කූඹියෝ ලොකු ද?

Published in කලා
Saturday, 03 February 2018 13:07

"උඹ මොනවද බොන්නෙ ?"

"උඹ මොනව බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටී විතරයි"

පසුගිය වසර 5,6ක් තිස්සේම ලාංකික ටෙලි නාට්‍ය රසික ප්‍රජාවට සිදුවූ තිබෙන්නේ මේ සන්තෑසිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපි කෙතරම් රස වර්ග වලට කැමැත්තෙන් සිටියද අපිට බොහෝ විට රහ බලන්නට ලැබුනේ සීනි නොදැමූ, කහට ගතියක් ගෑවිලාවත් නැති, නිවී ඇල්ව ගිය තේ කෝප්පයක් බඳුවූ ලාචෝරු , එදා වේල ටුවර්ස් ටෙලි කතා ගොන්නක්ය. අතරින් පතර අති විශිෂ්ඨ උත්සහායන් නොතිබුනාම නොවේ. නමුත් බොහෝවිට වුනේ පෙරකිව් ඇල්මැරුනු නාට්‍ය ගොන්නක් මැද ඒ වටිනා උත්සහයන් ප්‍රේක්ෂක අවදානයෙන් සැඟව යාමය. එවන් කාලයක කූඹියෝ යනු සැමගේ සිත් සතන් නොසිතූ පරිදි දිනාගන්නා ටෙලි සිත්තමක් බව තහවුරු කිරීමට අමුතුවෙන් අටුවාටිකා ලිවියයුතු නොවේ. පුංචි තිරයෙන් ඈත්ව සිටි බොහොමයක් දෙනා නැවතත් රූපවාහිනී තිරය ඉදිරියට ගෙන එන්නට කූඹින්ට හැකිවූ බව නොරහසකි. එය මේ වෙද්දී මෙරට ජනප්‍රියම, වැඩිම දෙනා නරඹන නාට්‍යය නොවුනත් තරුණ ප්‍රජාවන්හී ප්‍රධාන මාතෘකාවක් බවට කූඹියෝ පත්ව තිබේ. ඒ ප්‍රජාව වනාහී බොහෝ විට සමාජ ජාල තුල ඉතා සක්‍රීය පිරිස්ය. ඒ නිසා social media අස්සේ කරක් ගසනා ඕනෑම එකෙක් කූඹින්ව දනී. නමුත් එයින් පිට ඉන්නා හෝ තරුණ විය ඉක්මවූ බොහෝ දෙනෙක්ට කූඹියෝ තවමත් ගෝචරවී නැති බව නයියාට සිතේ.

පොඩි පූර්විකාවක් වගේ ලියන් ඇවිත් එක පාරටම හිතුනා භාෂා විලාසය මාරු වෙන්න ඕනි කියලා. මොකද කූඹියෝ වගේ හිතේ ලොකු ඉඩක් ගත්ත නිදහස් නිර්මාණයක් ගැන කතා කරද්දි භාෂාවත් නිදහස් වෙන්න ඕනි. ඇත්තටම කූඹියෝ අපිට වැදුනේ ඇයි. ඒකට ගොඩක් හේතු තියෙන්න පුලුවන්. මට හිතෙන්නේ ප්‍රධානම හේතුව වුනේ මුල කොටස් දහය පහළවේ තිබ්බ සිදුවීම් ටික. ඒ සිදුවීම් පහුගිය කාලයේ බිහිවුනු කිසිම නාට්‍යයක තිබුනේ නැති දේවල් ටිකක්. අඩුගානේ පහු ගිය දශකයේවත් හිටියේ නෑ මෙහෙම character එකක්. අපරාධකාරයෙක් උත්කර්ශයට නංවන , ඒ අපරාධකාරයා සිරා පොරක් ලෙස වර්ණනාත්ම දෘෂ්ටිකෝනයෙන් ප්‍රේක්ෂක ඇස් ඉස්සරහට ගෙන ඒමක් ලංකාවේ වෙලා නැතුව ඇති. එහෙම නොවෙන්නේ ගොඩක් වෙලාවට අපේ සංස්කෘතියත් එක්ක. ආගමික මතවාද දැඩි ලෙස කාවැදුණු අපේ සංස්කෘතිය තුලින් කවදාවත් අපරාධකාරයෙක් හෝ අනුන්ව පෙලලා ජීවත් වන්නෙක් උත්කර්ශයට නංවන්න ඉඩක් දෙන්නේ නෑ. නමුත් ඇත්තටම අපේ ජීවිතේ අහුමුලු වල මේ වගේ චරිත හැංගි හොරා ජීවත් වෙනවා. අපේ ගම්වල ජීවත් වෙනවා හිත හොඳ හොරු, මැරයෝ. එහෙමත් නැත්නම් ලොකුවට දූෂණ වංචා කරන දේශපාලකයෝ. මේ උදවිය ඒ වැරදි දේවල් කලාට ගමේ මිනිස්සුත් එක්ක හරිම හිතවත් කමෙන් ජීවත් වෙනවා. ඔවුන්ට ආදරෙන් සලකනවා. ඔවුන්ගේ හද ගැස්ම , ජීවන විලාසයත් එක්ක බද්ධ වෙන්න දන්නවා.ඒ නිසා එලිපිට කියන්න නොගියත් මිනිස්සු හිත යටින් ඒ චරිත වලට ගොඩක් මනාපයි.

සංස්කෘතික හා නීතිමය තත්වයන් උඩ වැරදිකරුවන් වන මේ චරිත වලට තමන්ගේ ඇති කැමැත්ත කවුරුත් හෙලිකරන්නේ අඩුවෙන්.ඉතින් ඒ ගතිය අපේ කලා නිර්මාණ වලත් එහෙමමයි. ගොඩක් වෙලාවට රූප මාධ්‍යයේ එහෙමයි. ඒ නිසා අපේ නිර්මාණ වල හැම විටම වගේ ඉදිරියට ගේන්නේ අර කිව්ව අපරාධකාරයො නැත්නම් ගේම්කාරයො නිසා පීඩාවට පත්වෙන චරිත වල දුක. ඔවුන් හොටු පෙරන් අඬන , නැත්නම් පොලවෙ අත ගගහා සාප කරන වගේ දර්ශන. ඒ අතර අපරාධකාරයා නැත්නම් ගේම් කාරයා, රැවුල වවාගත්ත , කැත, දරුණු, කිසිම ඉගනීමක් නැති හිතක් පපුවක් නැතු දුෂ්ටයෙක් විදිහට. නමුත් බටහිර බිහිවන නිර්මාණ මේ විදිහට එක් අන්තයකට සීමා වෙන්නේ නෑ. ඔවුන්ගේ ගොඩක් නිර්මාණ තියනවා අපරාධකරුවා උත්කර්ශයට නංවන. ඔහුගේ දැනුම ගැන , තීක්ෂණ බුද්ධිය ගැන අපිව පුදුම කරවන මේ නිර්මාණ වලින් අපි ආදරය කරන ගේම් කාරයො බිහි කරනවා. ඒ කරන්නේ ඔවුන්ගෙන් පීඩාවට පත්වෙන පාර්ශවයේ දුක හංගමින්. මේ අත්දැකීම අපේ නිර්මාණ ප්‍රවේශයන් වලට සෑහෙන අලුත්. කූඹියෝ තුල අපිට හමුවෙන්නේ අන්න ඒ decent ගේම් කාරයා. එතකොට අපෙන් සැඟව යන්නේ ඔහු නිසා අගතියට පත්වෙන පාර්ශවයේ දුක වේදනාව.

අනික් කාරනය අපිට මේකේ ලංකාවේ 99%ක්ම නිර්මාන වල මුනගැහෙන පවුල මුන ගැහෙන්නේ නෑ. ඒ කියන්නේ තාත්තා, අම්මා, දුව, පුතාල දෙන්නා එකට වාඩි වෙලා බත් කන, නාහෙට අහන්නේ නැති පුතාට බනින අම්මා, හොර ලව් තියන කෙල්ල, ඒ දුව නිසා අඬන අම්මා , සැමියගේ අයතා සම්බන්ධයන් හෝ මහ රෑබෝවෙනකල් ගෙදර එන්නේ නැති එක ගැන පැමිණිලි කරන බිරිඳ ,ඔය වගේ පහුගිය කාලේ බිහි වුනු එදාවේල ටුවර්ස් නාට්ටි කෑලි වල තිබ්බ මේ වාත වෙන පවුල කූඹියෝ වල නෑ. ඒකත් බටහිර නිර්මාණ වලට ආශක්ත වුනු තරුණ පරම්පරාව කැමති දෙයක්. ඔය පවුලේ ගැටුම් ඉවරයක් නැතිව උලුප්පලා පෙන්නන විකාර සහගත trend එක අපේ නිර්මාණ කලාවට ගෑවුනේ ඉන්දියානු පල් හෑලි ටෙලි නාට්‍ය වලින් වෙන්න ඕනි. ඒ වගේ නිතර ගැටුම් ඇතිවන ආතතිගත පවුල් සංස්ථාවන් දිහා කම්මුලේ අතගහගෙන බලන්න අපේ අම්මලාගේ පරම්පරාවේ උදවිය කැමති වුනත් අපේ තරුණ පරම්පරාවනම් කැමති නැති බව පැහැදිලියි.

තුන්වෙනි කාරනාව මේකේ අපිට හම්බෙන ජෝකර්. ඇත්තටම එහෙම ජෝකර් කෙනෙක් මේකේ නැහැ. ඒ ජෝකර් වචනේ මම ගන්නේ පහුගිය කාලේ පුරාම බිහි වෙන නාට්‍ය වල ජෝකර් කෙනෙක් ඉන්න නිසා. කතාවට කිසිම අදාලත්වයක් නැති මෝඩ චූන් දෙබස් ටිකක් දාලා කතාව දික් ගස්සන්න භාවිත කරන ජෝකර් කෙනෙක් මේ හැම නාට්‍යයකම ඉන්නවා. හුදෙක් සම්ප්‍රප්පලාප විකාර සහගත ඉරියව් වලින් කියවන මේ ජෝකර් දැන් කල් ඉකුත් වෙලා කුණු ගඳ ගහන චරිතයක්. නමුත් කූඹියෝ වල අපිට හම්බෙන , අපිව හිනස්සන චරිතේ එහෙම කතාව දික් ගස්සන්න භාවිත කරන , උඩින් පහත් වෙන චරිතයක් නෙවී. ඔහු මේ නට්‍යයේ ප්‍රධාන නලුවෙක් වෙන ප්‍රියන්ත මහ-උල්පතගම. ප්‍රියන්තගේ චරිතේ තමයි මේ නාට්‍යයේ ලබැඳියන් 80%කමගේම හිත අමන්දානන්දයට පත්කරපු චරිතෙ. ජෝකරයෙක් නොවී අපිව හිනස්සනේ කොහොමද කියලා ඔහු අපිට පෙන්නුවා. අපිව පුදුම කෙරෙව්ව ඔහුගේ රංගන කෞශල්‍යයෙන්. ඒ තරමට අපිව හිනස්සන්න පුලුවන් ප්‍රියන්තට අපිව අඬවන්නත් පුලුවන් කියලා කතාවේ අන්තිම හරියට එද්දි වැටහෙනකොට අපි තව තවත් ඔහුට ලංවුනා.

හතර වෙනි කරුණ වෙන්නේ අපිට කූඹියෝ වල හම්බ්වෙන්නේ නෑ ලව් කරන තරුණ ජෝඩු. අධ්‍යතනයේ බලන බලන හැම කතාවෙම ඉන්නවා තමන්ගේ සම්බන්ධය අමාරුවෙන් පන ඇද ඇද ගැටගහගෙන යන තරුණ ජෝඩු. කොණ්ඩෙ පාට කරපු කෙල්ල. එයාගේ පස්සෙන් හැපි හැපි යන කොල්ලා. මුන් පාරවල් ගානේ රණ්ඩු වෙමින්, ෆෝන් එකෙන් රණ්ඩු වෙමින්, කඩවල් ගානේ තොඳොල් වෙමින් ගලාගෙන වාත ලව් එක අපිට කූඹියෝ වල හම්බවෙන්නේ නෑ. විරුද්ධ ලිංගිකයන් අතරෙ තියන මේ ආතති සහගත ලව් එක රැකගන්න ඔවුන් දෙදෙනා සහ උන් වටේ ඉන්න පිරිස ගහන ගේම අවුරුදු ගානක් තිස්සේ බලලා අපි හෙම්බත් වෙලා ඉවරයි. ඒ මදිවට ගොඩක් music videos වල තියෙන්නේත් ඔය කතන්දරේමයි. ඒ වෙනුවට අපිට කූඹියන් තුල හම්බවෙන්නේ පිරිමි දෙන්නෙක් අතරෙ තියන සම්බන්ධයක්.


ඒ කිව්වේ sex කිරීමේ උවමනාවෙන්, ළමයි හැදීමේ උවමනාවෙන් ගොඩනැගුණු ආදර සම්බන්ධයක් නෙවී. තමන්ගේ ජීවිතය ගැටගහගන්න, එකිනෙකා පෝෂණය කරගන්න , දැනුම ලබාගන්න ගොඩ නැගෙන පිරිමි-පිරිමි සම්බන්ධයක්, ආදරයක්. ජෙහාන් සහ ප්‍රියන්ත අතර තියන මේ chemistry එක අපිව අර ගෑනු-පිරිමි ලව් කතා අස්සේ තිබ්බ හෙම්බත් වුනු ආතතිසහගත විකාරයෙන් මුදවනවා. කොල්ලො දෙන්නෙක් සෙට් වෙලා ජීවිතේ ගැටගහන්න දරන උත්සහයේ තියන ලස්සන. උන්දෙන්නා තමන් අතර වෙන මතභේද සමනය කරගන්නා ආකාරය සරලව කියනවනම් කොල්ලො දෙන්නෙක්ගේ තියන බොක්කෙ ෆුල් ෆිට් එක කූඹින් තුල අපිට මුන ගැහෙනවා.උන්ගේ ජීවිතේ අනුන්ගේ sex fantasy හෝ තමන්ගේ sex fantasy වෙනුවෙන් කඩප්පුලි වැඩ කරලා නාස්ති වෙන විකාර සහගත ක්‍රියාවලිය නෑ. එලෙසින්ම මේකේ පෙම්වතියක් විදිහට අපිට මුන ගැහෙන යුරේනිත් ලංකාවේ නාට්‍ය වල අපිට මුන ගැහෙන සාම්ප්‍රදායික පෙම්වතිය නෙවී. ඇය ඊට එහා ගිය පෞර්ශයක් තියන, ධනාත්මක සහ සරාගී චරිතයක්. ඒක කොටටඇඳලා ඇඟ පෙන්නලා ගන්න හදන සරාගී කමක් නෙවී.

ඒ කාරණා සියල්ල අතරෙ මෙහි සිටින සියලුම චරිත වල රංගන ප්‍රතිභාව මතක් නොකරම බෑ. ජෙහාන්ගෙන් පටන්ගෙන ,අපිට මුන ගැහෙන වාමාංශික නායකයා, මනු වර්න ඇතුලු පිරිසගේ දක්ෂතාව අපිව කූඹියොන්ට ආදරයෙන් බන්දනවා. ඒ සියලු දෙනා එකට ගොනු කරපු ලක්මාල්ගේ සහ දමිතගේ වික්‍රමයට අපේ ප්‍රනාමය. මේ සියලු කාරනා මැද නයියාට හිතෙන පස්වෙනි කාරනයක් තියනවා,
ඒ තමයි කූඹියෝ වටා ගොඩ නැගුනු marketing campaign එක. ලක්මාල් කිහිප විටකම කිව්වේ ඔවුන්ට advertising වෙනුවෙන් වියදම් කරන්න තරම් සල්ලියක් තිබුනේ නැති බව. සල්ලි වියදම් නොකර හරි ලක්මාල්ගේ හිතවතුන් ලකා වෙනුවෙන් ඒ ගේමට බැහැපු බවයි නයියාගේ නිරීක්ෂණය.

කූඹියෝ එලියට එන්න සති දෙක තුනකට කලින් ඉඳන්ම සමාජ ජාල හරහා මේ පිලිබඳ කනින් කොනින් කතා වුනා. මතක විදිහට චින්තා වරක් දාල තිබ්බ ලකා කිව්ව කතාවක් නිසා ඔහු මැරෙනකල්ම කූඹියෝ නොබලන බව. මේ ප්‍රකාශය අතිශය ප්‍රචාරන වාදී එකක්.කොහොමත් චින්තා කියන්නේ marketing අපි බලාපොරොත්තු නොවෙන අවස්තා වල පාවිච්චි කරන පොරක්. ඒ වගේම කූඹියෝ කියලා ලංකාවේ පළවෙනි TV series එක දැන් ITN එකේ පෙන්වනවා කියලා හා හූවකුත් හීනියට පැතිර ගියා. මේ TV series කියන වචනෙට ආසක්ත උනු බොහෝ දෙනෙක් කූඹියෝ බලන්න පෙලඹුනා.. නාට්‍ය පටන්ගන්න කලින්ම බොහොම සූක්ෂම විදිහට මේ campaign එක පටන් අරගෙනයි තිබුනේ. නාට්‍ය පටන් ගත්තට පස්සේ සමාජ ජාල හරහා බිහි වුනු විවිධාකාර අංශ හරහා කූඹියොන්ට විශාල ආකර්ෂණීය ප්‍රචාරයක් ලබාදුන්නා. මේක හේතු වුනා ජීවිතේට සිංහල නාට්‍ය නොබලන බොහෝ තරුණ ප්‍රජාවක් කූඹියෝ වෙත ගෙන්වගන්න. නමුත් ඔවුන්ව රඳවගන්න පුලුවන් වුනේ කූඹින්ගේ තිබ්බ නිර්මාණ කෞෂල්‍යය නිසාම තමයි. මේ ප්‍රචාරනය ඉතා ධනාත්මක දෙයක් විදිහටයි නයියා දකින්නේ. ලකාට නම් මේ ප්‍රචාරය දෙන්න මුල ඉඳලම ඔහුගේ හිතවතුන් මහන්සිවුනාට සැකයක් නෑ. සල්ලි අතින් වියදම් නොකර මේ නව මානයන් හරහා කෙරෙන ප්‍රචාරයන් බොහොම effective. කොහොමත් තමන් හඳුනන හෝ නොහඳුනන කෙනෙක්ගේ හොඳ වැඩක් සඳහා ලාබ ප්‍රයෝජන නොතකා , සමාජ ජාල හරහා ගොඩ නැගෙන මේ එකතුව හරිම ලස්සන ඉදිරිගාමී එකක්. ඒක ඉස්සරහට තව තව දියුණු වෙලා ලෝකය කලබල නොකර , ලස්සන කරනවනම් ගොඩක් වටිනවා.

අවසාන වශයෙන් කූඹියෝ ලොකුද?..ඔව් මේ කූඹි ටික ලොකුයි. කතාව , රංගනය , අධ්‍යක්ෂණය , කැමරා අධ්‍යක්ෂණය, ප්‍රචාරනය පැත්තෙන් පෙන්නුව ධනාත්මක දේවල් පැත්තකින් තිබ්බත් ලාංකීය සබුද්ධික ටෙලි රසිකත්වය ආපහු රූපවාහිනිය ඉස්සරහ වාඩි කෙරෙව්ව එක නම් ලොකුම ලොකු වැඩක්. ලකාට අන්තිමට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරෙන් දෑස් අන්ධ කරන් දවස ගානේ කතාව ලිය ලිය TV එකේ පෙන්නන තැනටනම් වැටෙන්න එපා සත්තලන්. කූඹියෝ season 2 එකක් කරනවනම් පරිස්සමට වෙලාව අරගෙන කරපන්. ජයවේවා.

http://naiyageni.blogspot.com

Leave a comment

Gossip

චතුරගෙ මංගල කතාව 'it's a fearless love story'

චතුරගෙ මංගල කතාව 'it's a fearless love story'

අරලියගහ මන්දිරයේ පැවති ඇමති රාජිත පුත් චතුර සේනාරත්නගේ මංගල උත්සවයට පැමිණි විශාල පිරිස අමතා චතුර පැව...

පල්ලවී ඇඳුම් ඇඳලා බලනකම් මං බයෙන් හිටියෙ

පල්ලවී ඇඳුම් ඇඳලා බලනකම් මං බයෙන් හිටියෙ

තිරය ඉදිරියේ පෙළහරපානා නළු නිළියන් බොහෝ දෙනෙකු ගැන පුවත්පත් ලිපි පළවුණත් ඔවුන් හැඩකරන්නෝ පිළිබඳ ලියැ...

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාවට එ...

නීතිඥ නෝනාවරුන්,  මහත්වරුන්ගේ කලිසම දිනාගති

නීතිඥ නෝනාවරුන්, මහත්වරුන්ගේ කලිසම දිනාගති

ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිද...

කලා

Connet With Us

       Google+