අර්බුදය විසඳාගත හැකි නව උපාය මාර්ග ඇතොත් ඒවා වහාම ඉදිරිපත් කරන්නැයි අගමැතිවරයා විවෘත ඇරියුමක් කර තිබේ. පිළිගත හැකි විසඳුම් උපාය මාර්ග ඇතොත් ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම්ය. එහෙත් විවේචන මිස යෝජනා ඉදිරිපත් වන බවක් පෙනෙන්න නැත. ආණ්ඩු පෙරළියකින් අර්බුදය විසඳා ගත හැකි යැයි කෙනකු කියන්නේ නම්, එතරම් මෝඩ අදහසක් තවත් නැත.
මේ කිසිදු ගැටලුවකට ක්ෂණික විසඳුම් නැත. එබඳු විශ්වකර්ම විසඳුම් දිය හැකි ජගතකු ලොව කොතැන හෝ නැත. ඉන්දියාව තෙල් නැව් හතරක් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වී ඇතත් ඒවා දිනකින් දෙකකින් අප වෙත ලැබෙන්නේ නැත. ආණ්ඩුවේ ප්‍රකාශවලට අනුව ඩීසල් ලැබෙන්නේ ජූලි එකොළහ පහළොව දින අතරය. පෙට්රල් ලැබෙන්නේ ජූලි විසි දෙවනදාටය. එතෙක් රටේ පවතින සීමිත තෙල් සංචිත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක්ම දීමට සිදු වනු ඇත. පෞද්ගලික රථවාහන ධාවනය මුළුමනින්ම පාහේ සීමා කිරීමට ද සිදු වනු ඇත. රටේ ඇතැම් අංශවල ක්‍රියාකාරිත්වය අඩපණ වන්නේ වුව ඉහත යථාර්ථයට මුහුණ දීමට අපට සිදු වෙයි. උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා පමණක් නොව නිර්දය විවේචන ද මේ අර්බුදයට විසඳුම් දෙන්නේ නැත. ඒවායින් සිදු වන්නේ අර්බුදය තවදුරටත් උත්සන්න වීම පමණි.
අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට ඉතිහාසයේ දුෂ්කරම සති කිහිපයට අපි මුහුණ දී සිටින්නෙමු. රජය මේ තත්ත්වයට මුහුණදීම සඳහා බරපතළ ප්‍රයත්නයක යෙදී සිටී. ඒවායෙහි ප්‍රතිඵල ඒකාන්ත ලෙසම සති කිහිපයකින් ලැබීමට නියමිතය. 1869දී කෝපි වගාව බිඳවැටුණු විට ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. එය දැනුණේ සීමිත පිරිසකට පමණි. 1951 දී සහල් අර්බුදයක් ඇති විය. 1970දී යළි ආහාර අර්බුදයක් මතු විය. මේවායින් රට නැත්තටම නැති වූයේ නැත. 1970 ආහාර අර්බුදයට විසඳුම් සෙවීම සාර්ථක විය. ඒ අනුව දේශීය කෘෂි කර්මාන්තය දියුණු විය. ගොවියාගේ ආදායම වැඩි විය. අද පවතින අර්බුදයට ද විසඳුම් තිබේ. ඒවා ඉවසීමෙන් ක්‍රියාත්මක කළ යුතුය.
අර්බුදයෙන් ගොඩයෑම සඳහා සෑම පුරවැසියකු තුළම විශ්වාසයක් හා උත්සාහයක් ඇති කිරීම අවශ්‍ය වෙයි. සාමූහිකව මේ ගැටලුවලට මුහුණ දීමත් අනෙකාට උපකාර කිරීමත් දැන් පැවැතිය යුතුය.
-මහේෂි