එක රටක් එක නීතියක් යන්න මැතිවරණ පොරොන්දුවක් වු විට එම පාර්ශ්වය එම පොරොන්දුව ඉටුවන තෙක් බලා සිටියද ඒ ඉටු නොවන වග හැඟීයාම පලකයාගේ ජනප්‍රියතාවය හීන කිරීමට හෝ හීන කරවීමට හේතුවක් වෙයි. මේ මොහොතේත් සිදු වෙමින් තිබෙන්නේ පටු ආගමික හෝ දේශපාලනික පාක්ෂික භාවය මත වන විවාදයක් මිස ශිෂ්ඨසම්පන්න සාකච්ඡාවක් නොවේ.
ශ්‍රී ලංකාව තුල මෙම එක රටක එක නීතියක් යන්න සාකච්ඡාවට ගැනෙන්නේ මෙරට තුල සියවස් ගනනාවක් තිස්සේ විටින් විට පෑරෙන ජනවාර්ගිකයන් අතර වන ගැටළු කාරිත්වයන් මතය. විටෙක ජාතීන් අතරත් විටෙක ආගමිකයන් අතරත් මේ ගැටුම් උත්සනන් වේ. නැතිනම් දේශපාලනික පටු වුවමනාවන් වෙනුවෙන් මේ ගැටුම් කරළියට ගනු ලැබ තිබේ. මෙවා පහසුවෙන් විසඳාගත නොහැකි අර්බුධ බවට අද පත්කරගෙනද තිබේ.
නමුත් මේ අර්බුධ විසැඳීමට පෙර පැහැදිලිව තේරුම් ගත යුත්තේ එක රටක එක නීතියක් යන්න ප්‍රායෝගිකව ඉටු කළ හැකිද යන්නය? එලෙස අද එක රටක එක නීතියක් යනුවෙන් නීතිය ක්‍රියාත්මක වන රටක් තිබෙන නම් ඒ අන්තවාදී ආගමික රාජ්‍යකය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයක හෝ ලෝකයෙන් හුදකලා වූ රාජ්‍යයක පමණක් විය හැකිය. කොහොම නමුත් බලහත්කාරී ලෙස මනුස්ස ප්‍රජාවක් පාලනය කිරීමට අනෙනෙකුට අයිතියක් හිමි විය යුතු නැත. එය ශිෂ්ඨ සම්පන්න නොවේ.
සමානාත්මතාවය පිළිබඳ සංකල්පයම විවිධත්වයන් පිළිගැනීම ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධ සාම්ප්‍රදායික නීතිවලට බලපෑම් නොකර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ප‍්‍රමිතීන්ට අනුකූලව හෝ රාජ්‍යයේ මූලධර්මයන්ට අනුකූලව විවිධ ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් ප‍්‍රකාශයට පත්කිරීමට අවසර දෙනු ලැබ තිබේ.
මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මූලික කොටගෙන දැනට වලංගු නීති පද්ධතිය පවතින්නේ මෙම ජාති ආගමික හෝ වෙනත් විවිධත්වයන් බොහෝමයක් පිළිගත් තත්වයන් තුළය. අඩු පාඩු ඇතත් මෙම සමානාත්මතා තත්වය පිළිගැනීමට අවශ්‍ය නීති සම්පාදනයක් රට තුළ පවතී. මේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ලෝකයා පිළිගන්නේ ඒ නිසාය. සියළුම ශ්‍රී ලාංකිකයන්ට තිබිය යුත්තේ එක් නීතියක් පමණක් යන තර්කය මත සිය විවිධ සුළු ජන වර්ග ආගම් අත්හැර දමා සියලු ආගමික ස්ථාන හෝ ආයතනය පාලනය කළ හැකි එක් නීතියක් පිළිගැනීමට ජනතාවගෙන් කිසිවකුහෝ ඉල්ලා සිටීම අඩුම තරමින් මනුෂ්‍යත්වයට එරෙහිය. කොටින්ම මේ රටේ බහුතර ජනතාවක් පිළිගන්නා ආගම වන බුද්ධාගමට පවා එරෙහිය.
සියලුම මිනිසුන් එක හා සමානව උපත ලබන අතර ඔවුන්ට සමානව සැලකිය යුතුය. එනම් ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් වලට හිමි ගෞරවය ලබාදීම විය යුතුව තිබේ.
අද සමස්ත ලෝකයම පාහේ මූලික වශයෙන් ජනවාර්ගික, ආගමික, සංස්කෘතික, භාෂාමය සුළුතරයන්ගේ අනන්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශ්ව සම්මුතීන්, ප්‍රකාශන සහ යෝජනා ද පිළිගනිමින් තිබේ.
කෙසේ වෙතත්, දේශපාලන, ආර්ථික හා සමාජ විෂමතා නිසා සිදුවන අසාමාන්‍යතා පදනම් කරගෙන එකම නීතියක් ක්‍රියාවට නැංවිය හැකි වූවත්, ආගම්, සංස්කෘතීන් සහ භාෂාවන්හි විවිධත්වය නොතකා හැර එකම නීතියක් පැනවීම ගැටුම්කාරී වනු ඇත. මේ නිසා රටේ නීති ක්‍රියාත්මක කිරීමේදී විවාහය, දික්කසාදය සහ උරුමය වැනි ඉතා පෞද්ගලික වූ කරුණු ගැන නීතිය ක්‍රියාත්මක කරවීමේදී එම ප්‍රජාවන්ගේ අනන්‍යතා විවිධත්වයන් නොතකා හැරිය නොහැක. නමුත් අනෙක් සියලුම දේ සඳහා පොදු නීතිය (එකම නීතිය) සැමට සමානව අදාළ කරගත හැක.
මුස්ලිම් කාති උසාවිය යනු එම ප්‍රජාවගේ දික්කසාදය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා සාම්ප්‍රදායික ආයතනයයි. මෙය හරියට මෙරට පුරාණයේ ක්‍රියාත්මක වූ වරිග සභා පන්නයේ ආයතනයකි. වරිග සභා අප විසින් අත්හැර දැමූ අතර ඒවායේ ඇතැම් පිළිගැනීම් පොදු නීතියට ඇතුළත් කරගැනීම්ද සිදුකර තිබේ. නමුත් උඩරට නීතිය, තේසවලාම් නීතිය වැනී ප්‍රාදේශීය ව්‍යවහාරයන් වෙනම නීති පද්ධතීන් ලෙස පිළිගැනීමටද ලක්කර තිබේ.
ශ්‍රී ලංකාව යනු එක අතකින් බහු සංස්කෘතික, ආගමික හා භාෂාමය රාජ්‍යයක, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීම සඳහා පූර්වාදර්ශයන් සැපයූ රටකි. එනම් විවිධ ජන කොටස් ආගමික කොටස් සමාන ලෙස සමස්ත සමාජය තුළට ඇතුළත් කරගෙන ඔවුන්ගේ විවිධත්වයට ගරු කරමින් දේශපාලනයේ කොටසක් ලෙස ද පිළිගෙන තිබීමයි. මේ රටෙහි සුන්දරත්වයට එය විසින් එකතුකර තිබෙන වටිනාකම් ඉතා ඉහළය. මෙය අප අහිමි කරගත යුතු නැත.
පෞද්ගලික හෝ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ ඉතා දුර්ලභ හා සුවිශේෂී ක්ෂේත්‍රයන්හි විවිධ ආගමික හා සංස්කෘතික භාවිතයන් තවදුරටත් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ස්වදේශික ජනතාවගේ අනන්‍යතා රැකෙන නීති එම ප්‍රජාවන්ගේම ඉල්ලීම මත පොදු නීතියට අවහිර නොවන ලෙස සංශෝධනය කිරීම් කළ හැකිය.
කාති උසාවි පිළිබඳ ගැටළුවක් තිබේ නම් හෝ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි කිසියම් අඩුපාඩුවක් සපුරාලීම සඳහා හෝ යම් සංශෝධනයක් එම ප්‍රජාවට අවශ්‍ය නම්, සහ එය පොදු නීතියට අවනත ලෙස අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් එය විසඳිය හැකිය.
මේ සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විනිසුරු සලීම් මර්සූෆ්ගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා පත්කරන ලද කමිටුව දැනටමත් සිය වාර්තාව සම්පූර්ණ කර තිබේ. එබැවින්, කිසියම් නිර්දේශයක් හෝ අඩුපාඩුවක් සඳහා මෙම නිර්දේශයේ පදනම මත සංශෝධනය සකස් කළ හැකිය.
මෙම සන්දර්භය තුළ, ‘එක් රටක් සහ එක් නීතියක්’ යන සංකල්පය ජාතීන් ගොඩනැගීමේ ක්‍රියාවලියේ සියලු ප්‍රජාවන්ගේ එකමුතුවක් ලෙස සැලකිය යුත්තේ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම, පිළිගැනීම සහ සියලු ජනතාවගේ අභිලාෂයන්ට සරිලන නීති පද්ධතියක් තහවුරු කිරීමෙනි. තවද, එක් නීතියක් පිළිබඳ සංකල්පයෙන් ද ඇඟවෙන්නේ නීතිය ඉදිරියේ සියලු මිනිසුන් එක හා සමාන වන අතර ඔවුන්ට නීතියේ සමාන ආරක්ෂාවක් හිමිවන බවත් විශේෂයෙන් කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින බවත්ය.
ශ්‍රී ලංකාවට ජනතාව අතර සමගිය අවශ්‍ය වන අතර, සෑම ප්‍රජාවකටම අනුන්ට ගරු කිරීම සහ අනෙක් ප්‍රජාවන් ජාතියේ එක් පවුලක සහෝදර සහෝදරියන් ලෙස සැලකීම අවශ්‍ය වන්නේ අනුන්ව සැකයෙන්, බියෙන් හා අවිශ්වාසයෙන් යුතුව නොසැළකියයුතු නිසාය. එකිනෙකාට එරෙහි වෛරී කතා වැළැක්වීමට සහ සෑම ප්‍රජාවකටම ගෞරවය සහතික කිරීම සඳහා එක රටක එකම නීතිය සක්‍රියව අදාළ විය යුතුය.