එනම් ආරුගම්බේ යාබද පානම වැසියන්ගේ පාරම්පරික ඉඩම් හා පුරාණ විහාර බිම් බලහත්කාරයෙන් කොල්ලකෑමේ කතාවයි. ගෙවල් ගිනි තබමින්ද තුවක්කු බදවල්වලින් පහර දෙමින්ද ඉඩම් කොල්ලකද්දී ඊට විරෝධය දක්වමින් රාගම්වෙල මනිනාග පබ්බත පුරාණ විහාරයේ ස්වාමින් වහන්සේලා දෙනමක් සිය විහාරය අතහැර යාම ප්‍රතික්ෂේප කළ විට ආයුද සන්නද්ධ කන්ඩායමක් එම හිමිවරුන් සිවුරෙන් ඇදගනවිත් තුවක්කු බදෙන් පහරදී ආවාස ගෙයින් එලියට දැමූ අකාරය පිළිබඳ පානම වැසියෝ අදටත් සාක්ෂි දරති.
මෙය එදා ආණ්ඩු කරමින් වසරේ පෝය දෙලහට අරලිය ගහ මැදුරේ බණ කියවූ මහ උපාසකගේ කෙරුවාලින් එකක් පමණි. එදා එම ඉඩම් කොල්ලයට එරෙහිව හුදකලා අරගලයක නිරතවූ පානම වැසියන් රාජ්‍ය බලය හමුවේ නිහඩ වූයේ අවසන ජීවිතය හෝ බේරා ගැනීමේ අටියෙනි.
මහින්ද රාජපක්ෂගේ මෙම ඉඩම් කොල්ලයට බලල් අතක් සේ හමුදාව යොදාගනු ලැබිණි. ඉඩම් කොල්ලකෑමට එරෙහි වූ පිරස් පොලිසි වලින් අත්අඩංගුවට ගනිමින්ද අපරාධ පරීෂණ දෙපාර්තුමේන්තුවට රැගෙන එමින්ද පීඩනයකට ලක්කර නිහඩ කෙරිනි. මර්දනයෙන් සමාජයද අතලොස්සක් හැර බොහෝ මාධ්‍යද , මාධ්‍ය කරුවන්ද නිර්වින්දනවී සිටි මොහොතක පානම සංචාරයකින් පසු තැබූ මෙම සටහන නැවත පලකරන්නේ පානම ශ්‍රාස්ත්‍රෙවල ඉඩම් කොල්ලකෑමට ගොදුරුවු ජනතාවට කුමන හෝ සාධාරණයක් ඉටුවිය යුතු බැවිනි.
"ආරුගම්බේ පාලමට වම්පසින් වූ කලපු තීරයේ බටහිර අහස වැහි වලා පරදවමින් රත් පැහැ ගැන්වීමට බැස යන හිරු වෙර දරමින් සිටී. පාලම් කණුවේ මහින්ද රාජපක්ෂගේ කටවුට් එල්ලී තිබෙන්නේ තේරුම්ගත නොහැකි ගුප්ත බවින් යුතු අනතුරු සඟවාගෙන සිටින මහ මුහුද පසුබිම් කරගනිමිනි. එම පසුබිමේ වම්පස ආරුගම්බේ විශේෂ කාර්ය බළකා කඳවුරය. දකුණින් වෙරළට යාබදව ඉදි වන හෝටල් සංකීර්ණය ය.
පානම ජනතාව මුහුණ දෙන ඉරණම එක රූප රාමුවකට කොටු කරගැනීමට කැමරාව කි‍්‍රයාත්මක කළෙමි.‘‘STF එකෙන් බලාගෙන ඉන්නවා. අපි ඉක්මනට යමු’’.මිතුරා කියයි. කඳවුරේ කටු කම්බි වැට මායිමට පැමිණි ීඔත් සෙබළා කඩා පැනීමට සූදානම් මෘගයකු මෙන් ඔරවමින් සිටී. ‘‘තොපි කවුද, මේව අපේ ඉඩම්’’ යන සිතුවිල්ල ඔහුගේ බැල්මේ සැඟවී ඇතැයි සිතේ. එම සිතුවිල්ලත් සමග මතකයට එන්නේ පානම බලා එන බස් රථය සියඹලාණ්ඩුව පසු කරන විට මහලූ මවක කියූ කතාවය.
‘‘අපිට දැන් යන්න තැනක් නෑ. එක්කො කැලේ පැනල අලින්ගෙන් මැරෙන්න ඕන. නැත්නම් මුහුදට පැනල මැරෙන්න ඕන. අපි හමුදාව අල්ල ගත්ත ඉඩම් පෙන්වන්නම්. හැබැයි පේන්න පොටෝ ගන්න එපා. මේ බස්වලත් එයාලගේ සිවිල් කට්ටිය යනව.’’බසය පොතුවිල් නගරය පසු කරන විට ඇය කීවාය.
මෙම කොල්ල කෑමට ලක්ව ඇති ඉඩම් පොතුවිල් හා පානම අතර ප‍්‍රදේශයේ වෙරළබඩ කලාපයේ පිහිටා ඇත. මෙලෙස නාවික හමුදාව, ගුවන් හමුදාව හා විශේෂ කාර්ය බළකාය ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම හා ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 1220 ක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්තේ පානම රාගම්වෙල අක්කර 265 ක් ශාස්ත‍්‍රවෙල අක්කර 115 ක් රජයේ ඉඩම් අක්කර 840 ක් වශයෙනි. මෙලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් ශාස්ත‍්‍රවෙල, උල්පස්ස හා පානම ප‍්‍රදේශයේ වගා බිම් වන අතර අනෙක් කොටස රාගම්වෙල රක්ෂිත වනාන්තරයයි.
මෙම ප‍්‍රදේශ තුළ යුද්ධය වකවානුවේ දී තාවකාලික හමුදා කඳවුරු ඉදි කර තිබී ඇත. මෙම ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමට හමුදාව මුලින්ම කටයුතු කරන්නේ 1998 වසරේදීය. එහි දී අක්කර පහක් විශේෂ කාර්ය බළකාය වෙන් කරගනු ලබන්නේ පුහුණු කඳවුරක් ඉදිකිරීම සඳහා බව පවසමිනි. පසුව එය ප‍්‍රමාණවත් නොවන බව පවසා ඔවුන් අක්කර 50 ක් වෙන් කරගෙන තිබේ. මෙම ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමට හමුදාව පෙලඹී ඇත්තේ යුද්ධය අවසාන වීමත් සමඟය.
හමුදාව ඉඩම් කොල්ල කන බවක් මතුපිටින් පෙනෙන්නට තිබුණ ද අත්පත් කරගෙන ඇති ඉඩම්වල ස්වභාවයත් ඉදිකිරීම්වල ලක්ෂණත් සලකා බැලීමේ දී පෙනෙන්නට තිබෙන්නේ හමුදාව ඉදිරියට දමා රාජපක්ෂ ආණ්ඩුව තම ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවය. එහි දී ඉඩම් කොල්ල කෑමට එරෙහි චෝදනා ආණ්ඩුවට නොව හමුදාවටය. මෙම ඉඩම් කොල්ලයට එරෙහිව විරෝධයේ ප‍්‍රමාණයක් ජාතික ආරක්ෂාවට ද ඉතිරි කොටස දේශද්‍රෝහීත්වයට ද ආණ්ඩුව විසින් හිලව් කරමින් සිටී.
. එමෙන්ම දේශපාලකයන්ට මෙන් නොව හමුදාවට ජනතාව විරෝධය දැක්වීමේ දී ප‍්‍රතිචාරය වෙනස්ය. මෙම තත්වය තුළ විරෝධය පහසුවෙන් කළමනාකරණය කළ හැකිය ඉන් රිසි ලෙස දේශපාලකයන්ට ඉඩම් කොල්ලයට මග පාදා ගත හැකිය. පානම ජනතාවට මෙම ආණ්ඩුව අටවා ඇති කෙමනේ දිග පළල එසේය.
යුද වකවානුව තුළ සිටම තමන් මෙම වගා කටයුතු සිදු කළ බව පානම ජනතාව පවසයි. යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවීමත් සම`ග තම වගාබිම්වලින් පලවා හැරීම ආරම්භ වූ බව ඔවුහු මැසිවිලි න`ගති. 2010/7/17 රාත‍්‍රියේ ඔ 56 ආයුධවලින් සන්නද්ධව, මුහුණු ආවරණය කරගත් පිරිසක් ගෙවල් ගිනි තබමින් ගම්වැසියන්ට පහර දී පන්නාදමා තිබේ. මේ පිළිබඳව පැමිණිල්ලක් පානම පොලිසියේ තිබේ.
එහෙත් මෙම ගෙවල් ගිනිබත් කිරීම පිළිබඳව හා පානම වැසියන්ට පහර දීම පිළිබඳව පොලිසිය විසින් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. මෙම ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳව පොතුවිල් අධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවතියි. ලාහුගල ප‍්‍රාදේශීය සභාව 2007/154/60 වශයෙන් ද ගොවියන් විසින් තම ඉඩම් පැහැර ගැනීමට එරෙහිව අංක 84/55 යටතේ ද අංක 66/20/3 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ පැමිණිල්ලක් ද විභාග වෙමින් පවතියි. 2010/7/17 සිද්ධියට අදාළව ප‍්‍රාදේශීය සභාව පැවරූ නඩුවට අදාළව අධිකරණය ම`ගින් හමුදාව අත්පත් කරගත් ඉඩම්වල තවදුරටත් ඉදිකිරීම් නොකරන ලෙස 2013/3/19 දින තහනම් නියෝගයක් ලබා දී ඇත. එහෙත් මෙලෙස පොතුවිල් අධිකරණය ලබා දී ඇති නියෝගය මෙම ඉඩම්වල ඉදිකිරීම් සිදු කරන කිසිවකුටත් අදාළ වී නැත. එහෙත් පානම පොලිසිය විසින් ගම්වැසියන්ට සිදු කරමින් තිබෙන අකටයුතුකම් දිනෙන් දින ඉහළ යනු මිස මෙතෙක් අඩු වී නැත. නිකරුණේ අත්අඩංගුවට ගැනීම, පහර දීම හා හේතු දැක්වීමකින් තොරව රඳවා තබා ගැනීම පානම වැසියන් අද මුහුණ දෙමින් තිබෙන ඉරණමය.
රාගම්වෙල ගම්වාසීන් විසින් ඉදි කළ වාලූකාරාමය විහාරය පිහිටා ඇත්තේ ද කොල්ල කාගෙන ඇති මෙම බිම්කඩ තුළය. පානම සමුද්‍රගිරි විහාරය පිහිටා ඇත්තේ නාවික හමුදාව අත්පත් කරගත් බිම්කඩ තුළය. ශාස්ත‍්‍රවෙල විශේෂ කාර්ය බළකා කඳවුර ආශ‍්‍රිතව මනිනාග පබ්බත විහාරයේ පුරාවස්තු රැසක් මේ වන විටත් විනාශ වී අවසානය. මෙම ඉඩම් අත්පත් කරගැනීමේ දී නාඳුනන සන්නද්ධ පිරිසක් ගම්වාසීන්ට පහර දුන් මොහොතේ පන්සල්වල වැඩහුන් ස්වාමීන් වහන්සේලා දෙනමක් පන්නා දමා ඇත්තේ ආවාස ගෙය තුළ සිට සිවුරුවලින් එළියට ඇදගෙන එමිනි. මෙලෙස අත්පත් කරගත් භූමිය තුළ දැවැන්ත පාරිසරික හානියක් සිදු කෙරෙමින් පවතින්නේ කිසිදු වගවිභාගයකින් තොරවය.
මෙම ඉඩම් අත්පත් කරගැනීමේ දී රට තුළ තිබෙන සමස්ත නීති පද්ධතියම ආණ්ඩුව විසින් උල්ලංඝනය කර තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12.(3),14.(1)( සහ උ. වගන්ති උල්ලංඝනය කරමින් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම්, බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස සිදු කර ඇති අතර ජනතාවට නිදහසේ සිය ජීවනෝපායන් සිදු කිරීමේ හා තම ආගමික කටයුතුවල නිරත වීමේ අයිතිය උල්ලංඝනය කර ඇත.
1940 අංක 49 දරන පුරාවිiා ආඥා පනත උල්ලංඝනය කිරීම. 1980 අංක 47 දරන පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 722/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුය. එය, පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුය.
සංශෝධිත 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අනවසරයෙන් වෙන් කිරීම, එළි පෙහෙළි කිරීම, ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීම, පිවිසුම් මාර්ග තැනීම වන සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමකි.
2011 අංක 49 දරන පනතට අනුව සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ සීමාව තුළ සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර පරිසර ඇගයීම් කි‍්‍රයාවලියකට යටත්ව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.
එහෙත් ආණ්ඩුවට මෙම කිසිදු ආකාරයක නීති අණපනත් අදාළ වී නොමැත. මීට හොඳම උදාහරණය පානම වෙරළ තීරයේ කි.මි 17 දිගට පිහිටා ඇති ස්වාභාවික වැලි වැටියේ වැලිවල ඛනිජ සංයුතිය පරීක්ෂා කොට එහි මැනුම් කටයුතු අවසාන කිරීමය. එම උවමනාව මෙතෙක් එළිදරව් වී නැතත් එම ස්ථානයේ නාවික හමුදා අනුඛණ්ඩයක් රඳවා වැලිවැටිය මැදින් බොරලූ මාර්ගයක් ඉදි කර තිබේ. සිදු වෙමින් තිබෙන විනාශයේ තරම එලෙසය.
ආරුගම්බේ පාලම අසල දී දුටු ජනාධිපතිවරයාගේ කටවුට් සහ එකී පසුබිම් දසුන මගේ මතකයට නැගේ.
අවට පරිසරය අඳුර විසින් වෙළා ගනිමින් තිබේ. රාගම්වෙල රක්ෂිතය අඳුරට යටත් වෙමින් සිටී. පානම මුහුද ගොළු වී ඇත. සෙමින් ඇද හැලෙන වැහි බිඳු පානම වැසියන්ගේ කඳුළු මෙන් මට දැනේ. නිහඩවම ඔවුන්ගෙන් සමුගෙන මහ මඟට බැස්සෙමි. අවසන් මොහොතේ ඔවුන් කී එක් දෙයක් මම මෙහි සටහන් කරමි.
‘‘අපේ මුතුන් මිත්තෝ 1818 ඌව වෙල්ලස්සෙ දී සටන් කරලා පසු බැස්සේ මේ ප‍්‍රදේශයට. අපි ආයි පහු බහිනව නම් මුහුදට තමයි. ඒක හින්දා අපි පස්සට යන්නේ නෑ. ඉස්සරහට යනවා. එදා අපේ මුතුන් මිත්තන්ව පැන්නුවේ සුද්දෝ. ඒත් අද අපිව පන්නන්නේ අපේ ගෙවල් ගිනිතියලා අපිට ගහලා ඉඩම් අල්ල ගත්තේ අපිම පත් කරපු මහින්ද රාජපක්ෂ මහත්යාගේ ආණ්ඩුව.’
ධම්මික ප්‍රියදර්ශන
lankaherald