මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්
ඒ අන් කිසිවක් නොව මේ දිනවල රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවකදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් ගැනය. මේ ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා දැනටමත් රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් සාධාරණ පරීක්‍ෂණයක් සිදුවනු ඇති ද යන්න ගැනත් මේ වන විට සැකයට භාජන වී තිබේ. ඉකුත් පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාව නිසා රජයට සිදුවන පාඩුව අවසානයේ දී බලපානු ලබන්නේ මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර ජනතාවටයි. දැනට හෙළි වී ඇති කරුණු අනුව මෙය එම බැඳුම්කර නිකුතුවට පමණක් නොව අනාගතයටද අහිතකර ලෙස බලපෑම් ඇති කරන සිදුවීමක් බවට පත්ව තිබේ. ඒ නිසා රජයටත්, මහ බැංකුවටත් ඇතිව තිබෙන බරපතල කැළල වසා ගැනීම සඳහා මෙය යට ගැසීමේ උත්සාහයක් පවතින බවටද මූල්‍ය වෙළෙඳපොළ නියෝජනය කරන පිරිස් සැක පළකරති. ඒ නිසා අද දිනයේ මේ සිදුවීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වෙනු ඇතිද යන්නයි.
දැනට චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුවේදී ඉහළ පොළී අනුපාතයක් තීරණය කිරීම හරහා එම බැඳුම්කර නිකුතුවේදී රජයට සිදුවන පාඩුවට අමතරව, අනාගත ණය ගැනීම්ද ඉහළ පොළී අනුපාත යටතේ සිදු කිරීමට සිදු වීමෙන් රාජ්‍ය වියදම් තවදුරටත් ඉහළ යාම සිදු වේ. එය මේ වන විටත් සිදුව ඇති බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයින් අපට පෙන්වා දෙන කරුණකි. ආන්දෝලනයට තුඩු දුන් දැනට පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති ඉකුත් පෙබරවාරි මස 27 දින සිදු කළ භාණ්‌ඩාගාර බැදුම්කර වෙන්දේසියෙන් පසුව තවත් භාණ්‌ඩාගාර බැදුම්කර සහ බිල්පත් වෙන්දේසි කිහිපයක්‌ම පැවැත් වී තිබේ. ඒවායෙහි ද පොළී අනුපාත ඉහළ අගයකට තීරණය වීම නිසා රජයට පාඩු සිදුව ඇති බව මූල්‍ය වෙළෙඳපොළ පාර්ශවකරුවෝ පවසති. ඒ නිසා පෙබරවාරි 27 දින සිදු වූයේ යෑයි කියන මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතාව නිසා අනාගතයට, ද එනම් වෙනත් භාණ්‌ඩාගාර බැඳුම්කර සහ බිල්පත් නිකුත් කිරීම්වලට අහිතකර බලපෑමක් ඇති වන බව පැහැදිලි වන කරුණකි.
පෙබරවාරි 27 දින සිදුවීම නිසා ඉන් පසු වෙළෙඳපොළ පොළී අනුපාතය ඉහළ යැමට සියයට එකකින් පමණ බලපෑමක් සිදුව ඇති බවට උපකල්පනය කළහොත්, මේ නිසා ඉකුත් මාර්තු 12 දින පැවැති වෙන්දේසියෙන් පසු පැවැති වෙන්දේසිවලින් රජයට මේ වන විට රු. බිලියන 5.4 ක (රු. කෝටි 540 ක) පමණ අතිවිශාල පාඩුවක් සිදුව තිබෙන බව මූල්‍ය වෙළෙඳපොල පාර්ශවකරුවන් ඇස්‌තමේන්තු කර තිබේ. මෙහි ඉතා සරලම අදහස නම් රජයට මීට වඩා අඩු පොළී අනුපාතවලට ණය ගැනීමට හැකියාව තිබුණු බවත් චෝදනාවට ලක්‌ව ඇති බැඳුම්කර නිකුතුව නිසා වෙළෙඳපොළ පොළී අනුපාත ඉහළ යාමෙන් රජයට වැඩි පොළී අනුපාතවලට ණය ගන්නට සිදුවීමෙන් මේ පාඩුව සිදුවන බවයි. අධිපති රාජ්‍ය ණය පොළී ගෙවන්නේ කවුද? මහ බැංකු අර්ජුන් මහෙන්ද්‍රන් නොවේ. එම පොළී වියදම් රාජ්‍ය අයවැය හරහා පියවීමට සිදු වන්නේ මහා භාණ්‌ඩාගාරයටය. භාණ්‌ඩාගාරයට මුදල් ලැබෙන්නේ බදු ගෙවන මහජනතාවගෙනි. ඒ නිසා මෙය, මේ රටේ අතිමහත් බහුතර ජනතාවට, ආර්ථිකයටත් ඉතා අහිතකර ලෙස බලපාන සිදුවීමකි.
එසේම මේ එල්ල වී ඇති බරපතල චෝදනාව සත්‍ය නම් එය ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය බරපතල ලෙස පළුදු කරන්නකි. එසේම සාධාරණ පරීක්‍ෂණයක් නොකර මෙය යට ගැසීමට රජය උත්සාහ කරන්නේ නම් එය මෛත්‍රීපාල සිරිසේන මහතා ලද ජනාධිපතිවරණ ජනවරමින් පමණක් පිහිටුවා ගෙන ඇති මේ (තවමත් මහ මැතිවරණයක් නොපවත්වා ආණ්‌ඩුවේ ප්‍රතිරූපය ද විනාශ කරන්නකි. දැනට අගමැතිවරයා විසින් කමිටුවක් පත් කර, කරන්නට යන පරීක්‍ෂණය ගැන විශ්වාසය තැබීමට අපහසු බවත්, මේ සිදුවීම යට ගැසීමේ සැලසුමක් ඉහළට මට්‌ටමින් දියත්ව ඇති බවටත් මූල්‍ය වෙළෙඳපොළ පාර්ශ්වකරුවෝ සැක පළ කරති.
එසේම මෙය රජයේ ණය අවශ්‍යතාව පිළිබඳ ප්‍රශ්නයකට වඩා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය හරහා සිදුකර ඇති අක්‍රමිකතාවක් බව පැවසේ. චෝදනා එල්ල වී ඇත්තේ ඒ සම්බන්ධයෙනි. එසේ නම් මේ ගැන නිල වශයෙන් කරුණු පැහැදිලි කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. එහෙත් මේ ගැන ඇති චෝදනාවලට මහ බැංකුව වෙනුවට පිළිතුරු බඳින්නේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් වීමද ප්‍රශ්නයට තුඩුදෙන කරුණක් වී තිබේ. මින්පෙර මහ බැංකුවට චෝදනා එල්ල වු අවස්‌ථාවලදී ඒ ගැන මාධ්‍යයට කරුණු පැහැදිළි කිරීම් කළේ මහ බැංකුව විසින්මය.
රජයේ අමාත්‍යාංශ විසින් පුවත්පත් නිවේදන නිකුත් කළ බවක් අපට මතක නැත. මෙවර ඒ තත්ත්වය වෙනස්‌වීමත්, ජනාධිපතිවරයා වෙනුවට පසුව අගමැතිවරයා විසින් කමිටුවක් පත්කිරීම හරහා, මෙකී චෝදනා එල්ල වි ඇති අක්‍රමිකතා සිදුවිම යටගැසීමේ සූදානමක් ඉහළම මට්‌ටමෙන් පවතින බවද මෙය යහපාලනය නොවන බව ද මූල්‍ය වෙළෙඳපොළ පාර්ශ්වකරුවන් පෙන්වා දෙයි. මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නේ කුමක් දැයි අද දිනයේ රටම බලා සිටියි. වත්මන් ආණ්‌ඩුව බලයට පත් කළ ජනවරම ලැබුණේ ඔහුටය. ඒ නිසා පසුගිය ආණ්‌ඩුවේ වැරදි හොයන අතරම තම රජයේ වැරදි සම්බන්ධයෙන්ද පියවර ගැනීම අත්‍යවශ්‍ය බව අපි කියා සිටිමු. වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය දුන් යහපාලනයක් අපේක්‍ෂා කළ ජනයා මේ සිදුවීම දෙස බලා සිටින බවද ඔහු මතක තබා ගත යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍යයෙන් භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය ඉකුත් පෙබරවාරි 27 දින බැඳුම්කර වෙන්දේසියේදී අනුගමනය කළේද යන ප්‍රශ්නය බරපතලව මතුව තිබේ. ඒ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවට කරුණු දැක්‌විය හැකිය. මේ සම්බන්ධයෙන් පැතිර යන විශ්වාස කටයුතු ආරංචි අනුව මහජනතාව වෙනුවෙන් අපට අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබේ.
එනම් ප්‍රශ්නයට තුඩු දී තිබෙන භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු ඉදිරිපත් කරන අවස්‌ථාවේදී, මහ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් මහ බැංකු අධිපතිවරයා එම ස්‌ථානයට පැමිණියේද? එසේ පැමිණ, එම ලංසු එකිනෙක පුද්ගලිකව ඔහු විසින් පරීක්‍ෂා කරනු ලැබුවේද?, එසේ කිරීමට වර්තමාන අධිපතිවරයා දැඩි උනන්දුවක් දක්‌වනු ලැබුවේද?, එසේ නම් ඒ ඇයි?, මෙම ලංසු අතර මහ බැංකු අධිපතිවරයාගේ බෑනා විසින් ඉහළ තනතුරක් හොබවන සමාගමේ ලංසු මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කර ඇති බව ඔහු කලින් දැන සිටියේ නැද්ද? මෙවන් බරපතළ ප්‍රශ්න මතුවී ඇති මොහොතක සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා අවම සදාචාරය රැකීමට හෝ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ඉවත් විය යුතු නොවේද? මේ ප්‍රශ්න අප ඇසුවේ ඇතැම් විට අපගේ නොදන්නා කමට විය හැකිය. එහෙත් ඒ සඳහා මහජනතාවට පිළිතුරු ලැබිය යුතු බව අපගේ වැටහීමයි. හේතුව නම් මේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාව නිසා බදු ගෙවන ජනතාවට සිදුවන දැඩි අහිතකර තත්ත්වය නිසාය.
දිවයින