ආණ්ඩුව ලබාදුන් සහන සැබැවින් ම ජනතාවට ලැබෙන්නේ ද?

Tuesday, 10 February 2015 10:02

වසර නවයක් පුරා කෙමෙන් කෙමෙන් ඒකාධිපති යුගයක් කරා ගමන් කරමින් තිබූ ලාංකීය දේශපාලන භූමිකාව වෙනත් දිශාවකට යොමු කොට දින තිහක් ගෙවී ගියේ ය. බලයට පත් වූ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වූයේ දින සියයේ වැඩසටහන යි. දින සියයක් යනු තෙමසකුත් දින දහයකි. එසේ නම් මේ වන විට දින සියයේ වැඩ සටහනෙන් තුනෙන් එකක් අවසන්ව තිබිය යුතු ය. එම ඉලක්කය සපුරා ගන්නට ආණ්ඩුව අසමත් වුව ද මේ වන විට දින සියයේ ඉලක්කය සපුරාගන්නට රජයට හැකි වේවි යැයි විශ්වාසය තැබිය හැකි ය.

රජයේ වැඩපිළිවෙළ කෙරෙහි විහ්වාසය තබා සිටිය ද මේ වන විට සිදුවෙමින් පවතින ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව නොසතුටින් සිටින බව ද පැහැදිලි කළ යුතු ය. දුර්දාන්ත ඒකාධිපති පාලකයකු එළවා දමා නව ආණ්ඩුවක් පත් කරගත් ජනතාවඅතුරින් බහුතරයකගේ රුචිකත්වය වූයේ ‘‘විධායක ජනාධිපති ක්‍රමය’’ නමැති යක්ෂයා සක්වළ ගලිනුත් එපිටට පළවා හැරීමට ය. නමුත් මේ වන විට ආණ්ඩුවේ විවිධ පුද්ගලයන් මේ පිළිබඳව එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

2014 දෙසැම්බර් 19 වන දින කොළඹ විහාරමහාදේවි අද්‍යානයේ පැවති ජනහමුවේ දී බෙදාහරින ලද මෛත්‍රී පාලනයක් නමැති ලියවිල්ලේ මෙසේ සඳහන්වෙයි.

‘‘දෙවනුව, මගේ පාලනයේ පළමු දින සියය අන්තර් කාලයක් ලෙස සලකා සිදු කළ යුතු හදිසි දේශපාලන ප්‍රතිසංස්කරණයක් ලෙස දැනට පවතින ඒකාධිපතිත්වයට මග පාදන විධායක ජනාධිපති ධුරය වෙනුවට අමාත්‍ය මණ්ඩලය මගින් පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ අධිකරණයට යටත්වන රාජ්‍ය නායකත්වයක් බවට ජනාධිපති ධුරය පරිවර්තනය කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමි.’’

ඉහත කී පරිදි විධායක ජනාධිපතිධුරය සම්පූර්ණයෙන් ඉවත් නොකරන බවට ඉඟියක් මෙම ප්‍රකාශය හරහා සපයා ඇත. එහෙත් එදා ජනතාව මෙය ප්‍රතික්ශේප කළේ හෝ විරුද්ධ නොවූයේ ඔවුන් දැඩි පිඩනයකට ලක්ව සිටි බැවිනි. මේ කොළේ හංගා ගැසීම තවදුරටත් තහවුරු වන්නේ දින සියයේ වැඩසටහන් මාලාවේ සඳහන් මෙම ප්‍රකාශය යි.

‘‘21 බදාදා
දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපතික්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අල්ලස් හා දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්මනින් සම්මත කිරිමට පියවර ගැනීම.’’

මෙම කොටසේ ද විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන බව සඳහන් නොවේ. එහෙත් ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන බව සඳහන් වෙයි. එම ක්‍රමය කුමක් ද යන්න අපැහැදිලි ය.

දැන් නව ආණ්ඩුවට ජනතාවගේ කනෙන් රිංගා යාමට අවැසි සිදුර මෙය යැයි උපකල්පනය කළ හැකි ය. මේ ආකාරයෙන් ජනතාවගේ කනෙන් රිංගා ගොස් තවදුරටත් විධායක ජනාධිපතිධුරය පවත්වාගෙන යාම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වුවමනාවක් නොතිබෙන්නට පිළිවන. එහෙත් ඔහුගෙන් අනතුරුව රට බාරගන්නා අනෙක් කොටස්කරුවන්ට මෙය දිගින් දිගට ම පවත්වාගෙන යාමේ සැඟවුණ අරමුණක් ඇති බව මෙයින් පැහැදිලි ය. එහෙයින් ජනතාව යළිත් වරක් සටන් මගට අවතීර්ණ වීම නොවැළැකිවිය හැකි බව කල්තබා දැනුම් දිය යුතුව ඇත.

තව ද මේ වන විට විශාල ආන්දෝලනයකට ලක්ව ඇති කොළඹ වරාය නගරය සිද්ධිය පිළිබඳව ද ජනතාවගේ අවධානය යොමු කළ යුතු ව ඇත. මෙම ව්‍යාපෘතිය අහෝසි කර දමන බවට එදා මැතිවරණ වේදිකාවේ පොරොන්දු වුව ද මේ වන විට එම පොරොන්දු වචනවලට සීමා කරමින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සකසමින් සිටී. රටේ සංවර්ධනය සඳහා මෙම ව්‍යාපෘතිය අවශ්‍ය යැයි හැඟුණේ නම් කළ යුතුව තිබුණේ එය අහෝසි කරන බවට පොරොන්දු නොදී ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රකාශ කිරීම ය. නමුත් දැන් සිදුව ඇත්තේ ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමට අරඇඳීම ය. මේ පිළිබඳව ද ජනතාව අවදියෙන් සිටිය යුතු ය.

එමෙන් ම මේ වන විට ආණ්ඩුව ජනතාව වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙළක් සකසා ඇති බව අවිවාධිත ය. නමුත් ගැටලුව එය නොවේ. එම සහන නිසියාකාරයෙන් ජනතාවට ලැබෙනවා ද යන්න ය.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව දෙවතාවක් ඉන්ධන මිල පහත හෙළී ය. ඉන්ධන මිල අඩු වූ විට අනිවාර්යයෙන් ම සියලු භාණ්ඩවල මිල ද පහත දැමිය යුතු වුව ද නිෂ්පාදකයෝ සහ භාණ්ඩ ප්‍රවාහකයෝ මේ පිළිබඳ වගේ වගක් නැත. මේ වන විට පුද්ගලික බස් ගාස්තු යම් ප්‍රමාණයකින් පහත දමා තිබුණ ද බස් මගීන්ට එම වාසිය අත් නොවෙන තත්ත්වයට පත්ව ඇත. එනම් අවම ගාස්තුව වන රුපියල් නවය මේ වන විට අට දක්වා අඩුව ඇත. එහෙත් එදා ඉතිරි රුපියල ලබා නොදුන් කොන්දොස්තර මේ වන විට ඉතිරි රුපියල් දෙක ම මගී ජනතාවට ලබා නොදිමේ තත්ත්වයක් උදා වී ඇත. රුපියල් දෙකක් වෙනුවෙන් කිසිඳු සංවරකමක් නැති බස්කොන්දොස්තරලා සමග වාදයට පැටලෙන්නට සියයට අනූනවයක් වූ මගී ජනයා අකමැති ය. ඒ සඳහා වාද කරන්නේ සියයට එකක් පමණි. මගී ජනතාවට අත් වන මෙම අවාසිය වළක්වාලීම කෙසේ වෙතත් අවම කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුව ලබාදුන් සහනය ගඟට කැපු ඉනි වැනි තත්ත්වයට පත්වන්නේ ය.

අනෙක් පසින් බලන විට මේ වන විට ගෑස් මිල සැහෙන ප්‍රමාණයකින් ද, සීනි මිල ද පහත වැටී ඇත. කිරිපිටි මිල ද සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත. එහෙත් දිවයිනේ පිහිටි බොහෝ ආපනශාලා (හෝටල්) හිමියන් මෙම සහනය පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන බවක් දක්නට නොලැබේ. එමෙන් ම කිරපිටි මිල අඩු වුව ද මේ වන විට වෙළෙඳපොළේ යම් කිරිපිටී හිඟයක් පවතී ඇතැම් සමාගම් වෙළෙඳසැලක් සැලක් ගානේ ගොස් නව මිල ගණන් සටහන් කොට තිබුණ ද එම සමාගම් විසින් නිෂ්පාදනය කළ කිරිපිටිවල ඩී. සී. ඩී. නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බව පසුගිය කාලයේ හෙළිදරව් විය. එසේ තිබිය දි වුව එකල රටේ සිටි ප්‍රභල පුද්ගලයෙක් එකි ආයතනවලින් කෝටි ගණනින් අල්ලස් ලබාගනිමින් එම කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දුනි. එසේ නම් ජනතාවට සහනයක් සැලසෙන්නේ කෙසේ ද?

ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සලකා බලන විට මේ වන විට පාසල් ප්‍රවාහන සේවයේ මිල අඩු කළා ද යන්න ප්‍රසිද්ධියට පත්ව නැත. අනෙක් කරුණ නම් ත්‍රී රොද රථ ඇතුළු සියලු කුලි රථ සේවාවන්හි ද මිල පහත හෙළීමක් සිදු කර නැත. සමස්ත ලංකා ත්‍රි රොද රථ හිමියන්ගේ සංගමයේ බලධාරියා පසුගිය දිනක පවසා තිබුණේ ත්‍රි රෝද රථ සඳහා නියාමන ක්‍රමයක් සකසන තුරු මිල පහත හෙළිය නොහැකි බවයි. එසේ නම් පසුගිය වකවානුවේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ සහන ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ නියාමන ක්‍රමයක් ඇතුවදැයි ඔහුගෙන් විමසීමට අපට සිදුව ඇත. සැබැ තත්ත්වය එය නොවේ. පසුගිය වකවානුවේ මේ සියලු සංගම්වල බලතල හිමිව තිබුනේ ‘‘හිටපු ජනාධිපති’’ ගේ හෙන්චයියන්ට ය. මේ වන විට බලයේ සිටින්නේ ද ඔවුන් ම ය. ඔවුන් කවරදාවත් මෛත්‍රි පාලනය අනුමත කරන්නෝ නොවෙති. එහෙයින් දින සියයේ වැඩපිළිවෙලට අකුල් හෙළිම ඔවුන්ගේ ප්‍රථම සහ එකම අරමුණයි.

අනෙක් භාණ්ඩ ප්‍රවාහනය කරන්නෝ ද මෙම සහනය තම පාරිභෝගිකයාට ලබාදෙන්නට කටයුතු කර නොමැත. මෙය නවතාලීම සඳහා නව ආණ්ඩුවේ බලධාරින් කටයුතු නොකරන්නේ නම් අතුරු අයවැය එකකින් නොව කිහිපයකින් ජනතාවට සහන ලබා දුන්න ද එය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවන්නේ ය. එසේ ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවන විට රටේ ජනතාවට ආණ්ඩුවේ යහපාලනය නොදැනෙන්නේය. එවිට සිදුවන්නේ කුමක් ද යන්න ඇඟිල්ලේ ඇන කියා දිය යුතු යැයි නොසිතමි. එහෙයින් ආණුඩුව ජනතාවට ලබා දුන් සහන සැබැවින් ම ජනතාවට ලැබෙන්නේ ද? එසේ නොලැබෙන්නේ නම් ඒ කුමන හේතුවක් නිසාද යන්න සොයා බලා නිසි පියවර ගැනීම ද ආණ්ඩුවේ වගකීමකි.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us