සොරගුණේ බේරාදෙන්න ජනපති තුමණි!

Tuesday, 03 February 2015 10:52
බදුල්ල, සොරගුණේ වනාන්තරය වනසමින් මේ වනවිට ඉදිකරමින් පවතින  කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය අත් හි‍ටුවන  ලෙස ඉල්ලමින් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත.
 
මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස පසුගිය රාජපක්ෂ පාලන සමයේදී පරිසරවේදීන් හා ප්‍රදෙශවාසීන් විරෝධතා ව්‍යාපාර ‍රැසක් සිදු කළ මුත් මේ වන විටත් ආරක්ෂක හමුදා  ආරක්ෂාව හා එම සෙබළුන් යොදාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී. 
 
එමෙන්ම මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ද විශේෂ උනන්දුවකින් කටයුතු කළ අතර විරෝධතාවයන් යටපත් කිරීම වෙනුවෙන්ද ඔහු මැදිහත්ව සිටියේය.
 
රවීන්ද්‍ර කාරියවසම් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය.
 
 
 
   
   
ගරු ජනාධිපති මෙත‍්‍රීපාල සිරිසේන,
ජනාධිපති කාර්යාලය
කොළඹ 01
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2015.02.02
 
 
සොරගුණේ වනය වනසන කාමර 2,000 හෝටලයට හා ගොල්ෆ් පිටිය මෙත‍්‍රී පාලනය යටතේවත් නවතා දමන්න
 
බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුමුල්ල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට . කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හීන් සිරුවේ ඉදිකරමින් පවතී. එයට අවශ්‍ය මාර්ග පද්ධතියේ මාර්ග කිහිපයක් මේ වනවිට ඉදිකර හමාරය. 
 
මෙම ගොල්ෆ් ව්‍යාපෘතිය වේළි ඔය හා සොරගුණේ ප‍්‍රදේශවල පරිසරය හා ජන ජීවිතයට අහිත කර ලෙස බලපානු ලබන නිසාත් මෙම ප‍්‍රදේශය අවධානමි කලාපයක් නිසාත් 2009 වර්ෂයේ සිට මෙම ව්‍යාපෘතියට එරෙහිව විවිධ මැදිහත් කිරීම් කලද හිටපු නායකයන් ජනතාව මුලාකරමින් මෙම ව්‍යාපෘතිය කිරීමට අවශ්‍ය වටපිටාව ඇල්ෆා ඇන්ඩි ඔමේගා ආයතනය වෙතත් වාසු රාසයියා නැමති ව්‍යාපාරිකයා වෙතත් ලබාදුනි.
 
දැවැන්ත පරිසර හා සමාජීය ව්‍යවසනයක් සිදුකරන මෙම ව්‍යාපෘතිය ඔබතුමාගේ පාලනයතුල නවතා දමන ලෙස බොහෝ ගෞරවයෙන් ඉල්ලා සිටින අතර එම ව්‍යාපෘතියට අදල කරුණු කිහිපයක් හා වර්ථමාන තත්වය පහත අයුරින් දක්වමි.
 
ප‍්‍රධාන වශයෙන් වේළිඔය ව්‍යාපෘතිය පෝෂණය කරනකාල්කන්ඔය, දෙමටආර ,වේළිඔය, පතහඔය යන ප‍්‍රධාන ජල මාර්ගවල පෝෂක ප‍්‍ර‍්‍රදේශ වනසොරගුණේ වනාන්තරය තුල අක්කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙලි කර හෝටල් ව්‍යාපාරයකට හා ගෝල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේවන විට සිදුකර හමාරය. එලෙස පවරාදුන් ඉඩම් භාවිතයට ගනිමින් දැනට මාර්ග දෙකක් ඉදිවෙමින් පවතී.
 
මෙම අක්කර 628 ක ඉඩම පවරා දී ඇත්තේ රුපියල් මිලියන හයක් පමණ මුදලකටය. රජයෙන් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනගන ලද වේළිඔය අමුණ ව්‍යාපාරයද මෙලෙස සිදුකරන වන විනාසය නිසා අසාර්ථක වනු ඇත. වේළිඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල්දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර පානීය ජලය ආදී තම එදිනෙදා සියලූ ජල අවශ්‍යතා ද සපුරාගනුයේ මෙමගිනි. වේළිඔය ව්‍යාපාරය සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය ලැබෙන සොරගුණේ වනාන්තර ඉඩම් තුළ අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, කහට වැනි ඉතා වටිනා ශාකද ඌව මැන්ඩොරා නැමති මෙම ප‍්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලබ ශාක විශේෂ ද දැකගතහැකි අතර මෙම පරිසර පද්ධතිය ප‍්‍රදේශයේ ජල උල්පත් ආරක්‍ෂා කරන එකම වනාන්තර ප‍්‍රදේශයයි. .දැනට ඉදිවෙමින් පවතින අනවසර මාර්ගයත්, මර්ගය තැනීමෙන් අනතුරුව ඉදිවීමට නියමිත හොටල් සංකීරණය හා ගොල්ෆ් ව්‍යාපෘතියත් හේතුවෙන් අපූර්ව වූ ජෛව විවිධත්වයත් ජල පෝෂිත ප‍්‍රදේශ රැසකුත් විනාශ වී යනු ඇත.
 
එයට අමතරව උඩවලව බෝගහපට්ටිය යා කරන සම්ප‍්‍රදායික අලි මංකඩ වැටී ඇත්තේද මෙම සොරගුණේ වනාන්තරය තුලින්ය. ජෛව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය කපා හෝටල් සහ ගෝල්ෆ් ක‍්‍රිඩා පිටියක් ඉදිකිරීම සඳහා 2011-04-11 දින ශ‍්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්‍ෂවරයෙකු විසින් හල්දුම්මුල්ල ප‍්‍රදේශීය ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින්  අවසරය ඉල්ලා ඇත.සොරගුණේ වනාන්තරය සතු ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා සොරගුණේ දේවාල සතු රාජකාරි ඉඩම් ලෙස දැනට පවතින අතර එය වේළිඔය ව්‍යාපාරයේ ප‍්‍රධාන ජල පෝෂිත ප‍්‍රදේශයද වේ.
 
1931 අංක දහනවය දරණ විහාර දේවාල ගම් ආඥාපනතට අනුව විහාරය හෝ දේවාලය සතුව ඇති රාජකාරි ඉඩම් වලින් එම පුජනීය ස්ථාන වලට නිල පංගුව ඉටු නොවන්නේ නම් පමණක් එම ඉඩම් වෙනත් අයවළුනට පවරා දිය හැකි නමුදු වැසියන් විසින් දේවාලය සතු අනුනවයක් වු රාජකාරි ඉටුකරමින් සිටිය දී සිය මඩිය තරකරගැනීම උදෙසා පරම්පරා උරුමයන් නසමින් සොරගුණේ කුඩාකතරගම දේවාලය සතු වනාන්තර ඉඩම් බෙරගල ගොල්ෆ් රිසෝට් නැමති හෝටල් ව්‍යාපෘතිය හා ගෝල්ෆ් පිටි ඉදිකිරීම සඳහා ඇල්ෆා ඇන්ඞ් ඔමෙගා ප‍්‍රයිවට් ලිමිටඞ් අංක 65 , ධර්මපාල මාවත,කොළඹ 07 යන ආයතනය වෙත මෙම අවසරය ලැබෙන්නේ වාසු රාසයියා නැමැති ඇමරිකාවේ පදිංචි පුද්ගලයාගේ අවශ්‍යතාවව මතය.
 
සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ජනක රවින්ද්‍ර කළුපහන විසින් දේවාලයේ නිළ රාජකාරි ඉටුකරමින් සිටින වැසියන් පාරට ඇද දමා ඇමරිකානුවන්ගේ මනදොල පිනවීම සඳහාමේ වන විට කටයුතු කරමින් සිටි .
 
දැනට ඉදිවෙමින් පවතින මාර්ගය හා ගොල්ෆ් රිසොට් හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරිමට යාමෙන් පරිසරයට හා වේළිඔය ව්‍යාපෘතියට සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳ ඌව පළාත් සභා හිටපු මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ වෙත 2011-07-04 දින කොටවෙහෙරමංකඩ, කණ්ඩියපිට, අළුත්වැව,හම්බෙගමුව යන ග‍්‍රාමසේවා වසම්වලට අයත් ගම්මාන 35ක පමණ ජනතාවගේ ජිවිත සුරක්ෂිතකිරිමේ අවශ්‍යතා පැහැදිලි කරමින් වේළිඔය ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවිසංවිධානය විසින් ලිපියක් භාරදී ඇත. පසුව එම ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් ලේකම් වරයා, ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම කරනුය පිළිබද දැනුම් දී වේළිඔය ජලපෝෂක ප‍්‍රදේශය ආරක්ෂාකර හෝටල් හා ගොල්ෆ් ක‍්‍රිඩාංගනය ඉදිකිරිම වලක්වාලන ලෙස ඉල්ලා සිටියද මෙය වලක්වාලීම උදේසා කිසිදු පියවරක් මේ වනතෙක් ගෙන නොමැත.
 
 
මිනිසුන් දහස් ගනනක් ගොවිතැන් බතින් තම ජීවිතය ආරක්‍ෂා කරගන්නා වේළිඔය ප‍්‍රදේශයට ජලය ලබාගැනීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති අතර ප‍්‍රදේශයේ තිබෙන පුරාණ වැව් විසි හතද පෝෂණය වන්නේ කාල්කන් ඔය,වේළිඔය වැනි ජළ ධාරාවන්ගෙන්ය. එම ජල මූලාශ‍්‍ර පෝෂණය කරන සොරගුණේ වනාන්තරය විනාශ කිරීම ගම්මාන තිස් පහක පමණ ජනතාවගේ ජීවිත ආර්ථික , සමාජීය හා සංස්කෘතික වශයෙන් අස්ථාවර වනවාට නිසැකය.
 
 එමෙන්ම මෙම ප‍්‍රදේශ දිය බිඳක් නොමැති ප‍්‍රදේශ බවට පත්වීමට බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හා මෙලෙස ඉදිවෙන මාර්ගය විශාල බලපෑමක් වනු ඇත. අනෙක් කාරණය නම් එක්සත් ජාතීන්ගේ පරිසර ආරක්ෂණ ඒජන්සිය Un Environment ProtectionAgency පවසන අන්දමට ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් පිටියක් පවත්වාගෙන යාම උදෙසා දිනකට ජලය ලීටර් බිලියන 9.5 අවශ්‍යය වනු ඇත. එය එසේනම් වේලිඔය ව්‍යාපෘතියට හානි නොකර ගොල්ෆ් ව්‍යාපෘති කිරීමට හැකියාවක් නොමැත. 
 
මේ වනවිට, ලෝකයේ බොහෝ රටවල් වලින් ගොල්ෆ් ක‍්‍රී‍්‍රිඩාව ප‍්‍රචලිත කිරීම නතරකර ඇත්තේ එය පරිසර විනාශකාරී ක‍්‍රී‍්‍රිඩාවක් ය යන කාරණය හේතු කොට ගෙනය. මෙම ක‍්‍රීඩාව 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක‍්‍රී‍්‍රිඩා ලැයිස්තුවෙන්ද ඉවත්කරන ලද ක‍්‍රී‍්‍රිඩාවකි. මෙය තවදුරටත් ඔලිම්පික් ක‍්‍රී‍්‍රිඩාවක් ලෙස නොගෙන සිටීමට Global Anti Golf Movement නැමති ජාත්‍යන්තර පරිසර සංවිධානය විසින් අදටත් ඔලිම්පික් කමිටුවට බලපෑම් කරමින් සිටියි.
 
භූමිය අවම බොරැල්ල කැළණි වැලි දුමිරිය මාර්ගයට නුදුරුව අක්කර 70 වැඩි භුමි ප‍්‍රමාණයක රාජකීය ගොල්ෆ් පිටිය පිහිටා ඇත. එම පිටියේ නඩත්තුව වෙනුවෙන් අධික ලෙස කෘතිම පොහොර භාවිතා කරනු ලබයි. එය සොරගුණේ ඉදිවීමට නියමිත ගොල්ෆ් පිටියටද අදාල කාරණයකි. ඒනිසා ජලය සමග මිශ‍්‍ර වී පහළ නිම්නයට ගලායන රසායනික ද්‍රව්‍ය ජලය හා මිනිසුන් ලෙඩ නොකරන්නේද? ඇතැම් විට මෙලෙස පසට හෝ ජලයට එක්වන රසායන වියෝජනය වීමට වසර 20 පමණ ගතවිය හැකි වග ගොවිපල යුද්ධය නැමති කෘතිය අනාවරණය කර තිබේ. ලෝකයේ කොතැනක හෝ ගොල්ෆ් පිටියක් ආරම්භ වන්නේ නම් එහි වෙළඳ ප‍්‍රචාරණය සඳහා භාවිතාකරන ප‍්‍රචලිත ක‍්‍රමය වන්නේ ඒ සමග දියුණුවන යටිතල පහසුකම් හා අතුරු ව්‍යාපාර ගැන උදම් ඇනීමය. මෙහිදී Golf Tourism and Mass Tourism යනුවෙන් බර වචනද මේ සඳහා භාවිතා කරති.
 
 බහුවිධ වේලි, පාරවල්, වරායන්, ගුවන්තොටුපල, හෝටල්, පාලම් හා සාප්පු සංකීර්ණ ගැන මොවුන් උදම් අනයි. දැනට වසර 15 කට 10 කට පමණ පෙර වික්ටෝරියා ගොල්ෆ් පිට්ටනිය සඳහා මහාබේරියතැන්න ගොවිපල නතුකර ගැනීමේදී ව්‍යාපෘති ආයෝජකයන් කියුවේද මෙම මෙවන් කරුණුමය. එහිදීද පාරවල්, ගමටත් එක්ක ජල සැපයුම්, විදුලිය, රැකී රක්ෂා ගැන උදම් ඇනුවේය. සොරගුණේ ගොල්ෆ් පිටිය සම්බන්දව පරිසර තක්සේරු වාර්ථාව සකස් කල ML(Environment Management Limited)  ආයතනය වේලි ඔයේ ගොවිජනතාවට අද දවසේ කියන්නේද මෙයමය. වසර 15 කට 18 කට පසු වික්ටෝරියා ගොල්ෆ් පිටියෙන් රටට ඇති කල ආර්ථික ලාභය කුමක්ද?
 
එමනිසා සිදුවන හා සිදුවීමට නියමිත පරිසර විනාශය වළක්වා වේළිඔය ව්‍යාපෘතිය ආරක්‍ෂාකර දෙන ලෙස 2011/ 07/11 දින ප‍්‍රදේශවාසී භික්‍ෂූන් වහන්සේලා හා වේළිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර 2011/06/03 එස් සි1/05/15/30256 අංකය දරණ ලිපිය මගින් ජනාධිපති ජෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල විසින් ඉදිරි කටයුතු සදහා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇත. මෙලෙස යොමුකරන ලද ලිපිය මගින් වාරිමාර්ග දෙපාර්තෙමින්තුව වෙත ඉදිරි කටයුතු කරගන යාමසදහා බලය පැවරෙන අතර ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු අදහස වන්නේ බෙරගල ගොල්ෆ්රිසෝට් හෝටල් ව්‍යාපෘතිය හා සිදු කිරීමට නියමිත පරිසර හානිය මගින් වනාන්තර ඉඩම් විනාශ වීයාම ප‍්‍රදේශයේ ජල හිඟයකට හේතුවන බවයි .
 
සොරගුණේ වනාන්තර ප‍්‍රදේශය ඇතුළුව දැනට ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලෙස ඉල්ලීම් කර ඇති සමනළ වැව වනාන්තර ප‍්‍රදේශය තුල වාර්ථා වන සත්ව විශේෂ ගණන 309කි. අවේණික විශේෂ ගණන 59කි.
 
 
 දැනට වාර්ථාගත සංඛ්‍යාව
 
 
සත්ව විශේෂය   දැනට වාර්ථාගත සංඛ්‍යාව
උභය ජීවීන් වර්ග 23
 උරග වර්ග     76
ක්‍ෂරපායීන්      44
මත්ස්‍ය   39
පක්ෂි විශේෂ   208
                      
 Sorce- A Vertebrate Faunal Survey of Samanala Wewa, Towards Declaration as a Wildlife National Park, 2010 ,L. J. Mendis Wickramasinghe,Herpetological Foundation of Sri Lanka (HFS), Natural Resource conservation and management program ,Green movement of Sri Lanka,Nugegoda
 
මෙයට අමතරව මෙතෙක් වාර්ථා නොවූ තවත් ආවේනික ජීවී විශේෂ ගණනාවක් මෙම ප‍්‍රදේශයේ හමුවිය හැකිය. ආවේණික ජෛව විවිධත්වයටද ප‍්‍රබල හානියක් මෙම අනවසර මාර්ගය හා හෝටල් ව්‍යාපෘතිය මගින් සිදුවේ.
 
සොරගුණේ වනාන්තරය තුල ඉදිකරන මාර්ගය හා ඉදිවීමට නියමිත බෙරගල ගොල්ෆ්රිසෝට් හෝටල් ව්‍යාපෘතිය නීත්‍යානුකූල ලෙස තහනමි විය යුතු අදියරට පැමිණ ඇතිනමුත් මේ වනවිටත් එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදුවෙමින් පවති.
 
 බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව,ජනාධිපති කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය,ඉදිකිරිම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාතයංශය ඇතුළු වගකිවයුතු ආයතන 26 ක් වෙත මෙම හෝටල් ව්‍යාපෘතියෙන් ඉදිකිරීම් නිස වන හානිය පිළිබඳ දැනවත් කරමින් සිදුවීමට යන දැවැන්ත පාරිසරික විනාශය වලක්වාලන ලෙස ඉල්ලීම් කලද, සිදුවීමට යන පරිසර හානිය වලක්වාලීම සදහා මේ වනතෙක් කිසිදු වගකිවයුතු ආයතනයක් කටයුතු කර නොමැති බව හැඟෙන්නේ වනාන්තරය හරහා හෝටල් ව්‍යාපෘතිය සදහා හොර රහසේ මහා මාර්ග ඉදිකිරීම් වැනි අනවසර කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින නිසාය.
 
මේ වනවිට සොරගුණේ ගොල්ෆ් ව්‍යාපෘතිය ඉදිකිරීමට බලාපොරොත්තු වන වාසු රාසයියාඇතුළු ඔහුගේ ලංකාවේ ගෝලබාලයන් මෙම ව්‍යාපෘතිය සදහා ගොවි ජනතාව කැමති බව පෙන්වීම උදෙසා ගම්වැසියන්ට මුදල් ලබාදී බලහත්කාරයෙන් ඔහුන්ගේ අත්සන් ලබාගනිමින් සිටී. එමෙන්ම මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන්නන් මුදල් දී නිහඬ කිරීමට උත්සාහයක නිරතවෙමින් ද සිටී .
 
කෙසේවෙතත් EML ආයතනය පරිසර තක්සේරු වාර්ථා සෑදීමට අමතරව රහස් ඔත්තු සේවාවක් සපයන බව අප දන්නේ 2011.11.28 වන දින වේළි ඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ රැස්වීමට පැමිණ EML ආයතනයේ පරිසර විද්‍යාඥ ධමිමිකා මෙනවිය හා සමාජ විද්‍යාඥ රංජිත් මුදලිගේ මහතා හා එම ආයතනයේ රාජකාරි රථයේ පැමිණි අනෙකුත් අය විසින් අපගේ සාකච්වාව පටිගතකර දැනට සොරගුණේ හෝටල් ව්‍යාපෘතිය කිරීමට බොහෝ වෙහෙස ගන්නා උදය කුමාර නැමැත්තාට ලබාදීමෙන්ය. උදය කුමාර නැමැත්තා මා වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඒ බව තහවුරුකලේය.
 
කෙසේවෙතත් හෝටල් ව්‍යාපෘතියට මාර්ග ඉදිකරිම නිසා වනාන්රයට සැලකිය යුතු හානියනක් සිදු වී ඇත.තවදුරටත් වනාන්තරය  විනාශ වීමට ඉඩනොදි ඹබ තුමාගේ  මැදිහත් වීමෙන් මෙම විනාශකාරි ව්‍යාපෘතිය නවතා දමා සමනළ වැව ජාතික වනෝද්‍යානයට  මෙම වනාන්තර කොටස  එකාබද්ධකර සොරගුණෙ  වනාන්තරය  ආරක්ෂාව සදහා පියවර ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
 
මෙයට
රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
 
 
                                                       
                                                            
          
Last modified on Wednesday, 04 February 2015 09:55

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us