දෙමළාගේ ප්‍රශ්නයේ අභියෝගය - සාමිනාදන් විමල්

Monday, 23 September 2019 13:11

දෙමළ අභියෝගය යනු වික්ටර් අයිවන් මහතාගේ කෘතියකි. දෙමළාගේ ප්‍රශ්නය යනු නිර්මාල් රංජිත් දේවසිරිගේ කෘතියකි. එවැනි බොහෝ කෘති සිංහල සමාජයෙන් බිහි වී ඇත. මේ හැම කෘතියක්ම ලංකාවෙහි යුද්ධමය පරිසරයක් තුළ ලියවුණු ඒවාය.

එහෙයින්ම එම කෘති දෙමළ ජනයාගේ ප්‍රශ්නය ලෙසින් බහුලව කියවෙන ලංකාවෙහි ජනවාර්ගික ප්‍රශ්නය හුදු දෙමළ ජනයාගේ ප්‍රශ්නයක් නොවී ලංකාවෙහි දැවෙන ප්‍රශ්නයක් ලෙසින් අනෙකුත් සමාජ, ආර්ථික ප්‍රශ්න යටපත් කරගෙන ඉස්මත්තට පැමිණීමත් සමඟ සම්බන්ධ ඒවාය.

එහෙයින් දෙමළ ජනයාගේ ප්‍රශ්නය සහ යුද්ධය යන්නට පර්යාය පද ලෙසින් උතුරු නැගෙනහිර ප්‍රශ්නය යන්න භාවිත විය. එහෙයින් දෙමළ දේශපාලනය යන්න උතුරු නැගෙනහිර දේශපාලනය ලෙසට ලඝු වූ අතර, රටේ සමස්ත දේශපාලනය තුළ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනයට වැදගත්කමක් හිමි වූවේ එය ලංකාවෙහි දේශපාලනයෙහි අධිකාරිමය සුජාතභාවය සමඟ ඍජුවම සම්බන්ධ වූ හෙයින්ය. මැතිවරණ ජයග්‍රහණයන්හිදී උතුරු නැගෙනහිරට බැහැරව වාසය කරන දෙමළ ජනතාව වැදගත් සාධකයක් වුවත් එය අභියෝගයක් වූවේ නැත. ජනප්‍රිය ජාතිකවාදී දේශපාලනය තුළ එය තොණ්ඩමන් සාධකය ලෙසින් හැඳින්විණි. වර්තමානය වන විට එය තව කොටස් කීපයකට වෙන්ව ඇතත් අභියෝගයක් බවට පත්ව නැත.

එහෙයින් රාජ්‍ය බලය සම්බන්ධයෙන් බලවත් අභියෝගයක් ලෙසින් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය බලවත්ව පැවතීම යුද්ධයෙහි අවසානය දක්වාම පැවතිණ. යුද්ධ ජයග්‍රහණය ලෙසින් හැඳින්වෙන සිද්ධියට පසුව උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය පිළිබඳ අවධානය යොමුවන්නේ මැතිවරණ ක්‍රියාවලියක වැදගත් සාධකයක් ලෙසින් මිස රාජ්‍ය බලයට අභියෝගාත්මක සාධකයක් ලෙසින් නොවෙයි. එහෙයින් දකුණෙහි දේශපාලනය ලෙසින් අර්ථ ගැන්වෙන දේශපාලන ක්‍රියාවලිය තුළ උතුරු නැගෙනහිර දේශපාලනය වැදගත් වන්නේ සමස්ත රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි වන අභියෝගයක් යන අරුතින් නොව ආණ්ඩු පිහිටුවා ගැනීම යන ක්‍රියාවලියේදී වැදගත් සාධකයක්ය යන අරුතින්ය.

එහෙයින් යමෙකු වර්තමානයෙහි උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය පිළිබඳව උතුරු නැගෙනහිරට බැහැරින් සිට උනන්දුවක් දක්වන්නේ නම් එය බොහෝ විට මැතිවරණ සිතියම තුළ උතුරු නැගෙනහිරට හිමිවන වැදගත්කමත්, පක්‍ෂ දේශපාලනය තුළ එයට හිමිවන වැදගත්කමත් සලකා බලාය. එහෙයින් මෙලෙසින් අභියෝගයක් යන්නෙහි සිට වැදගත් සාධකයක් බවට වෙනස්ව ඇති තම දේශපාලනයෙහි යථාර්ථය පිළිබඳව කොයිතරම් දුරට තේරුම් ගැනීමක් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය සතුව පවතින්නේද? යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

මෙම කරුණ සමඟ ඍජුවම සම්බන්ධ කටයුත්තක් සැප්තැම්බර් 16 වන දින යාපනයේදී සිදු කෙරුණි. එය නම් තමිළ් මක්කල් පේරවෛ (දෙමළ ජනතා සභාව) විසින් පැවැත්වූ එළුක තමිළ් (නැගිටිනු දෙමළයිනි) නම් දේශපාලන උද්ඝෝෂණයයි. මෙය අන්තර්ගතයෙන් යුද්ධ කාලීන පොංගු තමිළ් උත්සවයට බොහෝ සෙයින් සමාන වූ අතර නමුත් ඉතාමත් අසාර්ථක වෑයමක් විය. විශාල සංඛ්‍යාවක් වූ දෙමළ සිවිල් සංවිධානවල දායකත්වය ලැබෙන බව ප්‍රකාශ කළත් පැමිණි සිටි සංඛ්‍යාව පන්දාහකට ආසන්න විය. දෙමළ මව්බිම පුරා ව්‍යාප්තව කෙරෙන විරෝධතා උද්ඝෝෂණයක් ලෙසින් වෙළෙඳ සැල් සහ අනෙකුත් ආයතන වසා මෙම උද්ඝෝෂණයට එක්වන ලෙසින් ඉල්ලා සිටිය ද අවම ජන සහභාගිත්වය සංවිධාකයකයන් කෙරෙහි චෝදනාත්මක අදහස් එල්ල කිරීමට හේතු වූවේ දෙමළ දේශපාලන පක්‍ෂවල අසමඟිය පිළිබඳ කරුණ මුල් කරගෙනය.

සාම්ප්‍රදායික ඉල්ලීම් වන උතුරු නැගෙනහිර එක්කිරීම, ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීම, යුද්ධ අපරාධවලට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්, අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රශ්නය මෙන්ම සිංහල ජනපදකරණය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි කටයුතු යනාදි නව ඉල්ලීම් ආදිය ද ඇතුළත්ව තිබුණත් මෙය මූලික හරයෙන් 2009ට පෙර පැවැති උද්ඝෝෂණවල ආකාරයම සහිත වූවක් විය. සංක්‍ෂිප්තව කිවහොත් කණ්ඩායම් අතර එළිපිට පෙනෙන කුළල් කා ගැනීම් තිබුණත් දෙමළ ජාතිකවාදී දේශපාලනයෙහි සාරය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන් ද දෙමළ ජාතිකවාදී දේශපාලනයෙහි සුජාත අයිතිය හිමි යන අදහසට ආසන්න කණ්ඩායමක් වශයෙන් ද දෙමළ ජාතික සභාව උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය තුළ වැදගත් සාධකයක් බවට සැකයක් නොමැත.

එවන් තත්ත්වයක් තුළ මෙම එළුක තමිළ් උද්ඝෝෂණයෙහි දේශපාලනික වශයෙන් දුර්වලබව විසින් පෙන්නුම් කරන්නේ දෙමළ ජාතිකවාදී දේශපාලනය දුර්වල වෙමින් පවතින බවද? එය එසේනම් දකුණේ ජාතිවාදී දේශපාලනයට එය මහත් ප්‍රමෝදයට හේතුවක් වනු ඇත. නමුත් සැබෑ තත්ත්වය නම් දෙමළ ජාතිකවාදී දේශපාලන මතවාදය තවමත් ඉතාමත් සවිමත්බවයි. නමුත් එය ශක්තිමත් නායකත්වයක පුරප්පාඩුව තුළ පවතින දේශපාලන නායකත්වයන් ප්‍රතික්‍ෂේප කරමින් පවතින බවයි. එළුක තමිළ් උද්ඝෝෂණය විසින් ඉදිරියට ගෙන එනු ලබන දේශපාලන ඉල්ලීම්වලට තවමත් දෙමළ සමාජය තුළ වලංගුභාවයක් පැවතුණත් එම දේශපාලන ඉල්ලීම්වලට නායකත්වය දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දෙමළ ජනයාට ප්‍රශ්නයක් පවතින බව පැහැදිළිවම දක්නට ලැබෙයි.

මෙලෙසින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සහ දෙමළ දේශපාලන පක්‍ෂවල නොහැකියාව අතර පවතින ගැටුම තුළින් ඉඩකර විවරව ඇත්තේ අභියෝගයක් නොව මැතිවරණ දේශපාලනයෙහි වැදගත් සාධකයක් බවට පත්ව ඇති දෙමළ දේශපාලන ක්‍රියාකාරීත්වයට නායකත්වය දෙන පිරිස්වලටය. ඒ අනුව ප්‍රතිපත්තිමය එකඟතාවකට වඩා ගනුදෙනුමය දේශපාලන ක්‍රියාකාරීත්වයටත් එහිම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති කේවල් කිරීමේ දේශපාලනයටත් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනයෙහි ප්‍රධාන ප්‍රවණතාවයන් අනුගතව පවතියි. නමුත් දෙමළ ජනතාව අතරෙහි තම පැවැත්ම සහතික කරගැනීම උදෙසා පැරැණි සටන් පාඨම භාවිතා කරයි. හරයාත්මකව ඉතාමත් වේගයෙන් ගනුදෙනුකාර දේශපාලනයෙහි සාධකයක් බවට පත්ව ඇතත් අභියෝගයක්ව පැවැති සමයෙහි ඉදිරිපත් කළ සටන් පාඨම යළි යළිත් ඉදිරිපත් කරනු ලැබෙයි.

එහෙයින් උතුරෙහි දෙමළ දේශපාලනය මෙම මොහොතෙහි තේරුම්ගත යුත්තේ මෙම පසුබිම මත මිස 2009ට පෙර පැවැති සංදර්භයන්ට අනුව නොවෙයි.

534 වැනි සමබිම ඉරිදා අතිරේකය සඳහා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සාමිනාදන් විමල් විසින් ලියන ලද ලිපියකි.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us