ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව - II වන පරිච්ඡේදය - 9
ආගම වනාහි එක් එක් පුද්ගලයා/ හෝ කණ්ඩායම් තම තමන්ගේ විශ්වාසය මත වැලඳගන්නා සංකල්පයකි. බුදුන් වහන්සේ ද, ක්‍රිස්තුන් වහන්සේ ද, මහම්මද්තුමා ද දෙසා වදාළේ මිනිසකු ලෙස ඉපිද මිය යන තෙක් මිනිසකු (මනසින් උසස් සත්වයකු) ලෙස ජිවත්වීම සඳහා අවැසි පිළිවෙතයි. එහෙත් එය හුදු ආගම නමැති සංකල්පයට සීමා කොට එක් ශාස්තෘෘවරයකු ගේ අදහස්/ සංකල්ප පරදවා තවත් ශාස්තෘවරයකුගේ අදහස්/ සංකල්ප සමාජ ගතකරන්නේ නම් එය ම එකී ශාස්තෘෘවරුන්ගේ මතයට පිටුපාන්නකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඉහත උපුටනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ම පටහැනියැයි ලියුම්කරුට හැඟේ. මන්ද ‘‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ’’ යනුවෙන් සඳහන් කරන අතර ම ‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය’’ යනුවෙන් ද සඳහන්ව ඇති හෙයිනි. සමාජවාදය යනු කුමක්දැයි යන්න හෝ ප්‍රජාතන්ත්‍රවාය යනු කුමක්දැයි යන්න විග්‍රහකිරීම මෙම ලිපියේ අරමුණ නොවන හෙයින් එය පසෙක තබා බහුවාර්ගික, බහු ආගමික ජනතාවක් වෙසෙන රටක එක් ආගමක් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීම යන්න ම බුදුන් වහන්සේගේ දර්ශනය පිටුදකින්නකි.
අප කිසිවකුටත් තවත් කිසිවකු අදහන ආගම කුමක්ද යන්න තීරණය කළ නොහැකි ය. එය තෝරාගත යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ මතය අනුව ය. එබැවින් මෙලොව එළිය දකින බිලිඳාගේ උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න විමසා සිටීම ම ඛේදවාචකයකි. අලුත උපන් බිලිඳාගේ ආගම කුමක් ද යන්න විමසිමේ දි ඒ සඳහා පිළිතුරු සපයන මව හෝ පියා එහි සටහන් තබන්නේ ඒ වන විට ඔහු හෝ ඇය අදහමින් සිටි ආගම යි. සැබැවින් ම මෙය ඒ බිළිදාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. අලුත උපන් බිලිදාට නමක් යෙදීම දෙමාපියන්ගේ කැමැත්තට අනුව සිදු වුව ද ඒ බිලිදාගේ හෝ බිලිඳියගේ ආගම කුමක් ද යන්න තිරණය කිරීමේ අයිතිය දෙමාපියන්ට උරුම වුයේ කෙසේ ද? බිලිඳා උස්මහත්ව සමාජය තේරුම් ගැනීමේ දි තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස අහිමි වන්නේ ද මෙලෙස උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න විමසා සිටින පැනයට සිය දෙමාපියන්ගේ ආගම තමාගේ ආගම ලෙස සටහන් කොට ඇති බැවිනි.
එම සංසිද්ධිය එලෙස සිදුවද්දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ මෙසේ සඳහන්ව ඇත.
‘‘සැම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.’’
අලුත උපන් බිලිඳාගේ උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න විමසිම මෙන් ම ඒ වන විට අදාළ බිලිඳාගේ මාපියන් වැලඳගෙන සිටි/අදහන ආගම බිලිදාගේ ආගම ලෙස සටහන් කිරීම මෙම වගන්තිය මතු නොව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් යැයි කලින් සදහන් කළේ ඒ අනුව ය. උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න නොවිමසා සිටියේ නම් හෝ දෙමාපියන් අදහන ආගම අලුත උපන් බිලිඳාගේ ආගම ලෙස සටහන් නොකර සිටියා නම් මෙකී වගන්තිය සර්ව සම්පූර්ණ වන්නේ ය. එසේ නොවන්නේ නම් මෙකී වගන්තිය, වගන්තියකට පමණක් සීමා වනවා මිස එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට පත්වන්නේ ය.
මේ සියලු කරුණු සටහන් කිරීමට සිදු වුයේ ශ්‍රි ලංකා වාසි සියලු ආගම්, ජාති කුලමලවලට අයත් ජනයා යහපාලනයක් උදෙසා නව ආණුවක් ස්ථාපිත කළ මොහොතේ මෙරට වෙසෙන ආගම්වාදින්, ජාතිවාදින්, අන්තවාදින් සහ මූලධර්මවාදින් තම බඩගෝස්තරය උදෙසා යළි යළිත් ආගම් සහ ජාතිවාදය ඉස්මතු කිරිමට උත්සාහ දරන බව දක්නට ලැබුණු හෙයිනි.
මෙයට කදිම නිදසුනක් සපයන්නේ ත්‍රස්ත සංවිධානයක් ලෙස විරුදාවලි ලබා සිටින ‘‘බොදුබල සේනා’’ නම් වූ චීවරධාරි සංවිධානය අභිනව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම ය. එනම් ‘‘අන්තවාදින්ගෙන් බැට කෑ සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න කියන්න කොමිසමක් ඕනෑ’’ නමැති ප්‍රකාශය යි.
මෙම ඊනියා බෞද්ධ සංවිධානය දිගින් දිගට ම කියා සිටින්නේ සිංහල ජාතිය විනාස කිරීමට වෙනත් විවිධ සංවිධාන උත්සාහ කරන බවයි. හොඳයි එය එසේ යැයි පවසමු. එහෙත් එයට විසඳුම දෙමළ මිනිසුන් ඝාතනය කිරීම ද? මුසල්මානුවන් ඝාතනය කිරීම ද? ඔවුන්ගේ දේපළවලට හානි පැමිණවීම ද? ඔවුන්ගේ ව්‍යාපාර ඉලක්ක කොට මැර ප්‍රහාර එල්ල කිරීම ද? මේ අන්තවාදී චීවරධාරින් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම තවදුරටත් මෙවන් කටයුතු කෙරෙහි යොමු වුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න උදාහරණයකින් මෙසේ පැහැදිලි කරමි.
‘‘ප‍්‍රභාකරන් නමැති දෙමළ කොළු ගැටයෙක් යාපනයේ සිට ඒ දිනවල පානදුරට පැමිණ සිටියේ එහි පදිංචිව සිටි තම නෑයන් මුණගැසීම පිණිස ය. හින්දු කෝවිලේ පූජකයා ද ඔහුගේ නෑයෙකු වූ නිසා ඔහු මුණගැසීමට එමින් සිටියදී ය, කැරළිකරුවන් කෝවිලට කඩාවැදුණේ. එහෙත් කිසිවකු ප‍්‍රභාකරන් කෙරෙහි අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නොතිබුණි. කෙසේ වෙතත් මොකක් හෝ විශාල විපතක් වන්නට යන බව අවබෝධ කරගත් ප‍්‍රභාකරන් කෝවිලෙන් ඈතට ගොස් පාර අයිනේ නතර කර තිබුණු පරණ ලොරි කබලකට මුවා වී බලා සිටියේ ය. තම ඥාති පුජකවරයා පණපිටින් ගිනි තබද්දී ‘අයියෝ සාමි’ කියා විලාප තබමින් ඔහු දැඟලූ දැඟලිල්ලත් ටික වේලාවකින් බිම පතිත වී නිහඬව දැවී අඟුරු වී ගිය ආකාරයත් දුටු ප‍්‍රභාකරන්ට කලන්තය හැදී බිම වැටීමට එන්නාක් මෙන් දැනුණි. එහෙත් ඔහුගේ දඩබ්බරකමත් දැඩි ආත්ම ශක්තියත් නිසා කලබල නොවී සිටීමට හැකි විය.
‘මේක මගේ හිතෙන් මට කවදාවත් ඉවත් කරන්න බැහැ. මට මෙතනින් බේරිලා යන්න හම්බඋනොත් මම කවදහරි මේ මිනීමරු සිංහලයන්ගෙන් පළිය ගන්නවා...’ කලබල අඩු පැතිවලින් රිංගා ආරක්ෂක ස්ථානයක් කරා යන අතර ප‍්‍රභාකරන් තමාට ම කියාගත්තේ ය.’’
ගමන නොනිමෙයි - ගුණදාස ලියනගේ - පිටුව 261
එදා එම සිද්ධිය නොවන්නට වසර තිහක් පුරා පැවති ම්ලේච්ඡ යුද්ධය ආරම්භ නොවන්නේ ය. ඒ ආකාරයෙන් ම මේ අන්තවාදී චිවරධාරි කන්ඩායම විසින් මේ වන විට මෙහෙයවා ඇති සහ ඉදිරියටත් මෙහෙයවීමට සූදානම්ව සිටින මුස්ලිම් විරෝධය හේතුවෙන් අනාගතයේ අප රට තවත් විනාශයකට ඇද නොවැටෙන්නේ යැයි විශ්වාස කළ හැකි ද?
සිංහලයා දෙමළාට එරෙහි වුයේ ඔහු හුදෙක් දෙමළ බස කතාකිරීම නිසා පමණක් ම නොව සිංහලයා භුක්ති විඳින සියලු වරප්‍රසාද දෙමළා ද භුක්ති විඳින හෙයිනි. 1948 ලද ඊනියා නිදහසින් අනතුරුව මෙරට සිවිල් පරිපාලනයේ මෙන් ම වෛද්‍ය, ඉංජිනේරු යනාදි සියලු අංශවල ඉහළ නිලතල දැරුවේ දෙමල ජාතිකයන් විසිනි. එයට හේතු වුයේ ද ඔවුන්ගේ දක්ෂතාවය සහ සිංහලයාගේ අලසකම යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් ඔවුන්ගේ පරිපාලනයේ පහසුව තකා මෙරට සිවිල් සේවය ස්ථාපිත කරන්නේ අගත් බුද්ධිමත් පිරිසක් දායක කොට ගෙන ය. එහි දී වඩාත් ඉහළ අධ්‍යාපනයක් ලබන්නට උතුරේ දෙමළ මිනිසාට අවස්ථාව උදාවීම ද අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව මත සිදු වුවකි. උතුරෙන් අගතුන් බුද්ධිමතුන් බිහිවන්නේ මෙය හේතුකොට ගෙන ය. සිංහලයාට දෙමළා කෙරෙහි ඊර්ෂ්‍යාවක් උපදින්නේ මෙතැන් සිට ය. එසේ නොමැතිව පෙර පරිදි ම දෙමළ මිනිසා සිංහලයාගේ බැළ මෙහෙවර කරමින්, සිංහලයාගේ අසූචි අදිමින්, විදේශිකයන්ගේ මතු නොව සිංහලයාගේ ද තේ වතු, රබර් වතු ආදියෙහි ශ්‍රමය වගුරවමින් සිටියා නම් දෙමළා කෙරෙහි වෛරයක් සිංහලයාගේ සිතෙහි හට නොගන්නේ ය. එහෙත් දෙමළා ඉහළ වරප්‍රසාද ලබන විට සිංහලයාට ඇති වූ ඊර්ෂ්‍යාව පුපුරුවා හරින්නේ මෙරට ජාතිවාදය නමැති වෛරසය පතුරවමිනි. මෙය මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරලිය කෘතියේ ද සඳහන් වේ.
දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් පවා අහෝසි කරමින් දිගින් දිගට ම ඔවුන් පීඩනයට පත්කිරීම හේතුවෙන් පැන නැගි ගැටලුව අවසානයේ වසර තිහක් දක්වා පැවති යුද්ධයක් දක්වා රැගෙන ගොස් අවසන් වූයේ හතළිස් දහසක පමණ දෙමළ සිවිල් වැසියන් තොග පිටින් ඝාතනය කිරීමෙනි. එහෙත් දෙමළ මිනිසාගේ ගැටලු නොවිසඳුණු අතර ඉතිරි වූයේ සිංහළ මිනිසාගේ ස්වයං වින්දනයේ තෘප්තිය පමණි.
ධනේශ්වර පාලකයන්ට ජනතාව තළා පෙළා රට පාලනය කිරීම සඳහා කුමන හෝ හේතුවක් වුවමනා ය. එසේ නොවන විට ජනතාව පවතින ඕනැම ආණ්ඩුවකට එරෙහිව විදි බසින්නෝ ය. එය වළක්වාගනුවස් පාලකයෝ විවිධ අවස්ථාවන්හි විවිධිකාරයේ අණ පනත් සම්මත කරගනිති. විවිධ සමාජ ප්‍රශ්න ඇති කරති. යුද්ධය අවසානයේ සිදුවන්නේ ද මෙය යි. එනම් දැන් දෙමළාගේ ප්‍රශ්නය වලංගු නොවන බැවින් මුසල්මානුවා සම්බන්ධ කරගත යුතු ය යන්න ය. ඒ අනුව ය, මුසල්මානුවා කෙරෙහි වෛරය වපුරන්ට කැසකවන්නේ.
මුසල්මානුවන් මේ රටට එරෙහි යම් ක්‍රියාදාමයක යෙදි සිටින්නේ නම්, එය සොයා බැලීම සහ ඒ සදහා විසඳුම් සෙවිය යුතු ක්‍රමවේදයක් රජය සතුවිය යුතු ය. එය බුද්ධි අංශ මෙහයවා කළ යුතු කටයුත්තක් මිස තවත් ත්‍රස්ත සංවිධානයක් හරහා විසඳාගත යුතු කාරණයක් නොවේ. එහෙත් ලංකාවේ සිදුවන්නේ ඊට හාත්පසින් ම විරුද්ධ ක්‍රියාදාමයකි. එනම් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් අටවාගත් තවත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් ජාතිවාදි ආගම්වාදි මත වපුරා, අදාළ ආගමිකයන්ගේ ව්‍යාපාර, දේපළ මතු නොව ජීවිත ද විනාශ කිරීම ය. මෙය රටක සිදු නොවිය යුත්තකි. කළ යුත්තේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න හඳුනාගෙන ඒ සඳහා ගතයුතු නීතයානුකුල පියවර ගැනීම ය.
එහෙත් මෙතෙක් සිදුවුයේ එක් එක් කණ්ඩායම් කලින් කලට විවිධාකාරයේ ආගම්, ජාතිබේද වපුරා රටේ ජනතාව භේද භින්න කිරීම ය. දැන් ඒ යුගය අවසන් කළ යුතුව ඇත. රටක නිල ලත් ත්‍රිවිධ හමුදාවක්, පොලිසියක්, රහස් පරික්ෂක දෙපාර්තමේන්තුවක්, ත්‍රස්ත විමර්ෂණ ඒකකයක් සහ බුද්ධි අංශයක් යනාදි සියලු ආයතන පිහිටුවා තිබෙන්නේ ස්වදේශිකව හෝ විදේශිකව අප රටට පැමිණෙන උවදුරු වළකාලනු පිණිසය. එසේ නම් මේ අන්තවාදින් නගන චෝදනා සත්‍යය ද යන්න සොයා බැලීම සඳහා ඒ ඒ අදාළ ආයතන වෙත භාර දිය යුතු ය. එසේ නොවී එක් එක් අන්තවාදී කණ්ඩායම් නීතිය අතට ගෙන ඔවුනොවුන්ගේ මතයට අනුව ජනතාව පොලඹවන්නේ නම් අවසන් වුවා යැයි කියන යුද්ධයේ ප්‍රතිඵලය ද, යහපාලනයේ ආරම්භය ද එය පවත්වාගෙන යාම ද තිඹිරි ගෙයි ම මිය යන්නේ ය. එය එසේ නොවන්නට නම් අභිනව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඍජු තීරණ ගෙන සියලු ජාති, ආගම්වාදයන් පිටු දැකිය යුතු ය. ජාතිවාදය, ආගම්වාදය පතුරවන්නෝ (පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ද පසුගියදා මැදමුලනේ දි ජාතිවාදය අවුළුවන්නට තැත් දැරුවේ ය) නීතියේ රැහැනට කොටු කරගත යුතු ය. ‘‘යහපාලනය’’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘යහපාලනයක්’’වන්නේ එවිට ය.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) බව අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය’’
Leave a comment