2015 ජනාධිපතිවරණය පැවැත්වීමේදී මුහුණ දුන් අභියෝග ගැනත්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ගැනත් විමසමින් කළ එම සාකච්ඡාවේදී විමසන ලද ප්‍රශ්න හා ඒවාට ලැබුණ පිළිතුරු මෙසේ ය.
* මෙදා ජනාධිපතිවරණය ගැන මොකද හිතන්නෙ?
මේ ජනාධිපතිවරණයට අපි කරපු දෙයක් නැහැ. අපි කළේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දෙගොල්ලන්ටම එක හා සමාන පහසුකම් සලසන සහන සලසන ක්‍රිකට් පිටියක් නැතිනම් තණනිල්ලක් සකස් කර දීම පමණයි. අපි එම කාර්යයි ඉටුකළේ.
* ඔබට ඔබේ කටයුතු කරගෙන යන්නට බාධා හා ප්‍රශ්න ඇතිවුණා ද?
විශේෂයෙන්ම රජයේ මාධ්‍ය ගැන කිව යුතුයි. මාධ්‍යය පාලනය කරන්න බැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ රජයේ මාධ්‍යය ආණ්ඩුවේ මාධ්‍ය ලෙස ක්‍රියා කිරීම නිසා සිදුවුණ වරද. අපි ඉල්ලා සිටින්නෙ රජයේ මාධ්‍ය ඉදිරියටත් ආණ්ඩුවේ මාධ්‍ය ලෙස හැසිරෙන්න එපා කියලා.
ඒවා මහජනයාගේ මාධ්‍ය ලෙස හැසිරෙන්න ඕනෙ. එහෙම හැසිරෙනවානම් ඒක හොඳටම ඇති. අඩුම ගාණේ අවසාන පැය හතළිස් අටේවත් රජයට සෘජු මාධ්‍ය ලෙස හැඳින්වෙන ගුවන්විදුලිය, රූපවාහිනිය, රජය සතු සමාගම් වන ස්වාධීන රූපවාහිනිය, ලේක්හවුස් ආයතනය මේ ආයතන හතරම මවිසින් ලබාදුන් මාධ්‍ය උපමාන අනුගමන කළේ නැහැ. අන්තිම පැය හතළිස් අටේත් වක්‍ර ආකාරයෙන් වංගු දාලා වැඩ කරන්න ගියා.
ඒ වගේම පෞද්ගලික මාධ්‍යයත් හිතනවා අපිට ඕනෑ දෙයක් කරන්න පුළුවන් බවට. නමුත් එහෙම කරන්න බැහැ. ගෙවල්වල උදේ 6 ට ටීවී එක දැම්මම රෑ එකොළහ වෙනකම් දුවනවා. එහෙම ගෙදරක උදේ ඉඳන් රෑ වනතුරුම එකම පණිවුඩ ගියොත් මිනිස්සුන්ගේ මනස ඒ ආකාරයට හැඩ ගැසෙනවා නේද.
මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නට ඉදිරිපත් වුණ 19 දෙනාටම සමාන ලෙස ප්‍රචාරක අවස්ථා දෙන්න බැහැ. නමුත් මගේ අදහස අන්තිම 80 - 20 කියන විදියට, 50 - 50 නොවෙයි 65 - 35 නිසා අඩුම ගණනේ 80 - 20 ටත් අඩුම වශයෙන් 90 - 10 වත් නැහැ. එහෙමත් නැතිනම් සියයට 99 - 1 වත් පත්තරේ අනෙක් අයගේ දැම්මේ නැහැ. ඒකයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය.
* මෙදා මැතිවරණයේදී ඔබ දුන් ආදර්ශය රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් ඇතිව වැඩ කරන්න පුළුවන් පණිවිඩය ප්‍රකාශ වෙනව. ඒ ගැන මොකද හිතන්නෙ?
රාජ්‍ය නිලධාරීන් හැමෝටම කොන්දක් තියෙනවා. වෙලා තියෙන්නෙ එම නිලධාරීන්ට උඩින් කඩුවක් එල්ලෙනවා එයින් තමුන් කැපෙයි කියලා හිතනවා. ඒ නිසා වැඩ කරන්නෙ නැහැ. දැනුත් එහෙම එකක් තියෙනවනෙ. කලින් තිබුණානම් නිලධාරීන් බයට පක්ෂපාතීව වැඩ කරයි කියලා අපි ඒ නිලධාරීන් හදලා ගන්නවා.
බෙලි කපලා අලුතින් කට්ටිය ගේනවා ද. එතකොට මොනව ද වෙන්නෙ ඒ එන නිලධාරීන් හිතනවා අපි මේ අය සිටියොත් පමණයි වැඩ කරන්න පුළුවන් කියා. එතකොට ඇමෙරිකාව වගේ රටවල නිලධාරී කණ්ඩායමක් ආණ්ඩු එනකොට එනවා ආණ්ඩු යනකොට යනවා. එහෙම ක්‍රමයක් අපේ රටේ නැහැ.
බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයා එක දිගටම අගමැතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළා. රජයේ නිලධාරීන්ගෙත් බැහැර අය මෑත කාලයේ පරිපාලනයට ගෙනැවිත් තියෙනවා. මම බලන ඇහෙන් අනික් අයට බලන්න බැහැ. මොකද අපේ රටේ රාජ්‍ය සේවා කොමිසමක් ස්ථිර වශයෙන් නැහැනෙ.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ මගේ ලිපිකරුවන්ට කාර්යාල කාර්ය සහායකයන්ට පවා ඡන්දයෙන් පසුවත් මාරු කරන්න බැහැ. අනික් තැන්වල එහෙම එකක් නැහැ. මට බලපවත්වන්නේ කරුණු දෙකයි. එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දෙවැන්න මගේ හෘද සාක්කියයි. මීට උඩින් මට කවුරුවත් නැහැ.
* ස්වාධීන කොමිෂන් සභාවකුත් නැතිවයි ඔබ මැතිවරණ කොමසාරිස්වරයා ලෙස මේ කාර්යභාරය සිදුකළේ. නමුත් යම් යම් තීන්දු තීරණ ගැනීමේදී බාධා ඇතිවුණා නේද?
දැන් මෙහෙමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියන ඔය කොමිසම තිබුණත් ඒවාට යාන්ත්‍රණයක් නැහැ. ස්වාධීන කොමිෂන් සභාවක් කියන එකෙන් අදහස් කරන්නේ ස්වාධීන නැති කොමිෂන් සභාවක් තියනව කියන (ඒකෙන් අදහස් වෙනව ද ස්වාධීන නොවන කොමිෂන් සභා නැහැ) කවුරුත් එහෙම නැහැ. හැබැයි ඉතින් සමහර කොමිෂන් සභා පත්කළාම ඒවායේ වාර්තාවක්වත් එන්නේ නැහැ.
ඉන්දියාවේ කොමිසම වගේ එකක් තිබුණත් ඒවායේ ඉන්නේත් රජයේ අය. එක්කෝ ඉන්දියානු පරිපාලන සේවයේ නිලධාරීන්. නැතිනම් ඉන්දියානු ආදායම් සේවයේ යෙදෙන නිලධාරීන්.
අපේ යෝජිතව තිබුණ කොමිෂන් සභාවටත් කවුරු පත්වේවිදැයි කියන්න කවුරුත් දන්නේ නැහැ. කලින් මේ පිළිබඳ සභාවට පත්කළේ නීතිඥයෝ පස්දෙනෙක්. අඩුම ගණනේ මේකෙ කොහොමත් නැහැ අඩුම ගාණේ කලක් තේරීම් භාර නිලධාරියකු හිටපු කෙනෙක් හරි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් කෙනෙකු හෝ නැහැ.
නැතිනම් අපේ දෙපාර්තමේන්තුව හරහා පැමිණි කෙනෙක්වත් නැහැ. දෙපාර්තමේන්තුව හරහා එන කෙනෙක් ඉන්නවානම් හරි ඒක අපිට කියන්න පුළුවන් හරි දෙයක් කියලා.
* මේ මැතිවරණයේදී එක පාර්ශ්වයක් කිව්වේ කොහොමහරි දිනනවා කියා. මිනිස්සු ඒ නිසා හිටියේ ලොකු අවිශ්වාසයකින් චකිතයකින් නේද?
මැතිවරණය කොහොම හරි දිනන්න බැහැ. කොහොම හරි ඡන්දය දිනන්න නම් හොර ඡන්ද දාන්න ඕනෙ. හොර ඡන්ද දාන්න බැහැ අපි හැඳුනුම්පත් බලන නිසා. මැර ඡන්ද දාන්න බැහැ අපි ඔළුවට වෙඩි තියන්න කියපු නිසා. ලොකුම අනර්ථයක් තමයි ඡන්ද මංකොල්ලය.
ඒ නිසා මම නියෝග දීලා තිබුණේ එහෙම කෙනෙක් ඡන්ද මංකොල්ලයක් සඳහා එනවානම් ඔළුවට වෙඩි තියන්න. ඒ වගේම ඡන්දයේදී ඡන්ද දේපළ මංකොල්ල කන එක වරදක්. ආත්මාරක්ෂාවට වෙඩි තියන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන්නෙ ව්‍යවස්ථාවයි. ව්‍යවස්ථාදායක තෝරා පත්කර ගත්තේ ඡන්දයෙන් ඒ හින්දා අපේ ඡන්දය හොරකම් කරනවානම් ඒ අයට දඬුවම දෙන්නම ඕනෙ.
* ‘ඡන්දය දමන්න’ ඔබ මතුර මතුරා කියා සිටි දෙයක්. ජනතාව වැඩි වැඩියෙන් සහභාගිවී ඡන්දය දමන්නට මෙවර පෙළඹුණා ද?
ඡන්ද දාන්න ඡන්දදායකයන් සියයට 81 ක් පමණ පිරිසක් පැමිණියා. මෙය ඉතා සාර්ථක පියවරක්. සමහර අය ඡන්දයට ඡන්දය දාන්න ආවේ නැත්තෙ වැඩක් නැහැ යන පදනමට. තවත් සමහරු ඡන්දය දාන්න ආවේ නැත්තේ බය. ඡන්ද කාට දැම්ම ද කියා දැනගන්න පුළුවන්කම තිබෙනවා කියා හිතාගෙන.
තවත් පිරිසකගේ මතයක් තිබුණේ ඡන්දය දාන්න පැමිණියහොත් පහර දේවි යන බයට. තවත් සමහරු හිතාගෙන හිටියේ අපිට හැමදේම තියෙද්දී මොකට ද කාටවත් ඡන්දය දාන්නෙ. කාට දුන්නත් වැඩක් නැහැ යන මතයේ පිහිටාගෙන. කාට දුන්නත් වැඩක් නැහැ කියන මතය ගැන මම සලකන්නේ නැහැ. නමුත් මගේ මතය වුණේ මම ඉල්ලා සිටියේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න ඡන්දය දීම අපේ අයිතියයි. ඡන්ද පොළට එන අයට කාටවත් ගහන්න බැහැ. තර්ජනය කරන්න බැහැ. එළවා දමන්න බැහැ. ඡන්ද මංකොල්ල කන්නත් බැහැ.
රජයේ පාර්ශ්වයේත් විපක්ෂයේ පාර්ශ්වයේත් පක්ෂ නායකයන් ලේකම්වරු මේ සියලු දෙනා ඡන්දයට ලොකු සහායක් ලබා දුන්නා. අපේ පණිවුඩවලට මාධ්‍යයෙන් ලොකු සහායක් ලැබුණා. ඡන්දය පාවිච්චි කරන්න මෙදා පාර ඡන්දදායකයන් වැඩියෙන් ඒ නිසා උනන්දු වුණා. ඡන්ද වැඩියෙන් පාවිච්චි කිරීමට ජනතාව උනන්දු වීම ගැන මම හුඟාක් සතුටුයි.
* ජනාධිපතිවරණය හරියටම පැවැත්වූවා කියන ‘මනාපය’ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල අතර ප්‍රසිද්ධ වුණා.
මටනම් ඒකේ ඇති විශේෂත්වයක් නැහැ. ගෞරව හෝ විශේෂ ස්තුති මේ වෙනුවෙන් අවශ්‍ය නැහැ. මට තිබෙන හා ලැබෙන ප්‍රශංසා ඔක්කොම මාත් එක්ක වැඩ කරපු හැමෝටම මට දෙන්න පුළුවන්. මගේ නියෝජ්‍ය කොමසාරිස්වරු අනිකුත් සහකාර කොමසාරිස්වරු සහ මගේ ලිපිකරුවන් සහ මට අනුයුක්ත වෙලා හිටිය හැමෝටමත් ඒ වගේම පසුගිය 12 වැනිදා අනතුරකින් මියගිය මගේ යතුරුපැදි ධාවක ඉන්දික ක්‍රිෂාන්ත ප්‍රනාන්දු වැනි තරුණයකු වූ පොලිස් කොස්තාපල්වරයාටත් මේ සියලු දෙනාටම මැතිවරණය ගැන තිබුණේ මට තිබුණ උනන්දුවමයි. මේ ගෞරවය ස්තුතිය ලැබෙන්න ඕනෙ මේ සියලු දෙනාට.
මට කාගෙන්වත් තර්ජනයක් තිබුණේ නැහැ. නමුත් කටකතා නම් පැතිර තිබුණා. මට සහාය වුණ හැමෝටම මට ලැබුණ ගෞරවය යන්න ඕනෙ. මට ලැබෙන හොඳ නොවෙයි මම කැමැතියි මට ලැබෙන නරක බාර ගන්න. මට ලැබෙන හොඳ අනික් අයටත් මට හිමිවන නරක මට බැර කරගන්නයි මම කැමැති.
* ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී අනික් අයට සහයෝගයට තරගයෙන් ඉවත් වන්නට අපේක්ෂකයන් ක්‍රියා කළා. ඔවුන්ට නීතිමය පියවර ගෙන කටයුතු කරනවායැයි ඔබ කියා සිටියා. දැන් මොකද ඒ ගැන කියන්න තිබෙන්නෙ.
ඉල්ලා අස්වෙන්න බැහැ. ඔවුන් ගැන ප්‍රචාරය කරන්න බැහැ. සහයෝගය දෙනවා යයි කිව්වට ඉන් එහාට ඔවුන් වේදිකාවටවත් නැග්ගේ නැහැ. නගින්න බැහැ. මම කිව්වා මේ අය ගැන කිසිම පුවතක් දමන්න එපා කියා. මාධ්‍යය ඒ අවස්ථාවේදී මට විශාල සහයෝගයක් ලබා දුන්නා.
මේ තත්ත්වය නිසා යෝජනාවක් කරන්න යනවා ඡන්ද නීති සකස් කරන අයට ජනාධිපතිවරණයක් එන විට මේ ක්‍රමය වෙනස් කර රු. පනස්දාහේ ඇප විසි ගුණයකින්වත් දඩයක් අය කරන්න අපි පාර්ලිමේන්තු ඡන්දයකදී යෝජනා කරන්න යනවා හැම අපේක්ෂකයෙකුගේම පිළිගත් දේශපාලන පක්ෂවල ඇප මුදලක් දෙන්න ඕනෙ අඩුම තරමින් රුපියල් ලක්ෂයක් බැගින්වත්.
ඊට වැඩි වුණත් කමක් නැහැ. ඔවුන්ගේ වර්ෂයක වැටුප ඇප මුදලකට තියන්න පුළුවන් ඒ වගේ ක්‍රමයක්. ස්වාධීන අපේක්ෂකයකු නම් අඩුම ගණනේ මන්ත්‍රී ධුර කාලය අනුව අවුරුදු දෙකක මන්ත්‍රීවරයකුගේ වැටුප ඇප මුදලක් ලෙස තියනවානම් ඒකත් හොඳයි.
මේ වගේ මුදල් ගණන වැඩි කළොත් ඡන්ද පත්‍රිකා දිග වැඩිවීම අඩුකර ගන්නත් පුළුවන්.
* මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ රජයේ සේවකයන් පිළිබඳ පැමිණිලි ලැබී තිබෙනවා ද? ඔවුන්ට දඬුවම් කිරීමට පියවර ගන්නවා ද?
අපි පටන්ගන්න ඕනෙ කොතැනින්ද; එතැනින්ම අපි පටන් ගන්නවා. සෘජුවම දේශපාලනයේ නිරත වූ අයට.
නීති විරෝධීව මැතිවරණ වැඩ කළ රජයේ නිලධාරීන්ට එරෙහිව අපි අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. හුඟාක් පැමිණිලි ලැබී තිබෙනවා අපි ළඟදීම මේ පිළිබඳව නිවේදනයක් කරනවා. මැතිවරණ කටයුතුවල නිරත වූ රජයේ නිලධාරීන් ගැන පැමිණිලි ඉදිරිපත් කරන්න කියා. මහජනතාව එවන එම පැමිණිලි ගැනත් කටයුතු කරනවා.
* ඡන්දය ගණන් කරන අවස්ථාවේ ඔබට මුහුණ දෙන්නට සිදුවූ බරපතළ ප්‍රශ්නයකි තිබුණා ද?
මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මට එහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණේ නැහැ. බලපෑමක් ආවේ නැහැ. නමුත් මට කියන්නට බැහැ රටේ වෙනත් තැනක එහෙම කුමන්ත්‍රණයක් තිබුණා ද කියලා.
* මැතිවරණ ක්‍රමයේ වෙනසක් දැඩි නීතිරීති පැනවීමේ ක්‍රම ගැන ඔබ යෝජනා කර තිබෙනවා ද?
එහෙම ක්‍රමයක් තිබෙනවා නම් හොඳයි. මට තියෙන නීතිරීති හැටියට මට කටයුතු කරන්න බැරිකමක් නැහැ. මගේ නියෝග හොඳටම ප්‍රමාණවත්. ඡන්ද විමසීම් හා බැඳි නීතිරීති සංශෝධනය කරන්නේ නම් ඒවා සියලු පාර්ශ්වයන් සමඟ අදහස් විමසා සිදුකළ යුතුයි. පුළුල් සාකච්ඡා සංවාද සිදු කිරීමෙන් අනතුරුවයි මෙවැනි දෙයක් සිදුකළ යුතු වන්නේ. මේක භාරදූර කටයුත්තක්. ඒ නිසා සීමිත පිරිසක් මඟින් කෙටි කාලයකදී මෙවැන්නක් සිදුකිරීම නම් සුදුසු නැහැ. ඒක ප්‍රඥාගෝචර වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මට පෙන්වා දෙන්න තියෙන්නේ මේ කරුණුයි.
* ඡන්ද කාලයේදී මාධ්‍යයේ හැසිරීම ගැන ඉදිරි මැතිවරණයකදී හෝ දැනට ක්‍රියාත්මක කරන ක්‍රමයේ වෙනසක් කරනවා ද?
සියලුම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන මාධ්‍ය උපමානවලට අනුකූලව ක්‍රියා කිරීම පිළිබඳව අවශ්‍යතාව විශේෂ සැලකිල්ලකට ගත යුතුව තිබෙනවා.
අඩුම තරමින් ඇෆ්ගනිස්ථානය වැනි රටවල හඳුන්වා දී තිබෙන ඡන්ද කාලසීමාවට පමණක් බලපැවැත්වෙන විශේෂිත මාධ්‍ය කොමිසමක් පත්කිරීම හොඳයි. එවැන්නක් මැතිවරණ කොමසාරිස් ලෙස මම යෝජනා කර සිටිනවා.
* රජයේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරු ආයතන ප්‍රධානීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් මහජනතාව ද වෘත්තිය සමිති සහ විවිධ පිරිස් චෝදනා නැඟුවා. ඒ ගැන යමක් කිව්වොත්?
මෙවැනි දේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක්. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්නේ ජනාධිපතිතුමා. මේ අයට දේශපාලන අයිතිවාසිකම් හිමි ය යන අදහසක් ඇතැම් දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේත් දේශපාලන කටයුතුවලට කෙළින්ම සම්බන්ධතා ඇති පුද්ගලයන් අමාත්‍යාංශ ලේකම්වරු ලෙස පත් කිරීම නිසා බව ද පෙනී යනවා. පවතින මේ තත්ත්වය නිසා අමාත්‍යාංශ ලේකම්වරුන් සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතුවලින් ඈත්වී සිටීමට නියෝග පැනවීමත් මෙවැනි උසස් නිලධාරීන් පත්කර ගැනීමේදී ඔවුන් දේශපාලනයෙන් තොර අයගෙන් පත්කර ගැනීමට ක්‍රියා කරන්නේ නම් එය වඩාත් සුදුසු බව මට පෙන්වා දෙන්න පුළුවන්.
* මැතිවරණ කාලසීමාවේ රජයේ දේපළ යොදා ගැනීම සම්බන්ධයෙන් නැඟෙන චෝදනා ගැන ඉදිරියටවත් කිසියම් පියවරක් ගන්නවා ද?
රජයේ දේපළ අනියමින් හා කෙළින්ම යොදා ගත් අවස්ථා ගැන ලැබෙන පැමිණිලි දැන් වැඩියි. සමහර පැමිණිලි සත්‍යයෙන් තොර ඒවාය. කොහොම නමුත් මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් හා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. මේවා විමර්ශනය කිරීමට පශ්චාත් ඡන්ද විමසීම් කාලසීමාව තුළ දී ද සිදුකිරීමත් අවශ්‍ය ය යන යෝජනාවක් තිබෙනවා. ඒ ගැනත් සැලකිල්ලක් දක්වනවානම් හොඳයි.
සාකච්ඡා කළේ
සුනිල් දයා අල්විස්
silumina