අධ්‍යාපනයෙන් ලාභ ඉපයීම හැම අාණ්ඩුවකම අරමුණයි' - නජිත් ඉන්දික

Saturday, 24 January 2015 17:23

1978 ජනවාරියේ දී බිහිවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් 'අන්තරේ' දකුණේ සරසවි ශිෂ්‍ය දේශපාලනයේ කේන්ද්‍රීය සටන් මධ්‍යස්ථානයයි. ජයවර්ධන පාලන තන්ත්‍රය විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධී සටනේ මෙන්ම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරහිව පැතිර ගිය සිසු විරෝධතාවන් ද මෙහෙය වූ නියාමක බලවේගය වූයේ අන්තරයයි. '80 දශකය අගභාගයේ පුපුරා ගිය දකුණේ දෙවෙනි සන්නද්ධ කැරුල්ලට නායකත්වය දුන් ජවිපේ දෙවෙනි පරම්පරාවේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයන් බහුතරයක් 'අන්තරේ' ශිෂ්‍ය දේශපාලනය හරහා අරගලයට ඇදී ආවුන් ය. 1989 භීෂණකාරී මර්දනය විසින් බෙලහීන කොට විනාශ කළේ යැයි බොහෝවුන් කල්පනා කළ ද, භීෂණයේ දුමාරය පහව නොගිය වසරක් එක හමාරක් ඇතුළත ප්‍රතිසංවිධානය වී නැවත නැගී සිටින්නට අන්තරය සමත් විය.

මේ වනවිට දිවයින පුරා විසිරුණු උසස් අධ්‍යාපන ආයතන 16ක් නියෝජනය කරමින් ගොඩනැගුණු ශිෂ්‍ය සභා සහ ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධ සංවිධානාත්මක ප්‍රකාශනය වශයෙන් ක්‍රියාත්මක අන්තරයට නායකයත්වය සපයන්නේ කොළඹ වෛද්‍ය පීඨයෙන් මතුව ආ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන නජිත් ඉන්දික විසිනි.

JDS නජිත් හා සංවාදයේ යෙදුණේ දකුණේ සමකාලීන ශිෂ්‍ය දේශපාලනයේ ජයග්‍රහණ, අභියෝග හා දුබලතා පිළිබඳ හරස්කඩක් සම්පාදනය කරනු පිණිස ය.

සටහන: කිත්සිරි විජේසිංහ

මේ මොහොත වන විට ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙමින් ඉන්න ගැටළු සහ අභියෝග මොන වගේද?

නජිත් ඉන්දික: ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ අභියෝගයන්ගේ කිසිම සාධනීය වෙනසක් අද දවස වන විටත් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති හේතුකොට ගෙන ඇතිවි තිබෙන අර්බුදයක ගොදුරක් බවටයි අධ්‍යාපන ක්‍ෂේත්‍රයම පත්ව තිබෙන්නේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරිමේ ප්‍රතිපත්තිය මේ රටට හඳුන්වල දුන්නේ 1977දී බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ රජය. ඒ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට දැරූ උත්සාහය සහ අධ්‍යාපන ධවල පත්‍රිකාව ඔස්සේ. නමුත් එයින් පටන් ගත් අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාවලිය පසුගිය වසර 20 ක් පුරා යම් තරමින් අඩපණ වී තිබුණා. එහෙම වෙන්න හේතුව රටේ පාලකයන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුගමන කරන ලද ප්‍රතිපත්තිවල ඇති වු සුබදායක තත්ත්වයක් නෙවෙයි, අධ්‍යාපනය විකිණීම සඳහා සමාජ අනුමැතිය ලබාගන්න අවශ්‍ය දේශපාලන බලය ඔවුන් සතුව නොතිබීමයි. නමුත් 2010 න් පස්සේ මේ තත්ත්වයේ සීඝ්‍ර වෙනසක් ඇතිවෙනවා. පසුගිය විසි වසරක පමණ කාලයක් තිස්සේ ලංකාවේ කිසිදු පාලකයෙකුට කිරීමට නොහැකි වුණු නව ලිබරල් ප්‍රතිපත්ති කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ ට හැකියාව ලැබුණා. එයට හේතුව ආණ්ඩුව 2009 දී ලද යුද ජයගහණයයි. එය හුවා දක්වමින් ආණ්ඩුව තමන් වෙත නතු කරගත් අසීමාන්තික සමාජ සහ දේශපාලන බලය උපයෝගි කරගෙන එතෙක් ක්‍රියාවට නැගීමට නොහැකිව තිබුණ කොල්ලකාරී ආර්ථික ප්‍රතිසංස්කරණයක් ක්‍රියාවට නැගිමට උත්සාහ කළා. එහි එක් පියවරක් තමයි, අධ්‍යාපනය සම්බන්ධයෙන් එතෙක් නාමිකව හෝ ඉතිරිව තිබුණු සියළු ගුණාත්මක අගයන් විනාශ කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට මුල පිරීම. 2010න් පස්සේ එය වඩා වේගවත් සහ නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසයි ක්‍රියාවට නැගෙන්නේ.

මේ කාලය ඇතුළත පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹිමට අවසර ලැබෙනවා පමණක් නොවෙයි ඒවාට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රැකවරණය ලැබෙනවා. උදාහරණයක් විදියට මාල‍‍ඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධියක් රුපියල් ලක්ෂ 120ක විතර මුදලකට විකිණෙනවා. අපි දන්නවා උසස් පෙළ අසමත් සිසුන්ට පවා මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ගැනීමේ හිමිකමක් මේ මගින් ලැබෙනවා. එසේම අනෙක් වැදගත්ම දෙය තමයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට රජයේ විශ්ව විද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණිමට කටයුතු යොදා තිබීම. මෙතෙක් විශ්ව විද්‍යාල වලින් ලබාදුන් බාහිර උපාධිය අහෝසි කරලා එම පාඨමාලාවන් මුදලට විකිණිමේ ක්‍රියාවලියක් රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාවට නැගෙනවා. ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට, කැළණිය ආදි විශ්ව විද්‍යාලවල බාහිර උපාධිය රුපියල් 80,000 සිට 150,000 දක්වා මුදලකට අලෙවි කෙරෙනවා. ගිය අවුරුද්දෙදි විතරක් උපාධියක් රුපියල් ලක්ෂ 70 වැනි මුදලකට මිල කිරීමෙන් වෛද්‍ය පීඨයට සිසුන් 30 ට වැඩි සංඛ්‍යාවක් බඳවාගෙන තිබෙනවා. මේ සියල්ල අතර වාරයේ රජය විශ්ව විද්‍යාල සහ පාසැල් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉතා සීඝ්‍ර ලෙස කප්පාදු කරමින් සිටිනවා. මහින්ද රාජපක්‍ෂ රජය මහින්දෝදය විද්‍යාල විවෘත කළේ දෙමාපියන්ගෙන් රුපියල් 1000 බැගින් බලහත්කාරයෙන් එකතු කරමිනුයි.

මේ සියළු තත්ත්වයනට එරෙහිවයි විශ්ව විද්‍යාල සිසුන් ලෙස අපි සටන් මගට පිවිසෙන්නේ. ගෙවුනු අවුරුදු 4-5 ඇතුළත ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි මර්දනය උත්සන්න වුණා. පසුගිය වසර 4 ඇතුළත විතරක් ශිෂ්‍ය ක්‍රියාකාරින් 1500කට වැඩි ප්‍රමාණයකගේ ශිෂ්‍ය භාවය ආණ්ඩුව විසින් අහෝසි කරලා තිබෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් මැර ප්‍රහාරයන්ට ලක්කරනු ලැබුවා. සිය ගණනක් සිරගත කළා. ඒ වගේම අවුරුදු 20කට පසු දකුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක්ව ආණ්ඩුව විසින් ඝාතනය කරනු ලැබුවා. විශ්ව විද්‍යාල ගණනාවක ශිෂ්‍ය සංගම් කාර්යාල සීල් තිබ්බා. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට, සිසු නායකයන්ට විශ්ව විද්‍යාලවලට ඇතුල්වීම තහනම් කරමින් විශ්ව විද්‍යාල තහනම් කලාප බවට පත් කළා. අපි අපේ සටන ඉදිරියට ගෙන යමින් තියෙන්නේ මේ සියල්ලට මුහුණ දෙමිනුයි.

ඔබ සඳහන් කළ ගැටළු සහ අභියෝග ජයගන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යෝජනා කරන්නේ මොනවගේ විසඳුම්ද?

නජිත්: ඇත්තෙන්ම මේ ප්‍රශ්නය ලංකාවට විතරක් සිමා වුණු එකක් නොවෙයි. මේක ගෝලීය ආර්ථිකය ඇතුළේ දකින්නට තියෙන පොදු ලක්ෂණයක්. '70 දශකයේ ඇතිවන ආර්ථික අර්බුදයත් එක්ක ලෝකය නව ලිබරල් ආර්ථික රටාවන් දිහාවට තල්ලු වෙනවා. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙන්නේ ඒ අනුවයි. ශිෂ්‍ය ණය ක්‍රම හරහා ගාස්තු ගෙවමින් අධ්‍යාපනය ලැබීමේ ක්‍රමවේදය ලෝකය පුරා ව්‍යාප්ත වන්නට ගතවුණේ ඉතාමත්ම කෙටි කාලයක්. ඒ අතර වාරයේ යම් යම් අඩුපාඩු සහිතව වුණත් ලංකාවේ යම් මට්ටමකින් නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කෙරුණු බව අපි දන්නවා. නමුත් 2008 ඇතිවන ලෝක ආර්ථික අර්බුදයත් එක්ක එතෙක් ලාභ ඉපැයීමට නොහැකිව තිබුණු සියල්ල ඒ තැනට රැගෙන යාමට ආණ්ඩුව කටයුතු යෙදුවා. මේ වෙන කොටත් ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්යවරුන් නිදහස් අධ්‍යපනයේ අයිතිය වෙනුවෙන් සටන් වදිනවා. එනිසා වර්තමානය වන විට අධ්‍යාපනයේ අයිතිය ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. අපි ලංකාවේ තත්ත්වය අවබෝධ කරගන්නේ එවැනි වටපිටාවකයි.

අධ්‍යාපනය කියන්නේ විකිණිය හැකි ලාභ ඉපයිය හැකි වෙළඳ භාණ්ඩයක් බවට දැන් පත් කරලා තිබෙනවා. ඒ‍කේ ප්‍රතිඵල තමයි අපි මේ දැන් භුක්ති විඳින්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව සියළු වියදම් වැඩි කරන කොට අධ්‍යාපන වියදම් විතරක් කපා හරිමින් නිදහස් අධ්‍යාපනය අහෝසි කර දමන්න තීරණය කරලා තියෙන්නේ. මේ තත්ත්වය පාලකයන් එක්ක එකට ඉඳගෙන විසඳන්න පුලුවන් එකක් නොවෙයි. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව වෙනස් වුණ පමණින් මේ ප්‍රතිපත්ති වෙනස් නොවෙන බව අපි දන්නවා. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් ශිෂ්‍යයන් ප්‍රමුඛ මෙයින් පිඩා විඳින සියළු පාර්ශවයන් එක් පෙරමුණකට ඇවිත් සටන් කිරීම අත්‍යවශ්‍යයි.

අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කර ගැනිමේ අරගලයක් පසුගිය කාලයේදි නොයෙක් පාර්ශවයන්ගේ දායකත්වය ඇතුව දියත් කළ බව අපි දන්නවා. නමුත් මේ වෙනකොට ඒ සම්බන්ධව කිසිදු කතිකාවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇයි?

නජිත්: අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රමාණය ගැන අන්තරය ඉතිහාසයේ ඉඳන්ම යම්, යම් අරගලවල නිරතව තිබෙනවා. මෑතදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ එක ඉල්ලීමක් විදියටයි අධ්‍යාපනය සඳහා 6% ඉල්ලීම ඉදිරිපත් වෙන්නේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භයේ පටන්ම එයට විවේචනාත්මක සහායක් පළ කළා. විශ්ව විද්‍යාල සිසුන් විදියට අපි ඒ අරගලය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු කියලා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියන කොට අපේ සටන් පාඨය වුණේ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් රැකගනිමු කියන සටන් පාඨය . පාලකයන්ගේ අරමුණ රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමින් එයට මිලක් නියම කිරිම. අපි විශ්වාස කරනවා කවර තත්ත්වයන් යටතේ හෝ පසුගිය කාලයේදි මෙම 6% සටන් පාඨය නිසියාකාරව සමාජ ගත නොකළ බව. ඒ නිසා ඒ සඳහා අඛණ්ඩ ඒකාබද්ධ අරගලයක් දියත් කළ යුතු වනවා.

අධ්‍යාපනයට 6%ක්

පැවති මැතිවරණයේදි විපක්ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය පළ කිරීමට හේතු වු කරුණු පැහැදිලිකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රකාශනයක් නිකුත්කළ ඔබ දන්නවා ඇති. නමුත් 6% ඉල්ලීම පිළිබඳව හෝ ඔබ කියන අධ්‍යාපනයේ නිදහස හෝ නිදහස් අධ්‍යාපනය ගැන කිසිවක් ඒ ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබුණේ නැහැ. ඔබේ විග්‍රහයට අනුව ඒ වගේ නොසළකා හැරීමක් සිදුවෙන්න ඇත්තේ ඇයි?

නජිත්: විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නමින් එහි සමාජිකයන් බහුතරයක් පොදු ආපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දුන්නු බව අපි දන්නවා. ඒ ගැන අන්තරයේ මතය ලිඛිතව සරසවි ආචාර්යවරුන්ට අපි දැනුම් දුන්නා. අපේ අවබෝධයට අනුව මේ පවතින අර්බුදය කාගේවත් වේදිකාවකට නැගලා විසඳන්න පුළුවන් එකක් නොවෙයි. මහින්දට විරුද්ධව මෛත්‍රී හෝ මෛත්‍රීට විරුද්ධව මහින්ද හෝ තෝරාගෙන මේ අර්බුදයට විසඳුමක් සොයන්න බැහැ. මේක ප්‍රතිපත්තිමය ගැටළුවක්. ඒ තමයි නව ලිබරල් ධනවාදය යටතේ සිදුකෙරීගෙන යන අධ්‍යාපනය විකිණිමේ ක්‍රියාවලිය. ඒ නිසා තමයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කපා හරින්නේ. උසස් තාක්‍ෂණ පාඨමාලා කප්පාදු කරන්නේ. පාසැල් අධ්‍යාපනය ක්‍රමානුකූලව විනාශ කරන්නේ. මහින්ද රාජපක්‍ෂගේ පාලනයට සමාන පාලනයක් නැවත ගේන්න කිසිම උවමනාවක් අපිට නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඳවුරේ ඉන්නේ කවුද? එහි සංයුතිය මොකක්ද? ඒ අය, ඉතිහාසයේදි ශිෂ්‍ය අරගල වෙනුවෙන්, අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිය පිරිසක්ද? මෛත්‍රීපාල සිරිසේන මෙයට මාසෙකට කලිනුත් මහින්ද රාජපක්‍ෂ රජයේ ඇමතිවරයෙක් ලෙස සියලු මර්දන අණ පනත් රෙගුලාසිවලට පක්‍ෂව අත් උස්සපු, ඒ ප්‍රතිපත්ති අනුමත කරපු කෙනෙක්. ඒ නිසා මේ සියලු පාර්ශවයන් සම්බන්ධවම අපිට තියෙන්නේ විවේචනයක්.

අනෙක 6% ක් ගැන සංවාද කළාට ඇත්තෙන්ම වාර්ෂිකව අධ්‍යාපනයට වෙන් කෙරෙන්නේ 1.1%. අපි හිතමු, දළ වශයෙන් 1.5% කියලා. ඒ ප්‍රමාණයෙන් තමයි විශ්ව විද්‍යාල 16 ක්, උසස් අධ්‍යාපන ආයතන 17 ක්, කාර්මික විද්‍යාල 37 ක්, පාසල් 9000 ට ආසන්න සංඛ්‍යාවක් නඩත්තු කරන්නේ. අලුත් පාලකයන් මේ තත්ත්වය වෙනස් කරාවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන්නෙත් අධ්‍යාපනය වෙනස් ආකෘතියක් යටතේ ලාභ ඉපැයීමේ ව්‍යාපෘතියක් බවට පත්කිරිමට තියෙන සැළැස්මයි.

මහින්ද රාජපක්‍ෂ කොළයක නොලියා කරන දෙයත්, මෛත්‍රීපාල සිරිසේන කොලයක ලියා කිරීමට සුදානම් වන දේ අතරත් කිසිම ගුණාත්මක, සාධනීය වෙනසක් තියෙනවා කියලා අපි දකින්නේ නැහැ.මේ කියන මතය මේ මොහොතේ ජනප්‍රිය දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක තමයි පහුවෙලා හරි අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙන තිත්ත ඇත්ත. මේ රජයන් දෙකේම අධ්‍යාපන ප්‍රතිපත්තිය එකයි. මේ තත්ත්වය මතයි අන්තරය මේ අපේක්‍ෂකයින් දෙන්නාටම විරුද්ධ වුණේ නමුත් සරසවි ආචාර්යවරුන් එක රජෙක්ගෙන් පාඩම් ඉගෙන නොගෙන තවත් රජෙක් බලයට ගේන්න වේදිකාවට නැග්ගා. ඒ ගැන ඇත්තටම අපිට තියෙන්නේ ගැඹුරු කණගාටුවක්.

සිංහල ජාතිවාදයට යටත් වීම

අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් වෙන් කරවා ගැනීමේ අරගලයේදි ඔබේ සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරින් දෙදෙනෙක් මරණයට පත්වුණ බව අපිට මතකයි. ඒ අවස්ථාවේදි රජය සහ වගකිව යුතු පාර්ශවයන් ඒ මරණ රිය අනතුරක ප්‍රතිඵලයක් විදියට හඳුන්වනු ලැබුණත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දිගටම කිව්වේ ඒක සැළසුම් සහගත ඝාතනයක් බවයි. ඒ වඅණත්, මේ වෙනකොට ඒ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් හෝ මැදිහත් වීමක් අන්තරේ පැත්තෙන් සිදුවන බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ?

නජිත්: මං හිතන්නේ ඒක පැහැදිලි කළ යුතුම දෙයක්. මේ වෙනකොටත්, ඒ ඝාතනයන් සම්බන්ධව අධිකරණය ඉදිරියේ කරුණු විභාග වෙමින් තිබෙනවා. අපි ඉතාම විවෘතව කියනවා, සිද්ධවුණේ අනතුරක් නෙවෙයි, සැළසුම් සහගත ඝාතනයක් කියලා. පැවති රජය ඒ සඳහා පැහැදිලිවම වගකිව යුතුයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත් වීම සහ සොයා බැලිම් නිසා අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගියත්, ආණ්ඩුවේ පාර්ශවයෙන් උත්සාහ කළේ ඒ ප්‍රයත්නය කඩාකප්පල් කරන්න කළ හැකි හැම දෙයක්ම කරන්නයි. මේ වෙන තුරුත් මියගිය එක් ශිෂ්‍යයෙකුගේ ජංගම දුරකතනය හොයාගන්න බැරි වෙලා තිබෙනවා. පොලිස් පරීක්ෂණ සිද්ධ වුණේ ඉතාම පක්ෂග්‍රාහී ආකාරයෙන්. බෙහෝ ප්‍රකාශයන් එකිනෙකට පරස්පරයි. රස පරීක්‍ෂක වාර්තාව පවා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අධිකරණ නියෝගයන් නොතකා හරිමින්. අපිට කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ වෙනු‍වෙන් උද්ඝෝෂණ කරන එක විතරයි. නමුත් පාලකයන් විසින් කිසිම දවසක සැබෑ ඝාතකයන් නීතිය ඉදිරියට පමුණුවාවි කියලා අපි‍ කොහෙත්ම විශ්වස කරන්නේ නැහැ. ඉතිහාසයේ සිද්ධවුණු කිසිම සිසු ඝාතනයක් සම්බන්ධව එවැනි විශ්වාසයක් අපට ලබා දීලා නැහැ. නමුත් අපි අපේ සටන නතර කරන්නේත් නැහැ.

යුද්ධාවසානයෙන් පසුව උතුරු-නැගෙනහිර දෙමළ ජාතික සරසවි සිසුන් ආරක්‍ෂක අංශවල ප්‍රශ්න කිරීම් , අත් අඩංගුවට පත්වීම් සහ නොයෙක් විදියේ හිංසාකිරීම් වලට ලක්කළ සහ ලක් කරමින් තිබෙන බව ඔබ දන්නවා ඇති. මීටපෙර අවස්ථාවක ඔබ සඳහන් කළ කරපු අර්බුදයන් ඇතුළේ මේ තත්ත්වය හඳුනාගෙන තියෙන්නේ කොහොමද?

නජිත්: දකුණේ සමාජයට යුද්ධය අවසන් වුණාට උතුරේ සමාජයට ඒක එහෙම නොවෙයි. උතුරු-නැගෙනහිර විශ්ව විද්‍යාලවල සහෝදර සහෝදරියන්ගේ ප්‍රකාශවලින් ඉතාම පැහැදිලියි ඔවුන්ගේ ජීවිතවල සැබෑ තත්ත්වය කොයි වගේද කියන එක. රටේ සෙසු පළාත්වලට බලපාන සිවිල් නීති නොවෙයි උතුරට බලපාන්නේ. දැඩි හමුදා පාලනයකට යටත් කෙරුණු තත්ත්වයකුයි උතුරු නැගෙනහිර දකින්නට තියෙන්නේ. මෙයට අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඒ යුද්ධයෙන් මළවුන් සිහිපත් කරමින් සිදු කළ පහන් දැල්වීම, ප්‍රචණ්ඩ මර්දන බලය යොදවාගෙන නවත්වන අදහසින් කළ දෙයක්. එතැනදී හමුදාව සිසු - සිසුවියනට ඉතාම අමානුෂික විදියට පහර දුන්නා. දකුණේ සමාජය තවමත් ඒවා අනුමත කරන තත්ත්වයකයි ඉන්නේ. නමුත් අපි එයට විරුද්ධව උද්ඝෝෂණය කළා. නමුත් ඒ තත්ත්වය ප්‍රමාණවත් නැති බවත් අපි පිළිගන්නවා.

ඔබේ උත්තරය නිසාම මට තවත් ප්‍රශ්නයක් නොඅසා බැහැ. දකුණේ බොහෝමයක් බහුජන සංවිධාන, දේශපාලන පක්‍ෂ දෙමළ ජනතාවට විරුද්ධව ආණ්ඩුව සිදුකළ යුද්ධයේදි කොන්දේසි විරහිත සහයෝගයක් පළ කළා. විශේෂයෙන්ම විවිධ අණ පනත් සම්මත කොට ගැනීමේදි ඒවා යුද්ධය ජය ගැනීමට අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග විදියට තමයි ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන දකුණේ සිංහල ජනතාවට ඒත්තු ගැන්නුවේ. නමුත් ඒ ප්‍රවාහය ශක්තිමත්ව මුල් බැස ගන්නකොට, අන්තරය ඒ තත්ත්වයට විරෝධය පළ නොකළා විතරක් නොවෙයි, ඒක යොදාගෙන දෙමළ ජනතාවට විරුද්ධව කරපු මර්ධනය හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව පැහැදිලිව පේන්න තිබුණා. මේ නිහඬතාවයට බලපෑවේ මොනවගේ හේතු ද? මේ තත්ත්වය ගැන ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්ක අන්තරයට තිබුණ සම්බන්ධතාවය ප්‍රතිපත්තිමය එකඟතාවයක් තරමටම ස්ථාවර එකක් බවයි පිටතට පේන්න තිබුණේ...

නජිත්: ඔබේ ප්‍රශ්නයේ එක් කොටසක් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒක තමයි දකුණේ සමස්ත සමාජයම සිංහල ජාතිවාදයෙන් ඔද්දල් වෙලා තිබුණු යුගයක ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අප තිබුණු නිහඬතාවය. ඒ සම්බන්ධව ස්වයං විවේචනයක් අපිට තිබෙනවා. ඒ තමයි ඔබ සඳහන් කරපු ආකාරයට එදා දෙමළ ජනතාවට එරෙහි යුද්ධයේදි ඉස්සරහට ඇවිත් ඒක වැරදි බව ප්‍රකාශ කරන්න හෝ ඒ මර්දන අණ පනත් වලට එරෙහිව පෙනි සිටින්න හෝ අපි කිසිදු විදියටකට ක්‍රියා නොකිරීම. අපි එල්ටීටීඊ සංවිධානයේ අරමුණු වලට විරුද්ධයි. නමුත් දෙමළ ජනතාවට එරෙහිව මුදා හැරපු යුද්ධයේදී දකුණේ සිංහල සමාජයේ ජාතිවාදි මැදිහත් වීම් සම්බන්ධව ඉතිහාසයේ අපේ ක්‍රියාකාරකම් දිහාවට අපි නැවත හැරී බැලිය යුතුයි. ඒ සම්බන්ධව ස්වයං විවේචනයකට අපි දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය විසියට එළඹිය යුතුයි. නමුත් අපි එය දකින්නේ ඔබ සඳහන් කළ ආකාරයට ජවිපෙ හෝ සමාජවාදි ශීෂ්‍ය සංගමය එක්ක අපිට තිබුණ හෝ තිබෙන එකඟතාවයක් නිසා ඇති වූ තත්ත්වයක් විදියට නෙවෙයි. ඒකට හේතුව, ඒ මොහොතේදි මුළු සිංහල සමාජයම දැරූ ජාතිවාදි දෙමළ විරෝධය බිඳගෙන එයට එරෙහිව ඉදිරියට යෑමට අපිට තිබුණ නොහැකි කමයි.☐

© JDS

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us