මෙවර අය වැය වඩාත් සුවිශේෂී අයවැයක් ලෙස සැලකිය හැකිය. නැතිනම් එසේ වෙනු ඇතැයි කල්පනා කළ හැකිය. මන්ද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මේ වන විට මුහුණ දී තිබෙන ආර්ථික ගැටළු මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ රජයක් මුහුණ දෙන බරපතලම තත්වයක් ලෙස සැලකිය හැකි නිසාය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබී ගෙවුණු වසර 73 ක පමණ කාලය තුල අප විසින් අනුගමනය කළ නොයෙක් ආර්ථික මුලෝපායන්ගේ සාර්ථක අසාර්ථක භාවයන්ගේ ප්‍රතිපලයක් ලෙස අද රට මුහුණ දි තිබෙන තත්වයට හේතුව ලෙස පොදු සම්මුතියකට පැමිණීම වැරදි නැත. දීර්ගකාලීන වශයෙන් සිදුව තිබෙන අඩුපාඩු රැසක ප්‍රතිපලයන් එක ආණ්ඩුවකින් නැතිනම් වසර 5 කින් විසැදීමද කළ හැකි නොවේ. ඊට දීර්ග කාලීන සැලසුම් සහිත ස්ථිර සාර ප්‍රතිපත්තීන් ක්‍රමවේදයන් ඇතිව විය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන ඇමැතිගෙන් ඇමැතිට වෙනස් වන ප්‍රතිපත්ති හෝ මූලෝපායන් වලින් ඒ සිදු කළ නොහැක.
1977 සිට විවෘත වෙළඳපොළ ආර්ථිකය මෙරට ආර්ථික ප්‍රතිපත්තිය කරගෙන තිබුණද මේ කාලය තුල පත් වූ විවිධ ආණ්ඩු විසින් කෙටි කාලීන වුවමණාවන් වෙනුවෙන් අනුගමනය කළ ක්‍රමවේදයන් නිසා මේ විවෘත ආර්ථික ක්‍රමවේදයම අවුල් වියවුල් ජාලයක් බවට පත්ව තිබෙන බවත් පැහැදිලි කාරණයකි. විවෘත ආර්ථික ක්‍රමය යෝජනා වෙන්නේ ලිබරල් දේශපාලන ආර්ථික සංකල්පයන් මතය. එහෙත් මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමදී තිබිය යුතු මූලෝපයන්, මුල්‍ය විනය, විශේෂයෙන්ම දේශපාලන ප්‍රතිපත්තීන් මෙරට තුළදී විකාරයක් බවට පත්ව තිබිණි. තවමත් අප ගත කරන්නෙ මේ විකාරය මත පදනම්වය. පටු දේශපාලනික වුවමණාවන් මත නිවැරදි මාර්ගය අත්හැර දැමුණු අවස්ථා එමට තිබිණි. මේ නිසා අද රටට අවශ්‍ය නිවැරදී දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති කුමක්ද යන්න හඳුනාගැනීම පවා දුෂ්කර වී තිබේ. හඳුනාගත්තත් ඒ ක්‍රියාත්මක කිරීම මාරාන්තික සටනක් බවට පත්වීම සිදුවේ.
වත්මන් ආණ්ඩුව හමුවේද තිබෙන දේශපාලනික ගැටළුව වඩා නිවැරදී දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් වෙත රට පිහිටුවාලීම සම්බන්ධ ගැටළුව බව කල්පනා කළ හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිපත්ති මාලාව ලෙස ඉදිරිපත් කළ ' සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජාතික ප්‍රතිපත්තිය ලෙස නිල වශයෙන් පිළිගෙන ඒ ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් තිබේ. මේ වෙනුවෙන් පසුගිය වසර දෙක තුළදී ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයන්ද අභියෝගාත්මක තත්වයන්ද දකින්නට තිබිණි. එසේම කොවිඩ් ගැටළු නිසා මුහුණ දී මට සිදුවූ අනපේක්ෂිත තත්වයන් හේතුවෙන්ද මේ ප්‍රතිපත්ති මාලාවට අනුව සිදු විය යුතු බොහොමයක් දේ අඩපණ විය. විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත්‍රය හදිසි ආපදා තත්වයකට පත් විය. මේ නිසා සාම්ප්‍රදායික නොවන රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට කඩිනමින් යෑමට සිදු විය. බොහෝ තීරණ අවදානම් සහගත සහ දීර්ගකාලීනව අයහපත් ප්‍රතිපල ගෙන එන ඒවා විය. නමුත් රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් සහ සංවර්ධනය වෙනුවෙන් එවැනි පියවරයන්ට යන්නට අනිවාර්ය කරන තත්වයන් ඇතිව තිබිණි.
මේ වන විට විදේශ විනිමය අර්බුදය වඩාත්ම බරපතල වී තිබේ. විදේශ විනිමය උපයන මාර්ග බොහොමයක් ඇහිරිණි. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ අඩපණ විය. විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවන මුදල් අඩු විය. විදේශ ආයෝජන කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තු සපළ කරගැනීමත් පහසු නැත. ඇතැම් ඒවාට එරෙහිව රට තුළින්ම නැගෙන විරෝධයන් කළමනාකරණය කර ගැනීමේ ගැටළු හැමදාම තිබෙන දෙයක් වන අතර වර්ථමාන ආණ්ඩුවටද ඊට මුහුණ දීමට සිදුව තිබේ. එසේම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන රට සම්බන්ධයෙන් දී තිබෙන සහතික ඉතාම අහිතකර ලෙස බලපා තිබේ. මේ අතර අපනයනයන් හරහා අත්පත් කරගන්නා විදේශ විනිමය ප්‍රමාණය වැඩි කිරීමට ගන්නා උත්සාහයන්ද එතරම් සාර්ථකව නැත. ආනයනයන් සීමාකිරීම නිසා මේ අපනයන කර්මාන්තයන්ට මෙන්ම දේශීය නිශ්පාදන ක්ෂේත්‍රයන්ටද බලපා තිබේ. ආර්ථික ක්ෂේත්‍රයේ එකෙක් එකකට ගැට ගැසී ඇති නිසා එක තැනක වන අවුලක් අනෙක් ක්ෂේත්‍රයන්ට කරන බලපෑම සුළු පටු නැත.
නිදහසෙන් පසු විශාලතම ආර්ථික අවපාතය වාර්තා වූයේ ගිය වසරේය. ඒ අනුව ගිය වසරේ (2020) සියයට 3.6 කින් ආර්ථිකය පසුබෑමට ලක් විය. මේ සමග 2009 වසරෙන් පසු ප‍්‍රථම වරට සේවා වියුක්තිය සියයට 5 ඉක්මවා ගියේය.
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2019 වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් 3852 සිට 2020 දී ඇමෙරිකානු ඩොලර් 3682 දක්වා පහළ ගියේය. එසේම සමස්ත ආර්ථිකයේ ප‍්‍රමාණය 2019 වසරේ පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 84 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80.7 දක්වා පහළ ගියේය.
මේ වන විට උද්ධමනයද සියයට 7 දක්වා ඉහළ ගොස් තිබේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යෑමක් මෙන්ම හිඟයක් දැන් රට පුරා තිබේ. ඉදිරියේදී මේ තත්වයන් වර්ධනය විය හැකිය. දැනට කෙටි කාලීන විසඳුම් රජය විසින් යෝජනා කරමින් සිටියද ලෝක මට්ටමෙන්ම සිදුවන ආර්ථික කුණාටු නිසා මේවා පාලනය කරගැනීම ලෙහෙසි වන්නේ නැත.
බැසිල් රාජපක්ෂ මහතා සිය මංගල අය වැය ඉදිරිපත් කරන්නෙ මේ අසීරූ අවස්ථාවේදීය. පසුගිය ජුලි මාසයේ දී 2022 - 2024 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීමේදී අනුගමනය කිරීමට අපේක්ෂිත ක‍්‍රියාමාර්ග මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව 2022 වසරේ දී ළඟා කරගැනීමට අපේක්ෂිත සාර්ව ආර්ථික ඉලක්ක දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම සියයට 13ක්, රාජ්‍ය වියදම සියයට 20.6 ක්, අයවැය පරතරය සියයට 7.5 ක් තුළ තබා ගැනීම, මධ්‍යම රජයේ ණය සියයට 95 ක මට්ටමට ගෙන ඒම සහ සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම ඒවා වෙයි.
මෙම අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2022 වර්ෂය තුළ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගැනීමටත්, උද්ධමනය සියයට 5 ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමටත්, සේවා වියුක්ති අනුපාතය සියයට 4 ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. මේ අපේක්ෂාවන් යථාර්තයක් කරගැනීමට අවශ්‍ය අයවැය යෝජනා එළැඹෙන 12 වෙනිදා බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ඇත.
ඒ කොහොම වෙතත් රටේ ජනතාව බලා සිටින්නේ තමන්ට වාසිදායක යෝජනා ඉදිරිපත් වේ යැයි බලාපොරොත්තුවෙනි. මේ වන විට ජනතාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය හමුවේ වෙනදා අය වැයකින් බලාපොරොත්තු නොවුණු තරම් දේවල් රැසක් තමන්ට ලැබෙනු ඇති බව ජනතාව සිතා සිටී. මේ බලාපොරොත්තු සපළ කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සමත් නොවුණහොත් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති කලකිරීම තවදුරටත් වර්ධනය වීමද විය හැකිය. ඒ දඩමීමා කරගෙන විපක්ෂ කොටස් වලට ආණ්ඩු විරෝධයක් බරපතල ලෙස පවත්වාගෙන යෑමේ පහසු හැකියාවක්ද ලැබෙනු ඇත. ඒ අනුව මෙවර අය වැය යෝජනා ආර්ථික ක්ෂෙත්‍රයේ අර්බුදය විසඳනවා මෙන්ම ආණ්ඩුව මුහුණ දෙන දේශපාලනික ගැටළුද විසඳා ගැනීමට සමත් වීම විය යුතුව තිබේ. ඒ අනුව මෙවර අය වැය තුළින් පෙරලිකාර යමක් සිදු වෙනු ඇතැයි කිසිවකු හෝ කල්පනා කිරීම වැරදි නැත. අඩුම තරමින් ජනප්‍රිය තීන්දු තීරණ කිහිපයක් ගැනීමට සිදුවෙනු ඇත.
මේ අය වැය යෝජනා ගැන මුදල් අමාත්‍යංශ ලෙකම් එස්.ආර්.ආටිගල පවසා තිබුණේ, රජයේ වියදම් ප‍්‍රමුඛතා හඳුනාගනිමින් එම වියදම් හැතිකාක් දුරට අඩුකරගනිමින් වියදම් කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. රජයේ ප‍්‍රතිපත්තිය ලෙස පවතින සැමට ජලය, මාර්ග පද්ධතීන්, වාරි සෞභාග්‍යා වගේ මූලික සංවර්ධන වැඩපිළිවෙල් ශක්තිමත් කරගැනීමත්, මේ වසරටත් වඩා ඉදිරියට ගිහින් ලබන වර්ෂයේ (2022) කිරීමට මෙවර අයවැය මූලිකවම යොමු වන බව ද පවසා තිබිණි. එසේම අයවැය හිඟය දැනෙන ප‍්‍රමාණයකට අඩුකර ගැනීමට මූලිකත්වය දී තිබේ. ඒ අනුව රජයේ ප‍්‍රතිපත්තිය ලෙස වර්ෂ 2025 වන විට අයවැය හිඟය සියයට 4.5 – 5 කට අඩුකරගැනීමට උත්සාහ කිරීම බවත් පෙන්වා දෙයි.
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර පවසා සිටියේ මේ අයවැය හැදෙන්නේ ජනාධිපතිතුමාගේ පුළුල් දැක්ම සහ සෞභාග්‍යයේ දැක්ම යන සියල්ල එකට එක්කරගෙන බවත් මෙය මුදල් ඇමැතිතුමා සමඟ කතා කළ විදියට මේක සාමාන්‍ය, සම්ප‍්‍රදායික අයවැයක් නොවන අලුත් ආකාරයක එකක් බවත් පවසයි. මුදල් ඇමැතිතුමා මේක පරිවර්තනීය අයවැයක් කරයි කියල මට අවබෝධයක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම ඒ ආර්ථික ප‍්‍රබෝධය එන්නේ මේ අයවැය එනතෙක් තිබුණ ආර්ථික ක‍්‍රියාවලියෙන් නොවන බවත් කාබනික ආර්ථිකයෙන්, පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයෙන්, තොරතුරු තාක්ෂණ ආර්ථිකයකින් සහ ඩිජිටල් ආණ්ඩුකරණයකින් බවත් පවසයි. එසේම එය 2022 වසරට එන අයවැයම නෙවෙයි, ඊට වඩා බොහෝ ඉදිරියට යන අනාගත දැක්මක් ඇති බවටත් ඔහු බලාපොරොත්තු තබයි.
කොහොම නමුත් අයවැයකින් රටක ආර්ථිකයේ පෙරැළි ඇති කිරීමේ හැකියාව ඇත්තේ නැති තරම්ය. එය රජයේ වසරක ආදායම් වියදම් කලමනාකරණය කරගැනීමේ යෝජනා මාලාවක් පමණකි කීවාට වැරදි නැත. එසේම මෑත ඉතිහාසයේ ඒ ඒ ආණ්ඩු විසින් ඉදිරිපත් කෙරුනු අය වැය යෝජනා සලකා බැලීමේදී එම යොජනා මුලුමනින්ම සම්පූර්ණ කර ගත් අවස්ථා දකින්නට නැත. බොහෝ විටම මෙම යෝජනා වලින් සියයට 20 - 40 අතර ප්‍රමාණයන්ගෙන් පමණක් සම්පුර්ණ කරගෙන තිබෙන බව පෙනී යයි. 2020 අය වැය යෝජනා වලින් මුළුමනින් සම්පූර්ණ කර තිබුණේ සියයට 4 ක පමණක් බව ඒ සම්බන්ධ සමීක්ෂණ වාර්තාවක් පසුගියදා හෙළිදරව් කර තිබිණි. එසේම 2021 අයවැය යොජනා බොහොමයක්ම ක්‍රියාත්මක කළ හැකි තත්වයක් තිබුණේ නැත. ඊට කොවිඩ් ප්‍රශ්නය බරපතල ලෙස බලපා තිබුණු බව අවිවාදිතය. මේ තත්වයන් මත එළැඹෙන අය වැය යෝජනා වලිය තුළින් මහා පෙළහරක් පෑමට බැසිල් රාජපක්ෂ මහතාට හැකි වෙනු ඇතැයි කල්පනා කිරීමට ඉක්මන් නොවිය යුත්තකි.
-the novemberist