට නැත. සැබැවින්ම අයිතිකරුවකු නොමැතිව මහ මග ජීවත්වන සුනඛයන් පවා තමන් විසින් නිර්ණය කරගත් වාසභූමිය (Habitat) තුළ ජීවත්වන බව පර්යේෂණවලින් ද පැහැදිලි වී තිබේ. ඔවුන් තමා ජීවත් වන ප්‍රදේශයෙන් (territory) බැහැරට යන්නේ නැත. යම් ආකාරයකින් බැහැරට යන්නට සිදුවුවහොත් එවැනි ප්‍රදේශයකදී ඔවුන් ඉතා යටහත් පහත් ලෙස හැසිරෙන ආකාරයක් දක්නට ලැබේ. ඔවුන් මුත්‍රා කරමින් සිය භූමි සීමාවන් සළකුණු කර ගන්නා ආකාරය නිතරම දක්නට ලැබෙන්නකි.
මේ ආකාරයට දක්නට ලැබෙන සුනඛයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ට පැහැදිලි අයිතිකරුවකු නොමැති වුව ද ජීවත් වන්නේ මිනිසුන් ආශ්‍රිතව වීමය. මිනිසුන් නොමැති ප්‍රදේශයක නිකමට හෝ සුනඛයකු සොයා ගන්නට නැත. මිනිස් ප්‍රජාව සමග ජීවත්වන්නට සියලු විටම උත්සාහ දරණ බැවින් ඔවුන් ‛වල් බල්ලන්’ ලෙස නොව ‛ප්‍රජා සුනඛයන්’ (community dog) වැනි නමකින් හැඳින්වීම වඩා සුදුසුය.
ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන මෙවැනි සාමාන්‍ය සුනඛයන් පිළිබඳ සළකා බැලුවහොත් පැහැදිලිව දැකිය හැකි දෙයක් වන්නේ ඔවුන් හඳුන්වන නම් ගණනාවක්ම පැවතීමය. ඕස්ට්‍රේලියාවේ මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛ඩිංගෝ’ (dingo - Canis lupus dingo) නමිනි. මොවුන්ගේ වර්ග දෙකක් සිටින අතර කැලෑබදව ජීවත්වන්නවුන් ‛වල් ඩිංගෝ’ හෝ ‛වන ඩිංගෝ’ (wild dingo) නමින් හඳුන්වනු ලබයි. අනෙක් වර්ගය මිනිසුන් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙයි. ඇමරිකාවේ මෙවැනි සාමාන්‍ය සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛කැරොලිනා’ (Carolina) නමිනි. කෙසේ නමුත් ඉන්දියාවේ මෙවැනි සුනඛයන් හැඳින්වීම සඳහා යොදන නම මේ සියල්ලටම වඩා උසස් යැයි සිතේ. එයට හේතුව එහි ඔවුන්ව හඳුන්වන්නේ ‛ඉන්දීය දේශීය සුනඛයා’ (Indian native dogs) නමින් වීමය. මොවුන්ට වසර 15,000කටත් වඩා ඉතිහාසයක් පවතින බව පර්යේෂණවලින් හෙලීවී තිබේ.
විකිපීඩියාව පිරික්සා කිරීමේදී ද ‛සිංහල සුනඛයා’ යන්නට සමාන පදයක් හමුවේ. ඒ Sinhala Hound යන්නය. එහි සඳහන් විස්තරයට අනුව නිල්ගල ගුහාවෙන් සහ බෙල්ලන්බැඳි පැලැස්සෙන් සුනඛ අවශේෂ හමුවී ඇති අතර පූර්ව සහ ප්‍රාග් ඓතිහාසික යුගවලට අයත් බැව් සොයා ගෙන තිබේ. අප රටේ ආදීතමයා වන බලංගොඩ මානවයා ද සිය වාසස්ථාන ආශ්‍රිතව සුනඛයන් ඇති දැඩි කොට ඇති බව පෙනෙන්ට තිබේ. මොවුන් ඩිංගෝ සුනඛයන්ට සමාන බැව් ද පැවසේ.
සිංහල සුනඛයා පිළිබඳව මෙසේ කතා බහ කිරීමේදී ඔවුන් පිළිබඳ තබනු ලැබූ පැරණි මෙනම් අපූරු සටහනක් පිළිබඳව ද සඳහන් කළ යුතුය. සෙනරත් පරණ විතානයන් තරමටම පුරා විද්‍යා ක්ෂේත්‍රයට සේවයක් කළ පසුගිය සියවසේ අප රටෙහි සිටි විශිෂ්ඨ විද්වතකු වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සුරීන් විසින් රචිත ‛ත්‍රාස ක්‍රීඩා’ (Some Sinhala combative, field and aquatic sports and games / by P.E. P. Deraniyagala/ National Museums of Ceylon, 1959) නමැති කෘතියේ අප රටේ වෙසෙන සාමාන්‍ය සුනඛයන් හඳුන්වන්නට සුවිශේෂී නමක් දී තිබේ. ඒ ‛සිංහල සුනඛයා’ සහ ‛සිංහල බල්ලා’ යන ඒවාය. ඔහු මේ පිළිබඳව මෙසේ සටහන් කොට තිබේ.
“සිංහල සුනඛයෝ
ලංකාවේ බිතුසිතුවම්වල හා ගල් කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, ඍජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.
දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන 9 වැනි සියවසට අයත් ගල් කණුවකද ඇති රූපයෙන් හකු මහත් සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත්, බිලිබෑවේ තිබෙන දහවන සියවසට අයත් කල්කණුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ. කෙටිවූ විශාල හොම්බක් හා කුඩා කන් පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටිවූ පාද ඇති, මහතට වැඩුන උරහිස ක්‍රමයෙන් උකුල් ඇට අසලදී උස්වේ. තරමක් වකුටු වූ වලිගය, ඇසිරියන් හා වර්තමාන තිබැටන් දඩයම් බල්ලන්ගේ මෙන්ය. මෙම ගල්කණුවේ ඡායාරූපයක් ‛එපිග්‍රුෆියා සිලනිකා’ සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 8 වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18 වන සියවසට අයත් කැලණියේ ඇති ‛මා කණ්හ ජාතකය’ දැක්වෙන බිතු සිතුවමේ ඇති අතර, වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමැදක් ද ඇත. මොවුන් සහ කතරගමින් සහ මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රුෆියා සිලනිකා, 3 කාණ්ඩය, රූප .24 - 27) රැකවල් බල්ලන් හා 13 වන සියවසට අයත් මදුරෙයි කෝරලේ කොට්ටන්ගයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර් වර්යටත් අතර මැදි වර්ගයකි.”
මෙහිදී සිංහල සුනඛයාගේ අනන්‍යතාව තවදුරටත් තහවුරුකිරීමට වෙරදරන දැණියගල සුරීහු තම ලිපියෙන් මෙසේ ද කියති.
“දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන්ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහතය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් වුවත් කොටියාගේ බෙල්ලේ මස් කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය මෙන් මහත්ය. පුල්ලි රහිත එකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.
විදේශ සුනඛයන් ගැන මෙදෙස වැසියෝ නොදතුවා නොවේ. රාජසිංහ රජු ඔවුන් තෝරාගැනීමට දැන සිටි බව පෙනේ. එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655 ජුනි 10 දා වෑන් ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද ලිපියේ “මැනිලා, චීන, ජපන් හෝ තායිවාන් ආදී වරිග සුනඛයන් තබාගැනීමට ලොල්වූ රාජසිංහ රජුට සුනඛයින් කීපදෙනක් සොයාදීමට හැකිනම් අපි සතුටුවන්නෙමු”යි සඳහන් කිරීමෙන් පෙනේ. (පීරිස් 1829, පිටුව 180). යුරෝපීය බල්ලන් රජුගේ විවේචනයට පත්වුණු බව අන් ලිපිවලින් හෙළිවේ. එක් තැනෙක මෙසේ සඳහන් වේ. (පීරිස් 1914, කාණ්ඩය 2, පිට 358) “මේ කරුණුවලදී රජ හාස්‍යජනක කිරීම ඕලන්දක්කාරයන්ගේ ආශාව විය. ඔවුහු අශ්වයන් පමණක් නොව, රජතවන් සෑද හා කටකලියාද, සුනඛයන්ද තෑගි කළහ. බල්ලන් ගැන වරක් රජතුමා “මේ බල්ලන්ට රජ මැඳුර දොරටු රැකීමට හා මිනිසුන් එලවා හැරීමට බැරිවා පමණක් නොව, ඔවුන්ගේ විලාශය හා පෙනීම ද අසතුටුදායක”යී කීය. දඩයම් පිණිස තෑගි කළ තවත් බල්ලෙකු දෙස බලා උගේ පුල්ලි පිහිටි අන්දමින් දඩයමට වැඩි ප්‍රයෝජනයක් නැත” යි පැවසීය.
පිණි නිය තිබේනම් ඒ විඩාවට පත් නොවීමේ ලකුණකි. ශරීරයේ යම් යම් සලකුණු හා පුල්ලි නැතිනම් ඒ නියම දඩයම් බලු වර්ගයේ සතෙක් යැයි නොසළකත්.”
තම ලේඛනය මගින් දැරණියගල සූරීන් ඊළඟට පවසන්නේ කුමක්ද?
“ඕලන්දක්කාරයෝ සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ, එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙනගොස් රික්ස් ඩොලර් 400ක් සපයා ගත් බව පෙනේ.
(පර්සිසවල් 1803, පිටුව 262)”
අප ජාතිය හඳුන්වන නම ද සිංහල බැවින් යමෙකු තුළ එකවර මේ පිළිබඳ යම් විරෝධයක් වුව ඇති විය හැකිය. නමුත්, ශිලා ලේඛණ ඇතුළුව සිංහල ජාතිය පිළිබඳ සඳහන් වන බොහෝ ස්ථානවල මෙම සුනඛයන් පිළිබඳ සඳහන්ව ඇති බැවින් දැරණියගල සූරීන් ඔවුන් මේ නමින් හඳුන්වන්නට තීරණය කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේත් නොමැති නම් අතීතයේ අප රට ‛සිංහලේ’ නමින් හඳුන්වනු ලැබූ නිසා සුනඛයන්ට ද එම නම භාවිත කරන්නට ඇත.
- නිරංජන් චාමින්ද කරුණාතිලක
උපුටා ගැනීම ෆේස්බුක්
Sinhala Hound Dog ගැන ලියැවුණු තවත් සටහනක් මෙතැනින්