සංචාරක කර්මාන්තය අධ්‍යාපනයට ඇතුළත් කළ රටක පරිසරය රැකෙනවා - මහාචාර්ය සුරංග ද සිල්වා

Tuesday, 06 February 2024 10:31

තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඇති ගෝලීය ප්‍රවණතාව හා අපේ සංචාරක කර්මාන්තය තිරසර වීමේ අවශ්‍යතාව වාසිදායක වන්නේ කෙසේද? යන්නත්, මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්ව විද්‍යාලයක ඇති කළ තිරසර සංචාරක ඒකකය කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කිරීම ඇතුළු කරුණු කාරණා පිළිබඳත් මහාචාර්ය සුරංග ද සිල්වා සමඟ කළ සංවාදයකි මේ.

l සංචාරක කර්මාන්තය ධරණීය විය යුතු බවට මේ වන විට පිළිගැනීමක් ඇතිවෙලා තිබෙනවා. ධරණීය සංචාරක කර්මාන්තය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

ධරණීය නැත්නම්, තිරසර සංචාරක කර්මාන්තය යන යෙදුම තිරසර සංවර්ධනය ඇසුරින්ම තැනුණු දෙයක් හැටියට සලකන්න පුළුවන්. මානව පරිණාමයේ විකාශනයත් සමඟ මිනිස්සු තමන්ටම කියලා ආවේණික වාස භූමිවල ජීවත් වෙන්නට පටන් ගත්තා. ආහාර නිෂ්පාදනය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතයට යොමු වුණා වගේම ඒ නිෂ්පාදන ගබඩා කර තබා ප්‍රයෝජනයට ගන්නත් යොමු වුණා. නිෂ්පාදනය පවා සීමාව ඉක්මවා යද්දී යන්ත්‍ර සූත්‍ර පරිහරණය නිසා පරිසරයටත් අහිතකර බලපෑම් ඇතිවෙන්න පටන් ගත්තා. වර්ධනය සංවර්ධනය කරා ගියත් ඒ සැබෑ සංවර්ධනය ද කියන ගැටලුව මතු වුණේ එය පරිසරය ගැන තැකීමකින් තොරව සිදු වූ නිසයි. මෙන්න මෙතැනදී තමයි සංවර්ධනය, තිරසර නැත්නම් ධරණීය විය යුතු යන අදහස මතු වුණේ. Sustainable කියන යෙදුම ලතින් බසින් යෙදුනක්. සංවර්ධනය වගේම සංචාරක කර්මාන්තයත් පරිණාමයට ලක් වුණා. මුලදී ජනතාව සංචාර කර්මාන්තය ගැන කල්පනා කළේ තමන්ගේ ගැලවුම්කරුවා ලෙසින්. ඒ ඔස්සේ සංචාරක කර්මාන්තයෙන් සෑම ප්‍රශ්නයකටම පිළියම් යෙදිය හැකිය යන අදහස ඇති වුණා. ඒත්, පරිසරයට බලපෑම් එල්ල වෙද්දී සහ මිනිස්සුන්ට හිරිහැරයක් වන විදිහට එය වර්ධනය වෙද්දී සංචාරක කර්මාන්තය භීතිකාවක් ලෙස (Tourism phobia)ලෙස පෙනෙන්නට පටන් ගත්තා. මේ තත්ත්වය කොවිඩ් – 19 වසංගතයටත් පෙරයි ඇති වෙලා තිබුණේ. වසංගතයත් සමඟම සංචාරක කර්මාන්තය කඩා වැටීමකුත් ඇති වුණා. එතකොට නැවතත්, සංචාරක කර්මාන්තය වඩාත් හොඳින් ගොඩනැඟිය යුතුය යන අදහස මතු

වුණා. ඒ, සංචාර කර්මාන්තය ‘තිරසර’ විය යුතුය යන කාරණයත් සමඟමයි. අවම වශයෙන් එය පරිසරයට හානියක් නොවන බවට සහතිකයක් ලබා දීම ඉන් අපේක්ෂා කළා.

සංචාරක කර්මාන්තය ආරක්ෂා වීමට නම් ප්‍රජාව සතු දේ ආරක්ෂා විය යුතුයි වගේම ඔවුන්ට ආදායමක් ද ලැබිය යුතු වෙනවා. ප්‍රජාව සතු දේ ආරක්ෂා වීම යනුවෙන් පරිසරය රැකීමත් අදහස් වෙනවා. සංචාරක කර්මාන්තය පරිසරයත් සමඟ ඉතා සංවේදීව බැඳී තිබෙනවා. පරිසරය නැති තැන සංචාරක කර්මාන්තය ගොඩනැඟීමට නොහැකියි. ඒවගේම පරිසරය විනාශ කරගෙන සංචාරක කර්මාන්තය පවතින්න විදියකුත් නෑ. සරලව කිව්වොත් සංචාරක කර්මාන්තය ආරක්ෂා වෙන්නේ පරිසරය රැකුණොත් පමණයි.

l කොළඹ විශ්වවිද්‍යාලයේ තිරසර සංචාරක ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

තිරසර සංචාරක කර්මාන්තයට නැඹුරු සංචාරකයන් ඒ සඳහා වියදම් කිරීමට මැළි වන්නේ නෑ. මොකද ඔවුන් අපේක්ෂා කරන්නේ ගුණාත්මකව ඉහළ සංචාරක කර්මාන්තයක්. කොළඹ විශ්වවිද්‍යාලය හැටියට අපි මේ ප්‍රවණතාවය තේරුම් ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස තමයි, ඉතිහාසයේ පළමු වතාවට ජාතික විශ්වවිද්‍යාලයක තිරසර සංචාරක ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු සිදු කළේ. සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන්ව දැනුම්වත් කිරීමට මේ මඟින් අපි අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ අපේ රටේ සංචාරක කර්මාන්තය නව ගමන් මඟකට අවතීර්ණ වනු ඇතැයි අපි කල්පනා කරනවා. ඇතැම් තැන්වල තිරසර සංචාරක කර්මාන්තය හොඳින් කෙරීගෙන යනවා. එසේ නමුත්, ජාතික තලය ඊට යොමු වීම අවශ්‍යයි.

රජය මෑතක දී ගත් ඉතා හොඳ පියවරක් ලෙස අපොස සාමාන්‍ය පෙළට පසුව වෘත්තිය අධ්‍යාපනය හඳුන්වාදීම දැක්වීමට පුළුවන්. ඒ යටතේ සංචාරක කර්මාන්තය හා ආහාරපාන කර්මාන්තය සම්බන්ධ කරගෙන ප්‍රධාන පාඨමාලාත් හඳුන්වා දී තියෙනවා. මේ තුළින් ජනතාවගේ ආකල්ප පවා වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. ජනතාව තුළ මේ ගැන උනන්දුවක් ඇති කිරීමට මේ තමයි හොඳම අවස්ථාව. දැනුම්වත් ජනතාවක් සිටී නම්, ඔවුන් අතින් වැරදි සිදුවීමේ ප්‍රවණතාවත් අවමයි.

l සංචාරක කර්මාන්තයේ මේ අලුත් ප්‍රවණතාවට ඇති ආකර්ෂණය මොනවගේද ?

ඇත්තටම එය ඉතා ඉහළයි. සරල උදාහරණයකින් දැක්වුවොත්, අපේ රටට එන සංචාරකයෙක් ගමේ ගෙදරකට ගිහින් පොල් ගාලා, පොල් මිරිකලා, කිරිහොද්දක් හදා ගන්න බොහොම කැමැතියි. ඒ වගේ අත්දැකීම් ලබන්න ඔවුන් හරිම උනන්දුයි. අපේ කලාව, ආගම, සංස්කෘතිය, ආහාරපාන රටාව, ජීවනෝපාය වගේ සෑම දෙයක්ම මේ සමඟ මනාව සම්බන්ධ කළ හැකියි.

සංචාරකයෝ ඒ අත්දැකීම් රැගෙන යන්නේ ඉතාමත් කැමැත්තෙන්. මේ කර්මාන්තය ආශ්‍රිතව නවෝත්පාදන සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම වගේම කර්මාන්තය හා සම්බන්ධ සෑම අංශයක්ම ඊට යොමු කිරීමත් වැදගත්. සංචාරක කර්මාන්තය මේ වන විට ඉතා තරගකාරී කර්මාන්තයක්. අපි ඒ වෙළෙඳපොළ පුරෝකථනය කිරීම අවශ්‍ය වගේම අවශ්‍ය නවෝත්පාදන බිහි කිරීමත් කළ යුතුයි. මේ පුහුණුව ලබා දීමත් කොළඹ විශ්වවිද්‍යාලයේ තිරසර සංචාරක ඒකකය හරහා අපි සිදු කරනවා.

l දැනට අපගේ සංචාරක කර්මාන්තය ධරණීය නැති බවක් මින් අදහස් වෙනවද ?

සමහර කොටස් ධරණීය තත්ත්වයෙන් ඉදිරියට යනවා. තවත් සමහර කොටස් ධරණීය බව නැත්නම් තිරසර බව අමතක කර ඉදිරියට යමින් සිටිනවා. ජාත්‍යන්තර නීති රීති පද්ධතිවලට අනුගතව වැඩ කිරීමටත් අපට සිදු වෙනවා. මෙහිදී හෝටල් කර්මාන්තය ගැන විතරක්ම කතා කරනවා නම් ඒක වැරැදියි. මොකද ඒ වෙනස්කම් පහසුවෙන්ම කළ හැකි ඒවා. අපි ගමනාන්ත ගැනත් කතා කළ යුතුයි. සීගිරිය ගමනාන්තය ගත්තොත් එය ඉලක්ක කරගත් සමස්ත ක්‍රියාවලියම වෙනසට ලක්විය යුතුයි.

ගෝලීය මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයේ කළ විමසීම්වලදී සංචාරකයන්ගෙන් සියයට අසූවක් විතර ප්‍රතිචාර දක්වලා තියෙන්නේ තිරසර නොවන සංචාරක ගමනාන්තවලට යාමට අකමැතියි කියලා. ජාත්‍යන්තර නිල නාමවලින් එන සංචාරක ආයතන මේ ඔස්සේ ක්‍රියාත්මක වීමට බොහෝ විට වෑයම් කරනවා. දේශීය සංචාරක කර්මාන්තය ගත්තොත් මධ්‍යම හා කුඩා මට්ටම මේවා ගැන ඒ තරම් තැකීමක් කරන බවක් පෙනෙන්නේ නෑ. ඒකට හේතුවක් තමයි තරගකාරීත්වය. අනාගතයේ දී සංචාරකයන් එවැනි තැන්වලට ආකර්ෂණය නොවේවි කියල හිතන්න පුළුවන්. ඒ නිසා, සුහුරු, වගකීම් සහගත සංචාරක කර්මාන්තයක් පිළිබඳ අප සෑම විටම වග බලාගත යුතුයි. සංචාරක කර්මාන්තය පරිසරහිතකාමී වන තරමට සංචාරක ආකර්ෂණයත් ඉහළයි.

l ධරණීය සංචාරක කර්මාන්තය සඳහා යාමේදී අපට රටක් හැටියට ඇති විභවය කෙබඳු ද?

අපි ස්වභාවයෙන්ම තිරසර සංකල්පයට හැඩ ගැසුණු ජාතියක්. ඒ ඔස්සේ අපේ මානසිකත්වය ගොඩනඟා ගත් ජාතියක්. අපේ ඉහළ ආගන්තුක සත්කාරය, සුහදශීලීබව නිසාත් අපට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අල්ප වූ වෙනස්කම් කිහිපයක්. තිරසර සංචාරක ගමනාන්තයක් බවට අපේ රට පත්කර ගැනීමට අවශ්‍ය විභවය අපට හොඳින්ම තියෙනවා. මෙහිදී දැනුම වගේම පර්යේෂණ ඉතාමත් වැදගත්. කොළඹ විශ්වවිද්‍යාලයේ තිරසර සංචාරක ඒකකය වශයෙන් අපි වැඩසටහන් ගණනාවක් මේ වෙද්දීත් ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ගෝලීය තිරසර සංචාරක කවුන්සිලයේ සාමාජිකත්වය පිරි නමා ඇති එකම විශ්වවිද්‍යාලයත් අපි. මේ සම්බන්ධයෙන් අපේ රටේ පුහුණුකරුවන් ලෙස ඔවුන් පිළිගෙන ඇති දෙදෙනාගෙන් මමත් එක් අයෙක්. මේ වෙනුවෙන් අපි වෙනම පාඨමාලා පවා ආරම්භ කරලා තියෙනවා. වැඩි විස්තර UOC TOURISM වෙබ් අඩවියෙන් දැන ගත හැකියි. අපි නිරන්තරයෙන් මේ ගැන පර්යේෂණ, සම්මන්ත්‍රණ, සාකච්ඡා, දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය සිදු කරනවා. මේ ඒකකය ඇරඹීමේ තවත් එක් අරමුණක් වුණේ මේ දේවල් කේන්ද්‍රගත කිරීමටයි. අපි කලා පීඨයට අයත් නිසා සෙසු සමාජයීය විද්‍යා පීඨ සමඟත් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් පීඨ සමඟත් අපිට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්.

නව වර්ෂයක ආරම්භයත් සමඟ අලුත් වැඩසටහන් අපි මේ වෙනකොට දියත් කරමින් තියෙනවා. කර්මාන්තය හා ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුම නිෂ්පාදනය කරන ‍ මධ්‍යස්ථානයක් ලෙසත් අපි ක්‍රියාත්මක වෙනවා.

l අපේ පාසල් විෂය මාලාවට සංචාරක කර්මාන්තය එකතු කිරීමේ වැදගත්කම ඔබ දකින්නේ කෙසේද?

පමා වෙලා වුණත්, ගත්ත ඉතාම වැදගත් පියවරක් විදිහට මම ඒක දකිනවා. ඒක අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබූ දෙයක්. සංචාරක කර්මාන්තය අධ්‍යාපනයට ඇතුළත් කළ රටක පරිසරය රැකෙනවා. ප්‍රජාවට ආදායමකුත් ලැබෙනවා. එතකොට ප්‍රජාව සංචාරක කර්මාන්තය රැක ගන්නවා. රටක් හැටියට අපි දැන් කරගෙන යමින් ඇති දේවල් මීටත් වඩා හොඳින් කළ යුතුයි. එය ඉතාමත් හොඳ දෙයක්.

l පසුබෑමට ලක් වූ අපේ ආර්ථිකය නඟා සිටුවීමේදී සංචාරක කර්මාන්තයේ දායකත්වයත් අතිශයින් වැදගත්. ඒ දායකත්වය අද ඇත්තේ කුමන තැනකද?

ගිය අවුරුද්දේ ඒ ආදායම රුපියල් බිලියන 2කට ආසන්නයි. අපේ ණය ටික ගෙවා ගන්න නම් බිලියන 4ක් වත් අපි අවුරුද්දකට සොයා ගන්න අවශ්‍යයි. ඇත්තටම අපට බිලියන 10 වුණත් හොයන්න පුළුවන්. ඒ සඳහා සංචාරක කර්මාන්තය වෙනුවෙන් සැලසුම්සහගත වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහෙම වුණොත් අපේ ණය ටිකත් ගෙවලා රටේ ආර්ථිකයත් සංවර්ධනය කරලා ගෞරවනීය ලෙස අපේ සංස්කෘතියත්, පරිසරයත් රැකගෙන අපට හොඳ ගමනක් යා හැකියි. ලෝකය ගත්තොත් එන්න එන්නම සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. මිනිස්සු එක තැන රැඳෙන්නෙ නෑ. සංචරණයට වැඩි කැමැත්තක් දක්වනවා. මෙන්න මේ ප්‍රවණතාව අපට වාසිදායකයි. අපි ඒ අවස්ථාව මග නොහැරියොත් අපේ ආර්ථික ප්‍රශ්නත් විසඳාගෙන සාධාරණ ආර්ථික ක්‍රමයක් හදාගන්න පුළුවන් පසුබිමක් තිබේවි.

l මේ සඳහා පුරවැසියන් ලෙස අපි කුමක් කළ යුතුද?

රටක් හැටියට අපි දැන් කරගෙන යමින් ඇති දේවල් මීටත් වඩා හොඳින් කළ යුතුයි. අපි දැන් කරගෙන යන හොඳ දේවල් රැක ගන්නා ගමන්ම අලුතෙන් යමක් එකතු කළ යුතු වෙනවා. එය කළ හැකියි. මෙතැනදී ලෝකයෙන් ගන්න පුළුවන් දේවල් ගත යුතුයි. රටින් පිටවෙලා යන මානව සම්පතත් රැකගනිමින් සංචාරක කර්මාන්තය රැකගත යුතුයි. මානව සම්පත රට තුළ පුහුණු කිරීම සිදු වුණාම පුහුණු ශ්‍රමිකයන් ක්ෂේත්‍රයට එකතු කරන්නත් පුළුවන්කමක් තියෙනවා. සංචාරක කර්මාන්තය නැංවීම රජයට පමණක්ම පවරලා හරි යන්නෙ නෑ. ඒක මුළු රටේම වගකීමක්. රටක සංචාරක කර්මාන්තය කියන්නේ මුළු රටේම සියලු අංශ එක්ව ගොඩගත හැකි කර්මාන්තයක්. මේ ක්ෂේත්‍රයට හසු නොවන කර්මාන්තයක් නැති තරම්. රටම එක් අරමුණක් සඳහා යොමු වී එක්ව කටයුතු කළ හැකි නම්, අපට මෙය කළ හැකියි.

ධම්මික සෙනෙවිරත්න

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us