මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය සතියේ සිකුරාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව සහ ඊටත් පෙර සිට ම ඥාති හිතමිත්‍රාදීන් පමණක් නොව අහල පහළ උදවිය ද නිරන්තරයෙන් විමසා සිටියේ ‘‘මෛත්‍රීපාල මහත්තය මොකක්ද මේ කළේ?’’ යනුවෙනි. වසර කිහිපයක දේශපාලන අත්දැකීම් අනුව මා පවසා සිටියේ කිසිවකු නොසිතන, නොපතන මොහොතක, කිසිවකු නොසිතු නොපැතූ යමක් සිදුවිය හැකි බවයි. එහෙයින් කලබල නොවී කලබල වූවා සේ හැසිරෙන්න යනුවෙනි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මතු නොව විපක්ෂයේ කිසිවකුට හෝ අධෝ වාතයක් පිටවුව ද පිටු ගණන් ලියන උඹලා මේ මොහොතේ කිසිවක් නොලියන්නේ මහින්ද යළි බලයට රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුවපිටුපස ඇති අදිසි හස්තය පිළිබඳ යමක් දන්න නිසාදැයි තවත් පිරිසක් විමසන්නට වූහ. එහි දී මා දුන් පිළිතුර වූයේ 13 වන දින මධ්‍යම රාත්‍රිය පසුවීමෙන් ඉක්බිති මා ඒ පිළිබඳ යමක් ලියන බවයි. එහෙත් ඉනික්බිති ද තව දුරටත් නිහඬවම සිටීමට සිදුවිය; සිතුවිලි නතර විය; මුව ගොළු විය; පරිගනක අකුරු අමුණන්නට නොහැකි ලෙස අතැඟිලි අප්‍රාණික විය. එහෙත් තව දුරටත් ඉවසිය යුතු යැයි සිත මොරගාන්නට විය. ඒ අනුව ඉවසා... ඉවසා... නොහැකි තැන තව දුරටත් ඉවසා සිටිය යුතු යැයි තීරණය කළෙමි.
14 වන දින සවස හය වන විට ඒ ඉවසීමේ ප්‍රතිඵලය භුක්ති විඳින්නට හැකි වාතාවරණයක් උදා විය. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ සැල වීමෙන් අනතුරුව ය.
සැළියේ උඩ පනින කකුළුවෝ
දැන් තරගය අරම්භ වී ඇත. දිය රත්වන තුරු සැළියේ උඩු පනිමින් සිටි කකුළුවෝ ද දැන් සැළියෙන් ගොඩ එන්නත් බැරිව සැළියේ ම අභාවයට යාමට ද නොහැකිව ලතවෙති. සැබෑ කකුළුවෝ මිනිසුන්ට රස අහරක් වුව ද මේ කකුළුවෝ නම් මිනිසුන් ද අහරට නොගනිති. ඒ, මේ කකුළුවෝ එතරම්ම උග්‍ර විෂ සහිත බැවිනි.
වසර ගණනාවක් පුරා රටේ ප්‍රබල දේශපාලනඥයෝ මහින්ද රාජපක්ෂ රෙජිමය පලවා හැරිය යුතු ය යන මතයේ එල්බ සිට විවිධාකාර සැලසුම් පිළිබඳ සාකච්ඡා කළහ. විවිධ පුද්ගලයෝ සමග අදහස් හුවමාරු කරගත්හ. ඒ සියල්ල කෙමෙන් කෙමෙන් සාර්ථකත්වයට පැමිණ අවසානයේ රාජපක්ෂ රෙජිමයේ ග්‍රහණයට නතුව සිටි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුර තැන්පත් මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ පමණක් නොව පවුලේ සියලු දෙනාගේ ජීවිත අවදානමට තබා රාජ රාජ මහෝත්තමයා සමග මුහුණට මුහුණ සටන් කරන්නට ඉදිරිපත් විය. ඒ තනිවම නොව තවත් මහා පරිමාණ පක්ෂ, සුළුපරිමාණ පක්ෂ සහ කණ්ඩායම් 49ක් සමගිනි.
ඉවසිලිවන්ත රාජ්‍ය පාලකයෝ
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පක්ෂ සහ රටේ ජනතාව ඒ සටනේ ප්‍රතිඵල ජනවාරි 8වන දින භුක්ති වින්දේ ඉතාමත් නිහතමානීව ය. එහෙත් පරාජයට පත්වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සිය පරාජය භුක්ති වින්දේ දැඩි වෛරී සහගත භාවයකිනි. ඒ වෛරය ඔහු මුදා හැරියේ රටේ වෙසෙන සුළු ජාතීන් යැයි නම් කළ මිනිස් ප්‍රජාව වෙත ය. ‘‘එයා දිනුවෙ කොටි ඡන්දවලින්. එයා දිනුවෙ උතුරු නැගෙනහිර ඡන්දවලින්. එයා දිනුවෙ සුළු ජාතින්ගෙ ඡන්දවලින්’’ යැයි ආඩපාලි කියන්නට විය. ජාතිකත්වය නොව ජාතිවාදය මතුකරමින් යළිත් මේ රට රුධිර ගංගාවක් බවට පත්කරන්නට පිඹුරුපත් සැකසුවේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඒ සියල්ල ඉවසමින් තම කටයුත්තෙහි නියැළුණේ ය. සැබැවින් ම ඒ රටක් කරවන නායකයකුගේ සහ ඔහුගේ සහායක රාජ්‍ය පාලකයන්ගේ යුතුකමකි; වගකීමකි. ඔවුහු එය නොපිරිහෙලා ඉටු කළහ. අතරමග පිහිටි කඳු හෙල්. ගල් පර්වත මගහරිමින් ගලා බසිනා ජල දහරාවක් සේ තමන් ඉදිරියේ පවතින බාධක කම්කටොළු මැඩගනිමින් ඉදිරියට ම ගලා ගියේ ය. මේ අතර පරාජිතයා යළි සිය බලය තහවුරු කරගැනීම සඳහා විවිධ කූටෝපක්‍රම දියත් කළේ ය. එහි කූටප්‍රාප්තිය වූයේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කුරුණැගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්විම සඳහා නාම යෝජනා බාර දීම ය.
යළි අවි අත දරති
මේ සියලු කාරණා දෙස විමසිලිමත්ව බලා සිටි, ජනවාරි 8වන දින ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පිරිස් තම නිහඬතාවය බිඳ දැමූහ. එහි කිසිඳු වරදක් නැත. කළ යුත්තේ ද එය යි. මන්ද ඔවුන් සැවොම පාහේ ලාංකීය දේශපාලනයේ සැබැ මුහුණ සහ වෙස් මුහුණ අතර වෙනස හඳුනා නොගත්හ. තම ජිවිත පරිතයාගයෙන් අත්පත් කරගත් ජයග්‍රහණය ආපසු හරවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යත්න දරන්නේ යැයි ඔවුහු සැක සිතූහ. ඒ සැකය ද සාධාරණ ය; යුක්ති සහගත ය. සැබැවින් ම එහි ගැබ්ව තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි පැවති අවිශ්වාසයට වඩා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කෙරෙහි තිබූ පිළිකුළයි; විරෝධය යි; බිය යි. බිය අන් කිසිවකටත් නොව ඔහු ගේ ක්‍රෑරත්වයට ය; ඒකාධිපතිත්වයට ය; නරුමත්වයට ය.
එහෙත් අප කිසිවකු නොසිතූ මානයක් විය. එනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා පිළිවෙත ය. ඔහු තව දුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ 1994 වසරේ දී සිය පරාජය බාරගනිමින් අරලියගහ මන්දිරයෙන් එළියට බට තැන් සිට ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ ම ය. එය ඉවසිලි සහගත ය; විචක්ෂණශිලි ය; බුද්ධිමත් ය. එය රටට ම ආදර්ශමත් ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් ම ඔහු ද සිය නිහඬ ව්‍රතය රැක්කේ අනාගතයේ සිදු කරන්නේ කුමක් ද, සිදුවන්නේ කුමක් ද යන්න හොදින් දැන සිටි හෙයිනි.
එහෙත් ජනවාරි 8 වන දින ජනතා ජයග්‍රහණයට උරදුන් පිරිස දැවැන්ත අර්බුදයකට ලක්වූහ; කම්පනයට පත්වූහ; සිදුවෙමින් පවතින දෑ වටහාගත නොහී, අදහාගත නොහී සලිත වූහ. ඔවුහු සිය පිරිස් රැස් කරන්නට වූහ; ඔවුහු සමග යළි වීදි බසින්නට වූහ; තම විරෝධය දක්වන්නට වූහ. ඒ සියල්ල කරන්නට ඔවුන්ට සියලු ඉඩකඩ විවරව තිබිණ. ජනවාරි 8වන දින ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ඒ විරෝධතාවයට ඉඩ හසර සැලසී ය.
අවසන් නොවන මෙහෙයුම්
සියල්ල මෙසේ සිදු වෙමින් පවතිද්දී ජය පැන් බොන පිරිසක් මෙන් ම මේ කිසිවක් මායිම් නොකළ දෙදෙනෙක් සිටිය හ. ඒ ජනාධිපති මෛත්‍රිපිල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ය. සැබැවින් ම ඔවුන් ප්‍රකට කළේ සැබෑ රාජ්‍යනායක දෙපළක ගේ ගති ස්වභාවය යි. දැන් එහි කුටප්‍රාප්තියට පැමිණ ඇත. එහෙත් මෙහෙයුම ක්‍රියාත්මකව පවතී. එක් මෙහෙයුමක අවසන තවත් මෙහෙයුමක ඇරඹුම යි. ඒ මෙහෙයුමේ පළමු අදියර ඊයේ සවස් කාලයේ දී සැල විය. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් තොරව කැඳවවීමට සූදානම් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමට එරෙහි වාරණ නියෝගයක් නිකුත් කිරීම ය. සතුරා පරාජය කිරීම සදහා අවැසි ආයුධය අන් කිසිවක් නොව ඔහු ගේ දුර්වලතාවය හඳුනා ගැනීම ය. එකී ආයුධය තමා සන්තකයේ පවතිද්දි බිය විය යුතු නැති බව නැවත වතාවක් ප්‍රත්‍යක්ෂ කරන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකිවී ඇත.
ජයග්‍රහණය විජයග්‍රහණය කරා...
දැන් පැමිණ තිබෙන්නේ ජනවාරි 8වන දින අත්පත් කරගත් ජනතා ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කර ගැනීමේ සුවිශේෂි අවස්ථාව යි. පසුගිය දින කිහිපය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පෑන මෙහෙය වූ මාධ්‍යවේදින්ට ද හඬ අවදි කළ සිවිල් සංවිධානවලට ද දැන් ඉටු කළ යුතු යුතුකමක් සහ වගකීමක් ඇත. එනම් එදා ජනතාව දැනුවත් කළ ආකාරය අභිභවා යන අන්දමින් ජනතාව දැනුවත් කිරීම ය; ජනතාව පෙළ ගැස්සවීම ය; දූෂිතයන්, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, රාජ්‍ය දේපළ පැහැරගත්තවුන් පිළිබඳ යළි යළිත් ජනතාව දැනුවත් කොට ඔවුන් පලවා හැර, නව්‍ය පාලක පිරිසක් පත්කරගැනීම සදහා අවැසි වටපිටාව සැකසීම ය. එහෙයින් බුද්ධිමත් ජනතාවනි, කලබල නොවන්න; එහෙත් කලබල වූවා සේ හැසිරෙන්න. මන්ද අපි කලබල වුවා සේ හැසිරෙන තරමට සතුරා ස්වයං තෘප්තියක් ලබන්නේ ය. එකී ස්වයං තෘප්තිය සමස්ත ලාංකීය ජනතාවගේ යහපත් අනාගතය වෙනුවෙන් භාවිතා කළ හැකි වන්නේ ඔවුන් වැඩි වැඩියෙන් තෘප්තිමත් කිරීමෙන් පමණකි. ඒ සඳහා ඉවසන්න! ඉවසන්න!! ඉවසන්න!!! බැරිම අවස්ථාවේ දී තවත් ටිකක් ඉවසන්න!!!! සැනසීම නියතය.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
‘‘මෙර උසුලනා මහ මිහිකතටත් වැඩිය
සැප ගෙනදෙනා සුගතිඳු බණටත් වැඩිය
ලොව සුරකිනා පින් ඇති අයටත් වැඩිය
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’’
ඉහත කවියෙන් දැක්වෙන්නේ ඉවසීමේ යහපතයි. තවද ඉවසීමේ සැනසීම ලබන්නට නම් ඉවසා... ඉවසා... නොහැකි තැන ද තවත් ටිකක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසේ. මේ දිගහැරෙන්නේ එසේ ඉවසා... ඉවසා... බැරිම අවස්ථාවේ තවත් ඉවසා සිටීමෙන් ලද ප්‍රතිඵලය පිළිබඳ යමක් පැවසීමට ය.
Leave a comment