කිසිදා නොසැලෙන මහා ගිරි ශිඛරයක් ලෙස ඔවුන් ම සිතා සිටි පසුගිය රාජපක්ෂ පාලනය එකී නොසැලෙනා ඉමේ සිට ඉතා කෙටි කලක් ඇතුළත මහ පොළවට ම සමතලා වී යාමට මූලික හේතුවක් වූයේ "රාජපක්ෂ සහෝදර සමාගම" ලෙස කුප්‍රකට වූ ඔවුන්ගේ පවුල් පාලනයයි. රාජපක්ෂ සහෝදරයින් සහ පුතුන් දේශපාලකයින් ලෙස ප්‍රබල භූමිකා වලටද පවුලේ වෙනත් ඥාතීන් ආයතන ප්‍රධානීන් ඇතුළු වෙනත් ඉහළ තනතුරු වලටද පත් කෙරෙමින් ක්‍රියාත්මක වූ මේ පවුල් ජාලය ජනතාවට තිත්ත වී තිබිණි.
එවන් යුගයක අත්දැකීම් ඇමති වරයකු වශයෙන් ම විඳ පුරුදු මෙන් ම එම පාලනයට එරෙහිව ලැබුණු ජනතා තීන්දුව ද අත්දැක පුරුදු නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද සිය සහෝදරයෙක් වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරයට පත් කරමින් ඥාතී සංග්‍රහය ඇරඹුවේ ය. දැන් ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන සහ දියණීය චතුරිකා සිරිසේනද, බෑනනුවන් සහ මළනුවන් ඩඩ්ලි සිරිසේනද ජනාධිපතිවරයාට හිමි වරප්‍රසාද භාවිතා කරන බව පෙනේ.
මෙම ප්‍රවණතාවය අර කී අපමණ අගයට කෙසේ පෑහේදැයි ඔහු දැන් හෝ කල්පනා කළ යුතුව ඇත. එදා රාජපක්ෂ පවුල් පාලනයෙහි සුදු හුණු ගාමින් සුජාත කරන්න වන්දිභට්ටයින් ඔවුන් සමීපයෙහි ඕනෑ තරම් සිටි අතර මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවට දහම් සිරිසේන සහභාගී කරවීම සුජාත කිරීම වෙනුවෙන් වෙහෙසුණු පිරිස දෙස බලනා කල ජනාධිපතිවරයාට ඔවුන්ගෙන් වන අනතුර දැකිය යුතුය.
රටෙහි වහා විසඳිය යුතු දැවෙනා ප්‍රශ්න අනන්තව තිබියදී මෛත්‍රීපාල මහතා දැන් අතගසා ඇත්තේ බෞද්ධ විහාරස්ථාන 12,000ක් පිළිසකර කරමින් ඒවාට ආධාර කිරීමේ වැඩපිළිවෙලකට ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය කාලය පුරාවට පන්සල් ගාණේ වට වන්දනාවේ ගියේය.
විහාරස්ථාන වලට ආධාර කිරීම වරදක් නොවේ. නමුත් රටේ බොහෝ විහාරස්ථාන ඒවාට අදාල ගම්මාන වෙතින් අදාල ගම්මානයේ හැකියාව පරිද්දෙන් නඩත්තු වෙමින් පවතී. එසේ සිය ගමේ පන්සල නඩත්තු කරගැනීමේ හැකියාවෙන් පවා තොර මට්ටමේ දුගී ගම්මාන සඳහා නම් ආධාර කිරීම පිළිගත හැකිය. නමුත් එවන් ගම්මාන හෝ ප්‍රදේශ 12,000ක් ඇතැයි පිළිගැනීම නම් කළ නොහැක්කකි. එසේම රට පවතින්නේ එවන් ගම්මාන 12,000ක් සමඟින් නම් ප්‍රමුඛතා ලැයිස්තුවකට ගත යුත්තේ ආර්ථික දියුණුවක් මුල් කරගත් ව්‍යාපෘතියක් මිස කොහෙත් ම පන්සල් පිළිසකර කිරීම නම් නොවේ.
මෙයද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය බල ව්‍යාපෘතියෙහිම නමින් පමණක් වෙනස් වන රූපිකයක් මිස ඔහුට අභියෝගයක් එල්ල කිරීමක් ලෙස හෝ හැඳින්විය නොහැක. ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය සඳහා සිංහල බෞද්ධ ඡන්ද අත්‍යාවශ්‍යය.
එහෙත් හුදෙක් සිංහල බෞද්ධ ඡන්ද පදනම මත පමණක් ම යැපෙන්නට යෑමේ ආදීනව රටට මනාව පැහැදිලි කෙරුණේ ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණය මය. එහිදී තීරණාත්මක වූයේ සුළු ජාතීන්ගේ ඡන්ද ය. ආගම පෞද්ගලික දෙයක් සේ සලකා ඊට වන රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමකින් තැබීම වඩා වැදගත් වන යුගයක මෛත්‍රීපාල ජනාධිපතිවරයා ද ලාභ දේශපාලන උපක්‍රමයක් ලෙස පන්සල් වන්දනාව ඇරඹුවහොත් එහි දිගුකාලීන ප්‍රතිඵල ඔහුට පමණක් නොව තවත් බොහෝ අයට විඳින්නට වනු ඇත.
පසුගිය කාලසීමාව තුළ ජනපති මෛත්‍රීපාල මහතාගේ කතාවේ බොහෝ විට යම් යම් සිංහල ස්වෝත්තමවාදී කියමන් ගෑවී තිබෙණුද දක්නට ලැබිණි. යුධ අපරාධ සම්බන්ධයෙන් සෙබළුන්ට දඬුවම් නොදෙන බවට කළ ප්‍රකාශය හුදෙක් සිංහල ජාතිකවාදී කඳවුර පිනවීම උදෙසා පමණක් ම කෙරුණු සාහසික ප්‍රකාශයකි. යුධ අපරාධ සම්බන්ධයෙන් කෙරෙණා සාධාරණ පරීක්ෂණයකින් අනතුරුව සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන චෝදනාවන්ට අදාල විත්තිකරුවන් වෙනුවෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට වරදකරුවන් "රණවිරුවන්" ලෙස බෞතීස්ම කරමින් ඔවුන් බේරා හැරීමට තැත් දැරීම මිනිස් කමටම නිගාවකි. අපමණ අගය ලැබෙන්නේ අනාගත පරපුරට නීතිය ක්‍රියාත්මක කෙරෙණා ආදර්ශයන් ඉතිරි කිරීමෙන් මිස නීතිය වළ පල්ලට යවා ජාතිවාදීන් පිනවනා ආදර්ශයන් ඉතිරි කිරීමෙන් නොවේ.
එසේම දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නයද තවමත් එක් තැන පල්වෙනා ගමන් මය. යුද්ධය අවසන් වී වසර හයකටත් අධික කාලයක් ගත වී ඇතත් තවමත් චෝදනා ගොනු නොකොට අත් අඩංගුවේ තබාගෙන සිටිනා සිරකරුවන් විසින් තමන් නිදහස් කරන ලෙසට කෙරුණු ඉල්ලීම මෙන් ම ඔවුන්ගේ උපවාසයට පවා එදාවේල පිළිතුරු මිස තීරණාත්මක යමක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලැබුණේ නැත.
පළමු වතාවට දකුණේ ජනාධිපතිවරයෙක් වෙනුවෙන් විස්වාසය තබමින් උතුරේ ජනයා ලබාදුන් ඡන්දයට අදාල ගෞරවය රැකීම මෛත්‍රීපාල මහතාගේ පුද්ගලික ද වගකීමකි. අදාල සිරකරුවන්ට එරෙහිව බරපතළ චෝදනා නොමැති නම් මෙතෙක් ඔවුන් සිරගතව සිටි කාලය සලකා බලා ඔවුන්ව නිදහස් කළ යුතු අතර බරපතළ චෝදනා ඇති නම් ඊට එරෙහිව චෝදනා ගොනුකොට අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුය.
සිංහල මහජාතිවාදීන්ට බියේ හෝ ඔවුන් පිනවීම වෙනුවෙන් හෝ මෙම ක්‍රියා මාර්ගයෙන් ඉවත්ව කල් මරමින් සිටීම රටේ අනාගතයට කරණු ඇත්තේ සුභදායී බලපෑමක් නම් නොවේ. ඔවුන් නැවතත් අපේක්ෂාභංගත්වය කරා ඇද දැමීම නැවතත් ලේ හැළීමකට වුව ඉඩ පාදනු ඇත. මෛත්‍රී යුගයට වෛරය අවශ්‍ය නොවන නිසා සමාව දීමට ජනපතිවරයා ඉදිරිපත් විය යුතුය.
මෙසේ සලකා බලන කල, මෛත්‍රී යුගය දැනට නම් එල්ල වී ඇත්තේ පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ ම යම් මට්ටමකින් බාල එකක් නිපදවීමේ ඉලක්කයක් වෙතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනපති මෛත්‍රීට එතැනිනුත් යම් පීඩනයක් ලැබෙනවා විය හැකිය.
ශ්‍රී ලනිපය සෑමවිටම සිය චන්ද පදනම සෙවූයේ සිංහල බෞද්ධ සමාජය තුළ වීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මෛත්‍රී ජනපති වූයේ ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස නොව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් බවත් එදා ඔය කී ශ්‍රීලනිපය සිටියේ ඔහුට විරුද්ධව බවත් සිහි තබා ගැනීම ඔහුගේ ම යහපතට හේතු වනු ඇත.