සැබැවින්ම මෙම ගිවිසුම සඳහා පිඹුරුපත් සැකසෙන්නේ 2008 වසරටත් පෙරාතුව ය. එනම් 1998 වසරේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතංග මහත්මිය විසින් අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ අන්තර්ගත, එහෙත් ලාංකීය වෙළෙඳ ප්‍රජාවට මතු නොව සමස්ත ලාංකීය ආර්ථිකය වෙත ම බලපාන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය එතුමියගේ ඉල්ලා සිටි විකල්පයට පිළිතුරක් වශයෙනි. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ද ඉන්දියාව විසින් ම ය. එහෙත් අවසානයේ එය ඉඟුරු දී මිරිස්ගත්තා වැනි ක්‍රියාවක් බවට පත් වන්නේ එම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන සහ මෙරට ව්‍යාපාරික අංශ විරුද්ධත්වය පළ කරන්නට යෙදුණ බැවිනි.
මෙහි දී මේ එක් එක් පාර්ශවයන් මෙම ගිවිසුමට විරුද්ධ වූයේ එකම පොදු සාධකයක් මත නොව එක් එක් කාරණා මූලික කොට ගනිමිනි. දේශීය ව්‍යාපාරික ප්‍රජාව මෙයට එරෙහි වූයේ මෙම ගිවිසුම තුළින් තමන්ගේ වෙළෙඳ ව්‍යාපාරය කඩාවැටේය යන බිය හේතුවෙනි. ඇතැම් දේශපාලන ව්‍යාපාර මීට එරෙහි වූයේ එම ගිවිසුම හරහා මෙරට තුළ ඊළාමයක් ගොඩනැගීමේ අත්තිවාරම සැකසී ඇතියි වූ අනියත බිය හේතුවෙනි. ඔවුන්ට අනුව ඉන්දියානු නායකයෙක් හෝ වෙළෙඳ ව්‍යාපාරිකයකු ලංකාව දෙසට පශ්චාත් භාගය හරවා අධෝ වාතයක් පිට කළ ද එය ඊළමට පාර කැපීමකි. එකල පැවති විපක්ෂය එනම් වර්තමාන අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෙම ගිවිසුමට විරුද්ධ නොවූව ද ඔවුන් යෝජනා කර සිටියේ මෙම ගිවිසුම සංශෝධනය විය යුතු බව යි. කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් අමතකව ගිය මෙම ගිවිසුම පිළිබඳ කතාබහ යළි කරළියට පැමිණ ඇත. එකල මෙම ගිවිසුමට විරුද්ධව ගෙන ගිය විවිධ ක්‍රියාමාර්ගයන් අතර, උද්ඝෝෂණ, මහජන රැස්වීම්, අත්පත්‍රිකා බෙදීම් සහ ඒ වෙනුවෙන් ම ප්‍රකාශයට පත්කළ ‘‘සීපා ගිවිසුම ඉන්දියානු මර උගුලකි’’ යනුවෙන් කෘතියක් ද නිකුත් විය.
මේ අතර ‘‘සීපා එපා ක්‍රියාන්විතය’’ නම් වූ සංවිධානයක් විසින් අත්පත්‍රිකාවක් බෙදාහරින ලදී. ඉහත සඳහන් කළ සංවිධාන මෙම ගිවිසුමට විරුද්ධ වීමට දැක් වූ හේතු සාධකවලට සාපේක්ෂව ගත් කල ‘‘සීපා එපා ක්‍රියාන්විතය’’ නම් වු සංවිධානය විසින් නිකුත් කරන ලද අත්පත්‍රිකාවේ සඳහන් කරුණු යම් මධ්‍යස්ථ භාවයක් ඉසුලුවේ යැයි හැඟෙන බැවින් මේ මොහෝතේ එම පත්‍රිකාවේ අඩංගු අදහස් යළි සමාජ ගතකළ යුතු යැයි හැඟුණි. (මෙම අත්පත්‍රිකාව බෙදා හැරුණේ 2011 වසරේ දී බව කරුණාවෙන් සලකන්න)
‘‘සිපා එපා’’ ඒකාබද්ධ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ විද්වත් වෘත්තික සංවිධාන සහ දේශීය ව්‍යාපාරික සංවිධාන නියෝජනය කරමින් මෙම ප්‍රකාශයට එකඟ වන අපි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම හෙවත් සීපා ගිවිසුමට පහත සඳහන් හේතු පදනම් කරගනිමින් ඉතා දැඩි ලෙස විරෝධය පළ කර සිටිමු.
01. දැනට ක්‍රියාත්මක වන ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කිසිඳු සාධාරණ සමතුලිතතාවයකින් තොරව ඉන්දියාවට වාසිදායක වී ඇත. මෙම තත්ත්වය දිගින් දිගට ම පැවතීම නිසා ශ්‍රී ලංකාව විසින් අපනයනය කළ හැකි භාණ්ඩ රාශියකට මෙන්ම කර්මාන්තකරුවන් රාශියකට ද ව්‍යාපාරික අවස්ථා අහිමි වී ඇත. එමෙන්ම ඒ මගින් ආයෝජන ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ පරණ යකඩ සහ තඹ උණු කර අපනයනය කරන කර්මාන්ත සහ වනස්පති ගිතෙල් වැනි පහළ මට්ටමේ කර්මාන්ත ය. සීපා වැනි වඩාත් සහන ලැබෙන ගිවිසුම් මගින් එවැනිම කර්මාන්ත වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට ලැබෙනු ඇත. නමුත් එවැන්නකින් අපේ ආර්ථිකයට සාධාරණ දායකත්වයක් ලැබෙන්නේ නැත. එහි අවසාන ප්‍රතිඵලය දේශීය ව්‍යාපාරිකයාට අවස්ථා අහිමි වීම යි.
02. පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ උද්ගත වී ඇති ගැටලු විසඳා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සහ විද්වත් වෘත්තිකයන් අතර විශ්වාසය දිනාගැනීමට ඉන්දියාව අපොහොසත් වී ඇත. සීමාසහිත ගිවිසුමක ගැටලු විසඳීමට අසමත් වන තත්ත්වයක් යටතේ ‘‘සීපා’’ වැනි පුළුල් ගිවිසුමකට එකඟ වීම ශ්‍රී ලංකාව වැනි ඉන්දියාවට සාපේක්ෂව දුර්වල අර්ථිකයක් සහිත රටකට කිසිසේත් ම යෝග්‍ය නොවේ. ආර්ථික ගිවිසුමක් අත්සන් කිරීම සදහා කිසිඳු පාර්ශවයකට අනෙක් පාර්ශවය විසින් බලපෑම් කිරීම කිසිසේත්ම සාධාරණ නොවේ. දෙපාර්ශවයට ම වාසිසහගත බවට දෙපාර්ශවයට ම පෙනී යන තත්ත්වයක දී සහ මහජන විරෝධයක් නොමැති තත්ත්වයක් යටතේ පමණක් ආර්ථික ගිවිසුම් පිළිබඳසාකච්ඡා කළ යුතු ය.
03. යෝජිත සීපා ගිවිසුම සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ කිසිඳු විනිවිද භාවයක් හෝ මහජනයාට වගවීමේ යාන්ත්‍රණයක් පෙන්නුම් නොකළ අතර ජාතික මට්ටමේ සංවිධානවලට පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ගිවිසුමේ සැබැ වගන්ති පිළිබඳ දැනගත හැකි වූයේ විවිධ සම්බන්ධකම් හරහා ඉතා දැඩි අපහසුතා මධ්‍යයේ ය. එමෙන්ම එම ක්‍රියාවලියට මැදිහත් වූ ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් සහ උපදේශකයන් විවෘත මනසකින් තොරව ඉන්දියානු වුවමනාවට පක්ෂපාතී ලෙස අදහස් පළකිරීම තුළ ඔවුන් කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී ඇත. එපමණක් නොව ගිවිසුම මූලික වටයේ දී සංකල්පමය රාමුවක් ලෙස අත්සන් කොට පසුව අදාළ නිශ්චිත වගන්තිවලට එකඟ විය හැකි බවට ප්‍රකාශ වීම නිසා අප අත්සන් කිරීමට සැරසෙන්නේ හිස් චෙක්පතකට ද යන සැකය ද මහජනයා තුළ ඇති වී ඇත.
04. සීපා ගිවිසුම මගින් ඉතා පැහැදිලිව ම උත්සාහ කරන්නේ ලෝක වෙළෙඳ සංවිධානයේ බහු පාර්ශවික ගිවිසුමක් වන සේවා ආශ්‍රිත වෙළෙඳාම පිළිබඳ ගිවිසුම හෙවත් ගැටිස් ගිවිසුම මගින් ඉටු කරගත නොහැකි වූ දෙය ද්විපාර්ශවික ගිවිසුමක් මගින් ඉටු කර ගැනීමට ය. එමගින් ඉතා පුළුල් ලෙස සේවා අංශ විවෘත කිරීම පිළිබඳ ලෝකයට ම ආදර්ශයක් සැපයීමට උත්සාහ කරන බව ද පෙනේ. ඒ අනුව සීපා ගිවිසුම තුළ සේවා වෙළෙඳාම සිදු කෙරෙන ආකාර හතරම ඇතුළත් වන අතර ඒ මගින් විද්වත් වෘත්තීය අංශවල පමණක් නොව මධ්‍යම මට්ටමේ තාක්ෂණික අංශවල වාත්තිකයන්ට ද බරපතල තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. ‘‘ජාතික සැලකිල්ල’’ නමැති ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලාංකියන්ට සහ රටට ඇතුල්වන ඉන්දියානු ජාතිකයන්ට වෘත්තීය ලියාපදිංචිය ආදිය ද බාධාවකින් තොරව ලබාදීමට සිදුවනු ඇත. ඊට අමතරව ‘‘ඉදිරිගාමී නිදහස් කිරීම’’ නමැති ප්‍රතිපත්තිය යටතේ දිගින් දිගට ම නව සේවා අංශ විවෘත කිරීමට ද ශ්‍රී ලංකාව බැඳී සිටී.
05. සිපා ගිවිසුම අනුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, වාස්තු විද්‍යාඥයන් ගණකාධිකාරිවරුන් ආදී වෘත්තික ක්ෂේත්‍රවල ඉන්දියානු වෘත්තිකයන්ට පුද්ගලිකව රට තුළට පැමිණ තම වෘත්තිය වාණිජ මට්ටමින් පවත්වාගෙන යාමට අවස්ථාව විවර වේ. ඒ පිළිබඳ යම් සීමාවල් පනවන බවට මත පළවුන ද ඒවා හුදු රැවටිලිකාර බස් බවට කිසිඳු සැකයක් නැත. ඉතා නරකම තත්ත්වය වන්නේ ඉන්දියානු ආයෝජන යටතේ පැමිණෙන වෘත්තිකයන්ට ද තම වෘත්තියට අනුව රට තුළ රැකියා කිරීම සඳහා වීසා ලබා දීමට සිදු වේ. ඔවුන් විද්වත් වෘත්තිකයන් නම් ඔවුන්ට ද අදාළ වෘත්තිය ආයතනවල ලියාපදිංචිය ලබා දීමට සිදු වේ.
06. සීපා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරිකයන්ට සහ ධීවරයන්ට පවා තම ජීවන වෘත්තීන් අහිමි වීමේ අවදානම ඇති වේ. එයට හේතුව මහා පරිමාණ සිල්ලර වෙළෙඳාම සහ ධීවර කර්මාන්තයට ද ඇතුල් වීමේ අවස්ථාව ඉන්දියානු ව්‍යාපාරිකයන්ට උදාවීම යි. දැනටමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් ඉන්දියානු ශිල්පීන් විසින් සංචාරක වීසා මත ලබාගෙන ඇත. සීපා ගිවිසුම අත්සන් කළ පසුව කොන්ත්‍රාත් සමාගම් යටතේ ඉන්දියානු ශිල්පීන්ට සහ පුහුණු කම්කරුවන්ට ද ක්‍රමානුකූලව රටට ඇතුල් වීමේ අවස්ථාව උදාවීමේ අවදානම ඇත.
මේ ආකාරයට ඉහත සඳහන් කොට ඇත්තේ ප්‍රධාන වශයෙන් මතු වී පෙනෙන ගැටලු ප්‍රමාණයක් පමණි. නමුත් දැනට එළිදරව් වී ඇති ගිවිසුමේ කොටස් අනුව ශ්‍රී ලංකාවට තවත් බොහෝ හානිකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ගිවිසුම අත්සන් කළ පසුව එය රටට අහිතකර නම් නැවත අවලංගු කළ හැකි බවට ඉදිරිපත් කරන තර්කය ඉතා බාල මට්ටමේ අභියෝගයකි. අප විශ්වාස කරන්නේ මේ ගිවිසුම අත්සන් කළ පසු ආපසු හැරීමක් නැති බවයි.
කෙසේ වෙතත් අප ඉන්දියාවේ භූ දේශපාලන යථාර්ථයන්ට අභියෝග නොකළ යුතු ය. එසේම අප අතර ඇති වසර 2500කට අධික ඓතිහාසික, ආගමික, සංස්කෘතික, සමාජ සහ ආර්ථික සම්බන්ධතා අප අමතක නොකළ යුතු ය. නමුත් අප විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව යටත්වන්නා ගේ භූමිකාවෙන් මිදී සමානව සිටගන්නා මිතුරා ගේ භූමිකාවට අවතීර්ණ විය යුතු බවයි. එසේම ශ්‍රී ලංකාවට සහෝදරත්වයෙන් සලකමින් දෙරටටම වාසි සහගත ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සැපයීමට ඉන්දියාව ක්‍රියා කරන්නේ නම් එය දෙරටේ ම අනාගත අභිවෘද්ධියට යහපත් වන බව අපගේ පිළිගැනීම යි. ඉන්දියාව ප්‍රබල ආර්ථික ශක්තියක් සහ විභවයක් සහිත රටක් බැවින් එවැනි ගමනක් සඳහා ශ්‍රී ලංකාවට උදව් කළ යුත්තේ ඉන්දියාව මිස වෙනත් රටක් නොවේ.
ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජාතිකවාදී කර්මාන්තකරුවකු වූ ටාටා බිර්ලා ජර්මනියේ බෙන්ස් සමාගමෙන් තාක්ෂණය ලබාගෙන අද වන විට බෙන්ස් සමාගම අභිභවමින් ඉදිරියට ගොස් ඇත. ශ්‍රී ලංකාව ද කල්පනා කළ යුත්තේ ඉන්දියාවෙන් එවැනි උසස් තාක්ෂණය සහිත ආයෝජන දිරිගැන්වීම සඳහා ය. ඒ සඳහා ඒකාබද්ධ ව්‍යාපෘති ඇති කළ යුතු ය. එවැනි ආයෝජන සඳහා සීපා ගිවිසුමක් අවශ්‍ය වන්නේ නැත.
ඒ නිසා අප ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉතා දැඩි ලෙස ඉල්ලා සිටින්නේ සිපා ගිවිසුම අත්සන් නොකරන ලෙස ය. ඒ සදහා සාධාරණ හේතු ඉන්දියානු රජය වෙත ඉදිරිපත්කිරීම අපේ යුතුකමකි. නමුත් එවැනි භාරධූර කාර්යයක් සඳහා මේ වන විට සිපා ක්‍රියාන්විතයට සහභාගී වී සිටින නිලධාරීන් සුදචුසු නැති බව අපගේ විශ්වාසය යි. යම් දවසක ශ්‍රි ලංකාව ආර්ථික වශයෙන් දැනට සිටින තත්ත්වයට වඩා බෙහෙවින් ශක්තිමත් වූ යුගයක සීපා ගිවිසුම වැන්නක් පිළිබඳ නැවත සාකච්ඡා කළ හැකිවනු ඇත. එතෙක් නිදහස් වෙළෙඳ ගිවිසුමේ ගැටලුව විසඳා ගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
‘‘සීපා එපා’’ ක්‍රියාන්විතය
ප: ලි:
මෙම ලිපියේ ‘‘අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන්’’ අදට වලංගු නොවුණ ද එය ‘‘අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන්’’ යනුවෙන් සටහන් කළ විට එහි වැදගත්කම ඉස්මතු වේ. මන්ද යත් එදා මෙම ගිවිසුමට එරෙහි වූවෝ ද පක්ෂපාති වූවෝ ද අද ලැගුම් ගෙන සිටින්නේ වෙනත් ස්ථානවල බැවිනි.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව ‘‘සීපා’’ ගිවිසුම ක්‍රියාත්මක කරන්නට සැරසෙන්නේ නම් එදා ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළ පරිදි (සීපා යනු ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සේවා හා වෙළඳාම් නිදහස් කිරීමේ ගිවිසුමයි. මෙය අත්සන් තබන්නේ නම් එමගින් එක් පාර්ශවයකට පමණක් නොව දෙපාර්ශවයටම සම වාසි ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජෝන් අමරතුංග පවසයි. – 2010 මැයි 24 ඉරිදා දිවයින) එම ගිවිසුම සංශෝධනයට ලක් කළා ද යන්න ද විමසා බැලිය යුතු ය. එහෙයින් වරාය නගරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අනුගමනය ක්‍රියාමාර්ගය හා සමපාත නොවන ක්‍රියාමාර්ගයක් ‘‘සීපා ගිවිසුම’’ අරභයා අනුගමනය කරතැයි අප බලා සිටින්නෙමු.
සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.