ලංකාවේ අන්‍ය මත දරන්නෝ ද එබඳු තාඩන පීඩනවලට, මැරප්‍රහාරවලට ලක්වීම සහ මරණයට පත්වීම මේ වන විට ඉතා සුලබ කරුණක් බවට පත්ව ඇත. එහි දී පීඩනයට හෝ මරණයට පත්වන්නාගේ තරාතිරම පීඩකයාට හෝ මිනී මරුවාට වැදගත් නැත. කලාකරුවෝ, දේශපාලනඥයෝ, දර්ශනවාදියෝ, සමාජ ක්‍රියාකරුවෝ, උගත් බුද්ධිමත් පුරවැසියෝ කිසිඳු බේදයකින් තොරව සතුරාගේ ඉලක්කයට හසුවති.
මෑත ඉතිහාසය වෙත අවධානය යොමු කළ හොත් කූට ජාවාරම්කාරයන්ගේ මනදොළ නොසැපිරීම හේතුවෙන් ගරු අග්‍රාමාත්‍යය එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්විය. රාජනී තිරානගම එල්. ටී. ටී. ඊ. මතයට විරුද්ධ වු හෙයින් ඝාතනයට ලක්වූවා ය. විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, නන්දන මාරසිංහ, දයාපතිරණ ආදීහු ඇතුළු තවත් බොහෝ පිරිසක් ඝාතනය වූහ. එම ඝාතන සිදු කළේ කුමන හේතුවක් මත ද සහ අදාළ ඝාතනවලට වගකිව යුත්තෝ කවුදැයි මෙතෙක් ආවරණය වී නොමැත.
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායක, ලක්ෂ්මන් කදිරගාමර් ඇතුළු තවත් බොහෝ පිරිස් ඝාතනයට ලක්වූහ. ඒ සියලු ඝාතන එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත බැර කළ ද ඒ ඇතැම් ඝාතන පිළිබඳ සමාජයේ විවිධ කතාබහ ඇති වු බව ද නොරහසකි.
තවත් ආසන්න ඉතිහාසය දෙස අවධානය යොමු කළ විට විරුද්ධ මත දරන පුද්ගල ඝාතන තව තවත් සිහියට නැගේ. ලසන්ත වික්‍රමතුංග සහ ධර්ම රත්නම් ශිවරාම් හෙවත් තරාකී ගේ මරණය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් වීම, පෝද්දල ජයන්ත මැර ප්‍රහාරයට ලක්වීම යනාදි මේ සියල්ල අන්‍ය මත දරන්නන්ට එරෙහිව එල්ල වු ප්‍රහාර ය ඉන් කිහිපයකි.
මේ ආකාරයේ පහරකෑමට ලක්වූවන් පිළිබඳ සිහිපත් කළ විට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට කළ නින්දිත මැර ප්‍රහාරය ලාංකීය ඉතිහාසයට දැවැන්ත කළු පැල්ලමක් ඉතිරි කළේ ය. පසුගිය සමයේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා පැහැරගෙන ගොස් විවිධාකාර පීඩනවලට ලක් කොට මහමග දමා ගොස් තිබුණි.
මේ සියලු ප්‍රහාර සහ ඝාතන පිළිබඳ අවධානය යොමු කිරිමේ දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ප්‍රහාරකයා නිල වශයෙන් හෝ නොනිල අන්දමින් බලය දරන්නකු වීමය. එහෙත් බලය නොදරන පාර්ශවයන් වෙතින් ප්‍රහාරයට ගොදුරු වූ ආසන්න සිදුවීම් දෙකක් සිහිපත් කළ යුතු ය. ඉන් එක් ප්‍රහාරයකට ලක් වූයේ කලින් එක පතේ කෑ දේශපාලන සගයාගේ මළ ගෙදරට ගිය පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසකට ජනතා විමුක්ති පෙරමුණේ පිරිසකි. එකි පහරදිම සිදුවන මොහොතේ පක්ෂයේ වගකිව යුතු පුද්ගලයෝ ද අඳ, ගොළු, බිහිරි ව්‍රතය රැක්කාහ. (වෙන් වූ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසට ඊට පෙර ද විවිධ ප්‍රහාර එල්ල විය). ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය මැයි පළමු වන දින මහින්ද පාර්ශවය යැයි කියාගන්නා දේශපාලන අනාතයන් විසින් සංවිධානය කළ මැයි රැලිය නැරඹීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට සහ එම විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්ය ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතාට එල්ල වු ප්‍රහාරය යි. මෙහි දි ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතාගේ නම නොකියවෙන්නේ කුමන හේතුවක් මත ද යන්න ද බරපතල ගැටලුවකි.
පසුගිය රාජපක්ෂ රෙජිමය සිය විරුද්ධ මතධාරින් වෙත විවිධාකාරයේ තර්ජන එල්ල කළ අතර එම තර්ජනවලට බිය නොවී තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ගවල නියැළී සිටි පුද්ගලයන් සහ කණ්ඩායම් වෙත රෙජිමයේ මර්දන හස්තය දිගුවිය. එය තර්ජනය කිරීම්, ප්‍රහාර එල්ල කිරීම්, පැහැරගෙන යාම් සහ ඝාතනයන් දක්වා වර්ධනය විය. එකල බලය හිමිව තිබුණේ රාජපතක්ෂ රෙජිමයට ය. එ’සමයේ ද නිර්මාල් රංජිත් මහතාට විවිධාකාරයේ තර්ජන එල්ල විය. එහෙත් ඔහුට පහර දෙන්නට හෝ ඔහු පැහැරගෙන යන්නට රෙජිමය කටයුතු නොකළේ ය. (සැලසුමක් තිබුණ ද ඇතැම් විට ක්‍රියාත්මක නොකරන්නට ඇත.) එහෙත් මේ මොහොතේ කිසිඳු දේශපාලන ශක්තියක් නොමැතිව අනාථ භාවයට පත්ව සිටින මේ මැරයෝ නිර්මාල් මහතාට පහර දෙන්නට තරම් නිර්භිත වූයේ කෙසේ ද?
ලියුම්කරු ඉතා ළඟින් ඇසුර කරන, නමුත් මහින්ද අදහන එක් පුද්ගලයකුට මෙම පුවත සැල කළ විගස ඔහු කියා සිටියේ ‘‘තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැත්ව මොකටද ඒක අස්සට රිංගන්න ගියේ?’’ යනුවෙනි. ඔහු සහ ඔහු වැනි පටු අදහස් දරන්නන්ට අනුව විරුද්ධ මතධාරින්ට තම අනෙකාගේ අදහස්වලට විරුද්ධ වීම කෙසේ වෙතත් ඒවා දැක බලා ගැනීමට හෝ අසා සිටීමට නොහැකි ය.
අපි දන්නා ඉතිහාසයේ නිර්මාල් මහතා මැයි පළමුවන දින ගතකරන්නේ විවිධ දේශපාලන මත දරන්නන්ගේ රැලිවලට ගොස් ඔවුන්ගේ දේශන නැරඹීමෙන් ය; අසා සිටීමෙන් ය. එක් වකවානුවක ඔහු ජනතා විමුක්ති පෙරමුණ ෆැසිස්ට්වාදින් යැයි චෝදනා කළේ ය. එහෙත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියට ගොස් එය නරඹමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකකාරාදින්ගේ අදහස්වලට සවන් දුන්නේ ය.
එහෙත් ඔහුට පහර දෙන්නට හෝ තමන්ගේ රැස්වීම් භූමියෙන් ඉවත්වෙන්නැයි කිසිවකු ඔහුට බල කළේ නැත. එමෙන් ම ඔහු කෙතරම් දෙමළ මිනිසාගේ ගැටලුව වෙනුවෙන් පෙනී සිටිය ද වරෙක. එල්. ටී. ටී. ඊ. ය යනු ෆැසිස්ට්වාදි ව්‍යාපාරයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. එහෙත් කවරදාවත් එල්. ටී. ටී. ඊ. ය ඔහුට මරණ තර්ජන එල්ල නොකළේ ය; පහර නොදුන්නේ ය; පැහැරගෙන නොගියේ ය; ඔහු ඝාතනය කරන්නට උත්සාහ නොකළේ ය. එහෙත් අද අන්ත පරාජයට පත්ව, යන එන මං නොමැතිව අනාත වී සිටින මහින්දගේ බත් බැලයෝ ඔහුට පහර දෙන්නට පෙලඹෙන්නේ කෙතරම් නින්දිත ආකාරයෙන් ද? පරාජිත බැලයෝ මේ ආකාරයෙන් හැසිරෙන්නේ නම් පසුගිය ජනවාරි අටවන දින මේ මුග්ධයෝ බලයට පත්වූවානම් රටේ කුමනාකාරයේ ලේ වැගිරීමක් සිදුවේද යන්න සිතාගැනීම අපහසු නැත.
තම බලපරාක්‍රමය අහිමිව ගිය විට, සුඛ විහරණය අහිමි වී ගිය විට, කොමිස් මුදල් සොයාගැනීමට නොහැකි වූ විට මේ තුච්ඡයෝ වියරු භාවයට පත්වෙති. යළි යළිත් එකී සැප සම්පත් උරුම කරගන්නට යත්න දරති. තම විරුද්ධවාදියාට පහර දීමෙන් හෝ ඝාතන කිරීමෙන් අහිමි වූ බලය යළි ලබාගත හැකි යැයි මේ තිරිසන්නු විශ්වාස කරති. තම විරුද්ධවාදින්ට මෙවැනි මෘග ප්‍රහාර එල්ල කරන්නේ එබැවිනි. නමුත් රටේ ජනතාව දැන් සත්‍යය අවබෝධ කරගෙන අවසන් ය. එහෙයින් මේ දේශපාලන අඳබාලයෝ තවදුරටත් දේශපාලන ක්ෂේත්‍රයේ රඳවාගන්නට ජනතාව සුදානම් නැත.
එහෙත් පවතින ආණ්ඩුවට වගකීමක් ඇත. එනම් මෙවැනි නින්දිත ප්‍රහාරකයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට දිය යුතු දඬුවම් ලබා දීම ය. මේ වන තෙක් අදාළ සිදුවීමට සම්බන්ධ කිසිවකුගෙන් ප්‍රශ්න කළ බව හෝ අත්අඩංගුවට ගත් බවට දැනගන්නට නැත. එක් අතකට එය අරුමයක් යැයි නොසිතේ. මන්ද ගිනි අවියක් අත දරා රටේ සේනාධිනායකයා සිටි රැස්විමකට පැමිණි පුද්ගලයා හෝ අදාළ ගිනි අවිය මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ නම් රටේ අනෙක් අයගේ ජිවිත ගැන කුමන කතා ද. ඒ යහපාලනයේ රඟ නම් ජනතාවට ලැබෙන්නේ මෛත්‍රී සරණ නොව අබ සරණ බවනම් නිශ්චිත ය.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.