අප කතානායකයාගේ නිවසේ ද එකල සවි කර තිබුණේ රෙඩිෆියුෂන් යන්ත්‍රයකි. එය ද ඔහුට මහත් අස්වැසිල්ලක් විය. එය කෙතරම් අස්වැසිල්ලක් විද යත්, වෙනදා බොහෝ විට නිවසේ නොසිටින ඔහු සිය නිවසට රෙඩිෆියුෂන් යන්ත්‍රය සවි කළ දා සිට බොහෝවිට නිවසේ රැඳෙන්නට උත්සාහ කළේ ය. ඒ අන්කිසිවක් නිසා නොව ඒ තුළින් විකාශනය වන ගීත ශ්‍රවණය කිරීම සඳහා ඇති නොතිත් ආශාව නිසාවෙනි.
එක් දිනක් මෙසේ රෙඩිෆියුෂන් යන්ත්‍රයට සවන් දී සිටින විට ඔහුට අදහාගත නොහැකි ප්‍රවෘත්තියක් විකාශනය විය. එනම් තමන් බොහෝ වෙහෙස මහන්සියෙන් කළ යම් ක්‍රියාවක ඵල භුක්ති විඳින්නට ආසන්න බවයි. ඒ, තමන් චිත්‍රපටයක් සඳහා ගායනා කළ ගීතය පළමුවරට ගුවන්විදුලියේ විකාශනය වන බව සැල වීම ය.මෙය ඔහුට අදහාගත නොහැකි කරුණකි. එහෙත් එය සිදුව ඇත.
ඔහු කවදත් තමන්ගේ සතුට තනිවම භුක්ති විඳි පුද්ගලයකු නොවේ. ඔහු යහළුවන් ගේ දුක සැප දෙකෙහි ම එකසේ පිහිට වූවෙකි. ඔහුගේ දුක බෙදාගන්නට කිසිවකු නොපැමිණිය ද ඔහුගේ සතුට බෙදාගන්නට අප්‍රමාණ මිතුරු පිරිසක් සිටියහ. පුවත සැල වු සැණින් ඔහු සිය මිත්‍රයෝ සොයා ඉගිල ගියේ මිටෙන් හළ කුරුල්ලකු ලෙසිනි. සිය මිතුරු කැල සොයා ගිය ඔහු එකී සතුටුදායක පුවත මිතුරන්ට සැල කළේ ය.
‘‘මචං උඹල අද රේඩියෝ එක ඇහුවද?’’
ඔහු මිතුරන්ගෙන් විමසා සිටියේ විශේෂ පුවතක් විකාශනය වු බව හඟවමිනි. මිතුරු සමාගමට එය එතරම් වටිනා බවක් දක්නට නොලැබිණි. එවිට ඔහු සත්‍යය පැවසුවේ ය.
‘‘මචං මම සිංදු කියපු ‘සුරතලී’ චිත්‍රපටියෙ වැඩසටහනක් හෙට රේඩියෝ එකේ යනවලු’’
සැබැවින් ම ඔහුගේ කල්‍යාන මිතුරු කැලට මෙය සතුට ඉහවහා යන පුවතක් විය. ඔවුහු අප කතානායකයා බදා වැලඳගත්හ. ඔහුට ඔවුන් ගේ උණුසුම් සුබපැතුම් පිරිනැමුහ. එහෙත් ඒ සතුට නිමේශයකින් යළි අතුරුදන් විය. ඔහු තරමක් කල්පනාකාරි විය.
‘‘ඇයි මොකද මචං?’’ යහළුවෝ විමසන්නට වූහ.
‘‘නෑ මචං... අපේ ගෙදර රේඩියෝ එකක් නැහැනෙ. රෙඩිෆියුෂන් එකෙන් අහල වැඩක් නෑ. ඒකයි මම මේ කල්පනා කළේ.’’ ඔහුගේ දුක්බර වාග්මාලාව මිතුරන්ගේ සවන්පත්තුලට කිඳා බැස්සේ ය. එහෙත් විකල්පයක් යෝජනා කරන්නට ඔවුහු කිසිවකු සමත් නොවුහ. අවසානයේ ලද පමණින් සතුටුවන්නට අදිටන් කරගනිමින් හෙට දිනයේ ගීතය විකාශනය වන මොහොතේ සැවොම තම තමන්ගේ නිවෙස්වලට වී අදාළ වැඩසටහනට සවන් දෙන්නට තීරණය කළෝ ය. මේ කිසිවකුගේ නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නම් නොතිබුණේ ය. ඇතැමකුගේ නිවසේ සවි කර තිබුණේ රෙඩිෆියුෂන් යන්ත්‍රයකි. තවත් සමහරකකුගේ නිවසේ එය ද නොතිබිණ.
මිතුරන්ට පුවත සැලකර ආපසු එන විට දී ඔහුගේ මනසට නොයෙක් සිතුවිලි ගලා එන්නට විය. පළමු වැන්න නම් නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබීම ය. දෙවැන්න රෙඩිෆියුෂන් යන්ත්‍රයක් හරහා ගීතයේ නියම ආශ්වාදය ලබාගත නොහැකි වීම ය. මෙසේ තමන් සමග ම නොයෙක් තර්ක විතර්ක කරමින් පැමිණෙන ඔහුට යමක් සිහි විය. ඒ, මරදාන හස්තිගිරි හෝටලය යි. එහි ගුවන්විදුලි යන්ත්‍රයක් තිබෙන බවත්, තමාට හිතවත් සේවකයකු එහි සේවයේ නියුතු බවත් ඔහුට සිහි විය. ඔහු යම් කිසි තීරණයකට එළඹියේ ය.
පසුදාට පහන් විය. උදැසන 11.00 වන තෙක් ඔහු සිටියේ නොයිවසිල්ලෙනි. ඒ නොඉවසිලිවන්තකම කෙතරම් ද යත් 10.30 පමණ වන විට හෙතෙම නිවසින් පිටත්විය. ඔහුගේ ගීතය පටිගත කළ ශබ්දාගාරය පිහිටා තිබුණේ ද හස්තිගිරි හෝටලයට යන මගෙහි ම ය. ඔහු එදෙස කෘතඥපූර්වක බැල්මක් හෙළුවේ කළ ගුණ සලකන්ට මෙනි. දැන් එකොළහට ආසන්න ය. ඔහු සිතා සිටින්නේ හෝටලයේ මිතුරු සේවකයා සමග ම නිවි සැනසිල්ලේ ගීතයට සවන් දීමට ය.
එහෙත් ඔහුගේ සිතුවිලි සියල්ල සුනුවිසුනු කර දමමින් නොසිතූ දෙයක් සිදුවිය. ඒ ඔහුගේ මිතුරා ඒ මොහොතේ සේවයට පැමිණ නොතිබීම ය. ඔහු නැවතත් අන්ත අසරණ තත්ත්වයට පත්විය. එහෙත් සිය අසරණ භාවය කිසිවකුට ප්‍රදර්ශනය නොකළ හෙතෙම හෝටලයේ එළිපත්තේ පිහිටි පඩිපෙළේ සිටගෙන ඉන්නට විය. ඉවසිලිවන්ත භාවය නොයික්මවන මොහොතේ ඔහු පඩිපෙළේ ඔබ මොබ ගමන් කරන්නට විය. මෙය දුටු හෝටලයේ කලමණාකාරවරයා ඔහු අබියසට පැමිණ...
‘‘මොනවද අයිෂෙ ඔතන හොරගල් අහුලන්නෙ...? කඩේට එන මිනිස්සුන්ට එන්න දීල පැත්තකට වෙලා ඉන්නවකො.’’ යනුවෙන් ගෝරනාඩු කළේ ය.
අප කතා නායකයා ඉතාමත් බැගැපත්ව මෙසේ පැවසී ය.
‘‘ආ... නෑ මහත්තයො. සුමිත් මගේ හිතවතෙක්. එයා හම්බවෙන්න කියල ආවෙ. අර කළු මල්ලි කිව්ව එයා එන්නෙ එකොළහට කියල. ඒකයි ටිකක් බැලුවෙ.’’
‘‘ආ.. ඒක මිසක්. මම මේ බැලුව මොකද කියල. එකත් එකටම සුමිත්ට දඩයක් දාන්න වෙන්න ඇති. එහෙනම් ඉතිං සක්මන් බාවනාවෙ යෙදෙන්නනෙ නැතුව අන්න අරෙහෙට වෙලා ඉන්නව.’’
කලමණාකාරවරයා සිය නිල බලය භාවිතා කරමින් පැවසි ය. ඔහු වෙත බයාදු සිනහවක් පෑ අප කතානායකයා පසෙකට විය.
හෝටලය නොසන්සුන් ය; කෙනෙක් තේ ඇනවුම් කරයි; තවකෙක් කෑම ඇනවුම් කරයි; ඒ කටහඩවල් කෙතරම් ශබ්ද වුව ද අප කතානායකයාගේ මනස යොමුව තිබෙන්නේ ගුවන්විදුලි යන්ත්‍රය දෙසට ය. ඔහු සිටගෙන ඉන්නා පිල්කඩෙහි ආසන්නයට වන්නට තබා තිබූ කෑම අල්මාරියේ උඩ හෝටලයේ ඇතුළත තබා තිබූ ගුවන්විදුලි යන්ත්‍රයේ සිට වයර් ඇද ස්පිකරයක් සවි කර තිබුණි. ඔහුගේ සිතත් දෙනෙතත් එල්ල වී තිබුණේ එදෙසට ය.
‘‘බිප්... බිප්... බීප්... දැන් වේලාව එකොළහයි. මේ ලංකා වෙළෙඳ ගුවන්විදුලි සේවය යි...’’
ඒ ගුවන් විදුලි යන්ත්‍රයෙන් නිකුත් වු නිවේදනය යි. දැන් ඔහු තව තවත් නොසන්සුන් ය. ඔහුගේ හදවතේ වේගය ද දෙගුණ තෙගුණ විය. හෝටලයේ ආහාර පාන ගන්නා පිරිසට නම් එය කිසිසේත් ම නොදැනුණි. දැන් ඔහු නොයිවසිලිමත්ව සවන් යොමා සිටින්නේ තමන් ගායනා කළ ගීතය ප්‍රචාරය වන තුරු ය.
චිත්‍රපටයේ විස්තර කතනයකින් අනතුරුව පළමුවන් ම ප්‍රචාරය වූයේ ධර්මදාස වල්පොළ ගැයු ගීතයකි. ඒ, ‘‘සාදු ශ්‍රී මෙලෝහි පතුරා මේ පූර්ණ පෝදා - රාජනිය අහසේ දිලෙන්නා’’ ගීතය යි. අනතුරුව යළිත් චිත්‍රපටය පිළිබඳ විස්තර කතනයකි. මේ මොහොත වන විට හෝටලයේ ආහාරපාන ගනිමින් සිටින සැවොම පාහේ ගුවන් විදුලි යන්ත්‍රයට සවන් යොමා සිටින බව හෙතෙම දුටුවේ ය. එසැණින් ඔහුගේ සිතුවිලි ව්‍යාකුල විය. මන්ද මෙම සිනමා නිර්මාණයට පසුබිම් ගායනයෙන් දායක වූ තවත් ගායකයෙක් හෝටලයේ එළිපත්ත උඩ සිට එම ගීතය ප්‍රචාරය වන තෙක් පුල පුලා බලා සිටින බව ඒ කිසිවකු නොදන්නවා නේදැයි සිතුණ විට ය.
ධර්මදාස වල්පොළ ගේ ගීතය ප්‍රචාරය වීමෙන් ඉක්බිති චිත්‍රපටයේ දෙබස් ඛාණ්ඩයක් ප්‍රචාරය විය. ඉනික්බිති ප්‍රචාරය වූයේ ජී. එස්. බී. රානි පෙරේරා ගැයු ගීතයකි. අප කතානායකයාගේ ගීතය හෝ ඔහුගේ නම ප්‍රචාරය වන බවක් නැත. ඔහු ගේ ගතින් දහදිය ගලන්නට විය. ‘‘දෙයියනේ මේ වතාවෙත් මගේ සින්දුව අයින් කරලද? එහෙම වුනොත් නම් ජීවත් වෙලා වැඩක් නෑ. එක පාරකුත් ඒ වගේ දෙයක් වුණා. හදිසියෙවත් සින්දුව අයින් කරල තිබුණොත් කොහොමද යාළුවන්ට මුහුණ දෙන්නෙ...? මෙවැනි සිතුවිලි සයුරක ගිලී සිටිය ද ඔහුගේ මනස තව තවත් ගුවන් විදුලි යන්ත්‍රය කෙරෙහි ම යොමු විය. රානි පෙරේරාගේ ගීතය ප්‍රචාරය වීමෙන් අනතුරුව චිත්‍රපටය පිළිබඳ හැදින්වීමක් කළ නිවේදකයා සිය හඩ උච්ච ස්වරයකට පරිවර්තනය කරමින්...
‘‘දැන් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සුරතලිය ඔබ වෙත දායාද කරන නවතම සුමියුරු හඬකි. මේ ඒ නව යෞවනයේ උන්මාදනීය හඬයි. ඔව් දැන් ඔබට ඒ උන්මාදනීය හඬින් ගී ගයන ගායකයා එච්. ආර්. ජෝතිපාල...’’
මේ වදන් කිහිපය සවන් වැකුණ සැණින් අප කතානායකයාට තමා උන්හිටි තැන ද අමතක විය. ඔහුට උඩ පැන රඟන්නට සිතුණ ද එම සිතුවිලිවලට විලංගු දමාගත්තේ ඉතාමත් ආයාසයෙනි. එය ඔහුගේ ජීවිතයේ මිහිරිතම මොහොත යි. ඒ මොහොතේ තරම් අමන්දානන්දයට පත්වු මොහොතක් තවත් නොමැති තරම් ය.
‘‘සිරියාමෙ සාරා - නැගේවි හද මෝරා
දී ප්‍රේමෙ අමධාරා - හෝ ප්‍රේමෙ අමධාරා
ගංගා පිරීලා ඉතිරි ගලන්නා....’’
ඔහු තමන් ගේ ගීතයට සවන්දෙන්නේ ඉමහත් ප්‍රීතියෙනි. එහෙත් ඒ ගීතය ගායනා කරන්නේ ඔහු බව ගීතයට මහත් ඕනැකමින් සවන් දෙන කිසිවකු දැන සිටියේ නැත. ඔහු ඒ බව පවසන්නට ගියේ ද නැත. ඔහු කළේ එක් දෙයක් පමණි. සතුටු කඳුළු වගුරමින් සිය මිතුරු කැල සොයා යාම පමණි.
මෙතෙක් වෙලා ඔබ කියවූයේ සිංහල සිනමාවේ දැවැන්ත පසුබිම් ගායන ශිල්පියකු, ලංකාවේ ජනප්‍රිය තලයේ හිනිපෙත්තට ම නැගි ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාල සිය කුළුඳුල් ගීතය ප්‍රචාරය වූ මොහොතේ අත්දුටු සිද්ධිය යි. එදා තමන්ගේ ගීතයට සවන් දෙන්නට නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ නොතිබුණු මේ මිනිසා පසු කලකදී සිනමාවට නැතුවම බැරි ගායන ශිල්පියකු විය. එදා ඔහු සමග ම එම ගීතයට සවන් දුන් අනෙක් පිරිස පසුකලක දී මෙම ගායන ශිල්පියාට කෙතරම් ආසක්ත වන්නට ඇද්ද? ඔහු කෙරෙහි කෙතරම් ලොල් වන්නට ඇද්ද...?
එහෙත් අප සැවොම පරිදි ඔහු ද එක් නිමේශයක දි ඒ සියල්ල හැරදා නික්ම ගියේ ය. ඔහු එසේ නික්ම ගොස් අද දිනට (2015-07-07) වසර විසි අටකි. මේ සටහන තැබූයේ ඒ නිමිත්තෙනි.
මූලාශ්‍ර අර්නස්ට් වඩුගේ ගේ ‘‘අමරණීය ජෝති’’ කෘතිය ඇසුරිනි.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.