විමල් ජවිපය තුළ සිටියදීත් ඒ ශක්තිය ඔහුට තිබිණි. 2005 වසරේ මහින්ද රාජපක්ෂ දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජාතිදෝහියකු කිරීමට ඔහු සමත් විය. රට දෙකඩ කරනවාය, රට අමරිකානු අධිරාජ්‍යයේ ගොදුරක් වෙනවාය, කියමින් විජාතික කුමන්ත්‍රණ කතා පට්ට ගැසුවේය. කොටින්ම ජවිපෙ සෘජුවම සිංහල ජාතිකවාදි කඳවුරට තල්ලු කිරීමත් මහින්ද රාජපක්ෂවත් ඒ කඳවුරට ගාල් කිරීමටත් ඔහුට හැකිවිය. එහිම ප්‍රතිපල ලෙස විමල්ට ජවිපෙන් ඉවත් වී මහින්ද සමඟ එකතුවීමට සිදු විය. ඒ තමන් මවනු ලැබූ අර්බුදයට තමන්ම ගොදුරු වීමකි. විමල් විසින් මහින්ද ජාතිකවාදියකු ලෙස හඳුන්වමින් ගොඩ නැගූ ව්‍යාජ ජනමතය අවසානයේදී ඔහුම විශ්වාස කරන තැනට පත්ව තිබිණි. එදා සිට මේ මෑතක් දක්වා විමල් හිතාගෙන සිටියේ මහින්ද මේ රටේ සිටින සිංහල බෞද්ධ නායකයාය, අවංක දේශප්‍රේමියකු ලෙසය. මේ නිසා මහින්ද සිටිනකම් ඔහුට මොකවත් වෙන්නෙ නැතැයි ඔහු ඇත්තටම විශ්වාස කරමින් සිටියේය. ඊට හේතුත් ඕණෑ තරම් තිබිණි. විමල් ආණ්ඩුව විවේචනය කරන හැම විටම ඔහුව බේරගත්තේ මහින්දය. මහින්ද එහෙම කළේ තමන්ගේ ව්‍යාජ ප්‍රතිරූපය ගොඩනැගුවේත් එය රකින්නේත්, එය අදහන්නේත් විමල් බව දැනගෙනය.
2015 දි ඔහු නැවත වෙහෙසුනේ මේ ජාතික නායකයාව ඔසවා තබන්නටය. එය පරාජය වූ නමුත් ඔහු නැවත නැවත ඒ උත්සාහයේම ගිලී සිටියේය. මහින්ද සුළඟ එහි ප්‍රමුඛ සංධිස්ථානයක් විය. යහපාලනයට එරෙහිව නන්වැදැරුම් අවලාද සමුහයක් සමාජ ගත කරමින් එම රජය පවත්වාගෙන යැමට නොහැකි වෙන තැනට දේශපාලන අර්බුධ මතු කෙරිනි. ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ආවෙත් මහින්දගේ කාලය අවසන් නිසා ඔහුගේ සහෝදරයාත් එම ජාතික වාදී කඳවුරේම අනුප්‍රාප්තික නායකයා ලෙස ගොඩ නගමිනි. එහිදීත් ඔහු ගෝඨාභය මේ රටේ අවසන් සිංහල බෞද්ධ නායකයා කරමින් ජාතිවාදය පතුරුවමින් කළ දැවැන්ත සටනේ ප්‍රතිපලය ලෙස ගෝඨාභය ජයග්‍රණය කරා ගෙන ආවේය.
කවුරු කොහොම අර්ථ කතනය කළත් ගෝඨාභයගේ සම්ප්‍රාප්තිය කියන්නෙ විමල්ගේ මහන්සියේ ප්‍රතිපලයය. ගෝඨාභයට ඡන්දයක් දිය යුතුය කියන තැනට බහුතර ජනමතය ගොඩ නැංවූයේ විමල්ය. විමල්ද තමන්ගේ ව්‍යාජ ගොඩ නැංවීමට වශී වී ගෝඨාභයව විශ්වාස කළේය. ඔහු ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචය කරමින් දැඟලුවේ ඒ විශ්වාස පදනම් කරගෙනය. එහෙත් ඔහු විශ්වාස කළ ගෝඨාභය බලයට පත් වී නොබෝ දිනකින්ම වැඩ පටන් ගත්තේ විමල්ල ගොඩ නැංවූ ජනමතයට වෙනස් මාර්ගයක් ගනිමිනි. දිගින් දිගටම විමල්ලා සහ ගෝඨාභයගේ මාර්ගය අතර නොපෑහෙන කම වැඩි විය. කොළඹ වරාය නැගෙන හිර පර්යන්තය ඉන්දියාවට දීමට එරෙහිව ඔහු අරගල කළේ ගෝඨාභය විශ්වාස කරමිනි. ඔහුගේ සොයුරා වන බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාව නොමඟ යවමින් තිබෙන බවත් ඒ නිසා ගෝඨාභයව හරි මඟට ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ සටන ජය ගත් නමුදු ඔහුට බැසිල්ගේ බලපෑම වලක්වන්නට හැකි වූයේ නැත. බැසිල් කිසි විටෙක විමල්ලාගේ දේශප්‍රේමී ජාතිකවාදී මතය සමඟ එකඟ වූවෙක් නොවේ. එය පුස්සක් බව ඔහු දැනගෙන හිටියේ මීට බොහෝ කලකට පෙර සිටය. ඔහු ලිබරල් චින්තනයක් දරණ බටහිර හිතවාදියෙකි. ඔහු අද වන වි රටේ ආර්ථිකය පෙළ ගස්සවන්නේ ජේ.ආර්, රනිල්ලා ගිය පාරට ගෙන ඒමට බව පැහැදිලිය.
මේ අනුව විමල් යන එන මන් නොමැති වීම අනිවාර්යයක් වෙන තැනට තත්වයන් තිව්ර විය. එහෙත් විමල් ගොඨාභයව විශ්වාස කළේය. පොදු ජන පෙරමුණේ නායකත්වයට ගෝඨාභයව පත් කළ යුතු බව ඔහු වෙලාසනම කීවේ එසේ නොවුණහොත් තමන්ට කෙළ වෙන බව තේරුම් ගෙනය. විධායකයේ බලයත් ආණ්ඩුවේ බලයත් ගෝඨාභය වෙත ලබාදීම විමල්ට අවශ්‍ය විය. එහෙත් ගෝඨාභය සිටියේ හොඳ සිහියෙනි. මහින්ද මෙන් ව්‍යාජ ප්‍රතිරූපය නඩත්තු කර ගැනීමේ වුවමණාවක් ඔහුට නැත. මේ ඔහුගේ අවසන්වාරය බව ඔහු තේරුම් ගෙන තිබීම එයට හේතුව විය හැකිය. එහෙත් ගෝඨාභය කෙරෙහි වූ විශ්වාසය තමන් ගොඩනැගුවේ ව්‍යාජ මතවාදයන් ගොඩනංවා බව විමල්ට අමතක විය. ගෝඨාභයගේ මතවාදය සමඟ තමන් සිටින බව හැර මේ තමන් විසින් ගොඩනංවනු ලැබු ව්‍යාජයක් බව ඔහුට අමතක වී තිබිණි.
විමල්ගේ අමතක වීම නිසා විමල් අද රාජපක්ෂ කඳවුරෙන් එළවා දමන තැනට තත්වයන් පත් විය. එහෙත් අවශ්‍ය නම් විමල්ට දැන්වත් සිහි එළවා ගැනීමට කාලය තිබේ. එසේම රාජපක්ෂ කඳවුරෙන් එළියට වී ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම විමල්ට වඩාත් අනතුරු දායකද විය හැක. මන්ද රාජපක්ෂ කඳවුර යනු කුමක්ද යන්න ගැන කිසිවකුට තේරුමක් නැති බැවිනි. විමල් එය තේරුම් ගෙන ඇත්තෙ තමන් විසින් මවනු ලැබු මතවාද තුළ සිට නිසා විමල්ට මෙහි ඇත්ත තේරුම් ගැනීම අසීරු වීම හෝ ඊට තවත් කල් ගත වීම සිදුවිය හැකිය. එහෙත් විමල්ගේ දේශපාලනයේ විනාශයටම කරුණු කාරණා තවදුරටත් ගොඩනැගෙනවා මිස වෙකක් සිදුවීමට හේතු නිර්මාණය වන්නේ නැත.
එහෙත් ඇතැම් විට රාජපක්ෂලාට විකල්පව තවත් ජාතිකවාදී නායකයකු ඔහුට මැවිය හැකිය. එදා කෝ මේ සිරිසේන කියමින් හොය හොයා සිටි සිරිසේනව දැන් විමල් අභිමුඛව සිටින බැවින් සිරිසේන දියසෙන් කුමාරය කර ගත හැක. ඔහුව ඇන්දීම විමල්ට පහසු කරුණකි.
එහෙත් දැන් ඊට අවස්ථාවක් නැත. විමල්ලා මවපු ජාතිකවාදී මතවාදය හිස් ප්‍රලාපයක් බව මේ වසර කිහිපය තුළ පුරවැසියන් තේරුම් ගෙන තිබේ. විශේෂයෙන්ම ගෝඨාභගේ මේ දෙවසරක පාලනය තුළ එය ඉතා හොඳින් ඔප්පු වී තිබේ. ජාතිකවාදයේ උපරීමය ගොඨාභයගේ සම්ප්‍රප්තියය. මේ විමල්ලාගේ ජාතික වාදයට තවත් කිසිවක් කළ නොහැකිය. රාජ්‍ය පාලනයේදී ජාතික වාදය යනු රටත් ජනතාවත් අර්බුදයෙන් අර්බූදයට යවන්නක් බව අද ලෝකයාටම පැහැදිලි කරුණකි. අද ලෝකය පවතින්නේ තවදුරටත් ජාතික රාජ්‍ය සංකල්පය මත නොවේ. එහෙම හුදකලා රටවල් අද කිහිපයක් තිබුණත් ඒ විශේෂ තත්වයන් හමුවේය. ලෝකයත් එක්ක ගැටගැසුනු පොදු දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සහජීවනයකින් තොරව කිසිදු රටකට පැවැතිය හැකි නොවේ. එහෙම පවතින්න නම් උතුරු කොරියාව වැනි ලෝකයෙන්ම වසා ගත් ආඥාදායක ප්‍රජාතන්ත්‍රය අහිමි රාජ්‍යයක් විය යුතුය. එහෙත් මේ කුඩා දූපත් රාජ්‍යයට එසේ විය නොහැක. පළමු කරුණ මේ රට යනු නිකම්ම නිකම් හිස් භුමියක් වන නිසාය. රටේ ඇති දෙයක් නැත. කළ හැකි දෙයක් නැත. රට සතියකට වහපු ගමන් සමස්ථයම බිඳ වැටෙන බව කොවිඩ් ලොක්ඩවුන් සමයේදී සැම සියලු දෙනාටම පසක් වූ සත්‍යය. ඒ වැහිල්ල නිසා තවත් කාලයකට ගොඩයාමක් නැති බව අද ඇස්පනාපිටම පෙනෙන්නට තිබේ.
රට ආර්ථිකමය වශයෙන් සංවර්ධනය කරනවා නම් ඇත්තේ මේ භුමියෙ පිහිටීම පාවිච්චි කර ඊට අදාල ආර්ථික උපාය මාර්ග යොදාගැනීම තුළ පමණි. එහෙත් ඒ විමල්ලාගේ ඊනියා ජාතික වාදය හා ගැලපෙන්නෙ නැත. සංවෘත්ත දේශීය නිශ්පාදන ආර්ථිකයය කියන මෙරටට නොගැලපෙන ආර්ථික ක්‍රමවේදයන් පමණක් රට ගොඩනැගීම කළ නොහැකි බව රටේ ඉතිහාසය තුළ කිහිපවරක්ම පරික්ෂාවට ලක් කර පැහැදිලි උත්තර ලබා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලනයද මුළුමනින්ම අසාර්ථක වී අසමත් පලකයෙක් බවට ගෝඨාභය පත් වූයෙත් මේ විමල්ලාගේ සෞභාග්‍යයේ දැක්ම නම් විකාරය සරණ යෑම නිසාය. එය ලෝක විහිළුවක් වනු ඇති බව කලින්ම නිගමනය කළ හැකි විය. එහි අමුත්තක් නැත. විමල්ලාගෙ ව්‍යාජ ජාතිකවාදය අනුව ගොඩ නැංවුණු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ පොළවේ යථාර්ථයක් කිරීමට නොහැකි බව සරළ සිතීමකින් පවා තේරුම් ගත හැකිව තිබුණකි. ඒවා ජාතිකවාදී මත වල එල්ඹ ගෙන සිටින වුන්ගේ සිහිනයන් මිස කිසිද් ජය ගත හැකි දේ නොවේ.
කොහොම නමුත් එදා එය විශ්වාස කරගෙන හැට නව ලක්ෂයක් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමේන් තෙරුම් ගත හැක්කෙ විමල්ලාගේ ව්‍යාජ මතවාදයන්ට රැවැටී එය පිළිගන්නා බහුතරයක් රටේ සිටින බවය. මේ පිරිස තව දුරටත් සිටිනවා කියා විමල් අදත් විශ්වාස කරගෙන සිටිනවාට සැක නැත. ඉදිරි දිනවල ඔහුගේ කියුම් කෙරුම් වලින් මේ විශ්වාසයේ තරම අවබෝධ කර ගතහැකිය.
කලින් කීවාක් මෙන් අද මේ ව්‍යාජ ජාතික වාදය කරපින්නා ගත් මිනිස්සු ඒ බර සහැල්ලු කරගෙන වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාගෙන සිටින තත්වයේ සිටි. තවදුරටත් මේ ව්‍යාජ මතවාදයන් ඔවුන් පිළිගන්නෙ නැත. මේ නිසා විමල්ලාට තවත් යන්න ගමනක් ඉතිරිව නැත. විමල් තමන්ගේ මේ ව්‍යාජ සළුපිළි ඉවත් කර ගත්තොත් මිසක වෙන පැවැත්මක් නම් නැත. එහෙත් එහෙම හැරවුමකට විමල්ට අවස්ථාවත් නැත. වාසනාවකුත් නැත. මන්ද තමන් විසින් වපුරපු දේ නැවත නැවත නෙළා ගන්නවා හැර වෙනත් යමක් වැපිරීමේ ඉඩ කඩද විමල් නැතිකරගෙන තිබෙව නිසාය. ඒ තමන් විසින් මවනු ලැබු අර්බුදයන් වල ගොදුරක් බවට ඔහු පත්ව ඇති බව ඔහු නොදන්නා නිසාය. රටම හරි මඟට කියා අලුත් ගමනක් යන්න හැදුවාට ඒ මඟ දැන් අවසන්ය. යන්න තව දුරක් නැත.
එහෙත් දැන් ආණ්ඩුවටත් ජනාධිපතිටත් මෙතුවක් කල් ගිය වැරදි මාර්ගයෙන් ඉවත් වී හරි මඟට යැමේ අවස්ථාව තිබේ. ඊට ධෛර්යයක් ගෝඨාභය ජනාධිපතිවරයාට තිබේ. එහෙත් ඔහුට ඒ සඳහා හරි හමන් උපදේශකයන් සහ නියම වැඩකාරයන් අවශ්‍යය. අවශ්‍යම නම් රනිල් වික්‍රමසිංහගේ උපදෙස් ලබා ගත හැක. රනිල් ඊට එක පයින් කැමැතිද වෙනු ඇත. ඒ කොහොම වෙතත් සියල්ල තීරණය වන්නේ ගෝඨාභය ගන්නා ක්‍රියාමාර්ග මතය. ලැබී තිබෙන අවස්ථාව ඔහුට නිවැරදිව කලමනාකරණය කරගතහොත් ඔහු මේ රටේ විශිෂ්ටතම පාලකයා වෙනු ඇත.
- සුජය