මේ රට කාන්තාරයක් වූවා නම් අපට නැතිවෙන ප්‍රශ්න Featured

Wednesday, 07 April 2021 13:24

ශ්‍රි ලංකාව රටක් විදිහට මුහුණ දෙන ප්‍රශ්න බොහොමයක් රටේ හැටියට හැදුනු ප්‍රශ්න වේ. එය ලෝකයේ කොයි රටටත් එහෙම රටට ආවේණික ප්‍රශ්න තිබේ.

රටේ භූ පිහිටීම, දේශගුණික තත්වයන් සහ එය වාස භුමිය කරගත් ජනතවගේ සිතුම් පැතුම් ආකල්ප ආදිය මත මේ ප්‍රශ්න ගොඩනැගේ. මේ නිසා මේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් අප සොයන උත්තරද ඒ රටේ හැටියට විය යුතුය. අපේ රටේ ප්‍රශ්නවලට පිටරැටියන්ගේ විසඳුම් ගැලපෙන්න තිබෙන ඉඩකඩ ඉතා සීමිතය.

මේ රට අප්‍රිකාවේ, අරාබියේ පවතින ඇතැම් රටක් මෙන් කාන්තාර භූමියක් වුණා නම් අද අපිට නැති වෙන ප්‍රශ්න ගනනාවක් තිබේ.

වනාන්තර, රක්ෂිත, වගුරු බිම්, ගංගා ඇල දොල ආදිය විනාශ කිරීම ගැන ප්‍රශ්න. ගංවතුර, නායයැම, පාංශුඛාදන ගැන ප්‍රශ්න. නියං ප්‍රශ්න, වන ජීවීන් ගැන ප්‍රශ්න. කෘෂි කර්ම ප්‍රශ්න, ගොවියන්ගේ ප්‍රශ්න, ආහාර සුරක්ෂිතතාවය ගැන ප්‍රශ්න
ජල මූලාශ්‍ර අහිමිවීමේ ප්‍රශ්න, ජල විදුලි බලාගාර, කුඩා ජලවිදුලි බලාගාර පිළිබඳ ප්‍රශ්න ආදී විශාල වපසරියක පැතිරුණු ප්‍රශ්න ගනනාවක් අපට අහිමි වෙයි.

නමුත් මෙම ගැටලු නැති වූවද වෙනත් ගැටලු පැන නගී. පානිය ජලය හිඟවීම උග්‍ර ගැටලුවක් වන අතර, එදිනෙදා භාවිතයට අවශ්‍ය ජලය, කර්මාන්ත ආදියට ජලය හිඟ වීම, ආහාර හිඟකම, ආදී අත්‍යවශ්‍ය කාරනා වෙනුවෙන් ගැටලු විසඳා ගැනීමට සිදුවෙයි. රට තුළ වන වගාවන් කෙසේ වෙතත් ගහක් කොළක් සි‍ටුවා ගැනීම ගැනත් අමුතුවෙන් සිතන්නට සිදුවෙනු ඇත.
භෞතික සංවර්ධ්නය පිළිබඳ ගැටලුවද වෙනත් ස්වරූපයක් ගැනීම සිදුවෙනු ඇත. රට තුළ තෙල් ගෑස් සම්පත් ආදිය නොවී නම් රටට ආදයම් අත්පත් කරගන්න ආකාරය ගැන ඇතිවන්නේ වෙනත් ප්‍රශ්න සමුදායකි.

සමහර විට අද රටේ සිදුවන වන සංහාරයන්ගේ ප්‍රතිපලය ලෙස මේ ප්‍රශ්න අපට අලුත් ප්‍රශ්න ලෙස අනාගතයේදී හමුවෙනුද ඇත. මේ ඇතිවෙන නැතිවෙන ප්‍රශ්න සියල්ල කුමක් වූවත් අපට විසඳා ගන්නට වන්නේ අප ගන්නා තීන්දු තීරණ අනුවය. අද අප ගන්නා තීන්දු තීරණ හෙට දවසේදී අපට මුහුණ දීමට වෙන තත්වයන් තීරණය කරනුද ඇත.

එපමණක් නොවේ, රටේ දේශපාලනික ප්‍රශ්න පවා විසඳා ගැනීමට වන්නේ රටට ගැලපෙන පරිද්දෙනි. රටේ දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීමේදී අප දිගින් දිගටම බරපතල වරද්දා ගැනිම් සිදුකර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික ක්ෂේත්‍රය මුළුමනින්ම පාහේ මහා පැටලැවිල්ලක හිරවී තිබේ. මේවාට හේතු වූයේ අප පිටරට ආකෘති අනුව මේ ප්‍රශ්න විසඳා ගැනීමට යෑම තුළය. මෙලෙස පිටරට සරණ යෑමට හේතු වූයේ අපිට අපේ කියා දැණුම් පද්ධතියක් නොමැති වීම තුළය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙසම බැලූ විට හැමදාමත් රටේ ප්‍රශ්න විසදන්න උත්සහ කළේ පිටරටකින් ලද දැනුම උපයෝගී කරගෙනය. ඇතැමු මේ රට තුළ මහා දැනුම් පද්ධතියක් තිබුණු බවට ඓතිහාසික කරුණු කාරණා උපුටා දැක්වූවද ඒවා ගැන වැඩි මනත් සොයා බැලූ විට ඒ මුලාශ්‍රයන් පිටරටක බවට තොරතුරු හමුවේ. ශ්‍රී ලංකාව දූපතක් වීමත් ඓතිහාසිකව මුහුදු වෙළඳ මාර්ගයක පිහිටා තිබීමත් නිසා පිටරට දැනුම නිරන්තරයෙන් මෙරටට ලැබී තිබේ. ශ්‍රි ලංකාව ගොඩ නැගෙන්නේම මේ විටින් විට ලබා ගත් පිටරට දැනුම පදනම් කරගෙනය. එහෙත් එය අපි අපට ගැලපෙන ලෙස ‍තෝර බේරාගෙන අපට අනන්‍ය දැනුම් පද්ධතියක් ගොඩනගා ගැනීමට මේතාක් කල් ඉතිහාසය තුළ අසමත්ව ඇත. විජාතිකකරණය නමින් මේ ගැන විවේචන එල්ල වූවද ඒ විවේනයේ ස්වරුපයන් හෝ පදනම් හෝ සුජාත නැත.

ලංකාවේ අර්ථිකය ගොඩනැගුම වෙනුවෙන් අද අප කෘෂි නිශ්පාදන ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් කළ හැකි බව බොහෝ විටම දැඩි විශ්වාසයකින් පසුවේ. බලන බලන දෙස වගාවට සුදුසු භූමිය, ජලය සහ ගොවියන් දැකීම ආදිය නිසා එසේ සිතීමට පෙළඹවීමක් සිදුවද ඇත.

එහෙත් මේ දූපත මත තිබෙන සම්පත් ප්‍රමාණය ගැන සලකා බලන විට මේ රට කෘෂි කාර්මික නිශ්පාදනයන්ගෙන් ස්වයං පෝෂිත කිරීමේ හැකියාවද සීමාසහිත බව පෙනී යයි. සරළව කිවහොත් මේ කතාකරන කෘෂි නිශ්පාදන ඉලක්ක ජය ගැනීමට නම් වගාවට සුදුසු රටේ සමස්ථ ඉඩම් ප්‍රමාණයෙන් කොපමණ ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවෙනු ඇති ද යන්න සොයා බැලීය යුතුය. අද යම් තරමකට හෝ රැකී පවතින වනගහනය තවදුරටත් අඩු කරගැනීමෙන් තොරව එය සිදුකිරීමට හැකිද යන්න සොයා බැලිය යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය ජලය සපයා ගැනීම සිදුකරන්නේ කොහොමදැයි සොයා බැලිය යුතුය. අපේ සම්පත්වල සීමාසහිතකම ගැන එහිදී අසහසක් ගත යැකිය.

රට කිරි හෝ කිරි ආශ්‍රිත නිශ්පාදනවලින් ස්වයං පෝෂණය කිරීමක් ගැනද නිතරම කතන්දර ඇසෙයි. එය සිදු කළ හැකිද? ඒ වෙනුවෙන් අපට අවශ්‍ය කිරි එළදෙනුන්ගේ ගහනය අද පවතින ප්‍රමාණයට වඩා පස් හය ගුණයකින්වත් වැඩි කරගත යුතුය. එපමණක් මදිය. ඒ එළදෙනුන් වෙනුවෙන් උසස් තත්වයේ විශාල තණ බිම් ප්‍රමාණයක් වෙන් කළ යුතුය. එහෙත් දැනටත් සිටින සතුන් වෙනුවෙන් මේ තණ බිම් ප්‍රමාණය වෙන් කිරීම ගැන ගැටලුව අප හමුවේ තිබෙන්නකි. වන රක්ෂිත උලා කෑමට අවසරයන් ලැබෙන්නේ ඒ අනුවය. එය එසේ සපුරා ගත්තත් ඊ ළඟට එන ගැටලුව නම් මිලියන ගනනාවක් වන කිරි එළදෙනුන් තමන්ගේ නිශ්පාදන කාර්යය අවසන් කළ පසුව ඔවුන්ට සිදුකරන්නේ කුමක්ද යන කරුණය. ඔවුන් වෙනුවෙනුත් තණබිම් හෝ වන රක්ෂිතයන් වෙන් කළ නොහැක. මේ අතර හරක් මැරීම තහනම් කිරිමට රජය ගෙන තිබෙන තීරණය මේ ගැටලුවට තවත් උග්‍රකරවන්නකි. මස් පිණිස මේ කිරි එළදෙනුන් රට පැටවීම ගැන යෝජනාවක්ද පසුගියදා ඇසිනි. හරක් මැරීම තහනම් කරන යෝජනාව එන්නේ ආගමික හේතුන් මතය. ඒ අනුව මස් පිණිස හරක් රට පටවා එයින් ආදායම් ලැබීම මෙම ආගමික පදනමට එකඟවන්නේද නැත. මෙවැනි බහුබූත යෝජනා නිසා අපි අපේ සංවර්ධන ගමන අඩාල කරගත් අවස්ථා ඉතිහාසයේ තවත් ඇත.

රට අවශ්‍ය සීනී ප්‍රමාණය නිපදවා ගැනීම ගැනත් කතාව එහෙමය. සීනි වලින් ස්වයං පෝෂණයවන්නට නම් දැනට පවතින සීනි නිශ්පාදන ධාරිතාවය හත් අට ගුණයකින් පමණ වැඩි කරගත යුතුය. මේ වෙනුවෙන් දැනට පවතින උක් වගා බිම් ප්‍රමාණයත් වැඩි කරගත යුතුය. එයට ඉඩම් සහ ජලය අවශ්‍යය. ඒ ලබාගැනීම පහසු නැත. මේ ආකාරයෙන් අනෙකුත් කෘෂි නිශ්පාදන සියල්ල වෙනුවෙනුත් අවශ්‍ය ඉඩම් සහ ජලය කෙසේ ලබාගත හැකිද යන්න ගනන් බැලිය යුතුය. පොල් ප්‍රශ්නයත් එසේය. රටේ අවශ්‍යතාවයට නිපදවන පොල් ප්‍රමාණය තව පස් ගුණයකින්වත් වැඩි විය යුතුය. ඒ වෙනුවෙන් වෙන් කළ හැකි පොල් වගාවට යෝග්‍ය ඉඩම් කොහෙද තිබෙන්නේ?

එසේම කෘෂි නිශ්පාදනයන්ගෙන් රට ස්වයං පෝෂිත වූවාට එය රට පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වන්නේ නැත. ඉන්ධන මෙන්ම මේ රටේ නොමැති හෝ නිපදවාගැනීමට නොහැකි දේ අපට පිටරටින් ගෙන්වා ගැනීමට සිදුවේ. මේ වෙනුවෙන් වන විදේශ විනිමය අප සොයා ගත යුතුය. රටේ ණයතුරුස් ගෙවීමට විදේශ විනිමය(ඩොලර්) අවශ්‍යවේ. එය සිදු කිරීමට කෘෂි නිශ්පාදන අපනයනය කිරීමෙන් යම් ආදායමක් ලැබිය හැකිය. රටේ අවශ්‍යතාවයත් නිපදවා අනෙක් රටක අවශයතාවයකුත් නිපදවීමට නම් අපට තව තවත් වගා ඉඩම් සහ ජලය මූලිකවම අවශ්‍ය වේ. ඒ ඉලක්ක ජයගැනීම ගැන කතා නොකර රට, දේශීය නිශ්පාදනයෙන් ස්වයං පෝෂණය කිරීම ගැන කුමක් කතා කළත් වැඩක් වන්නේ නැත.

එසේම අනෙක් වැදගත් ප්‍රශ්නය වන්නේ මේවා වෙනුවෙන් වන මානව ශ්‍රමය අප අත්පත් කරගන්නේ කෙසේද යන්නය? ගොවි බිම්වල අදටත් රටේ ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසක් සිය ශ්‍රම දායකත්වය ලබාදෙයි. ඒ අනුව අද පවතින තත්වය තව දෙගුණයකින්වත් වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණය අප සතුව නැත.

'සිය රට දේ සිරි සැප දේ' කිව්වාම ලස්සන නමුදු එය යථාර්ථයක් කරගැනීම ඉතා දුරස්ය. සුද්දාගේ කාලයේත් මේ රට කෘෂි නිශ්පාදන ආර්ථිකක් මත ගොඩ නැගීමට ගත් උත්සාහයන් අසාර්ථක විය. එහෙත් ඉන් පසුවත් රට කෘෂි නිශ්පාදනයන්ගෙන් ස්වයං පෝෂණය කිරීම ගැන බලයේ සිටි නොසිටි සියලු දේශපාලන පක්ෂ විසින් සාකච්ඡා කර ඇත. යෝජනාවන් කර ඇත. ඇතැම් ක්‍රියාමාර්ගද ගෙන තිබේ. එහෙත් මේවා කෙදිනකවත් සම්පූර්ණ කරගෙන නැත. ඒ ඒ වෙලාවට මහා ප්‍රචාරයන් සමඟ ලංකාවේ අවශ්‍යතාවයට හෝ අලඟු තියන්නවත් බැරි තරම් වූවත් මේ පටු ඉලක්ක මත කෙරෙන යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් සැලකිය යුතු වැඩක් සිදුව නැත. ඒ බොහෝ ව්‍යාපෘති ඉතා කෙටි කලකින් අසාර්ථක වී, අහෝසි වී ගොස් තිබේ.

හැමදාමත් මේ සමස්තය ගැන පුළුල් ඉදිරි දැක්මක් නැති සැලසුමක් නැති, පටු දේශපාලන වාසි තකා යෝජනා ක්‍රියාත්මක කිරීමට යෑම නිසා ඇතිවූ අමතර ගැටලු අති විශාල ප්‍රමාණයකුත් අද මේ රට හමුවේ තිබේ. අද බහුලවම දේශපාලකයන්ට විසැඳීමට සිදුව ඇත්තේ මේ විපරීත වූ ප්‍රශ්න සමුදායකි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේවා තවදුරටත් අවුලෙන් අවුලටම පත්කරනවා විනා රටේ හැටියට, රටේ හැකියාව ගැන කල්පනා කර නිවැරදි ප්‍රතිපත්තීන් මත රටේ අභිවෘද්ධිය තකා ගන්නා තීන්දු තීරණ දකින්නට නැත. රටේ ජනතාවත් හැමදාම පක්ෂ විපක්ෂ භේදක් නැතිව මේ දේශපාලකයන්ගේ සංදර්ශනවලට රැවැටීමත් සිදුවෙමින් තිබේ.

කොහොම නමුත් රට සැබෑ ලෙසින්ම ගොඩනැංවීම වෙනුවෙන් අප අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන අපේ දැනුමකින් කල්පනාකරන විදිහක් ගැන දැන්වත් රටේ අවධානය යොමු කළ යුතුව තිබේ. අද විකාරරූපී වී තිබෙන දේශපාලන සහ ආර්ථිකමය භාවිතය තවදුරටත් ඉදිරියට යෑමෙන් සිදුවිය හැක්කේ රට කාන්තාරයක් කරගෙන විසැඳීමට අලුත් ප්‍රශ්න තොගයක් නිර්මාණය කරගැනීම පමණක් බව පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

-සුජය

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us