නිවැරදි ඉලක්කය කරා හඹා ගිය ‘‘ඊ’’

Published in කලා
Thursday, 05 February 2015 16:03

නිදහස් කාව්‍ය ආර සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට හඳුවා දුන් ජී. බී. සේනානායක කවීන්ද්‍රයා එකී කාව්‍ය ආර පාඨක ප්‍රජාව වෙත දායාද කළ පළමු කෘතිය වන ‘‘පළිගැනීම’’ කෘතියේ ‘‘පරිශිෂ්ටය’’ (ඌනපූරණය) ආරම්භයේ මෙබඳු සටහනක් තබයි.

‘‘වෙනස් වීම ජීව ලක්ෂණයකි. පරිසරයට අනුව වෙනස් නො වන චාරිත්‍ර හා වෙනත් ආයතනයෝ ද ක්‍රමයෙන් අභාවයට යති. සිංහල සාහිත්‍යය මෙරට සමාජයෙහි සජීවී අංගයකි. එහෙයින් සමාජයේ විපර්යාසයන්ට අනුව එය මෙතෙක් නොනැවතී වෙනස් විය. සාහිත්‍යයක විකාශය අල්ප වන්නේ ඒ සාහිත්‍යයට හිමිකම් කියන ජනයාගේ බුද්ධි විකාශය අල්ප වූ විට ය. සාහිත්‍යය එය හිමි ජනතාවගේ බුද්ධි මහිමය මෙපමණ ය යි කියන ලකුණකි. ඔවුන්ගේ චින්තන කාර්යයන් පුළුල් ව පැතිරී පෝෂිත ව ඇති කල සාහිත්‍යය ද වර්ධනය වෙයි. ඔවුන්ගේ ඒ කාර්යයන් පිරිහී හැකිළුණු විට සාහිත්‍යය ද එසේ පිරිහී හැකිළෙයි. සාහිත්‍යයක විපර්යාසයන් සලකන්නකුට එය හිමි ජනකාය තමන්ගේ බාහිර ජීවිතයට ගැලපෙන, ලෙස මානසික ජීවිතයක් ඊට ගැලපෙන ලෙස සාහිත්‍යයත් සකස් කොට ගත් සැටි වටහාගත හැකි ය.’’

ජී. බී. සේනානායක - පළිගැනීම - පිටුව 115

 

‘‘යටි වියන’’ කාව්‍ය සංග්‍රහය උදෙසා රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙන් සහ ගොඩගේ සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලද ලක්ශාන්ත අතුකෝරල කවියා සිය අභිනව කාව්‍ය සංග්‍රහය වන ‘‘ඊ’’ කෘතියේ ‘හසුන’ කොටසේ මෙසේ සටහන් තබයි.

‘‘දවස් කෙමෙන් දියවී යයි. ජීවන සැරියේ ඇසු දුටු කැළඹිලි-දුක් තුටු බලි බිලි පිළිවෙළක් නැති මතක පිළිබිඹු වී, දිය පැල්ලම් මතුපිට ගැවී නවතී. ඇසුරු නොකළ-කතා නොකළ, එනමුත් නිතර මතක් වන නන්නාඳුනන පිරිමි-ගැහැනු රූ රැසකි. ඔවුන්ගේ ජිවිත අන්දර සිතෙහි ඇනෙයි; කැසුම් කැක්කුම් නගයි.’’
පිටුව 07

 

මෙසේ සටහන් තබන කවියා එහි ම එක් තැනෙක මෙබඳු සටහනක් තබයි.

‘‘... ප්‍රේමයක් සල්ෆියුරික් කොට දමා ගැසූ තරුණියක් කූඩුව තුළ සිනාසෙමින් සිටින්නී ය... දුවන දුම්රියක් ඉදිරියට ගොස් හිස නමා ආචාර කළ අයකුගේ සිරුරු කැබළි දුම්රිය පොළ පදික වේදිකා ගැට්ටෙහි ගොඩ ගැසෙයි. ... දෙපා අහිමි වී පාළු කුටියක හුදෙකලා කරන ලද පැරණි සෙබළෙක් පෝදා හඳ දෙස ජනේලයෙන් බලා සිටියි... මේ මතක දසුන් තල ඈත් මෑත් කර බලත්ම, උල් තුඩු-හීනිකටු ඇනෙන්නට වෙයි.’’
පිටුව එම

මීට පෙර ‘‘හිතක්ගිස්ස නැතක් මොට්ටු’’ නමින් කෙටි කාව්‍ය සංග්‍රහයක් කාව්‍ය ක්ෂේත්‍රයට දායාද කළ ලක්ෂාන්ත මෙවර එළි දක්වා ඇත්තේ යම් තරමක දීර්ඝ කාව්‍යය නිර්මාණ කිහිපයකි. එමෙන් ම ඔහු මෙම නිර්මාණ සඳහා අනුභූතීන් ලබාගත්තේ සැබැ අත්දැකීම් තුළින් බව ගම්‍ය කරයි. විශේෂත්වය එය නොවේ. ලියුම්කරු ලිපිය ආරම්භයේ දි ම ජී. බී. සේනානායක කවියාගේ ‘‘පළිගැනීම’’ කෘතියේ පරිශිෂ්ටයෙන් කොටසක් උපුටා දැක්වූයේ ද මේ විශේෂත්වය හේතුවෙනි. එනම් ඔහු සිය අභිනව කාව්‍ය සංග්‍රහයේ දී ජී. බී. සේනානායක කවියා අභිභවාගොස් ඇත.

ජී. බී. සේනානායක කවියා පළිගැනීම කෘතියේ කෙටිකතාව මෙන් ම නිදහස් කාව්‍යය ද අන්තර් ගතකොට ඇත. ඒ ගද්‍ය නිර්මාණයත් පද්‍ය නිර්මාණයත් ලෙසිනි. එහෙත් ලක්ශාන්ත ‘‘ඊ’’ කෘතියේ ගද්‍ය ද පද්‍ය ද එක් නිර්මාණයක් තුළ බහාලන්නට සමත්කම් දක්වා ඇත. ජී. බී. සේනානායක කවියා ගේ... ‘‘සාහිත්‍යයක විපර්යාසයන් සලකන්නකුට එය හිමි ජනකාය තමන්ගේ බාහිර ජීවිතයට ගැලපෙන, ලෙස මානසික ජීවිතයක් ඊට ගැලපෙන ලෙස සාහිත්‍යයත් සකස් කොට ගත් සැටි වටහාගත හැකි ය.’’ යන කියමන සාක්ෂාත් වන්නේ මෙහි දී ය.

කවියා මෙම නිර්මාණය නම් කොට ඇත්තේ ‘‘ඊ තුඩු චම්පුව’’ (‘‘චම්පු කාව්‍යය’’ යනු ගද්‍ය සහ පද්‍යය මිශ්‍රිත කාව්‍ය නිර්මාණය යි) යනුවෙනි. ‘‘චම්පු කාව්‍ය’’ නමැති සංකල්පය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ය. ඒ ඔහුගේ ‘‘විලාසිනියකගේ ප්‍රේමය’’ කෘතිය හරහා ය. එකල මේ පිළිබඳ විවිධ මතවාද කරළියට පැමිණිය ද ඒ සියල්ල හිරු දුටු පිනි මෙන් වාෂ්ප විය. පසුගිය දෙසැම්බර් මාසයේ නිකුත් වු විසාකේස චන්ද්‍රෙස්කරම් ගේ ‘‘රජ සහ ඝාතකයා’’ කෘතිය ද මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රකට කරයි. ඇතැම් බොළඳ නවකතා කිහිපයක ගද්‍ය පද්‍යය ආකෘතිය දක්නට ලැබුණ ද එම නිර්මාණ ‘‘චම්පු කාව්‍යය’’ ලෙස නම් කිරීම සරච්චන්ද්‍ර මහතා ගේ ‘‘විලාසිනියකගේ ප්‍රේමය’’ කෘතියට ද කරනු ලබන අපහාසයක් හෙයින් ඒ පිළිබඳව නොලියමි.

ලක්ශාන්ත සිය නිර්මාණය හඳුන්වා දීමේ දී පැවසුව පරිදි ම මෙහි අන්තර්ගත බොහෝ නිර්මාණ සඳහා පාදක වී ඇත්තේ සමාජයේ බහුලව දක්නට ලැබෙන අත්දැකීම් සහ ව්‍යසනයන් ය. කවියා මේ සියල්ල තම පරිකල්පනීය හැකියාව මෙහෙයවා ‘‘කවි’’ලෙස සමාජ ගතකරන්නේ කවියට ද යම් නවමු ආකෘතිකත්වයක් අන්තර් ගතකොට ගනිමින් ය.

 

අපේ බදු මුදලින් යැපෙන රාජ්‍ය සේවකයා

 

කවියා ද රාජ්‍ය සේවකයකු වුව ඔහුගේ පළමු ඊ පහර යොමුවන්නේ රාජ්‍යසේවය වෙත යි. ඉනිඳු ප්‍රමුඛස්තානය ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය වෙත යි. සැබැවින් ම එදා මෙදාතුර දූෂිත රාජ්‍ය ආයතන අතරින් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය යි. එකී දූසිත ආයතනය වෙත ඔහු තම ඊ පහර මෙසේ එල්ල කරයි.

‘‘රාළහාමි, දිලිසුණාට තරු ටික
ඒවා පාදන අඳුර අපේ
බර අඩි කෝපෙන් හප්පන පුප්පන
පොලිෂ් සපත්තුවෙ ඔපය අපේ’’
පිටුව 13

 

රාජ්‍ය සේවකයා වැටුප් ලබන්නේ ඔවුන් ද ඇතුළු රටේ ජනතාව ගෙවන බදු මුදලින් බව මෙහි දී කවියා ඔවුන්ට පසක් කර දෙයි. කවියා තම හී පහර වෛද්‍ය ක්ෂේත්‍රය වෙත ද යොමු කරයි.

‘‘බද්දෙන් හේදෙන නිකං බේත් කන
නිකම්මු අපි හැමදාම පොඩියි
මෝඩ මෙලෝකෙට ලෙඩ වුණ අවටට
‘නිහඬ නළා’ ගරුජාරු වැඩියි’’
පිටුව එම

නිදහස් අධ්‍යාපනයෙන් මහඟු ඵල නෙළාගත් වෛද්‍යවරයා තමා අබියසට පැමිණෙන අසරණ රෝගියා ඉදිරියේ හැසිරෙන්නේ තමන් වෙහෙසට පත් කරන්නට, කරදරයට පත්කරන්නට හෝ තමාගේ නිදහස අහිමි කිරීමට පැමිණි පුද්ගලයකු ලෙස ය. (රජයේ වෛද්‍යවරු100% ම මෙසේ නොවන බව මෙහිදී අවධාරණය කළ යුතු ය)

මෙම නිර්මාණය සඳහා මාතෘකාව යෙදීමේ දී ද කවියා සිය පරිකල්පණ ශක්තිය මැනවින් උපස්ථම්භක කොට ඇති බව ගම්‍ය වෙයි. ‘ජන කතා’ යනුවෙන් හැඳින් වෙන්නේ කටින් කට පැතිර ගොස් පොදු ජනයා අතර ප්‍රසිද්ධ වූ කතන්දර ය. නමුඳු කවියා මෙහිදී ‘ජන කතා’ යනුවෙන් යොදන්නේ වෙනත් අරුතක් ගම්‍ය කරමිනි. එනම් මේ කතා ‘ජනතාව පවසන කතා’ ය. එනම්: පාසල, රෝහල, පොලිසිය හෝ වෙනත් රාජ්‍ය ආයතන පිළිබඳව ජනතාවගේ මතය යි.

 

රාජ්‍ය ආයතනවල කාර්යාල සේවයේ නියුතු වූවන් වෙත කවියා ඉතාමත් දරුණු ඊ පහරක් එල්ල කරයි.

‘‘කන්තොරුවකට ගාටන දාකට
මහතුනි එළවන බනින රවං
රටක් තනා දෙන පඩියෙන් තැම්බෙන
බත දිරවනවද ආයුබොවං !’’
පිටුව 16

යම් පුද්ගලයෙක් කිසියම් මුදලක් ගෙන අදාළ රාජකාරිය නිසියාකාරයෙන් ඉටු කොට නොදුන් විට ‘‘ඕකට ඔය සල්ලි නං යාදෙන්නනෙ නැහැ’’ යනුවෙන් මිනිස්සු දෙස් දෙවොල් තබන ආකාරය අප අනන්තවත් අසා ඇත; දැක ඇත. කවියා සිය නිර්මාණය හරහා ප්‍රකාශ කරන්නේ ද මීට සමාන අදහසකි. මහජන මුදලින් තම වැටුප ලබාගන්නා රාජ්‍ය සේවකයා අදාළ වැටුපට සරිලන සේවයක් මහජනයාට නොසලසන බව මින් ප්‍රකට කෙරේ.

 

මෙසේ සිය කෝපය ප්‍රකාශ කරන කවියා අවසානයේ අවිහිංසක ආයාචනයක් ද කරන්නට අමතක නොකරයි.

‘‘නටු - ඉති - පස් යට මුල් පිරි ලෝකය
මල් ඉල්පෙන තුරු උහුලන්නේ
සුවඳ නොයිල්ලන ඒ ලොව සනසා
වචන දෙකක් ඇයි නොකියන්නේ’’
පිටුව එම

අතු ඉති ලා, මල් පිපී, ඵල දරන තුරු මහ පොළොව සියලු ගස්කොළංවල බර දරා සිටින්නේ ය. එහෙත් ඒ පොළොව කිසිවක් නොපතන්නේ ය. එසේ නම් ඒ ලොව සනසන්නට, එනම් තමන් ගෙවන බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා අවම වශයෙන් තම සේවාදායකයන් වෙනුවෙන් ප්‍රිය වචනයකින් හෝ සංග්‍රහ නොකරන්නේ මන්දැයි කවියා විමසයි. මේ බහුතරයක් වූ රාජ්‍ය නිලධාරීන්ගේ යථා ස්වභාවය යි. එය සිය නිර්මාණ කුසලතාවය හරහා සමාජ ගතකරමින් කවියා බලාපොරොත්තු වන්නේ රාජ්‍ය නිලධාරියා අපහසුතාවයට පත්කිරීමට නොව ඔවුන් සුමගට ගැනීමට බව මේ අවසන් කවියෙන් ප්‍රකට කෙරේ.

ලක්ශාන්ත මෙවර පබඳා ඇති කව් බොහොමයක් ඉතා දීර්ඝ බැවින් සමස්ත කාව්‍ය නිර්මාණය ම උපුටා දැක්වීමට නොහැකි අවස්ථා බහුල ය. එහෙත් ඔහු සිය කාව්‍යක්කාර බව ඔප්නැංවීම සඳහා දරන ලද ප්‍රයත්නය අගයනු වස් යම් ප්‍රමාණයකට හෝ එම නිර්මාණ උපුටා දැක්වීම වටනේ ය.

 

ආබාධිත සෙබළාගේ වලප

 

‘‘වාමන’’ නමැති පද්‍ය නිර්මාණය යුද්ධය හේතුකොට ගෙන දෙපා අහිමි වු පුද්ගලයකුගේ පාපෝච්ඡාරණයක් සහ වැලපීම පිළිබිඹු කරන්නකි. කථකයා යුද්ධයේ දි ජන ඝාතකයකු වුව ද එසේ මිනිසුන් ඝාතනය කළේ තමා වෙනුවෙන් නොවන බව පවසා මිනිසුන් නවසිය අනූ නවයක් ඝාතනය කළ අංගුලිමාලට සමාව දුන් ලෙසින් ම තමාට ද සමාව දෙන ලෙස යදින්නේ ය. මෙය සැබැවින් ම යුද්ධයේ ඛේද ජනක ස්වරූපය ප්‍රකට කරන්නකි.

‘‘පවු කළා තමයි යුද බිම
මා නිසා නොවෙයි හිමි සඳ !
දුන් සමා අඟුල්මල් හට
දුන මැනවි මෙගැත්තාටද’’
පිටුව 16

සමස්ත නිර්මාණය පුරාම දක්නට ලැබෙන්නේ දෙපා අහිමි වු හමුදා සෙබළාගේ ඛේදනීය ඉරණම යි. මෙය එකී කථකයාට පමණක් සීමා වූවක් නම් නොවේ. මෙවන් ඉරණමකට මුහුණ දී ඇති ජීවිත කොපමණ නම් අප රටෙහි සිටිත් ද?
මෙම නිර්මාණයේ උපමා, උපමේය, සංකේත කිසිවක් භාවිතා නොකළ ද අදාළ චරිතවල ජිවිත පත්ලේ තැන්පත්ව ඇති දුක්ඛ දෝමනස්සයන් සියල්ල ම පාහේ පිළිබිඹු කොට ඇත. නිර්මාණය රසවිඳීමේ දී ඒ ඒ පද පේළිවලට අදාළ චිත්තරූප පාඨකයානේ මනසෙහි සිතුවම් වන්නේ නිරායාසයෙනි.

 

මේ ඒ සඳහා එක් උදාහරණයකි.

‘‘පන්සලේ කබොක් පඩි මුල
පාවහන් මුදන විට දන
පටි ලිහා කකුල් ගලවා
බිම දමා එතැන ලගිමිද?’’
පිටුව 16

යුද්ධය හේතු කොට ගෙන දෙපා අහිමි වූ සෙබළකුගේ ළතැවුල පිළිබිඹු කිරීමට මෙකී චිත්තරුප සංකල්පය කෙතරම් අගනේ ද? කෙතරම් සානුකම්පිත ද? කෙතරම් බිහිසුණු ද?මෙම කථකයා වැනි තවත් දහස් ගනනක් වු අබාධිත සෙබළුන් පිළිබඳව ද කථකයා ඉඟි සපයන ආකාරය දෙස අවධානය යොමු කරමු.

‘‘පේළියට වැටී වාමන
තව වාමනයෙකු වී හෙට
නවතින්න ඔබේ පා යට
ඉඩ දෙතොත් එසෑහේ මට’’
පිටුව එම

බුදු හිමිගෙන් මෙම කාරුණික ඉල්ලිමට පෙර කථකයා සෝපාක පිළිබඳව ද සිහිපත් කරයි. කථකයා තම ඉල්ලීම හරහා ගම්‍ය කරන්නට යත්න දරන්නේ අව වරප්‍රසාදිත පුද්ගලයන් කෙරෙහි සමාජය දක්වන නොසැලකිලිමත් භාවය යි; අනුකම්පා විරහිත බවයි. එහෙයිනි ඔහු බුදු හිමිගේ දෙපාමුල නවතින්ට ඉඩ ලබා දෙන්නැයි ආයාචනා කරන්නේ.

‘‘වාමනයා’’ යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ‘‘මිටි පුද්ගලයා’’ යන්නය. කවියා මෙ’කව ‘‘වාමනයා’’ යනුවෙන් නම් කරන්නේ කථකයා සමාජයේ පහත් අඩියකට වැටී ඇති බව ගම්‍ය කරන්න ද, එසේත් නැතිනම් දෙපා අහිමි වීම හේතු කොට ගෙන මිටි මිනිසකු වු බව හඟවන්නට ද යන්න අපැහැදිලි ය. මෙම වදන ‘‘නින්දිත’’, ‘‘නීච’’ යන අරුත හඟවන්නට ද යෙදෙන අතර කථකයා පිළිබඳ එබඳු හැඟීමක් ගම්‍ය කරන්නට නිර්මාණකරුවා පෙලඹී ඇති බවක් දක්නට නැත. මන්ද කථකයා අන්ත අසරණයෙකි.

 

මාරයා සමග සාම ගිවිසුමක්

 

මිනිසකු වශයෙන් මතු නොව තිරිසනකු, කුහුඹුවකු ලෙස උප්පත්තිය ලැබූව ද මේ සියලු සත්වයෝ මරණයට බිය වෙති. ‘‘මරණය’’ නමැති පද්‍ය නිර්මාණයෙන් පිළිබිඹු කෙරෙන්නේ ඒ මරණ බිය යි. මෙ’කව ද පද්‍ය පන්ති පහකින් සමන්විත වන හෙයින් එහි ප්‍රස්තුථයට අදාළ උත්කර්ශවත් පද්‍ය පන්තිය වෙත අවධානය යොමු කරමු.

‘‘දිනෙක ඔබ මට ද මුණ ගැසෙනු ඇත සැක නැතී
එදින නෙක පිළිසඳර කතා වුව කළ හැකී
ඔබ වහා රැගෙන යා යුතු දන බෝ වෙතී
පමා වී දැකිය යුතු අය ද මම පෙන්වමී’’
පිටුව 18

කථකයා මරණයට ඇති බිය නිසා ම ‘‘මරුවා’’ නමැතී සංකේතීය පුද්ගලයා සමග මිතු දමක් ගොඩනගාගන්නට දරන උත්සාහය කෙතරම් හාස්‍ය ජනක ද; කෙතරම් සංවේදී ද; කෙතරම් අනුකම්පාසහගත ද. එය වඩාත් තිව්‍රර වන්නේ...

‘‘ඔබ වහා රැගෙන යා යුතු දන බෝ වෙතී
පමා වී දැකිය යුතු අය ද මම පෙන්වමී’’

යන දෙපදයෙනි.

 

‘මට පෙර මිය යාමට සුදුසු අය කොතෙකුත් සිටිති. එහෙයින් මා මතු නොව ප්‍රමාද වී මිය යා යුතු බොහෝ පිරිස් වුව ද ඔබට මුණගැස්සවීමට මට හැකි ය.’ මෙය මරණ බියෙන් වෙළී සිටින පුද්ගලයකුගේ මතු නොව දේශපාලන භූමියෙන් අතුගෑවී යාමට ආසන්නව සිටින දේශපාලකයන්ගේ ඉරණමට සමාන නොවන්නේ ද?

 

එකම එක චම්පුවක්

‘‘ඊ තුඩු චම්පුව’’ නමැති නිර්මාණය හරහා අනුභූතීන් කිහිපයක් එක හුයකට අමුණා ඇති බව හැඟේ. කවියාගේ පළමු අවධානය යොමු වන්නේ ලාංකීය මාධ්‍යය කලාවේ නිරුවත යි. (මෙය විද්‍යුත් සහ මුද්‍රිත යන අංග දෙකට ම අදාළ ය) කවියා එය මෙසේ ප්‍රකට කරයි.

‘‘හන්දිවල විකිණෙන- ආලින්දවල ඉතිරෙන ‘නිව්ස්’ නොහොත් ‘අලුත් විත්ති’ බොහොමයක් හැදිල තියෙන්නෙ නොමිනිස්කම්වලින්.’’
පිටුව 19

සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය ම දැඩි අපහාසයට සහ උපහාසයට ලක් කරන්නට මෙම වැකිය කෙතරම් දායකත්වයක් සපයන්නනේ ද යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

යුද්ධය ද යුද සෙබළා ද කථකයා දකින්නේ මානව සංහතියේ විනාශකාරී ක්‍රියාවලියක් සහ ඊට සහයෝගය දක්වන්නකු ලෙසයි.

‘‘ගැටෙන්නටම-ගරහන්නටම පුරුදු වුණු වයිවාරන්න තරුකැට කරළිවල රූප පෙට්ටිවල දැති ඇන ඇන පැටලෙනවා. උදෙන්ම ඇහැරෙන තන්නාසෙ-කපටිකම-සැඟවී වසුරු පිට කර ඇඳපැළඳගෙන යුද බිමට ඔය යන්නෙ මදහස පවා, සෙනෙහස පවා ඔවුන්ගෙ ආයුද වගෙයි’’
පිටුව 20

මේ රාජ්‍ය තාන්ත්‍රික යුද සෙබලාගේ මනොභාවය යි. මේ රාජ්‍ය තාන්ත්‍රිකයා කෙබඳු ද යන්න වඩාත් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා කවියා තම නිර්මාණ ශක්තිය උපස්තම්භක කොට ගන්නා ආකාරය තව දුරටත් විමසමු.

 

‘‘මනැසි මස යට අපා ගුල් තුළ
තිබෙයි වධ ශාලා
යුක්තියේ සිවි සේල බිඳ
හැඩ කෙරෙයි රන් දෝලා
කලම්බයි ලොව හීන වද මල්
මාල ලේ ජාලා
වන්දවයි කුණු කකුල් මිසදුටු
කිරෙන් සෝදාලා’’
පිටු 20, 21

යුද සෙබළාගේ මනසේ ක්‍රියාකාරිත්වය සහ පීඩක පාලකයාගේ ක්‍රියාදාමය මින් කදිමට පිළිබිඹු නොවන්නේ ද? යුක්තිය පසිඳලන්නට පත්කරන්නන් යුක්තිය සහ සාධාරණත්වය දූෂණය නොකරන්නේ ද? කිසිඳු අධ්‍යාපනයක් නොමැති, කුඩු, එතනෝල්, අරක්කු ආදිය ජාවාරම් කිරීම තම එකම දේශපාලන අරමුණ කරගත් නරුමයන් දුටු තැන හිසනමා ආචාර කරන්ට, වැඳ වැටෙන්නට, ‘‘සර්’’ කියා අමතන්නට පෙලඹී සිටින්නේ ද මේ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක නිලධාරීන් නොවන්නේ ම ද?

පෙර සඳහන් කළ පරිදි මෙම නිර්මාණය තුළින් සමාජයේ විවිධාකාර අංග කෙරෙහි කවියා දක්වන පිළිකුල සහ විවේචනය සාධාරණය. එය එසේ වන්නේ ම නිර්මාණකරුවා: සාධාර, යුක්තිසහගත, දූෂණයෙන් තොර සමාජයක් ප්‍රාර්ථනා කරන බැවිනි.

කවියා සිය නිර්මාණය තුළින් ම අනෙක් සකල කලා නිර්මාණකරුවන්ට මෙසේ ආයාචනා කරයි.

 

‘‘දැක්කද සුහදයිනි ඒ ඊ? කවියනි ලියන්නනි දෙසන්නනි සළරූ තනන්නනි නුඹලා වෙනදාටත් වඩා ඊ අහුලගෙන-උදුරගෙනඉලක්ක අල්ල අල්ලා මාන මානා විද්ද යුතුයි. ගලිවර බොරු මත සම්මත-මුල් ඇල්ලූ රූස්ස දුර්ගති සොබා ඒ විදිල්ලෙන් මරන්ට බැරි බව හැබැව. ඒත් විද්ද යුත්ත විද්ද යුතු ය. ඒ ඊතුඩු-පුඩු වීදුරු කුඩු හොරෙන්-යම්තම් හරි කවිවල-කතාවල තව ඔත ඔතා අලෝ අලෝ දිය යුතුය’’
පිටුව 22

කලාකරුවාගේ වගකීම සහ යුතුකම කුමක් ද යන්න මින් ප්‍රකට නොවන්නේ ද?


කොළඹ යුගයේ කවීන් නිර්මාණය කළ කවිකතා ඉතා අපූරු ය. එහෙත් ඒ අතුරින් බහුතරයක් වූ නිර්මාණ පරිපූර්ණ වුයේ සඳැස් ආරෙනි. කවි කතාවක් නිසඳැස් ආරෙන් නිර්මාණය කිරීම ද එක්තරා ආකාරයක අභියෝගයකි. ලක්ශාන්ත සිය අභිනව කාව්‍යය කෘතියේ දී මෙකී අභියෝගය පහසුවෙන් ජය ගෙන ඇත. ඒ ‘‘කතාවක්’’ නමැති නිර්මාණය තුළිනි.

කොටස් දහයකින් සමන්විත මෙම නිර්මාණය කුඩා ආඛ්‍යාන කාව්‍යයක් බඳු ය. ඔහු මෙම නිර්මාණය හරහා ද පිළිබිඹු කරන්නට යත්න දරන්නේ සුන්දර රු රටා පෙළක් නොව අති දුෂ්කර, සංවෙදී, කටුක අනුභූතියකි. සැබැවින් ම එක් ආකෘතියක් කෙරෙහි පමණක් එල්බ නොසිටීම කවියකුගේ මතු නොව ඕනැම නිර්මාණකරුවකුගේ දක්ෂතාවය යි. එකී දක්ෂතාවය මැනවින් ප්‍රකට කරන්නට ලක්ශාන්ත සමත්ව ඇත.

සමස්ත කෘතියේ ම අන්තර්ගත නිර්මාණ ඇගයීම සඳහා ලිපියක් නොව තවත් කුඩා කෘතියක් සම්පාදනය කරන්නට තරම් සාධක ඇති හෙයින් ලක්ශාන්ත අතුකෝරල ගේ ‘‘ඊ’’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ මගේ විඳීම මෙසේ සටහන් තබන්නේ අවැසි ඕනැම මොහොතක තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩකඩ විවර කරමිනි. ඔහු නිහඬ ය; ඉවසන සුළු ය; ඉවසීමෙන් ඉක්බිති මුදාහරින ‘‘ඊ’’ නිවැරදි ඉලක්කය කරා හඹා ගොස් සමාජ සතුරා වනසාලයි. සැබැවින් ම මෙය කවිකම යි; කවිය යි.

ප: ලි: නිර්මාණ උපුටා ගැනීමේ දි කවියා භාවිත කොට ඇති අක්ෂර වින්‍යාසය එලෙස ම උපුටා දක්වා ඇති අතර එහි සදොස් භාවය සඳහා වගකිව යුත්තේ නිර්මාණකරුවා බව සැලකිලිමත් වන්න.


ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us