අනුර මලේ පය බුරුලෙන් තබා වරෙන්! Featured

Saturday, 18 January 2025 10:34

මේ වෙමින් පවතින්නේ වත්ත බද්දට දී ඇස්සට නියවීමක්ද?
චීනය, ඉන්දියාව, ඇමරිකාව ගැන ලාංකික සමාජය පවත්වාගෙන සම්ප්‍රදායක සිතුම් පැතුම් නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබේ.

ලංකාවේ අපට ඉන්දියාව, චීනය හා අමරිකාව පිලිබදව අපටම ආවේනික වු විරෝධාකල්පයන් තිබේ. නමුත් අනුරවාදය විසින් ලංකාවේ මෙතෙක් පැවති එවැනි මතවාදයන් දැන් දැන් එකින් එක ඛණ්ඩනය වෙමින් පවතී. අනුර ජනාධිපතිවරයා එක විට එකවර ඉන්දියාවේද චීනයේද ඇමරිකාවේ ද මිතුරකු වී තිබේ.අප එය සාධනීය තත්වයක් ලෙස දකින්නේ නමුදු එම සාධනීය බව විසින් අපට ළගා වෙන සැගවුන අනතුරක්ද නැත්තේම නැති බව කිව යුතුව තිබේ.

නමුත් මෝරමින් තිබෙන සැබෑ තත්වය අපට බල කරමින් තිබෙන්නේ අඩන්නද සිනහසෙන්නටද යන්න පිලිබදව පවා සිතා ගත නොහැකි තත්වයකටය. ලංකාවෙ ඇතමුන්ට ඉන්දියාව ලොකු අයියාය. ඇමරිකාව යනු ගෝලීය දුෂ්ටයෙකි. චීනය යනු අපව ගිල දැමීමට ඉන්නා කපටියෙකි. රට චීන කොලනියක් බවට පත් කිරීමට අර අදින්නෙකි. නමුත් ඇත්ත කතාව එයම නොවේ.

නමුත් රටක් වශයෙන් අප සිතා බැලිය යුත්තේ there are no permanent friends but there are permanent interests in international relations කියන සිද්ධාන්තය මත පිහිටාය.

මේ එක රටක් හෝ අප රට සමග ගනුදෙනු කරන්නේ අපට පවතින ආදරය නිසා නොවේ.
නමුත් ලාංකික අපට චීනය සැමදා මිතුරෙකි. කවරය එලෙසටම කියවා ගත්තද අන්තර්ගතය සැබැවින්ම ඊට වෙනස් වන්නේය. ඉන්දියාවද හැසිරෙන්නේද එලෙසටමය.
අවාසනාවකට මේ රටවල් තුනේහිම හොඳ හෝ නරක මුලෝපායික අවශ්‍යතා ලංකාව තුළ දී අභිමුඛව පවති.

චීනය වැඩ කරන්නේ ගෝලීය වෙළදාම පදනම් කරගෙන කටයුතු කරන ලොක බලවතකු ලෙසටය. ඔවුන් කතා කරන one belt-one road වෙළද මාර්ගයේ තීරණාත්මක භූගෝලීය මාර්ගයක් අප රට පිහිටා තිබේ.
ඉන්දියාව බලන්නේ කලාපීය බලවතකු වී ඉන් අනතුරුව ඇමරිකාව කෙසේ වෙතත් චීනයට තරගයක් දෙන්නටය. එහිදී ලංකාව ඉන්දියාවේ අසල්වැසියාය. ලංකාව, චීනයට ලබාදී මුලෝපායික අවාසියක් ලබා ගන්නට ඉන්දියාව කැමති නැත.
ඇමරිකාවේ මුලෝපාය ගෝලීය ආධිපත්‍ය තමන් අතේ තබා ගන්නටය. එහි පදනම ආරක්ෂණවාදයයි. එම මුලෝපාය තුළ ඔවුන්ගේ ඉන්දු පැසිපික් ආරක්ෂණ කලාපය තුළ ලංකාව භුගෝලීයව කේන්ද්‍රගතව සිටී.
එක්කෝ ඉන්දියාව ලංකාව ග්‍රහණයට ගතයුතුය. එසේ නැතිනම් ඇමරිකාවම එය කළ යුතුය. ලංකාව චීනයට නතුවීම ඉන්දියාවට මෙන්ම ඇමරිකාවට ද සිදුවන මුලෝපායික අවාසියකි.

මේ සැම රටක්ම වැඩකරන්නෙ තම රටට පවතින සාපේක්ෂ වාසිය( comparative advantage) මතය. එම නිසා මේ කිසිදු රටක් තම ගනුදෙනු කරන රට මිතුරෙකු ලෙස නොසලකන අතර එම රට අදාල කරගන්නේ දෙපාර්ශවය අතර තිබෙන interest එක මතය.
මෙම පසුබිම මත චීනය කියවා ගත් කළ චීනය වැඩ කරන්නේ මිලිටරි රාජ්‍යකට වඩා වෙළද රාජ්‍යක් ලෙසටය. චීන සේද මාර්ගය ගොඩනැගෙන්නේ ඒ නිසාය. චීනයට වැදගත් වන්නේ ලංකාව වටා පවතින මුහුදු සහ මුහුදු බඩ ඉඩම් සහ වරාය පද්ධතියයි.
චීනය ලංකාව දෙස මෙලෙස බලන්නේ අද ඊයෙක සිට නොවේ. චීනය ලංකාව සමග පළමු maritime agreement එක අත්සන් කරන්නේ 1962 දීය. එම යුගයේදී ද ඉන්දියාව මේ සම්බන්ධව කෝපාවිෂ්ට වුයේය.
නමුත් චීනය බලන්නේ තම සේද මාවතේ කේන්ද්‍රයක පිහිටි ලංකාව වානිජමය ලෙස ගිලගන්නටය. ඒ අර්ථයෙන් චීනය මේ දක්වා ඉන්දියාවට වඩා අති සාර්ථක වී තිබේ. දැන් ඔවුන්ට කොළඹ සහ හම්බන්තොට වරායන් පාලනය කිරීමේ හැකියාව ලැබී තිබේ.
ඊට අමතරව කොළඹ පෝට් සිටිය හා හම්බන්තොට ආයෝජන කලාපය චීනය සතුවී තිබේ. සිනොපැක් Refinary එක හම්බන්තොටට එන්නේ එම පාරෙන්මය.

හම්බන්තොට වරාය සංකල්පය අප රට විසින් ගොඩනැගුවේ kape of good hope සිට මලක්කා සමුද්‍ර සන්දිය දක්වා හම්බන්තොට මුහුද හරහා දිනකට ගමන් කරන නැව් 100 කට අවම වශයෙන් bunkering පහසු කම් ලබා දීමේ හැකියාව මත පදනම්වු විභවය හේතු කොට ගෙනය. දැන් එම විභවය යථාර්ථවාදී ලෙස භාවිතා කිරීමේ ඒකාධිකාරය චීන සමාගම් වලට හිමිවී තිබේ.

ඒ තුළ රටක් ලෙස අපට ලැබෙන වාසිය හා ශ්‍රමය සැපයීම හා වාරාය අධිකාරියට ලැබෙන ලාබාංශයට වැඩි දෙයක් නොවනු ඇත. ඉතා දීර්ඝ කාලයකට ලබා දෙන බදු සහන නිසා ලංකාවට සිනොපැක් සමාගමෙන් corporate tax පවා කෙටි කාලීනව අයකර ගත හැකිද යන්න ප්‍රශ්න සහගතය. මක් නිසාද යත් සිනොපෙක් සමාගමට ලබා දෙන බදු සහන කාලය කොපමණදැයි අප දන්නේ නැති නිසාය.

ඒ නිසා සිනොපැක් ආයෝජනය ගැන මහා ඉහළින් කතා කරන්නට දෙයක් ඇත්තේම නැත. එකම වාසිය රට තුලට යම් ප්‍රමාණයක ඩොලර් ගලා ඒම පමණකි.

අවසානයේ දී චීනය සමග ඇති කරගන්නා සියළුම ගිවිසුම් අප කියවා ගත යුත්තේ ඒවා අපට ඇති ආදරය නිසා නොව චීනයේ මුලෝපායික අවශ්‍යතා අනුව සිදු වන්නක් බවය.
ඇත්තටම ලංකාව සතුව එම ආයෝජන බදා ගැනීමට හැර වෙනත් විකල්පයක් ඇත්තේම නැත්තේය.

සීසෝව පැද්දීම ඇරඹෙන්නේද එසැනින්මය. ( චීනයට කොළඹින් ජැටියක් මහින්ද රාජපක්ෂ දුන් විට ඉන්දියාවටද කොළඹින් ජැටියක් අවශ්‍ය වුයේය. ගෝටාබය එම ඉල්ලීම පසුව ඉටු කළේය)

චීනය ලංකාව ගිල ගනිද්දී ඉන්දියාව විසින් ලංකාවට ලබා දෙන තෙරපුමද ඉහළය.
චීනය දකුණු දිග කොටස තමන්ගේ වෙළද මුලෝපායික අවශ්‍යතා වලට නතු කරගන්නා විට ඉන්දියාව රටේ උතුරු-නැගෙනහිර කලාපය තමන්ගේ මුලෝපායික අවශ්‍යතා වලට නතු කරගැනීමට කටයුතු කරමින් සිටී.

ඔවුන් මන්නාරම හා ත්‍රි මලය අතර අධිවේගී මාර්ගය ඉදිකරමින් ඉන්දියානු උතුරු-නැගෙනහිර ආර්ථික කලාපය තහවුරු කරගැනීමට පිඹුරුපත් දැනටමත් සකස් කොට තිබේ. කොළඹ වරායේ චීන ජැටියට සමාන්තරව බටහිර ජැටිය අදානිට ලබා දී තිබේ.
බලශක්තියට අදාලව ලංකාවේ grid එක ඉන්දියාව සමග සම්බන්ධ කරන්නට කටයුතු කරමින් සිටී. LNG තෙල් නලයද රටවල් යා කරන පාලම එන්නේද ඒ අරුතෙනි. නලය සදහා තර්කය සපයන්නේ සාම්පුර් LNG බලාගාරයයි. මන්නාරම සුලං විදුලියද, ත්‍රි මලයේ ටැංකි සංකීර්නයද, සාම්පුර් LNG බලාගාරයද, පලාලි ගුවන් තොටුපලද , කන්කසන්තුර වරායද මෙම ඉන්දියානු මුලොපායික කලාපයේ මුලෝපායික ආයෝජන වන්නේය.
එසේම ආනයනයේ දී ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් වලින් letter of credit (LC) ඇරීමේ පහසුව දැන් අපට ලැබී තිබේ.

තව නොබෝ දිනකින් චීන යුවාන් වලින්ද LC ඇරඹීමේ පහසුව අපට ලැබෙනු ඇත. චීනය කල් තියාම ඒ සදහා උපක්‍රමයක් රට තුලම අටවා තිබේ. ඒ බංකොලොත් යුගයේ චීනය අපට තෑගි කළ අපගේ සංචිත තුළ සගවා තිබෙන චීන යුවාන් බිලියන ගනනයි. එම අපට භාවිතා කළ හැක්කේ චීනයෙන් සිදු කරන ආනයන වලට පමණකි.

අනුර කුමාර ජනාධිපති වරයාට තාක්ෂණික ආධාරයක් ලෙස ලැබෙන යුවාන් මිලියන 500 ද අපට භාවිතා කරන්නට ලබා දෙන කොන්දේසිය ද ඉහත දැක්වු කොන්දේසියට සමාන විය හැකිය.

සිනොපෙක් හම්බන්තොටදී ජාත්‍යන්තරයට තෙල් විකුණන විටදී ඉන්දියන් තෙල් සමාගම ත්‍රි මලයේදී ආසියානු- පැසිපික් කලාපය භාවිතා කරන අමරිකානු- ජපාන හා බටහිර නැව් වලට තෙල් විකුණනු ඇත. ඉන්දියාව සමග ETCA ගිවිසුමට එරෙහි වන අප ඒ සමාන චීන නිදහස් වෙළද ගිවිසුමකටද එළඹෙන බව චීනය සදහන් කොට තිබේ. ඉන්දු-ලංකා වෙළද ශේෂයේ අවාසිය ගැන උද්ඝෝෂණය කරන අපට චීන-ලංකා වෙළද ශේෂයේ අවාසිය අපට සිතා ගතවත් නොහැකි වනු ඇත. ඉන්දියානු ශ්‍රමිකයන් රට තුළට ඒම ගැන බියවැදෙන කතා අසන්නට ලැබෙන පසුබිමක චීන ශ්‍රමිකයන්ද රට තුළට පැමිණීම ගැන කුමක් කියන්නට වනු ඇත්ද යන්න ප්‍රශ්නාර්තයකි.

නමුත් රටක් ලෙස අප මුහුණ දෙන්නට වන යථාර්ථය මෙයයි.

ඉන්දු- චීන බල අරගලයේ පුවක් ගෙඩිය වී ඇත්තේ ලංකාවයි.

ඉන්දියාව හෝ චීනය හෝ ඇමරිකාව අපට මිතුරන් නොවේ. අපට ඔවුන් සමග ඔවුන්ට අප සමගද ඇත්තේ එකිනෙකාගේ අවශ්‍යතා දිනා ගැනීමේ ගනුදෙනුවක් පමණක්මය.

නමුත් එම රටවල් SMRT වුවද අපි රටක් වශයෙන් එම රටවල් චෙක් මේට් කිරීමේ නුවන උපයා ගෙන නැත්තේය. අපේ අල අපිම හාරා ගත යුතුව තිබේ. නමුත් අපට අපගේ අලය හාරා ගන්නේ කෙසේද යන්න වත් තවම තේරුම් ගැනීමට නොහැකිවී තිබේ. ඒ බව තේරුම් ගැනීම සදහ හොදම උදාහරණය ලබා දෙන්නේද චීනයයි. මක් නිසාද අල හාරාගන්නට ගොස් අනතුරේ වැටෙන්නටද ඉඩ තිබේ.

1952 දී ඩඩ්ලි සේනානායක රජය චීනයත් සමග රබර් සහල් ගිවිසුම අත්සන් කළේ ඇමරිකාව නොසතුටු කරගෙනය. ඒ නිසාම ඇමරිකාව ලංකාවට එක්සත් ජාතින්ගේ සංවිධානයට ඇතුලු කිරීම පමා කළේය.

චීනයට රබර් අවැසි වුයේ කොරියානු යුද්ධයටය. අමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මලයාවෙන් ( එකල මලයාසියාවට භාවිතා කළ නම) චීනයට රබර් අපනයනය තහනම් කළේය.

ලංකාව චීනය වෙනුවෙන් ඉදිරිපත් වී රබර් ටොන් 50,000 ක් වාර්ෂිකව අපනයනය කරන්නට එකඟ වුයේය. චීනය ඒ වෙනුවට හාල් ටොන් 250,000 ක් වාර්ෂිකව ලබා දෙන්නට එකඟවුයේය.

මෙම ගිවිසුමට ජේආර් එදා විරුද්ද වු අතර ඒ සදහා අත උස්සා එකඟ වුයේ ආර් ජී සේනානායකය. ( ගිවිසුම පිළිබද හැන්සාඩ් වාර්ථාව කියවීම අදටත් වැදගත් වන්නේය)
එතැන් සිට ලංකාව තම සමස්ත රබර් නිශ්පාදනයම චීනයට පැටවුයේය. 70 දශකයේ මුල් භාගයේ දී චීනය ලංකාවේ රබර් අපනයනය කිරීම මුළුමනින්ම නවතා දැමුයේ ජේආර් 1952 දී කී අනාවැකිය යථාර්තයක් කරමිනි.

ඒ හේතුවෙන් ලංකාවේ රබර් කර්මාන්තය මුළුමනින්ම අඩපනවුවා පමණක් නොව විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ දෙන්නට සිදුවුයේය.

පසුව දැනගන්නට ලැබෙන්නේ චීනය ලංකාවෙන්ම ලබාගත් රබර් ඇට භාවිතා කොට සෙමින් සෙමින් සාර්ථක රබර් වගාවක් එරට තුළම බිහි කරගෙන තිබුණු බවය. අද චීනය රබර් වලින් බොහෝ දුරට ස්වයංපෝෂිත බව කියැවේ.

අන්තර්ජාතික ගනුදෙනු වලදී සදාකාලික මිතුරන් කියා දෙයක් නොමැති බව පහදන්නට මීට වඩා උදාහරණයක් අවශ්‍ය වන්නේ නැත.

නමුත් හිඟන්නාට උනු බත් නැතැයි කියන්නා සේ අසරණ ලංකාවට ඉන්දියාවෙන්, චීනයෙන් හෝ ඇමරිකාවෙන් මිදෙන්නට ඉඩක් ඇත්තේම නැති බවක් පෙනේ.

ඔවුන්ගේ මුලෝපායික අවශ්‍යතා සදහා වන ග්‍රහණයේ කරවටටම අප වෙලී පවතින බව අප තේරුම් ගත යුතුව තිබේ. අනුර කුමාර ජනාධිපතිවරයා උතුර ඉන්දියාවටද, දකුණ චීනයටද ලබා දී තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය රට තුළ සාර්ථකව කරගෙන යාමට මාන බලනු ඇත. එය අනුරවාදයේම (pragmatism) යයි කෙනෙකුට තර්ක කළ
හැකිව තිබේ.

නමුත් අනුරවාදය තුළ පවතින අපේ ප්‍රශ්නය වන්නේ එම කල් ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වාසිය කුමක්දැයි සොයා නොබලමින් කටයුතු කිරීමයි.

සෙල්ලම මෙලෙසටම ඉදිරියට ගිය හොත් අවසානයේ දී ශ්‍රී ලංකාව දෙකට බෙදුනු ජාත්‍යන්තර ආර්ථික කලාප දෙකක් පාලනය කරන proxy state එකට පත්වීමට ඇති ඉඩකඩ ඉහළය.

එහි නිර්මාපකයා අනුර ජනාධිපතිවරයා නොහැකිද?

 

- ශිරාල් ලක්තිලක

ෆේස්බුක් පිටුවෙන්

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us