ආඩම්බරකාර තාත්තාගේ සහ බාප්පාගේ ආඩම්බරය ඉහළට ම නැඟ තිබුණු සමයක ඒ ආඩම්බරයට පළුදු වන දෑ ලියූ වරදට අතුරුදන් කෙරුණු මිනිසෙකුගේ පුතෙකු මට ඉඳහිට මුණ ගැසෙයි. චැට් කවුළුවකින් ඔහු හා කෙරෙන පිළිසඳරකදී මහාමේරුවට වඩා බර හිත ඇඟිලි තුඩු අගට ගෙන අකුරු කරන්නට නොහැකිව බොහෝ විට ගොළුවෙමි. හිත නොරිදී අහන්නට හෝ කියන්නට දෙයක් නැත. සුළඟකට ගසාගෙන ගියාක් මෙන් කිසිදු සළකුණක් නොතියාම අතුරුදන් කෙරුණු මිනිසාගේ ආත්මයද වරින් වර නින්දිත ලෙස කෙළසා දමද්දී ඒ පුතු ඊට කෙසේ මුහුණ දුන්නේදැයි මා දන්නේ නැත, කිසිදා ඔහුගෙන් අසන්නේද නැත.
බැට් මෑන්ලා, සුපර් මෑන්ලා, අයන් මෑන්ලා හෝ චේගුවේරා ලා මුණ ගැසෙන්නට පෙර සෑම දරුවෙකුගේ ම ලෝකයේ ලොකු ම වීරයා තාත්තා ය. මහපොළවෙන් අතුගා දමන ලද හෝ මහපොළවට යටකර දමන එවන් වූ තාත්තලා දහස් ගණක් ගැන දහස් ගණනක් දරුවන් ගොළු කෙරුණු මුවින් නොව දෑසින් කී කතා දහස් ගණනක් මැණික්ෆාම් කඳවුරේදී කියවී මි. කූගන් මුරුගානන්දන් නම් සගයාගේ දියණියගේ දෑස තුළද මා දකිනා ඒ එකම කතාවට මට දෙන්නට පිළිතුරක් නැත.
වාසුදේව නානායක්කාර නම් පැන්ශන් ගිය වාමාංශිකයා කියා තිබුණේ, ප්‍රකාශයක් ගන්නට අවශ්‍ය නම් 'එතුමා' සිටිනා තැනකට අල්ලස් කොමිසම යා යුතු බවය. මේ කියන්නේ ප්‍රශ්නය ඇත්තේ ජනතාව විසින් බලයෙන් පහකළ හිටපු පාලකයාගේ ආඩම්බරය පිළිබඳ බව ය. එක් මිනිසෙකුගේ ආඩම්බරය වෙනුවෙන් බිම ඉඳගන්නා, නිදාගන්නා, හංදි ගාණේ පොළවේ හැපෙනා උන් එකෙකුවත් දහස් ගණනකගේ ජීවත් වීමේ අයිතිය ගැන තකන්නේ නැත.
ටෙලි නාට්‍යන්හි හමුවෙන නිවෙස් වල මෙහෙකාරියන්ගේ චරිත දෙස බලන්න, ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න නැත. ඇත්තේ බේබිලාගේ සහ හාමුලාගේ ප්‍රශ්න විතර ය. තුන් තිස් පැය ඔවුන් හූල්ලන්නේ වැළපෙන්නේ ඒවා ගැන විතර ම ය. ජාතිවාදයෙන් මත්කෙරුණු ජනකායක් දැන් රටේ හැසිරෙන්නේද එහෙම ය. අධිරාජ්‍ය විරෝධී ටොපි කොළයේ දවටා එක් පවුලක් ඉදිරියේ රටක් පරාධීන කෙරුණු තරම ඒක ය.
අපට ජීවත් වීමට සිදුව ඇත්තේ මෙහෙව් ලංකාවක ය.
~ රුවන් නෙලූ