දුටුගැමුණු ගොඩ ගැසූ මිනීකඳු පිළිබඳ හර්දසාක්ෂිය අවසන් මොහොතේ වසන් කරදෙන්නේ පුවඟු දිවයිනෙන් පැමිණි රහත් කෙනෙකි. මැරුණේ පන්සිල් ගත් එකෙක් සහ තිසරණ ගිය එකෙක් වශයෙන් මිනිසුන් "එකහමාරක්" පමණක් බව පවසන ඔහු ඔප්පු කරන්නේ මිත්‍යාදෘෂ්ටිකයින් මැරීමේ පාපයක් නොමැති බවයි. දෙදහස් පන්සිය වසරක ප්‍රබන්ධ ඉතිහාසය දසවසක් පුරා ළඟ ළඟ හැඳි ගෑ අපට අවසන දොදොල් පට්ටය හමුවී තිබේ. එනම් "මරල හරි දින්නෙ නැත්තෙ මොකෝ ?" විමසන සමාජයක් හමුව තිබේ. මේ ඊනියා ජාතික ව්‍යාපාරය අප රට රැගෙන ගොස් නතර කර ඇති තැනයි.
සුනිල් ආරියරත්නයන්ගෙන් වරක් 88-89 සමය තුළ ඔහු ලියූ දෑ පිළිබඳව සහ දැන් එවන් දෑ නොලියනේ මන්දැයි ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ ඒවා අයිති තමුන්ට නොව එදා සටන් වැදුණු තරුණ පරපුරට බවයි. ඔහු නිහතමානීව පිළිගත්තේ තමන් එම ප්‍රවාහයේ හුදු ප්‍රකාශකයෙක් පමණක් බවය. "ආයුබෝවේවා මහ රජාණෙනි" කියූ විට අප කිසිවෙක් ප්‍රශ්න නොකළ නමුදු ඒ පැමිණියේ ද එවකට තිබූ ඉතිහාසය කරා පල්ලම් බසිනා ප්‍රවාහය යි. එම ප්‍රවහය හදිසි අනතුරකින් නැවතී අමුණක් බැඳුණු තැනක දැන් අපට හමුව ඇත්තේ තම රජාණන් මිනී මරා බලය රැක නොගැනීමෙන් අපේක්ෂාභංගත්වයට පත් මිනිසෙකි. මේ කිසිවක් වියුක්ත සිදුවීම් නොවේ. අප සැම දැනුවත් දශක එක හමාරක කාලයක් තුළ ගොඩ නැඟුණු ඉතිහාසයකි.
ඉතිහාසයෙහි දැතිරෝද ආපසු කරකවනා දෑතට විලංගු වැටී ඇත්තේ වර්තමානයෙනි. මැරීමට නොහැකි වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාය. ගුණදාස අමරසේකරලාගේ නලින් ඩි සිල්වලාගේ සිට නානසාර දක්වා වූ කසකරුවන් ඇද වැටුණු තැන දැන් සටනට පැමිණ ඇත්තේ ඔටුණු පළන් රජා මය. පදවියෙන් බිමට ඇද දැමූව ද ඔහු වැටුණේ වර්තමානයේ දැරූ තනතුරින් විනා අතීත උරුමයේ සිහසුනෙන් නොවේ. අහියෝගය ඇත්තේ මෙතැන ය. ඔව් අපි ඒකාධියෙක් බිමට ඇද දැමුවෙමු. ඒහෙත් වැඩවසම් රජුන් තනනා ගර්භාෂය මඳක් හෝ සෙළවී නැත.
අතීත කුණුකන්දල් කරා තීරණාත්මක ප්‍රහාරය එල්ල කෙරෙණා තුරාවට අප අනාරක්ෂිතය.
සටහන රුවන් නෙලූ