දැදිගම වී රුද්‍රිගු, පද්ම හර්ෂ කුරණගේ, පියසේන මානිල්ගම, නාරාවිල පැට්‍රික් ලේඛකයෝ සෝවියට් දේශයේ සිට ම එම කෘති සිංහල භාෂාවට පරිවර්තනය කළහ. අප කියවන අනෙක් බොහෝ කෘති සිංහලට පරවර්තනය වූයේ පළමු බසින් ඉංග්‍රීසියට පරිවර්තනය වීමෙන් ඉංග්‍රීසි පරිවර්තනය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙනි. ඊට පරිබාහිර වශයෙන් පළමු භාෂාවෙන් ම සිංහල භාෂාවට පරිවර්තනය වූ කෘති අල්පය.
මතකය අනුව මහාචාර්ය පියසිරි විජේසේකර මහතා ඇල්බෙයා කැමූ ගේ ‘‘Out sider’’ කෘතිය ‘‘අමුතුම මිනිහෙක්’’ නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ එහි පළමු භාෂාවෙන් ම ය. කැළණිය විශ්වවිද්‍යාලයේ ප්‍රංශ භාෂා අංශයේ ආචාර්ය නිරෝෂණී ගුණසේකර මහත්මිය මාගරිත් ද්්‍යුරාස් ගේ ‘‘Un barrage contre le pucifique’’ කෘතිය ‘‘සාගරයට වේල්ලක්’’ නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ පළමු භාෂාවෙනි. ඊට අමතර වැඩි පරිවර්තන ප්‍රමාණයක් පළමු භාෂාවෙන් ම සිංහල භාෂාවට පරිවර්තනය කළේ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි මහත්මිය යි. ඇය සිංහලට පරිවර්තනය කෘති සියල්ලම එම කෘතියේ පළමු බස වන වංග බසින් ම සිංහලට පරිවර්තනය කළා ය.
පරිවර්තන කාර්යය මෙසේ සිදුවෙමින් පවතිද්දී අපේ රටේ සහ ඉන්දියාවේ දෙමළ භාෂාවෙන් පළ වු සාහිත්‍යය කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පෙලඹුණේ ඉතාමත් අල්ප පරිවර්තක පිරිසකි. උපාලි ලීලාරත්න ඒ අතුරින් ප්‍රමුඛ පෙළේ පරිවර්තකයකු ලෙස හැඳින්විය හැකි ය. ඔහු පරිවර්තනය කළ එක් දෙමළ කෘතියක් වෙනුවෙන් ඉනන්දියාව විසින් ඔහු සම්මානයෙන් පුදනු ලැබී ය. එහෙත් සිංහල පාඨක ප්‍රජාව අතර ඔහු එතරම්ම ජනප්‍රිය චරිතයක් බවට පත්නොවූයේ හෙතෙම වඩාත් අවධානය යොමු කළේ දෙමළ සාහිත්‍යය කෘති සිංහල භාෂාවට පරිවර්තනය කළ නිසා ද යන්න සැක සහිත ය.
උපාලි ලිලාරත්න නම් වූ මේ කෘතහස්ත ලේඛකයා විසින් දෙමළ බසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කෘති ත්‍රිත්වයක් එලඹෙන 29 වන දින සවස 03.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
‘‘මානවහිතවාදී ආණ්ඩුකාරවරයකුගේ කතාවස්තුව’’, ‘‘කුලංගනාවෝ’’ සහ ‘‘ඇද සෙවණැලි’’ යන මෙම කෘති ත්‍රිත්වය එළිදක්වන මොහොතේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු ලේඛක කේ. චින්නප්ප භාරතී සහභාගී වීමට නියමිත අතර මුලසුන හොබවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා විසිනි.
කෘති හදුන්වා දීම සහ දෙසුම් පැවැත්විම සඳහා: ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා, ප්‍රවීණ ලේඛක දයා දිසානායක, ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා, කථිකාචාර්ය ධම්මික ජයසිංහ සහ ප්‍රවීණ ලේඛක ගුණසේන විතානගේ යන මහත්ම මහත්මීහු සහභාගී වීමට නියමිතය.
මතු දැක්වෙන්නේ මෙම උත්සවය නිමිති කොට ගෙන උපාලි ලීලාරත්න මහතා සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්ත සටහනකි.
ශ්‍රි ලාංකික පරිවර්තක ලේඛක ලේඛිකාවෝ බහුතරයක් ඉංග්‍රිසි භාෂාවෙන් පළ වූ කෘති එසේත් නැත්නම් බටහිර සහ යුරෝපීය සාහිත්‍යය කෘති සිංහලට පරිවර්තනය කරමින් සිටිය දී ඉන්දියාවේ සහ ලංකාවේ දෙමළ භාෂාවෙන් පළවන සාහිත්‍යය කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පෙලඹීම විශේෂිතය. උපාලි ලීලාරත්න නම් වු පරිවර්තකයා මේ අභියෝගය සදහා ඉදිරිපත්වූයේ සහ දිගින් දිගටම එම කාර්යයේ නියැළෙන්නේ ඇයි ද යන්න පළමුව විමසා බලමු.
මම ඉපදුණේ දකුණෙ වුණාට කුඩා කාලෙ සිට ම පදිංචි වෙලා හිටියෙ තලවකැලේ. මගේ පියා රැකියාව කළේ ඒ ප්‍රදේශයේ. මම ඒ ප්‍රදේශයට පදිංචියට යනවිට වයස අවුරුදු එකහමාරයි කියල අහල තියෙනවා. මගේ වයසෙ ම මිත්‍රයො දෙන්නෙක් අපේ නිවස දෙපස පදිංචි වෙලා හිටියා. එක්කෙනෙක් නසීර්. අනෙක් කෙනා ත්‍යාගරාජා. කුඩා අවධියේ සිට ම හැදුණෙ වැඩුණෙ ඔවුන් සමග. මම පදිංචි වෙලා හිටියෙ නගරසභා නිල නිවසෙ. වතු නිවාස සහ අපේ නිවාස අතර සීමාව සටහන් වෙලා තිබුණෙ අඩි තුනක විතර පරතරයක. වටේට ම තිබුණෙ වතුයාය.
මේ වතුවල වැඩකරන කම්කරුවො නිතරම අපේ නිවසටත් එනවා. ඇවිත් සමහර වෙලාවට අපේ නිවසේ වැඩකටයුතුත් කරනවා. ඔවුන්ගෙ දුක වේදනාව මම හොඳට ම දැක්කා. ඒවගේ ම මට ඒ දුක දැනුණා. ඔවුන් නිරන්තරයෙන් ඇසුරු කිරීම නිසා ම දෙමළ භාෂාව කතාකරන්නත් පුළුවන් වුණා. ඔවුන්ගේ විවිධ උත්සව අවස්ථාවලටත් සහභාගි වෙන්න ලැබුණා. ඒ පිළිබඳ දැනුවත් වුණා. වයසින් මුහුකුරා යද්දි ඔවුන්ගෙ නිවාසවලට ගිහින් සමවයසෙ මිත්‍රයො එක්ක ඔවුන්ගෙ විවිධාකාරයේ උත්සවවලට සහභාගි වූණා. මෙන්න මේ කාරණා නිසා අනාගතයේ දී මේ මිනිස්සුන්ගෙ සුඛ දුඃඛ භාවය ගැන ලියන්න තියෙනවනම් කොච්චර හොඳද කියන අදහසත් තිබුණා. දැන් මා නිරතවෙමින් ඉන්නෙ ඒ සිහිනය සැබෑ කරගැනීමේ කර්තවයෙ කිව්වොත් නිවැරදියි.
දෙමළ ප්‍රජාව හදුනාගෙන සිටිය ද, දෙමළ භාෂාව පිළිබඳ දැනුවත් භාවයකින් සිටිය ද ඔවුන්ගේ සාහිත්‍යය නිර්මාණ සිංහල භාෂාවට පර්වර්තනය කිරීම යනු වෙනත් කාර්යයකි. මේ සදහා පිවිසීම අහම්බයක් විය නොහැකි ය. එම කාරණය සොයා පාදා ගැනීම මගේ ඊළඟ ඉලක්කය විය.
මම නුගවෙල මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනගන්න අවධියේ ම විවිධ පුවත්පත්වලට සහ සඟරාවලට කෙටිකතා සහ කාව්‍යය නිර්මාණ යොමු කළා. ඒ නිර්මාණ බොහොමයක් පළ වුණා. ඒ ආකාරයට නිර්මාණකරණයට පෙලඹුණෙත් මාමගෙ පොත් කියවලා. අපේ මාම ඒ කාලෙ ඩීමන් ආනන්දගෙ පොත් කියවනවා. මම ඒ පොත් කියෙව්වෙ හැමෝට ම හොරෙන්. ඒ ආභාෂයෙන් තමයි කවි සහ කෙටිකතා ලියන්න පෙලඹුණේ. නමුත් මගේ පාසල් විෂ්‍යය වුණේ විද්‍යාව. පසු කාලෙක දෙමළ කවි සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඒ වැඩේ සාර්ථක වුණා.
90 දශකයේ ඉන්දියාවෙ වඩාත්ම කතාබහ වුණ චරිතයක් තමයි ‘‘පූලාන් දේවී’’ නමැති කාන්තාව. 1997 වසරෙ පූලාන් දේවි ගේ කතාව සිංහල භාෂාවට පරිවර්තනය වුණා. එහි පරිවර්තකයා වුණේ අපේ කතානායකයා. ඔහු ඒ මතකය අවදි කළා.
ඔව්... ඒ කතාව මම සිංහල භාෂාවට පරිවර්තනය කළේ දෙමළ භාෂාවෙන්. මේ කතාව කොටස් වශයෙන් පළ වුණේ ‘‘දිනමුරසු’’ දෙමළ පුවත්පතේ. මම ඒ කාලෙ පත්තරේ සල්ලි දීල අරගෙන කියවල ඒ එක්ක ම සිංහල භාෂාවට පරිවර්තනය කළා.
අතීතය ආවර්ජනය කිරීමෙන් තාවකාලිකව අත්මිදිලා මම අනතුරුව උත්සාහ කළේ ඔහුගේ අභිනව කෘති ත්‍රිත්වය පිළිබඳ යම් කතාබහක යෙදෙන්න.
‘තෙනියාන්’ කියන්නෙ ලංකාවේ දකුණේන් බිහිවුණ මාර්ටින් වික්‍රමසිංහට සමාන උතුරෙන් බිහිවුණ ලේඛකයෙක්. ඔහු ඩොමිනික් ජිවා සහ ඩැනියෙල් නමැති වාමාංශික අදහස් දරපු ප්‍රගතිශීලි ලේඛකයො අතරින් ම බිහි වුණ ලේඛකයෙක්. ඒ පරපුරෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ ඔහු සහ ඩොමිනික් ජිවා විතරයි. මේ ලේඛකයො තම නිර්මාණ තුළින් වගේ ම සැබෑ ජිවිතයෙදිත් උතුරේ කුලවාදයට විරුද්ධව විශාල අරගලයක් කරපු අය. තෙනියාන් රාජ්‍යය සම්මාන තුනක් දිනාගත් ලේඛකයෙක්. පසුගිය වසරේ දෙමළ භාෂාවෙන් ලියවුණ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගත්තෙත් තෙනියාන්. ඔහු ‘‘සාහිත්‍යය රත්න’’ සම්මානයෙන් ද පිදුම් ලැබුවා. කුලාංගනාවෝ නමින් මම පරිවර්තනය කළේ 1997 රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙ ලැබුණ ‘‘මරක්කොක්කු’’ නමැති නවකතාව. එහි අන්තර්ගතවෙන්නෙ 40 – 50 දශකවල දකුණේ සිදුවුණ ගම්පෙරළිය වගේ ම උතුරේ සිදුවුණ සමාජ පෙරළියක්.
උතුරුකරේ එතෙක් පැවතුණ කුල භේදය මිනිසුන්ගේ දැනුවත් භාවය නිසා ම අහෝසි වෙනවා. අඩු කුලේ අයට යන්න තහනම් කරල තිබුණ කොවිල්වලට ඔවුන්ට යන්න පුළුවන් තත්ත්වයක් උදාවෙනවා. මේ සම්බන්ධයෙන් 1967 දි යාපනේ මාවිත්තුපුර කෝවිලට අදාළ නඩුවක් පවා විභාගවෙලා තියෙනවා. යාපනේ අධිකරෙණයේ තමයි මේ නඩුව විභාග කරල තියෙන්නෙ. ඒ කාලෙ උතුරේ කෝවිල් අයිතිවෙලා තිබුණෙ ප්‍රභූ පෙළෙන්තියට. කෝවිල් පාලනය කළේ ඔවුන්. පසුකාලෙදි මේ කෝවිල්වල ආදායමත් අඩු වෙන්න පටන්ගන්නවා. පහත්කුලයේ අය අරගල කරනවා. අඩුකුලයේ අයට කෝවිල් එන්න අවසර දෙන්න මේ කාරණා දෙකම බලපානවා. පසුකාලයක දි ඔය අඩු කුලේ යැයි හදුන්වන අය සහ ප්‍රභූ පෙළෙන්තියේ අය අතර විවාහ පවා සිද්ධ වෙනවා. වර්තමානයේ දි වුණත් යාපනය විශ්වවිදයාලයෙන් උපාධිධරයො විදියට පිටවෙන බොහෝ අය අඩු කුලේ යැයි සම්මතව සිටි අය. මෙන්න මේ සමාජ පෙරළිය තමයි ‘‘කුලාංගනාවෝ’’ කෘතියේ අන්තර්ගතවෙන්නෙ.
වතුකරයේ ජීවත්වෙන සිංහල මිනිස්සු කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමු වෙලා නැහැ. ඒ අය අතරත් විවිධ දක්ෂතා තිබෙන අය ඉන්නවා. වතුකරේ ජිවත්වුණ දෙමළ මිනිස්සුන්ට සුද්ගෙ කාලෙ ඉඳලම අඩුපාඩු සහිතව වුණත් ආහාර සලාකයක්, ඉන්න හිටින්න තැනක් ලැබුණා. නමුත් සිංහල මිනිස්සුන්ගෙ තත්ත්වය ඊට වඩා වෙනස්. ඉස්සර හිටපු අයට රාජයය අනුග්‍රහයෙන් ඉඩකඩම් ලබා දුන්නා. නමුත් පරම්පරා දෙකතුනක් ඉදිරියට යද්දි ඒ ඔවුන්ට ඉඩකඩම් මිලදී ගන්න බැරි වෙනවා. ප්‍රධාන ම හේතුව තමයි ඉඩකඩම් හිඟ වීම. ඒ ප්‍රදේශයේ හැම තැනම තියෙන්නෙ තේවතු. වතු සේවකයන්ටත් මේ ප්‍රශ්නය තියෙනවා. නමුත් වතු අයිතිකාරයො අවමයෙන් හරි ඒ ප්‍රශ්නය විසඳනවා. සිංහල අයට විසඳුමක් නැහැ. මෙන්න මේ ඛේදවාචකයට මුහුණ දීල ඉන්න සිංහල ජනතාව ගැන තමයි ‘‘ඇද හෙවණැලි’’කතාවෙන් කියවෙන්නෙ.
ඊළඟට ඉන්දිය ලේඛක චින්නප්ප භාරතී ගේ ‘‘පාලෛනිල රෝජා’’ නවකතාවේ සිංහල පරිවර්තනය. ඒක නම් කරල තියෙන්නෙ ‘‘මානවහිතවාදී ආණ්ඩුකාරවරයකුගේ කතා වස්තුව’’ නමින්. මෙහි අන්තර්ගතවෙන්නෙ බොහොම දුප්පත් දරුවෙක් අනන්ත අප්‍රමාණ දුක් විඳල අවසානයේ ආණ්ඩුකාරවරයෙක් බවට පත්වෙනවා. ඒ සඳහා මේ දරුවට උදව් කරන්නෙ තමන්ගෙ ආච්චි, මව සහ නැගණිය. ඔහුගේ පියා ජීවතුන් අතර නැහැ. මේ කතාවෙ වැදගත්කම වෙන්නෙ දුක්මහන්සියෙන් ඉගෙනගෙන ඉදිරියට එන මේ පුද්ගලය තමන්ගෙ ප්‍රාන්තයේ සිදුවෙන සියලු ම වංචා දූෂණ හෙළිකරගන්නවා. සරලව ම කිව්වොත් මේ වනවිට ලංකා සමාජයේ වෙමින් පවතින පරිවර්තනයට හරියට ම ගැළපෙනවා.
උපාලි ලිලාරත්න දෙමළ සාහිත්‍යය කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීම හුදෙක් සාහිත්‍යය කටයුත්තක් පමණක් නොවේ ය යන හැඟීමක් මට ඇතිවුණා. මම ඒ පිළිබඳවත් ඔහුගෙන් විමසුවා.
අද සිංහල ප්‍රජාවට දෙමළ භාෂාව උගන්වන්නෙත්, දෙමළ ප්‍රජාවට සිංහල භාෂාව උගන්වන්නෙත් ඉතා පටු අරමුණක් උදෙසා. වඩාත් පැහැදිලි කරනව නම් මේ භාෂා දෙක කතා කරන අය ගේ රැකියා වර්ධනයට, විභාග ජයගන්න, උසස්වීම් ගන්න සහ කඩඉම් ලකුණු වැඩි කරගන්න. නමුත් දෙමළ භාෂාව ඉගැන්වීම සහ ඉගෙනගැනීම මේ පටු අරමුණෙන් ඔබ්බට රැගෙන යා යුතුයි. අපි දෙමළ ප්‍රජාවගේ සිතුම් පැතුම් හඳුනා ගතයුතුයි. ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික පසුබිම පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු යි. මෙච්චර දියුණුයි කියන සමාජයේ සිංහල අපි තවමත් දෙමළ මිනිස්සු දිහා බලන්නෙ අවතක්සේරුවකින්; වැරදි අවබෝධයකින්. ‘‘නිකං දෙනව නම් දෙමළ පත්තරෙත් කියවනවා’’, ‘‘නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා’’ වැනි යෙදුම් අපි තවමත් භාවිතා කරනවා. මම හිතන්නෙ අපි ඒ යෙදුම් දැන් ඉවත් කළ යුතුයි; භාවිතා නොකළ යුතුයි. දෙමළ ප්‍රජාව අපේ ම රටේ ඉන්න වෙනත් භාෂවක් කතාකරන මිනිස් සමුහයක් කියන කාරණය හොඳට අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්තට විතරක් මදි. ඒ වෙනුවෙන් අවංකව කටයුතු කරන්න ඕන.
මේ ලේඛකයා දෙමළ සාහිත්‍යය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම අරඹා දැන් දශක දෙකකුත් ඉක්ම ගිහින්. මේ කාලය තුළ ඔහුගේ අත්දැකීම් පිළිබදවත් මා විමසා සිටියා.
ඇත්තට ම මම ඒකාලෙ දෙමළ කවියක් හෝ කෙටිකතාවක් සිංහල භාෂාවට පරිවර්තනය කළාට සිංහල සමාජයේ ලොකු පිළිගැනීමක් තිබුණෙ නැහැ. දෙමළ ප්‍රජාවගේ යහපත උදෙසා කියමින් මේ රටේ සන්නද්ධ අරගලයක් කළ පිරිස නිසා අපේ අය හැම දෙමළ වැසියකු ම ත්‍රස්තවාදියෙක් ය යන මතයට ඇවිත් තිබුණා. නමුත් යුද්ධය අවසන් වුණාම යම් යහපත් තත්වයක් උදා වුණත් දෙමළ ප්‍රජාව අතරින් ඒ යහපත් තත්තවය දකින්න ලැබුණෙ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් යුද්ධයෙන් ඉක්බිතිවත් පීඩනයකට ලක්විම. නමුත් නව ආණ්ඩුව බලයට පත්වුණාට පසුව යම් යම් කන්ඩායම් යළිත් ජාතිවාදය වපුරන්න උත්සාහ කළත් ආණ්ඩුවක් විදියට ගත්තම උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ සැබෑ ප්‍රශ්න අවබෝධ කරගෙන කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය වැඩි දියුණු කරගන්න පුළුවන්නම් ඇත්තට ම රටේ අනාගත දියුණුවට ඉතා වැදගත්.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සිංහල දෙමළ භාෂා ඉගෙනගැනීම පටු අරමුණකට සීමා වෙලා - ප්‍රවීණ ලේඛක උපාලි ලීලාරත්න
Published in
විශේෂාංග
Monday, 27 April 2015 13:59
ලංකාවේ වෙසෙන පාඨකයෝ ස්වතන්ත්‍ර සාහිත්‍යයට වඩා පරිවර්තන සාහිත්‍යයට රුචිකත්වයක් දක්වන බව නොරහසකි. ඉනිඳු සෝවියට් සාහිත්‍යය කෙරෙහි විශේෂිත වූ රුචිකත්වයක් දැක්වූ බව තවත් විශේෂත්වයකි. එම කෘති බොහොමයක් පරිවර්තනය වූයේ මුල් භාෂාවෙන් ම වීම සුවිශේෂය.
Leave a comment