නුගේගොඩින් ඇසුණේ මාළිගාවත්තේ ලී මෝල් හඬ මිස ජාතිකත්වයේ හඩ නොවේ

Saturday, 21 February 2015 13:03

එදා නැව් එන්නැති වරාය හදමින් ජාතික ධනය කාබසීනියා කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි අවදි විය. මොනරු ලගින ගුවන් තොටුපොළවල රටේ ධනය නිදන් කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි ඇසිණි.

ජනතාවගේ ජල පිපාසාව සංසිඳුවන්නේ නැතිව සූරියවැව ක්‍රිකට් පිටි තනන්නට කෝටි ගණන් වැය කරද්දී නොනැඟුණු ‘ජාතියේ හඬ’ යළි නුගේගොඩ දී ඇසිණි. ‘පෝර්ට් සිටි’ වැනි විවාදාපන්න ව්‍යාපෘති හමුවේ මුකවාඩම් දාගෙන තිබුණු ජාතියේ හඬ යළි නුගේගොඩ දී අහස දෙදරන හඬින් ඇසිණි.

කොළඹ නගරය සෙල්ලම් ගෙයක් කරමින් නගරය වසා නයිට් කාර් රේස් පදින විට නොනැඟුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී ඇසිණි. එදා ජාතිය වනසමින් ගත් සියලු තීරණ හමුවේ නිහඩ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි ඇසිණි. ඒ නැඟුණේ ඒ සියල්ල කළ නායකයා යළිත් බලයට ගෙන එන්නටය. මේ ජාතියේ හඬ ද නැතිනම් ‘මාළිගාවත්තේ ලී මෝලේ හඬ ද? නුගේගොඩට රැස්වුණ ජනතාව ඔල්වරසන් දුන්නේ ජාතියේ හඬින් ද මාළිගාවත්තේ ලී මෝලේ හඬින් ද?

රගර් - කාර් රේස් සංස්කෘතිය

නිමල් සිරිපාල සිල්වා මහතා වැනි ශ්‍රීලනිප නායකයන් විසින් තමන් උපන් ගම් ප්‍රදේශයට කරන්නට සැදූ සේවාවට වඩා පසුගිය ආණ්ඩුවට ‘රගර්’ ජාතික ප්‍රමුඛතාවක් විය. නිමල් සිරිපාල මහතා බලාපොරොත්තු වන්නේ යළි රගර්වලට නොව තමන්ට ඡන්දය දුන් ගමේ ඡන්දදායකයන්ගේ අවශ්‍යතාවන්ට මුදල් වෙන්කරන ආණ්ඩුවකි. ශ්‍රීලනිපයේ බොහෝ නායකයන්ගේ බලාපොරොත්තු පසුගිය රජය යටතේ ඉටු නොවිණි. ‘පෝර්ට් සිටි’, නැව් නැති වරාය, නාට්‍යකරුවන්ට කිසිඳු වැඩක් නැති සුදු අලි නෙළුම් පොකුණු රඟහල්, කාර් රේස්, රගර්, මිහින් ලංකා ජාතික ප්‍රමුඛතාවන් බවට පත්විය.

පසුගිය ආණ්ඩුව වනාහී කාර් රේස් පැවැත්වීම උදෙසා දුප්පත් ම ජනතාව භාවිත කරන භූමිතෙල්වලින් ද විශාල බදු මුදලක් අය කරගත් ආණ්ඩුවකි. ඒ සියල්ල හමුවේ නිහඬව සිටි ‘ජාතියේ හඬ’ යළි නුගේගොඩින් ඇසිණි. එය මාළිඟාවත්තේ ලී මෝලේ හඬ විනා අන් කුමක් ද? අතළොස්සක් වන නමුදු මාළිඟාවත්තේ ලී මෝලේ හඬට ඔල්වරසන් නැඟීමට තරම් මුග්ධ ජනකායක් මේ මවුබිමෙන් බිහිවූයේ කෙසේ ද? මෙහිදී මෑත අතීතය යළිත් විමසා බැලීම සුදුසුය.

යුද ජයග්‍රහණය ජාතියේ ජයග්‍රහණයක් නොවුණේ එය ජාතිය සතු වන්නට නොදී පවුලක හා සීමිත පිරිසකගේ ජයග්‍රහණයක් බවට පත්කරගැනීමට උත්සාහ දරන ලද බැවිනි. (නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ්‍රීලනිප නායකයන්ගේ කලකිරීම ඇරැඹුණු අවස්ථාව ද එය යැයි සැලකිය හැකිය.) එය එසේ උත්සාහ කළ නායකයන්ගේ මෙන් ම ජනතාවගේ ද අත්වැරදීමෙන් සිදුවූ දෙයක් ලෙසට අවශ්‍ය නම් සැලකිය හැකිය. එනම් සුවිශාල ජයග්‍රහණයක් භුක්ති විඳින අවස්ථාවකදී කා අතින් වුවත් අත්වැරදි සිදුවීමට ඉඩ ඇති බැවිනි.

අත්වැරැද්දක් යනු නොදැන සිදුවන වැරැද්දකි. නොදැන කරන වරදකි. අවිඥානකව කරන වරදකි. ඒ අනුව ඉන් එතරම් හානියක් නොවේ. එහෙත් මෙසේ සිදුවූ අත්වැරැද්ද පසුව හිටපු ජනපතිවරයා හා ඔහුට සමීප අය විසින් සවිඥානකව කරගෙන යන වරදක් බවට පත්කරගනු ලැබිණි. ජාතිය ලැබූ ජයග්‍රහණය තමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් සේ සලකන්නට ඔවුහු යොමු වූහ. යුද ජයග්‍රහණයෙන් ඇරැඹුණු ජාතියේ නව ඉදිරි ගමන හදිසියේ අතරමඟ නැවතුණේ ඒ සමඟමය.

පුද්ගල අභිවෘද්ධිය

ජාතියේ ගමන නැවතුණත් ජාතික ජයග්‍රහණයේ අයිතිය තම පුද්ගල අයිතියට පවරා ගත් නායකයන්ගේ ගමන නොනැවතිණි. එහෙත් ඒ ගමන අවසානයකට වැටී තිබුණේ නෙළුම් කුලුනු ඔස්සේය. ඒ ගමන ජාතියේ අභිවෘද්ධියට වඩා ඔවුන්ගේ පුද්ගල අභිවෘද්ධිය උදෙසා පමණක් විය. ජාතිය මත රන් අකුරින් නම ලියවා ගැනීමට තිබිය දී පාරවල් මත, වරායවල් මත, ගුවන් තොටුපොළවල් මත නම ලියන තත්ත්වයට නායකත්වය පිරිහුණේ ඒත් සමඟමය.

අනෙක් කරුණ මේ නම යෙදුවේ ද රටට මේ මොහොත තුළ ආයෝජනය කරන මුදල සමඟ සැසඳූ විට කිසිඳු වැඩක් නැති ව්‍යාපෘතිවලට වීමය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ හා නෙළුම් පොකුණ රඟහල උදාහරණ වේ. සැබවින්ම මේ ව්‍යාපෘතිවලට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නම සැමදා යොදා තිබිය යුතු වන්නේ එතුමන්ට සිදුවූ වැරදීම සැමදා ජාතිය ඉදිරියේ සනිටුහන් කර තිබීමට හොඳම ක්‍රමය ද එය වන බැවිනි.

මිහින් ලංකා නොමැති වුවත් මිහින් ලංකා නාම පුවරුව හෝ තබාගත යුත්තේ ජාතියේ ජයග්‍රහණයක් පුද්ගල ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට දරන ලද උත්සාහයක ඛේදනීය කතාව ඒ ඔස්සේ කියවන බැවිනි. ඉතිහාසගත මහා ජයග්‍රහණයක් රටට හිමිකර දුන් නායකයා ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළකට තමාගේ නම යෙදීමට තරම් බොලඳ හා දුර්වල අඩියකට වැටුණ ද අද ජාතිය වෙනුවෙන් මොර දෙමින් තප්පුලන නායකයෝ එදා ඒ ගැන වචනයක් හෝ නොකීහ. මේ අනුව ඔවුන්ගේ හඬ ජාතියේ හඬ නොව මාළිගාවත්ත ලී මෝලේ හඬ බව ඉතා පැහැදිලිය.

ඩී. ඇස්. සේනානායක මෙහෙවර

ජාතිකත්වය පිළිබඳ කතිකාව සැම විටම දේශපාලන අරමුණුවල සීමාවන් තුළ සිරවීම අපේ රටේ සිදුවූ දරුණුතම ඛේදවාචකයයි. ජාතිකත්වය දේශපාලන අරමුණු උදෙසා පාවිච්චි කිරීම හැරුණු විට ජාතිකත්වය රැකගැනීම හා නඟා සිටුවීම උදෙසා පැහැදිලි කාර්යභාරයක් බොහෝ නායකයන් වෙතින් ඉටු නොවිණි. එහෙත් එයට සාපේක්ෂව ජාතිකත්වය ගැන මහ හඬින් මහා දේශන නොකළ ද පැහැදිලි දැක්මක පිහිටා සිට ජාතිකත්වය රැකගැනීම හා නඟා සිටුවීම උදෙසා වැඩ කළ ඩී. එස්. සේනානායක මැතිඳුන්ගේ මෙහෙවර කැපී පෙනෙයි.

එතුමන් ජාතිකත්වය ගැන කතා කළ අයට වඩා ජාතිකත්වය වෙනුවෙන් ද වාමාංශිකයන්ට වඩා පොඩි මිනිහා වෙනුවෙන් ද වැඩ කළ නායකයෙකි. ඊළාම් යුද්ධය වෙනම රටකින් අවසාන වීම වැළකුණේ අප 1980 දී දුටු අනතුර 1930 දී දුටු ඩී. එස්. සේනානායක මහතා නිසා ය.

එසේ දැක එතුමන් විසින් උතුර, උතුරු මැද හා නැ‍ඟෙනහිර පළාත තුළ ආරම්භ කරන ලද ගොවි ජනපද ව්‍යාපාරය නිසාය. එහෙත් ඒ ගැන වචනයක්වත් මේ ජාතිය වෙනුවෙන් පෙනී සිටින නායකයන් කතා කරන්නේ නැත. එයට හේතුව ඔවුන්ගේ හඬ මාළිගාවත්තේ ලී මෝලේ හඬ මිස ජාතිකත්වයේ හඬ නොවීමය.

ජාතික චින්තනයේ නායකයන් ඩී. එස්. සේනානායක මහතා තුළ වූ ජාතිකත්වය පිළිගැනීමට සූදානම් නැත. අවම වශයෙන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට සූදානම් නැත. එයට හේතුව ඔවුන් තුළ වන ජාතිකත්වයට වාමාංශික නැඹුරුව යයි සිතමි.

නැතිනම් දේශපාලන අවස්ථාවාදය යැයි සිතමි. දේශපාලන අවස්ථාවාදීන් යැයි අනෙකුන් වෙතට චෝදනා නඟන ඔවුන්ගේ හදවත් තුළ ම දේශපාලන අවස්ථාවාදය සැඟවී තිබීම ඛේදවාචකයකි. ජාතික චින්තනය යන වචනයත් නොතිබූ යුගයක පැහැදිලි දැක්මකින් යුතුව ජාතිය සුරැකීමට ක්‍රියාකළ ඩී. එස්. සේනානායක මහතාගේ දේශපාලන කාර්යභාරය දෙස ඔවුන් නොබලන්නේ ම ඔවුන්ට න්‍යාය දෙසා බෑම හා කෑගැසීම හැරෙන්නට කවදාවත් එවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශක්තියක් හා දැනීමක් කවදාවත් ඔවුන් තුළ නොපැවතීම නිසා ද?

සරත් ෆොන්සේකාට විරුද්ධ වීම

ඔවුන් මෙදා සරත් ෆොන්සේකාට විරුද්ධ වූයෙත් විරුද්ධ වන්නේත් එම අරුතින්ම ද? එනම් ක්‍රියාවෙන් ම ජාතිකත්වය රැකගැනීමට දිවි පරදුවට තබා ක්‍රියා කළ සරත් ෆොන්සේකා මහතාගේ තමන්ගේ ජාතිකවාදී ප්‍රතිරූපය අඟුටිමිටි තත්ත්වයට පත්වීම ඔවුන්ට ඉවසීමට නොහැකි වීම ද ඔවුන් සරත් ෆොන්සේකා මහතාට දිවි හිමියෙන් වෛර බැඳීමට හේතුව? එදා ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව ජිනීවා ගිය, ජාතිකත්වය ගැන කවදත් පැහැදිලි දැක්මක් නොතිබුණු මහින්ද රාජපක්ෂ මහතා අද ඔවුන්ගේ ජනප්‍රිය නායකයා වී ඇත්තේ ඒ නිසාම ද?

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන උපායශීලී භාවයෙන් අද්වීතිය බව ඇත්තකි. එහෙත් ඔහු තුළ පවත්නා ජාතික දැක්ම කුමක් ද? ස්වකීය දේශපාලන පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී ජාතිකත්වය භාවිත කිරීම හැරෙන්නට ඒ මහතාගේ ක්‍රියාකාරීත්වය තුළ දක්නට ලැබුණු ජාතිකත්වය කුමක් ද? ඇත්තටම එතුමන්ගේ දේශපාලන උපායශීලී නුවණ යුද්ධ සමයේ දී ජාතිකත්වයේ ජයග්‍රහණය උදෙසා උපකාරී වූ බව පමණක් නොව අත්‍යවශ්‍ය සාධකයක් වූ බව ද පැහැදිලි කරුණකි.

එහෙත් එය දේශපාලන නුවණකට එහා ගිය ජාතික දැක්මක් වූ බවට අපට ලැබෙන සාක්ෂි ඉතා අල්පය. නොඑසේනම් ‘පෝර්ට් සිටි’ වැනි ව්‍යාපෘතිවලට එතුමන් මුල පුරන්නේ නැත. එය අද වන විට වර්තමාන ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් වී ඇත.

නුගේගොඩට රැස්වූ ලී මෝල් ජාතිකවාදීන් මහින්ද යළි අගමැති කිරීමට උත්සාහ කරන නමුත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව කිසිඳු හඬක් නඟන්නේ නැත. එය නතර කිරීමට යම් ප්‍රවණතාවක් දක්වන වර්තමාන රජයට ඒ සම්බන්ධයෙන් සහාය දෙන්නේ ද නැත. ඔවුන්ගේ එකම අරමුණ මහින්ද යළි අගමැති කර පෝර්ට් සිටි ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම බව පෙනේ. ඒ අනුව ඔවුන් මහින්දට වඩා ‘පෝර්ට් සිටි’ වෙනුවෙන් පෙනී සිටින බව ද පැහැදිලිය. නුගේගොඩින් ඇසෙන්නේ ඒ වෙනුවෙන් වන ලී මෝලේ හඬය.

කුහකත්වය ද ජාතිකත්වය ද

මෙහි ඊළඟ කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට උත්සාහ දරන නායකයන් එක්සත් ජාතික පක්ෂය ද ජාතිකත්වයේ පක්ෂයක් වූ බව අමතක කිරීමය. ඔවුහු ඩී. එස්. සේනානායක මහතා සමඟ ම එක්සත් ජාතික පක්ෂය ජාතිකත්වයේ පක්ෂයක් වූ බව අමතක කරති. ආර්. ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය තුළ ජාතිකත්වය රැකගත් ආකාරය අමතක කරති. සැබැවින්ම ඔවුන් වෙතින් මෙහිදී පෙනීයන්නේ ජාතිකත්වය රැකගැනීමට වඩා කුහකත්වය රැකගැනීමට ඔවුන් තුළ වන වුවමනාවයි.

ජාතිකත්වයට වඩා කුහකත්වය රැකගැනීම තුළ අප රැකගන්නා ජාතිකත්වය කුමක් ද? විවෘත ව කතා කිරීමෙන් තොරව අප රැකගන්නා ජාතිකත්වය කුමක් ද? බල අරගලයේ උපකරණයක් වශයෙන් පමණක් භාවිත කරගන්නා ජාතිකත්වයේ අරුත කුමක් ද? එය මාළිඟාවත්තේ ලී මෝලේ හඬ විනා ජාතිකත්වයේ හඬ නොවේ. විශ්වාසභංගය හෝ වෙනත් කිසිවක් නොව මෙය අද අප ජාතිය මුහුණ පා ඇති අර්බුදය වශයෙන් සැලකිය හැකිය. නුගේගොඩ රැලි දහසක් පැවැත්වූවත් මහින්දලා දහසක් අගමැති වූවත් මේ ප්‍රශ්නයට විසඳුමක් නැත.

ජාතිකවාදීන්ගේ ප්‍රාර්ථනය

ඩී. එස්. සේනානායක නොපෙන්වන ඔවුහු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෙන්වති. එක්සත් ජාතික පක්ෂයේ ජාතිකත්වය නොපෙන්වන ඔවුහු ද්‍රවිඩ ජාතික සංවිධානයේ ජාතිවාදී බව පෙන්වති. පෝර්ට් සිටි ගෙනා මහින්ද රාජපක්ෂ මහතා තුළ ජාතිකත්වයේ පරමාදර්ශය දකින ඔවුන් පෝර්ට් සිටි ව්‍යාපෘතිය ගැන දෙවරක් සිතන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වෙති.

අන්තිමට ජාති ද්‍රෝහී කවුද? නුගේගොඩට රැස්වුණේ ‘පෝර්ට් සිටි'ය රැකගැනීමටදැයි කියා අපට අසන්නට හිතෙන්නේ ඒ නිසාය. ජාතිය රැඳී සිටින ජාතිකත්වයේ ප්‍රධාන ස්ථම්භ දෙක වශයෙන් සැලකිය හැක්කේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ පක්ෂ දෙක හැකිතරම් දුර්වල කිරීම හා හැකිනම් නැති කිරීම අද මේ ලී මෝල් ජාතිකවාදීන්ගේ ඒකායන ප්‍රාර්ථනය වී පවතින බව පෙනෙයි. එල් ටී ටී ඊ යට ද කළ නොහැකි වූ දෙය සිදු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එය හරියට ක්‍රියාත්මක වුවහොත් ජාතිකත්වයේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් යන දෙකම ඉන් අවසාන වනු ඇත. කුමන්ත්‍රණ යනු මේවා නොවේ ද? මෙයටත් වඩා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබිය හැකි ද? මේ කුමන්ත්‍රණවලින් ගැලවීමට තරම් දේශපාලන දැනුම්වත් භාවයක් අපේ රටේ ජනතාව සතු වේ ද? ඒ සඳහා අවශ්‍ය දේශපාලන මඟපෙන්වීම අපේ රටට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය සමත් වේ ද? මේ අද ජාතිය ඉදිරියේ ඇති ප්‍රශ්නයයි.

ජාතියේ ඉදිරියේ ඇති අනතුර එයයි. යුරෝපීය හෝ විදේශීය ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබේ. තිබිය හැකිය. එහෙත් අප විසින්ම අටවාගෙන ඇති අභ්‍යන්තර කුමන්ත්‍රණය ඊට වඩා දරුණුය. අවසාන වශයෙන් මාළිගාවත්තේ ලී මෝලේ හඬට ඔල්වරසන් දීමෙන් ජාතියේ හඬ ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසමි.

දේශපාලන ලියුම්කරු විසිනි

silumina

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us