ගමනක මුල

Thursday, 08 January 2015 09:25

අද දින පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හය වන විධායක ජනාධිපතිවරණය යි. මෙය හුදෙක් ජනාධිපත්වරණයක් ම පමණක් නොවේ. එනම් ලාකීය දේශපාලන ගමන් මගේ හැරවුම් ලකෂ්‍යයකි. 2009 මයි මස 9 වන දින එක් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් සමස්ත ලාංකීය ප්‍රජාව ම අත්විඳි අනේක දුක් කම්කටුලු නිමා වන්නේ හෝ තව තවත් එබඳු දුක් කම්කටුලුවලට මුහුණ පාන්නට සිදුවන්නේ අද දිනයේ රටේ බහුතර ජනයා ගන්නා තීරණය අනුව ය.

අද දිනයේ ජනතාව ගන්නා ඒ තීරණය අනුව මහින්ද රාජපක්ෂ යළිත් බලයට පැමිණියහොත් සිදුවන්නේ කුමක් ද යන්න අමුදතුවෙන් කීමට අවශ්‍යය නොවේ. ඔහු බලයට පත් වූ දා සිට යළි ජනාධිපතිවරණය කැඳවන තෙක් සහ ඉනික්බිත් ඔහු, ඔහුගේ පවුලේ උදවිය සහ ඔහුගේ සහචරයන් කළ කී දෑ දෙස අවධානය යොමුකළ විට එය මැනවින් පහැදිලි වේ. එකී දෑ වටහාගැනීමට අපොහොසත් වන්නෙකු සිටී නම් ඔහු/ඇය/කණ්ඩායම අඳ, ගොළු, බිහිරි ගනයට අයත් වුවෝ මිස සාමාන්‍ය පුද්ගලයන්/කණ්ඩායම් විය නොහැකි ය.

මහින්ද පරාජය කර බලයට පත්වන්නේ මෛත්‍රී ප්‍රමුඛ පිරිස නම් රටට කුමක් සිදුවනු ඇද්ද යන්න පිළිබඳ පූර්ණ අවබෝධයක් හෝ විශ්වාසයක් ගොඩ නොනැගුණ ද බිත්තියට හේත්තු කර සිටින සාමාන්‍ය ජනතාවට අවම වශයෙන් සීමා සහිත ඉඩ ප්‍රමාණයක හෝ නිදහසේ සැරි සැරිය හැකි බව නම් විශ්වාස ය. එහෙත් ගැටලු කිහිපයක් පවතී.

1505 දී පෘතුගීසින් අප රට යටත් කරගැනීමෙන් අනතුරුව සහ ඊට පෙර වුව ද රටේ ජනතාව සුඛිත මුදිත දිවි පෙවෙතක් ගත නොකළ බව ඉතිහාසය සාක්ෂි දරයි. එමෙන් ම 1948 ලද ඊනියා නිදහසින් පසු ද එය ඒ ආකාරයට ම පැවතිණි. එකල ද ලාංකීය වැසියෝ ග්‍රාමීය වාදයේ සිට කුලමල, ආගම් සහ ජාතීන් වශයෙන් බෙදී සිටියහ, දුප්පත් පොහොසත් වශයෙන් ද බෙදී සිටියහ. උඩ රට පහත රට වශයෙන් ද බෙදී සිටියහ. එහෙත් බාහිරින් පැමිණෙන යම් යම් බලපෑම් යටපත් කරනු වස් ඔවුනොවුන් එකිනෙකා සමග අත්වැල් බැඳගත්හ. එහි දී ද සතුරු මිතුරු පාර්ශවයන් දෙකක් (සතුරු මිතුරු යන දෙපාර්ශවය ම එකිනෙකාට සාපේක්ෂ ය) නියෝජනය විය. එමෙන් ම බාහිර බලපෑමෙන් මිදුණු වහා ම යළිත් පෙර පැවති බෙදුම්වාදය කරා ගමන් කළහ. එනම් හැම මොහොතක ම කෙනෙකුට අනෙකෙක් සම්මුඛ විය. අනෙකා නොමැතිව කෙනාගේ පැවැත්ම තහවුරු නොවී ය. මේ නිමේශයේ සිදු වුයේ ද එය ම ය. මේ නිමේශයෙන් ඉක්බිති වුව ද පෙර පැවති තත්ත්වය යළි නොපැමිණේ යැයි කිසිවකුට සහතික කළ නොහැකි ය. මන්ද මේ මොහොතේ මහින්ද පරාජය කර බලයට පත්වන පිරිස අතර ද ජාතිවාදින්, ආගම්වාදීන්, බෙදුම්වාදින්, දක්ෂිණාංශිකයන් මෙන් ම වාමවාදින් (ඊනියා) ද වෙති. මේ සියලු දෙනාගේ අදහස් එක කෝවකට දමා නිශ්චිත හැඩයකින් යුත් භාණ්ඩයක් නිපදවනවා යන්න අවිනිශ්චිත ය; බැරෑරුම් ය; අපහසුකර ය. එහෙත් යම් පවුලක් තුළ කෙතෙක් ගැටුම් පැවතිය ද එකී පවුල වෙත බාහිරින් බලපෑමක් එල්ල වූ විට මුළු පවුලම එකා මෙන් නැගී සිටිනවා මෙන් මේ මොහොතේ ද මේ සියලු පාර්ශවයන් එකට එකමුතු වී සිටින්නේ එකී බලවේගය පරාජය කිරීම සඳහා ය.

අතීතයෙන් උගත් පාඩම් ආදර්ශයට ගෙන සමස්ත ලාංකිය ප්‍රජාවගේ යහපත උදෙසා සිදුවිය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ සංක්ෂිප්ත අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ යි. මෙම අදහස් කිහිපය පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ 1970 සිට යි. මන් ද ඉන් පෙර නොපැවති තත්ත්වයක් (මෙය එහි ම දිගුවක් බව කිසි සේත් ම ප්‍රතික්ෂේප නොකරන බව ද අවධාරණය කරමි.)1970 සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සිදු වු බැවිනි. එහි පළමු සිදුවිම 1971 වසරේ පැවති තරුණ අරගලය යි. 1948 ට පෙර විදෙස් ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගැනීම සඳහා එකට එක්ව සටන් කළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ වෙනත් ජනවරගවල මිනිසුන් 71 දි අරගලයට එක් වූයේ පවතින ආණ්ඩුවට ම එරෙහිව ය. එහෙත් ඒ ආණ්ඩුව අපේ ම ආණ්ඩුවක් නොවන බව ප්‍රත්‍යක්ෂ වන්නේ අරගලයට සම්බන්ධ වුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන්නේ ‘‘රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම’’ නමැති චෝදනාව එකී අරගලකරුවන්ට එල්ලවීමෙන් අනතුරුව ය. එහෙත් එකී ‘‘රැජිණගේ ආණ්ඩුවට එරෙහි කැරැල්ල’’ මැඩපවත්වන්නේ තවත් රැජිණකි. එකී රැජිණට තරුණ නැගිටීම මර්දනය කිරීම සඳහා සමාජවාදි රාජ්‍යයන්ගෙන් මෙන් ම ධනවාදි රාජ්‍යයන්ගෙන් ද නොමසුරු සහයෝගයක් ලැබිණ. අනතුරුවය, 1972 මැයි 22 වන දින ලංකාව නිදහස් නිවහල් රාජ්‍යයක් බවට පත්වන්නේ.

එහෙත් ඒ නිදහස් සහ නිවහල් භාවය පූර්ණ වශයෙන් වලංගුවන්නේ කාට ද...? සිංහළ බෞද්ධයන්ට ය. (සිංහල බෞද්ධයන්ට පමණක් ය යන්න ඔප්පු කිරීම සඳහා අව්‍යය තරම් සාක්ෂි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සටහන්ව ඇත. එහෙයින් ඒ පිළිබඳ අවධාරණය නොකරමි.) මේ සිංහල බෞද්ධයන්ට පමණක් සීමා වු පූර්ණ නිදහස් නිවහල් රාජ්‍යයක් ගොඩනගන්නට සමාජවාදී යැයි කියාගන්නා, කොමියුනිස්ට්වාදින් යැයි කියාගන්නා ඊනියා වම්මුන්ගේ සහය ද ඒකමතිකව ලබා දුන්නෝ ය. අනතුරුව සිදු වුයේ කුමක් ද...?

සමාජවාදි සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ නොහැකි බව වටහාගත් පාලකවරිය ඇයට සහය දුන් ඊනියා වම්මුන් ද පළවා හරිමින් තවත් අන්තවාදී පාලන ක්‍රමයකට රට රැගෙන ගියේ ය. එහි දී කුඹුරු පනත, ඉඩම් පනත ආදිය යම් සාධනීය ලක්ෂණ පළ කළ ද අනෙක් බහුතරය රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා උපස්තම්භක නොවී ය. ජාතිවාදය ද, ආගම් වාදය ද, කුල වාදය ද නොනැසී පැවතුණි. රටේ බහුතරයක් ජනතාවට තුන්වේල කෙසේ වෙතත් එක් වේලක් හෝ කුසට අහරක් ලබාගැනීමට නෙහැකි තත්තවයක් උදා විය. පාන් ගෙඩියේ සිට විලි වසාගන්නා රෙදිකැබැල්ල පවා මිල දි ගන්නට දින ගණනක් පෝලිම්වල ලගින්නට සිදු විය. ආහාර හිඟය කෙතරම් උග්‍ර වූවාද යත් බහුතරයක් ජනයාට කෙසෙල් අල, ගහල අල (කිරි අල) නොව හබරල අල පවා තම්බා ආහාරයට ගෙන කුසගිනි නිවාගැනීමට සිදුවිය. ඉදී ගස් යට වැටී කුණුවෙමින් පැවති ලාවලු නමැති පලතුර ද වටිනා පලතුරක් නොව කුසගිනි නිවාගන්නා ආහාරයක් බවට පත්විය. එසේ ජනතාව පීඩාවට පත්වුව ද ඒ අත්තනෝමතික පාලකවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පස් වසරක පාලනය සත් වසරක් දක්වා දීර්ඝ කර ගත්තී ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1977 පැවති මැතිවරණයෙන් ආණ්ඩු කළ පක්ෂය ආසන අටට පල්ලම් බැසීම ය.

ඉනික්බිති ඇරඹෙන්නේ නිවහල් ධර්මෂ්ට රාජ්‍යය යි. එකී රාජ්‍යය අරඹන්නේ ම පොලිසියට සතියක නිවාඩු කාලයක් (නිල නොවන) ප්‍රකාශ කරමිනි. එදා එක්සත් ජාතික පාක්ෂිකයෝ තමන්ගේ සතුරන් යැයි උපකල්පනය කළ අසල්වැසියාගේ සිට සොයුරිය දක්වා වු සියලු මිනිසුන්ගෙන් පලිගත්හ. බුලත්විට කඩයේ සිට මහා වෙළෙඳසල් දක්වා වු දේපළ ගිනි තැබූහ. මිනිසුන් මරා දැමුහ. උන්හිටි තැන් අහිමි කළහ. රජයේ සේවකයන්ගෙන් ඉතා අමානුෂික ආකාරයෙන් පලිගත්හ. රාජ්‍ය ආයතනවල මතු නොව ඇතැම් පුද්ගලික ආයතනවල සේවය කළ විරුද්ධ පාක්ෂිකයෝ ද මේ ව්‍යසනයට ගොදුරු වූහ.

ඉනික්බිතිව විවෘත ආර්ථිකය නමින් විවර කළ දොරටු හරහා මෙරටට ගලා ආවේ ඒ මොහොත වන විට ඉසිලිය නොහැකි කුසගින්නේ සිටි ජනතාවට ඉස්මුරුතාව තෙක් අනුභව කළ හැකි ආහාර තොගයකි; පරිභෝජනය කළ නොහැකි තරමේ භාණ්ඩ තොගයකි. එහෙත් එකී ආහාර හෝ භාණ්ඩ මිලදි ගන්නට නම් ජනතාව මුදල් හම්බ කළ යුතු විය. රජයේ සේවකයන් මතු නොව පුද්ගලික අංශයේ සේවකයන්ට වුව ද එකී භාණ්ඩ පරිභෝජනය කිරීමට තරම් මුදල් නොලැබිණි. එහෙයින් මේ ජනයාගෙන් බහුතරයක් ‘‘බල්ලො මරා හෝ සල්ලි හම්බකරනවා’’ යන අර්ථයෙන් මුදල් ඉපයීමට විවිධාකාරයේ ක්‍රියාවන්වලට පෙලඹුණි. එහෙත් එසේ කළ හැකි වුයේ සීමිත පිරිසකට පමණි.

මෙකී ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකිවන බව වටහාගෙන සිටි ජේ. ආර්. ජයවර්ධන අගමැතිවරයා එතෙක් මෙරට පැවති ජනාධිපති ධුරය අහෝසි කරමින් විධායක ජනාධිපති ක්‍රමය සහ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ ය. සැබැවින් ම හඳුන්වා දුන්නා නොව බලෙන් ආරෝපිත කළේ ය.

1980 වන විට රජයේ සේවකයන්ට පමණක් නොව පුද්ගලික අංශයේ සේවකයන්ට ද දරාගත නොහැකි ආර්ථික බරක් තම හිස මත පැටවිණි. සිය වැටුප දිනකට රුපියල් දහයක් වැඩි කරන ලෙස ඉල්ලා මේ පිරිස් සටන් මගට පිවිසෙන්නේ ඉනික්බිතිව ය. එහෙත් ඔවුන්ට සිදු වුයේ කුමක් ද? ඔවුන් සියල්ල කනත්තට දක්කන බව එදා ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කළේ ය. ඒ ආකාරයෙන් ම නිල වශයෙන් (පොලිස් වෙඩිපහරින්) එක් පුද්ගලයෙක් ද නොනිල වශයෙන් (සිය දිවි හානිකරගැනිම්) තවත් බොහෝ පිරිසක් ද කනත්තට පියවර මැන්නාහ.
අනතුරුව රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලිකරණයට ලක් කරමින් සේවකයන් සූරාකෑමට ඉඩ සැලසු ආණ්ඩුව සේවකයන්ගේ ඉල්ලිම් මර්දනය කිරීමට ඒ සේවකයන්ගේ වැටුපෙන් ගෙවන බද්දෙන් වැටුප් ලබනා පොලිසිය සහ ආරක්ෂක හමුදාවෝ යෙදවුහ. අධ්‍යාපනය විකිණීමට එරෙහිව වීදි බැස සටන් කළ දරුවෝ මර්දනය කිරීම සඳහා නිදහස් අධ්‍යාපනයේ පිහිටින් අධ්‍යාපනය ලත් ත්‍රිවිධ හමුදාවෝ සහ පොලිසිය යෙදවුහ.

වසර පහකින් මැතිවරණයක් පවත්වනවා වෙනුවට එකී මැතිවරණය කල් තබමින් 1982 වසරේ දි ඊනියා ජනමත විචාරණයක් පැවැත්වී ය. එම ඊනියා ජනමත විචාරණයෙන් බලහත්කාර ජයග්‍රහණයක් ලද පාලකයා එය 1983 අගොස්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි මැතිවරණ සිතියම හකුලා දැම්මේ ය. අඬන්න සිටි මිනිසාට ඇගිල්ලෙන් අනින්නේ මේ මොහොතේ ය.

පැවති ඊනියා ජනමතවිචාරණයට එරෙහිව නීත්‍යානුකුල පියවරගත් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවිර ගොනුකළ පෙත්සම හේතුවෙන් පැවති රජය පරාජයට පත්වන බව දැන සිටි පාලකයා 1983 කළු ජූලිය දඩමීමා කරගනිමින් ජනතාවිමුක්ති පෙරමුණ ඇතුළු තවත් වාමාංශික පක්ෂ හයක් තහනමට ලක් කළේ ය. මේ සියල්ල හරහා ප්‍රත්‍යක්ෂ වූයේ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් මේ රටේ පාලනය ගෙන ගිය නොහැකි බවයි. එහෙත් බලයට කැදර, මුදලට තන්හා පාලකයා ප්‍රමුඛ පිරිස කෙසේ හෝ බලයේ සිටින්නට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස නැවතත් ජනතාවිමුක්ති පෙරමුණේ පිරිස් ආයුද සන්නද්ධ අරගලයකට පිවිසුණහ. (එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ මෙන් ම ආණ්ඩු පක්ෂය ද සම සමව බාරගත යුතු ය.)

උතුරේ සටන්කාමින්ගේ ගැටලුවට මුහුණ දීමට නොහැකි වු පාලක පක්ෂය ඒ සදහා පිහිට පතන්නේ ඉන්දියාවෙනි. ඒ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීමෙනි. මෙහි දී ගිවිසුමට එරෙහි වීදි බට ජනතාවට එරෙහිව ද ආණ්ඩුවේ මර්දනය දියත් කළේ ය.

83 වසරේ සිංහල මිනිසුන් දෙමළ මිනිසුන් ඝාතනය කළ ආකාරයට වඩා ම්ලේච්ඡ අන්දමින් 87-89 කාල පරතරය තුළ සිංහල හමුදාව සහ විවිධ ආයුද සන්නද්ධ කණ්ඩායම් සිංහල ජනතාවට එරෙහි මර්දනයක් දියත් කළේ ය. එහි දී විවිධ අන්දමින් ඝාතනයට ලක්වුවන්ගේ ගණන හැට දහසකට අධික ය. මේ ආකාරයට මරණයට ගොදුරු වුයේ යහපත් දේශයක් ගොඩනැගීමේ අරමුණින් සටන් කළ පුද්ගලයෝ ය.

මේ සියලු නොපනත්කම්වලට එරෙහිව විරුද්ධ පාක්ෂිකයෝ පෙළගැසෙන්නේ 1994 වසරේ දී ය. එදා ආණුඩුව පරාජයට පත්වුව ද පාර්ලිමේන්තුවේ බලය රැකගැනීමට විපක්ෂය සතුව පැවතියේ සුළු බලයකි. එකී බලයට එරෙහි මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් සැකසෙද්දී රනිල් වික්‍රමසිංහ නිහතමානිව පරාජය බාරගෙන අරලියගහ මැදුරෙන් පිටවිය.

ඉනික්බිති එලඹෙන්නේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම සඳහා පැමිණි පිරිසගේ කාලය යි. යක්ෂාට මිනිස් මුහුණක් සවි කළ ද යක්ෂයා යක්ෂයා ම ය. එහෙයින් විවෘත ආර්ථිකය නමැති යක්ෂයාට මිනිස් මුහුණක් පැලඳීමෙන් පලක් නොවන බව අමුතුවෙන් කිව මනා නොවේ. ඒ මානුෂික මුහුණුවර පැලඳගත් පාලිකාව පළමු බිල්ල ගන්නේ ඇන්සල් ලංකා සමාගමේ සේවකයකුට ගිනි බිඳිමිනි. එකී පාලන සමය තුළ සිදුවු දෑ ද කිසිඳු මානුෂික බවක් නොගත් අතර ඇය ජනතාවට දුන් ප්‍රධානම ලිඛිත පොරොන්දුව වු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම පවා තුච්ඡ අන්දමින් මගහැර ගියා ය. (අද ඇය එම ජනාධිපතිධුරය අහෝසි කිරිම වෙනුවෙන් පෙනි සිටිම ද මෙහි දි අගය කළ යුතු ය.) ඇගේ අත්තනෝමතික පාලනයේ ප්‍රතිපලය හේතුවෙන් 2002 වසරේ දි නැවතත් ඉතිහාසයේ කවරදාවත් සිදු නොවූ අන්දමින් ව්‍යවස්ථාදායකය එක් පක්ෂයකටත් විධායකය තවත් පක්ෂයකටත් බෙදී යන සේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්විය.

උතුරේ අරගලය ආරම්භයේ සිට එතෙක් කිසිඳු ආකාරයකින් විසඳාගත නොහැකි වු ගැටලුව විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් ඇරඹි සාම ක්‍රියාමාර්ගය හේතුවෙන් එතෙක් කැලයේ සිටි සටන්කාමින් එළියට පැමිණ කැලයෙන් එපිට ලෝකයක් තිබූ බව හඳුනාගත්තේ ය. ප්‍රභාකරන්ගේ ග්‍රහණයට නතුව සිට සටන්කාමින්ට කාමසුකල්ලිකානුයෝගය හුරු කරන්නේ ද මෙම ගිවිසුම මගිනි. කරුණා අම්මාන් වැනි නායකයන් ප්‍රභාකරන්ට එරෙහිව කැරලිගැසීම ආරම්භ වන්නේ දඑතැන් සිට යි. එහි අවසන් ඵලය වුයේ එල්. ටී. ඊ. සංවිධානය අන්ත පරජයටකට පත්ව ප්‍රභාකරන් ද ඝාතනය වීම ය. එහෙත් අරුමය වන්නේ මෙම තත්ත්වයට හේතු වු සාම ගිවිසුම කොටින්ට රට පාවාදීමක් යැයි දෙසාබාමින් රනිල් භිතිකාවක් රට පුරා පතුරවන්නට ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙක් ජාතිවාදින් සංවිධානය වීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස 2004 වසරේ දී නැවතත් රනිල් වික්‍රමසිංහ පරාජයට පත්විය.

මෙම පරාජය සදහා ජාතිවාදින්ගේ ක්‍රියාපටිපාටියට මහත් පිටුවහලක් විය. ජනතා විමුක්ති පෙරමුණ, සිහල උරුමය වැනි අන්තවාදි සංවිධාන පෙළ ගැසෙමින් සිටියේ උතුරේ අරගලය යුද්ධයෙන් ම අවසන් කොට දෙමළා විනාශ කර දැමීමට ය. එය ජයග්‍රහණයෙන් කෙළවර විය.

ඉනික්බිති එලඹෙන්නේ අඳුරු ම අවධිය යි; දැන් අප අත්විදිමින් සිටින්නේ ඒ අඳුරුතම අවධියේ කුටප්‍රාප්තිය යි; අද ජනතාවගේ තීරණය මත නිමවන්නේ හෝ නැවතත් ආරම්භ වන්නේ ඒ අඳුරුතම යුගයේ අවසානය හෝ නැවතත් වර්ධනය වීමයි.
එසේ නම් පළමුව කළ යුත්තේ මේ අඳුරු යුගය අවසන් කිරීම යි. ඒ සඳහා ජනතාව පෙරමුණ ගතයුතු ය. ඒ සඳහා මගපෙන්වූ බලවේග සමග අත්වැල් බැඳගත යුතු ය. අනතුරුව බලයට පැමිණෙන පිරිස සමග යහන්ගත නොවී ඈතින් සිට බලා සිට වරැද්ද දුටු තැන අද පවතින රජයට එරෙහි වු අන්දමින් ම එදාට ද එරෙහි විය යුතු ය. බලයට පත්වන්නෝ මෙතෙක් උගත් පාඩම් ප්‍රයෝජනයට ගෙන රට යහපත් මාර්ගයක් කරා රගෙන යාමට වෙර දැරිය යුතු ය. වසර තිස් හතක් පුරා ආපස්සට ගිය රට පෙරට ගෙන යාමට ධෛර්යය දිය යුතුයි. බලයට පත්වන පාලකයන් ද එය නොකරන්නේ නම් දිවි හිමියෙන් කැපවී එකී ක්‍රමයට එරෙහිව ද සටන් කළ යුතු යි.

මේ සියලු කාරණා නැවත සිහිපත් කළේ කිසිඳු පුද්ගලයකුට/කණ්ඩායමට අපහාසයක් කිරීමට නොව ඉතිහාසයේ උගත් පාඩම් ආදර්ශයට ගැනීම සඳහා පෙලඹවීම උදෙසා ම ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us