මතු දැක්වෙන්නේ අදාළ කෘතිය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙලඹුණේ මන්ද යන්න සහ අදාළ කෘතිය පිළිබඳ ඔහුගේ දැක්ම කුමක්ද යන්න සම්බන්ධයෙන් කළ දේශනය ඇසුරෙන් සැකසූ ලිපියකි.
මේ මොහොත වන විට මා මෙම නව කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටිමි. මන්ද මෙම නවකතාව කියවූ විගස ම මෙය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට අවසර ලබා දෙන මෙන් එහි කර්තෘ කෞෂල්‍ය කුමාරසිංහ මහතා ගෙන් ඉල්ලා සිටියෙමි. මා දැන් පැහැදිලි කිරීමට සූදානම් වන්නේ මෙම නවකතාව මාගේ සිත්ගත් නවකතාවක් බවට පත්වුයේ මන්ද සහ මෙය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පෙලඹුණේ ඇයි ද යන්න පිළිබඳව ය.
මෙම නවකතාවේ වැදගත්ම ලක්ෂණය වන්නේ නවතම ආඛ්‍යාන ශෛලියකින් රචනා කර තිබීම ය. කතාව කියවාගෙන යාමේ දී පාඨකයා ඉතාමත් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම ම රචකයා ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය. විශේෂයෙන් ම කොළඹ නගරයේ ගුවන් දර්ශනයකින් ආරම්භ වන මෙම නවකතාව විසිත්ත කාමරයක සමීප රුපයකින් අවසන් වෙයි. මෙම කෘතිය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා මා පෙලඹවූයේ ඊටත් වඩා වැදගත් සාධකයකි. මෙහි සාකච්ඡාවට බඳුන් කරන්නේ වර්තමාන කොළඹ නගරය ආශ්‍රිත ජීවිතය නම්, යුද්ධයෙන් ඉක්බිති හෙට දවසේ එදා යුද්ධය පැවති ප්‍රදේශවල තත්ත්වය (උතුරු නැගෙනහිර) මෙය විය හැකි ය; විය හැකි නොව එය ම සිදුවීම අනිවාර්ය ය.
මෙම නවකතාව හරහා ඉදිරිපත් කරන චරිත තුළින් අප හට ලබාගත හැකි අත්දැකීම්වලින් ලැබෙන සාහිත්‍යයමය සන්නිවේදනය ද යුද්ධයෙන් ඉක්බිති පවත්නා උතුරු නැගෙනහිර පළාත්වලට අදාළ වන බව මගේ දැක්ම යි. මෙම නවකතාව ඉදිරිපත්කිරීමේ දී වෙනස්කමක් ද දක්නට ඇත. එනම් මෙහි අන්තර්ගත සියලු චරිතයෝ හඳුනාගැනීමට හැකිවන්නේ එහි ම අන්තර්ගත තවත් චරිතයක් අනෙක් චරිතය වෙත කරන ආමන්ත්‍රණය හරහා වීම ය. කථකයා විසින් චරිත හඳුන්වාදීම වෙනුවට එහි චරිත විසින් ම අනෙක් චරිත හඳුන්වා දීම නවමු ආඛයාන ශෛලියක් ලෙස හැඳින්විය හැකි ය.
ලාංකීය සමාජයේ ඉතාමත් තියුණු පැතිකඩක් එකවර පිළිබිඹු කිරිම ද තවත් වැදගත් ලක්ෂණයක් ලෙස ප්‍රකාශ කළ යුතු ය. නාගරික සමාජය, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය, කාර්මීකරණය වූ සමාජයේ ශ්‍රමිකයන් ලෙස ජීවත්වන පිරිස්, ග්‍රාමීය සමාජයේ කෘෂි ආර්ථික සමාජය තුළ ජීවත්වන පිරිස් පිළිබඳව ද කිසියම් විශ්ලේෂණයක් කිරිමට සමත්ව ඇත. එමෙන් ම මෙම නවකතාව ඉදිරිපත් කර ඇත්තේ ද අනෙක් නවකතා මෙන් නොව සම්පූර්ණයෙන් ම පාහේ ප්‍රචාරකවාදීත්වයෙන් බැහැරව ය. මෙම කෘතියේ චරිත ආශ්‍රිතව අදාළ සමාජ වටපිටාවන් අවබෝධ කර ගැනීම පිණිස කදිම අවබෝධයක් ලබාදෙන්නට සුදුසු මාර්ගයක් කතුවරයා පාදා දී ඇත.
අනෙක් පසින් ගත් විට මෙහි අන්තර්ගත කෝවලන් කන්ණිගේ කතාව සහ පද්මිගේ චරිතය අතර ඇති සම්බන්ධය අවශ්‍යය නැතැයි මා මෙම කෘතිය පළමු වර කියවීමේ දී හැඟී ගිය ද කෘතිය නැවතත් කියවීමේ දී මට හැඟී ගියේ එය ඉතාමත් සාර්ථක ලෙස පුරානෝක්තියක් වර්තමාන සමාජය සමග බද්ධ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කදිම උදාහරණයක් සපයන බව යි. පද්මි නමැති චරිතය නිරන්තරයෙන් එක් පියොවුරක වේදනාවෙන් පෙළෙන තැනැත්තියකි. වෙසෙසින් ම රාජ්‍ය ත්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ අසියානු සාහිත්‍යයේ සිලප්පතිකාරම් කාව්‍යයේ එන කෝවලන් කන්නිගේ කතාව වැදගත් බව ඉන්දීය සාහිත්‍යය විචාරකයෝ සඳහන් කරති.
සැබැවින් ම පද්මි ගේ වේදනා දෙන පියොවුරත් අතර සම්බන්ධය ගතහොත් එය මෙසේ විග්‍රහ කළ හැකි ය. කන්නි විසින් මදුරෛ නගරය විනාශ කිරීම සඳහා පියොවුර ගලවා ගිනි බෝලයක් ලෙස වීසි කොට මදුරෛ නගරය ගිනිබත් කරන බව පුරානෝක්තියේ සඳහන්ව ඇත. පද්මි ගේ වේදනා දෙන පියොවුර යනු එසේ ගිනි බෝලයක් බවට පත්වූ පියොවුර ලෙස ඉතාමත් මනරම් ආකාරයෙන් අවස්ථානෝචිතව මෙම නවකතාව තුළ පිළිබිඹු කොට ඇත. එය ඉතාමත් වැදගත් සංධිස්ථානයකි. මන්ද යත්, ඓතිහාසික කතා පුවතකින් පිළිබිඹු වන එකී පණිවිඩය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් ගම්‍ය කරන්නට ඉතාමත් මනරම් ආකාරයෙන් භාවිතා කොට ඇති හෙයිනි.
කොලන් කන්නිගේ කතාවේ රජු විසින් අයුක්ති සහගත අන්දමින් දඬුවමට ලක් කරන තමාගේ ස්වාමි පුරුෂයා පිළිබඳ ශෝකයෙන් තැවෙන වේදනාවට සමපාතව කමල් අත්අඩංගුවට ගැනීමෙන් ඉක්බිති පද්මිට දැනෙන වේදනාව මෙම වේදනා බර පියොවුරෙන් සංකේතවත් වන බව මගේ හැඟීම ය. එමෙන් ම සමස්ත කෘතිය පුරාම මෙම චරිතය හරහා විදාරණය වන්නේ විරෝධීය සංකල්පයකි.
චරිත ලෙස ගැනුන ද අනෙක් නවකතාවලට වඩා විශාල වෙනසක් දක්නට ඇත. එනම් ඒ කිසිඳු චරිතයක් ප්‍රචාරාත්මක අරමුණක් උදෙසා භාවිතා කොට නැත. එම චරිත ඉදිරිපත් කොට ඇත්තේ විශ්ලේෂණය කිරීම සහ අවබෝධ කර ගැනීම සඳහා පමණි. භාෂාව භාවිතා කිරීමේ දී වුව ද කතුවරයා දක්වා ඇති සාක්ශරතාවය නවකතාවේ සාර්ථකත්වයට ඉමහත් පිටුවහලක් සපයා ඇත. මෙම නවකතාවේ 66 වන පිටුවේ සඳහන් ‘‘ඊළඟට තමන් කියවිය යුතු දේ මුහුදු රළ මතින් ගෙනවිත් වෙරළට ගොඩ ගසනු ඇතැයි මෙන් ඔහු මුහුද දෙස බලා උන්නේ ය.’’ යනාදී අවස්ථා එයට කදිම නිදසුන් ලෙස දැක්විය හැකි ය. එමෙන් ම පද්මී නවාතැන් ගෙන සිටින කාන්තා නේවාසිකාගාරය පිළිබඳ ඉදිරිපත් කරන ප්‍රකාශයේ දී අදාළ පරිසරය වර්ණනා කරන ආකාරය සැබැවින් ම ඉතාමත් රමණිය අයුරින් මෙන් ම කාව්‍යාත්මකව අදාළ චරිතයේ අභ්‍යන්තර ගැඹුර විශ්ලේෂණය වන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත.
නගරයේ රාත්‍රී ජීවිත ආශ්‍රිත රැකියාවන් පිළිබඳ කෙරෙන විග්‍රහයන්හි දී ශෘංගාරය භාවිතා කොට ඇත්තේ එය ද මේ සමාජයේ ම පවත්නා එක් සාධකයක් ලෙස මිස අදාළ චරිත කෙරෙහි පාඨකයා කිසියම් අප්‍රියකරණයක් ඇතිවන ආකාරයෙන් නොවීම ද විශේෂිත ලක්ෂණයකි. මෙම කෘතිය වටහා ගැනීම සඳහා පවත්නා සමාජයේ ආර්ථික, සමාජ, දේශපාලන සහ දාර්ශනික වටපිටාව පිළිබඳ දැනුමක් අවැසි යැයි යමකු සිතුව ද මෙම කෘතිය ඉදිරිපත් කොට ඇති ශෛලිය අනුව එසේ නොවූව ද මෙයින් උකහා ගත හැකි පණිවිඩය නවකතාව තුළින් ඉතාමත් සාර්ථක අන්දමින් ප්‍රකට කර ඇත.
මෙහි දී වඩාත් වැදගත් වන්නේ මෙම කෘතිය හරහා ගම්‍ය වන සමස්තය කුමක් ද යන්න ය. වාණිජකරණයට ලක් වූ සමාජයක මතුපිටින් දක්නට ඇති නිහැඬියාව සහ සන්තෘප්තිය නමැති සාධකයට ඇතුළතින් ඉතාමත් උද්වේගකර අයුරින් රැළි දමමින් පවතින සමාජ ප්‍රශ්න පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරේ. මෙබඳු සමාජයක් තුළ මිනිසුන් පවතින වාණිජකරණය වෙත ම තල්ලු කරන විට ඊට අනුගතව ගමන් කිරීමක් මිස මිනිසුන්ට තමන්ගේ කටයුතු පිළිබඳ සිතන ආකාරය සහ තමන්ගේ කටයුතු සිදු කරගන්නා ආකාරයට කටයුතු කිරීමට වඩා ඔවුන් සිදුකරන්නේ වාණිජ ප්‍රවාහය හරහා ඔවුන්ගේ ජීවිත හසුරවන බව ද මෙමගින් විද්‍යාමාන කෙරේ.
සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අනාගත උතුරු නැගෙනහිර දකින්න ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’’
Published in
කලා
Thursday, 09 April 2015 10:22
කෞෂල්‍ය කුමාරසිංහගේ ප්‍රථම නවකතාව වන ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් 2015-04-8 වන දින කොළ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දී: යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරය සාමිනාදන් විමල්, දීප්ති කුමාර ගුණරත්න, සුමිත් චාමින්ද සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල යන මහත්වරු දේශන පැවැත්වූ හ. එහි දී දැනගන්නට ලැබුණු විශේෂිත කරුණ නම් මෙම කෘතිය ස්වාමිනාදන් විමල් මහතා විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බව යි.
Leave a comment