මොකක්ද මේ නීතිය ? අවුරුදු 14 ට වැඩිනම් සම්භෝගයට අවසරයිද? Featured

Monday, 01 April 2024 11:46

ලිංගිකමය බලහත්කාරකම් වදහිංසා වැලැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තවමත් ඇත්තේ අතිශය පසුගාමී ආකල්පයකි. මේ අනුව පීඩාවට වූ තැනැත්තා හෝ තැනැත්තිය සම්බන්ධයෙන් සමාජය තුළින් ඉදිරිපත්වන බලපෑම සුළුපටු නොවේ. එක් වරක් දූෂණයට ලක් වූ වින්දිතයා නැවත නැවතත් වෙනත් වෙනත් ආකාරයෙන් දූෂණය වීම ලංකාවේ බහුලව දැකිය හැකි කරුණකි. යම් සිදුවිමක් වූ විගස චූදිතයාට අමතරව මුලින්ම වින්දියා දූෂණයට ලක් කරනුයේ තමන්ගේම අය හෝ අසල්වැසියන් විසිනි. ඉන් අනතුරුව පොලිසිය, මාධ්‍ය, අධිකරණය ඇතුළු අවස්ථාවන් ගණනාවක් ඔස්සේ නැවත නැවතත් අපහරණයට ලක්වීම ලංකාව තුළ මේ වන විට සාමාන්‍යකරණය වී ඇත.

වින්දිතයා හෝ චූදිතයා සමාජයේ ප්‍රකට තරමට එය ප්‍රධාන ප්‍රවෘත්තියක් වන අතර, එසේ නොවන අවස්ථාවල එය සමාජය තුළ තළු මැරීමට කාරණාවක් වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් මෙවත් තත්වයන් ලංකාව තුළ සිදුවන්නේ අදාල ක්‍රියවලීන් සම්බන්ධයෙන් නීතියේ ඇති දුර්වලතා හේතුවෙනි. විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කිරීම ලංකාව තුළ අතිශය වේදනාකාරී කටයුත්තකි. එහිදී තමන් දූෂණයට ලක් වූ ආකාරය නැවත නැවත පුනරුච්ඡාරණය කොට විග්‍රහ කිරීම අනිවාර්ය තත්වයකි. මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ දෙනෙකු නොපෙළඹීම ඛේදවාචකයක් බවට පත්ව ඇත. දූෂණයට ලක්වීමට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නම් වින්දිතයා මිල මුදල්, සමාජ තත්වයන්, බලය, නිලය වැනි කාරණාවන්ගෙන් ඉහළ මට්ටමක අයෙක් විය යුතු වීමත් සාමන්‍ය කරුණක් බවට පත්ව ඇත. එසේම නීතියේ ඇති අකාර්යක්ෂම තත්වය හේතුවෙන් ද වින්දිතයන්ට සාධාරණය ඉටුවීම දුර්ලබ තත්වයක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් මෙවන් තත්වයන් මඟහරවා ගැනීම වෙනුවෙන් පසුගියදා රජය විසින් සුවිශේෂී කරුණක් පෙළගැස්වීය. එනම් දූෂණයට අදාලව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 හා 364 වගන්ති සංශෝධනයක් ඉදිරිපත් කිරීමයි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර, එයට අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාව පනතක් ලෙස සකස් කොට එය සංශෝධන පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තුරු මේ වන විට අදාල පනත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම පනත සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මේ වන විටත් මාධ්‍ය හරහා සිය විරෝධය දක්වා ඇත. නමුත් මෙහි යථා ස්වභාවය හා පූර්ණ විමර්ශනයකින් තොරව එක් කරුණක් පමණක් හුවා දක්වමින් මෙම පනතට සිය විරෝධය දක්වා ඇති බව ඉතා පැහැදිළිය. මෙය එක්කෝ ඔවුන්ගේ නොදැනුවත්කමය. එසේත් නොවේ නම් කරුණු විග්‍රහ කරගත නොහැකිකමය. එසේත් නොවේ නම් තත්වය දේශපාලනීකරණය කර දේශපාලනි වාසි ලබාගැනීමේ තක්කඩිකමය.

පිරිමි ළමුන්ට වෙන අතවර

පවතින නීතිය අනුව අතවරයක් යන්න නිර්වචනය වී ඇත්තේ ගැහැණු දරුවෙකු වෙනුවෙන් පමණි. අතවරයකට අදාලව පිරිමි දරුවෙකු වින්දිතයෙකු වීමේ අවස්ථාව මෙම නීතිය මඟින් සලසා නැත. නමුත් නව සංශෝධනය හරහා ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව වින්දිතයෙකු වීමේ අවස්ථාව සලසා ඇත. ඒ සඳහා අදාල වගන්තියේ ඇතුළත් “දූෂණයට ලක්වූ කාන්තාව“ යන වචනය වෙනුවෙට “දූෂනයට ලක් වූ තැනැත්තා“ ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. තැනැත්තා යන වචනය මඟින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අර්ථ ගැන්විය හැකි බැවින් ස්ත්‍රී හා පුරුෂ යන් දෙපාර්ශ්වයටම දූෂනයට ලක්වීමට අදාලව වින්දිතයෙකු ලෙස නීතිය ඉදිරියට යෑමට අවස්ථාව උදා කර දී ඇත.

බිරිඳටත් බලහත්කාරකම් බැහැ

එසේම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් ගෘහස්ථ බලහත්කාරය වෙනුවෙන් ද නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. දැනට පවත්නා නීතිය අනුව විවාහයට අදාලව ලිංගික බලහත්කාරකම යන චෝදනාව එල්ල කළ හැක්කේ පෙර විවාහ වී සිටි දෙදෙනෙකු නීතියෙන් වෙන් වූ පසු පමණි. එනම් යම් ස්වාමි පුරුෂයෙකු විසින් අධිකරණය හරහා වෙන්වූ කාන්තාවක් දුෂණය කිරීම හෝ ලිංගිකව අපයෝජනය කිරීම දූෂණයට ලක්වීමක් ලෙස සැලකේ. අධිකරණය හරහා නීත්‍යානුකූලව වෙන් නොවූ වලංගු විවාහයක් සහිත පුද්ගලයෙකු සිය නීත්‍යානුකූල බිරිඳ ඇයගේ කැමැත්තකින් තොරව ලිංගික අපහරණය කිරීම දූෂණයක් ලෙස සැලකීමේ අවස්ථාවක් නැත. නමුත් නව සංශෝධනය මඟින් නීත්‍යානුකූල බිරිඳට වුවත් ඇයගේ කැමැත්තකින් තොරව යම් ලිංගික අපහරණයක් කිරීම දූෂණයක් ලෙස සැලකෙනු ඇත.

මීට අමතරව සමාජයේ බොහෝ කතාබහට ලක්වන කාරණාවක් සම්බන්ධයෙන් ද මෙම නව සංශෝධනය හරහා නීත්‍යානුකූල අවස්ථාවක් සලසා දී ඇත. එනම් යම් පුද්ගලයෙකු විසින් කාන්තාවක් මත්පැන් පානය කිරීමට සලස්වා ඇයගේ බීමත්භාවය හරහා කැමැත්ත ලබාගෙන ලිංගික අතවරයකට ලක් කිරීම හෝ බලහත්කාරයෙක් රඳවා තර්ජනය කොට ඇයගේ කැමැත්තෙන් ලිංගික අතවරයට ලක් කිරීමට ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ ගන්වා ඇත. මේ හරහා අනියමින් හෝ බලහත්කාරයෙක් කැමැත්ත ලබාගෙන ලිංගික අතවරයට ලක්කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් නීතියේ පිළිසරණ පැතීමේ අවස්ථාව උදා කර දී ඇත. එමෙන්ම යම් භාරයක සිටියදී එනම් පොලිස් භාරයේ, බන්ධනාගාරගතව හෝ රොහලක ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවකදී බලහත්කාරකමක් සිදු කිරීමේදී අදාල චූදිතයා වෙත පනවා ඇති දඬුවම් වැඩි කිරීමට ද මෙම නව පනත් කෙටුම්පත හරහා යෝජනා කර ඇත.

වයස 14 ට වැඩි නම් SEX පුළුවන්ද?

මේ සියලු කාරනාවන් අන්තර්ගත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සිය විරෝධය දක්වන්නේ මෙහි අඩංගු අනෙක් යෝජනාව සම්බන්ධයෙනි. එනම් වයස අවුරුදු 14ට වැඩි අවුරුදු 16ට අඩු දැරියක් සමඟ කායික ඇසුරක් දැරියගේ කැමැත්තෙන් සිදුවී ඇත්නම් චූදිතයාට වසර දහයක අනිවාර්ය සිරදඬුවම වෙනුවට වසර දහය දක්වා සිර දඬුවමකට නියම කිරීම ලෙස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමයි. මෙහිදී දඬුවමේ අභිමතය විනිසුරුවරයාට ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් බොහෝ දෙනා චෝදනා කරන්නේ මේ හරහා බාල අපචාරයන්ට රජය විසින් අනුබල ලබා දෙන බවයි. මේ සියලු චෝදනා සම්බන්ධයෙන් සියලුදෙනාගේ අදහස් ගොනුව ඇත්තේ එක් පාර්ශ්වයක් දෙස පමණි. එනම් චුදිතාට ලබා දී ඇති අනිවාර්ය දඬුවම ළිහිල් කිරිම සම්බන්ධයෙන් පමණි. නමුත් මෙය නීතිමය වටපිටාවෙන් එහා ගොස් සමාජීය ගැටළුවක් ලෙසින් නිර්වචනය කර ගැනීම වඩා වැදගත්ය.

පවත්නා නීතිය අනුව වයස අවුරුදු දහසයට අඩු දැරියකට ලිංගික අතවර කිරීම ව්‍යවස්ථාපිත දූෂණයක් (Statutory Rape) ලෙස නම් කෙරෙන අතර, එවැනි වරදක් සිදු කිරීම වසර දහයක අනිවාර්ය සිරදඬුවමකට යටත් වේ. මෙහිදී දරුවාගේ කැමැත්ත තිබුණද දූෂකයා වයස අවුරුදු 22ට අඩු නම් අදාල දඬුවමට යටත් විය යුතුමය. නමුත් මෙහි ප්‍රායෝගික ගැටළු ගණනාවක් ඇත. එනම් වින්දිත පාර්ශ්වයට සැබෑ සාධාරණයක් මේ හරහා ඉටුවේද යන්නයි. පවත්නා නීතිය අනුව චූදිතයාට දඬුවම් හිමිවන අතර, එමඟින් වින්දිතයාට සාධාරණයක් ඉටුවනු ඇති බව පොදු මතයයි. නමුත් නීතිය හමුවේ චූදිතයාට දඬුවම් හිමි වීම වින්දිත පාර්ශ්වයට ලැබිය හැකි එකම සාධාරණය ලෙස තක්සේරු කළ නොහැක. එක් පසෙකින් ඇය ලිංගික අතවරයට ලක් වූ තැනැත්තියකි. ඇයව ලිංගික අපයෝජනයට ලක් වූ පුද්ගලයා සිරගතව ඇත. ඒ අනුව ඇයට විවාහයක් හෝ සමාජගත වීමක් සිදු විය හැක්කේ වෙනත් පුද්ගලයෙකු සමඟවීම අනිවාර්යයකි. මේ හරහා ඇයට විඳීමට සිදුවන අපහාසයට, අවමානයට හා පීඩාවට චූදිතයා සිරගත කිරීම මඟින් පමණක් සාධාරණයක් ඉටුවේද යන්න නැවත සිතා බැලිය යුතුය.

යුත්තියේ සාධාරණය

අධිකරණය හමුවේ විභාග වන මෙවැනි නඩු අතරින් බහුතරයක දෙපාර්ශ්වය සමතයකට පත් කරගැනීමට කැමැත්ත පළ කිරීම් වාර්තා වී ඇත. එහිදී දෙපාර්ශ්වය කැමැත්තෙන් වින්දිතයා හා චූදිතයා යන දෙදෙන විවාහ කිරීමට කැමැත්ත පළ කර ඇතත් පවත්නා නීතිය යටතේ එවන් විවාහයක් සඳහා ඉඩ ලබාදීමට අධිකරණයට හැකියාවක් නැත. හේතුව දැනට පවත්නා නීතිය යටතේ මෙය දූෂණ චෝදනාවක් වන අතර, විත්තිකරු වසර දහයක අනිවාර්ය සිර දඬුවමකට යටත් විය යුතුය. මෙය අනිවාර්යයකි. දෙපාර්ශ්වය අවංකව විවාහයක් මඟින් මෙය විසඳා ගැනීමටත්, වින්දිත පාර්ශ්වයට සාධාරණයක් ඉටු කිරීමට කැමැත්ත පළ කළ ද එවන් තත්වයක් ඇති කරගැනීම සඳහා කිසිදු අවස්ථාවක් උදාකරදීමට අධිකරණයට හැකියාවක් නැත.

මෙය වින්දිතයාට මෙන්ම චුදිතයාට ද බරපතල අසාධාරණයක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් මෙවන් චෝදනාවන්ට ලක්වන බොහෝ අවස්ථාවන් ප්‍රේම සම්බන්ධතා මත ඇති වූ තත්වයන් බව වාර්තා වී ඇත. ඒ අනුව බොහෝ චූදිතයින් වයස අවුරුදු 22ට අඩු පුද්ගලයින්ය. මෙවන් තත්වයක් තුළ ප්‍රේම සම්බන්ධතාවය දුර දිග ගොස් එය ලිංගික සම්බන්ධයක් ඇති වීම දක්වා වු සිදුවීම් ජාලය තුළ දූෂණ චේතනාවක් නොමැති නමුත් පවත්නා නීතිය යටතේ එයට අනිවාර්ය දඬුමකට යටත් වීමකි. මෙවන් තත්වයක් තුළ චූදිතයාට සිය වරද නිවැරදි කරගැනීමේ හෝ සැබෑ ප්‍රේමය විවාහයකින් කෙළවර කරගැනීමේ අවස්ථාව අහිමි කර ඇත. එසේම වසර දහයක් බන්ධනාගාරගතව පිටතට පැමිණෙන චූදිතයාට රැකියාවක් ලබාගැනීමේදී, සමාජයේ පුරවැසියෙකු ලෙස ජීවත්වීමේදී නොයෙක් බාධකවලට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය තත්වයකි.

මෙවන් වාතාවරණයන් තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මානුෂීයව සලකා බලා යම් යම් ක්‍රියාමාර්ගයන් ඉටු කරන නමුත් එය නීත්‍යානුකූල තත්වයක් නොවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අපහරණයට ලක් වූ දැරිවියට දිවුරුම් ප්‍රකාශයක් මඟින් හා අධිකරණය වෙත සාක්ෂික් ලබා දීම මඟින් මෙන්ම අපහරණ චෝදනාව එල්ල වූ පුද්ගලයා විසින් විවාහය සඳහා එකඟව, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම මඟින් විවාහයට අවස්ථාව සලසා දීම සිදුවන කරුණකි. මෙය මානුෂියව අදාල නිලධාරීන් විසින් මැදිහත්ව සිදු කරන ක්‍රියාවලියක් මිස නීත්‍යානුකූලව සිදුවන කාරණාවක් නොව. එබැවින් මෙවන් අවස්ථා වාර්තා වන සියලු අවස්ථාවන්හිදී මෙම විසඳුම ලැබෙනු ඇතැයි සිතීම හිතළුවක් පමණක්ම වනු ඇත.

මෙවන් වටපිටාවක් තුළ මෙම නීතීන් පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවට තීරණය කළ අධිකරණ අමාත්‍යාංශය විසින් මීට වසර තුනකට පමණ පෙර කමිටුවක් පත් කළ අතර, මෙම කමිටුව නීතීඥවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඉන් අට දෙනෙකුම ජනාධිපති නීතිඥවරුය. ඔවුන් මේ පිළිබඳව බොහෝ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඇති අතර, ඒ අතරට අධිකරණ විනිසුරුවරුන්ද අයත්ය. මෙම කමිටුව විසින් අදාල ගැටළු සාකච්ඡා කර ඉදිරිපත් කළ විසඳුම වුයේ වයස අවුරුදු 14ට වැඩි අවුරුදු 16ට අඩු දැරියක් සමඟ කායික ඇසුරක් දැරියගේ කැමැත්තෙන් සිදුවී ඇත්නම් වසර දහයක අනිවාර්ය සිරදඬුවම වෙනුවට වසර දහය දක්වා සිර දඬුවමකට නියම කිරීම ලෙස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමයි.

මෙම නීතිය සංශෝධනය කිරීමේදී විත්තිකාර පාර්ශ්වයේ වයස් සීමාව අවුරුදු 22 ලෙස දක්වා ඇත්තේ ඉන් ඉහළ වයස් සීමාව තුළ ආදර සම්බන්ධතාවයක් සාමාන්‍යයෙන් ඇති නොවන බව උපකල්පනය කරමිනි. එසේම තරුණ අපරාධ පනත හෙවත් Youthful offender act හරහා තරුණ අපරාධකරුවෙක් ලෙස අර්ථ නිරූපණය කෙරෛන්නේ වයස අවුරුදු 14 සිට අවුරුදු 22 දක්වා කාලයයි. එකී පදනම මත මෙම වයස්සීමාවන් නිර්ණය කර ඇත.

ඉහත කරුණු සැලකීමේදී නීති සම්පාදකයින් විසින් පවත්නා තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම නීති රීතීන් වෙනස් කිරීමට කටයුතු සලසා ඇති බවත්, එය අගය කළ යුතු බවත් පැවසිය යුතුය. නමුත් විවේචකයින් විසින් වයස අවුරු 14 සම්බන්ධයෙන් බොහෝ තර්ක ගෙන හැර දක්වයි. කෙසේ වෙතත් මෙවන් තත්වයක් ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ වඩා ඉහළ ලිංගික සාක්ෂරතාවයක් ඇති කළ යුතුව ඇත. පාසැල් වයසේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමෙ වෙනුවෙන් ජාත්‍යන්තර තත්වයන් සැලකිල්ලට ගනිමින් නිර්මාණය කළ “අපේ හතේ පොත“ වෙනුවෙන් ඊනියා සුචරිතවාදීන් නැටූ නාඩගම්වල ප්‍රතිපල අප අදද භුක්ති විඳීමින් සිටිමු.

කෙසේ වෙතත් මානව ජීව විද්‍යාව, සෞඛ්‍යය සේම ලිංගිකත්වය සම්බන්ධයෙන් නිවැරදි අධ්‍යාපනයක් කුඩා කල සිටම ලබා දීම හරහා ලිංගිකත්වය පිළිබඳව වඩා පුළුල් සාකච්ඡාවක මතු කර ගත හැකි වන අතරම, කුඩා කල සිටම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම, ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කරගැනීම හා අවදානම්වලට මුහුණ දීමට හැකි උසස් තලයක් දරුවන් තුළ නිර්මාණය කළ හැකිය. එවන් වටපිටාවන් තුළ මේ වන විටත් ශ්‍රී ලංකාවේ වාර්තාවන ළමා අපයෝජන සංඛ්‍යා දත්ත වඩා ගුණාත්මක තලයක් වෙත ගෙනයාමට අපට හැකි වනු ඇත.

-chatham street journal

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us