‘‘කාගෙද වසන්තය’’

Published in කලා
Monday, 05 January 2015 10:09

තම ප්‍රථම සාහිත්‍යය අස්වැන්නෙන් ම රාජ්‍ය සම්මානයෙන් පුද ලද ජයතිලක කම්මැල්ලවීර ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන ‘‘කාගෙද වසන්තය’’ නමැති කෘතිය පසුගිය දිනක කව් රස විදින්නන් වෙත මුදා හලේ ය. එහි අන්තර්ගත නිර්මාණ 33 අතුරින් නිර්මාණ 19 ක් මා සිත් පහැර ගතිමි. එහෙත් එකී නිර්මාණ 19 ම විමර්ශනයට ලක්කරන්නට ලිපියකින් නොහැකි බැවින් ඒ අතුරින් තෝරාගත් නිර්මාණ පහක් පිළිබඳ මගේ විඳීම මෙලෙස සටහන් කරමි. මෙම කෘතිය රාජගිරිය ‘‘අගහස් ප්‍රකාශකයෝ’’ වෙතින් ප්‍රකාශිත ය.

ධනවාදයේ තුන්වන කාර්තුවේ ගෝලීයකරණයට හසු නොවූ කිසිඳු පුද්ගලයෙක්, වස්තුවක් නොමැති තරම් ය. එහි දී සියලු මිනිස් අවශ්‍යතාවන් වෙළෙඳපළකරණයට ලක්ව ඇත්තේ අප කිසිවකුත් නොසිතන ආකාරයෙනි. ඒ අතුරින් වඩාත් මිනිස් ජීවිතයට බලපෑම් එල්ල වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පවතින අර්බුදය යි. ධනේශ්වර බූවල්ලාට කිසිඳු මිනිස් හැඟීමක් පහළ නොවන අතර ඌට අවැසි වන්නේ කුමක් අළෙවි කොට හෝ මුදල් ඉපයීම ය.

මෙකී ගෝලියකරණ අර්බුදයට නතුව පවත්නා ලාංකිය ජනතාවට අහිමිවෙමින් පවතින නිදහස් අධ්‍යාපන අයිතිය පිළිබඳ අපූරු විවරණයක් ජයතිලක කම්මැල්ලවීරගේ ප්‍රථම කාව්‍යය සංග්‍රහයේ අන්තර්ගතව ඇත. නගරයේ ‘‘මහින්දෝදය’’ නමින් දැවැන්ත පාසල් ඉදිවෙමින් පවතින අතර දුෂ්කර ප්‍රදේශවල පිහිටි කුඩා කුඩා පාසල් සියල්ල වැසෙමින් පවතී. මෙලෙස වැසි ගිය පාසලක් පිහිටි භූමියක වර්තමාන තත්ත්වය සහ නොබෝ දිනකින් එම භූමිය කවරකුට හෝ විකුණා දැමීමට ඇති සූදානම ‘‘විකිණිමට තිබේ’’ නමැති කාව්‍යය නිර්මාණය හරහා ප්‍රකට කරයි.

මෙහි දී කවියා පාඨකයා ඉදිරියේ අඳිනා චිත්ත රූප දිගහැරෙන්නේ සිනමාපටයක රූපරාමු පෙළක් ලෙසිනි.

‘වහා විකිණීමටයි

වපසරිය අක්කර හතරකි’

අකුරු දියවුණු බැනරය

කියනු වැනි තම බැරිකම

මෙම දැන්වීම දිගු කලක සිට මෙසේ ප්‍රදර්ශනය වන බව ගම්‍ය කරන්නට කවියා යොදාගන්නා රූපකය වෙන්නේ ‘අකුරු දියවුණු බැනරය’ යි. දිගු කාලයක් තිස්සේ අව්-වැසිවලින් පිඩා විඳි බැනරයේ අකුරු මතු නොව කලකට ඉහත මෙහි අකුරු කළ දරුවන්ගේ සහ අනාගතයේ අකුරු කරන්නට පෙළගැසි සිටිනා දරුවන්ගේ ඛේදවාචකය ද මනා ලෙස ගම්‍ය කරයි. එය වැඩිදුරටත් පැහැදිලි වන්නේ ඊළඟ දෙපදයෙනි.
පෙනේ පාසලක නටබුන්

පොඩි එවුන් අකුරු කළ

පාසල වසා දමා දිගුකලක් ගතවන බව ද කවියා කියා පාන්නේ අපූරු රූපාවලියක් පාඨකයා ඉදිරියේ මවා පාමිනි.
දිරා යන නාම පුවරුව

සඟවාගත් ගහ - වැල

හෙළා තම වියළිපත්

වසා ඇත ගුරු ගෙයි දොරකඩ

පාසලේ නම සඳහන් පුවරුව ගස්වැල්වලින් එතී ඇති අතර අවට පිහිටි ගස්වලින් පතිත වියළි කොළ විශාල ප්‍රමාණයක් පාසල් දොරකඩ පවතින බව කවියා හඟවයි.

කවියා ක්‍රමක්‍රමයෙන් ඉදිරිපත් කරන්නේ ඔහු මතුපිටින් දක්වන දර්ශනය ඉක්මවා ගිය දැවැන්ත ඛේදවාචකයකි. එය එක් අතකින් වියරු මිනීමරුවන් රැසකගේ ග්‍රහණයට නතුව අනේක වද බන්ධනයන්ට ලක්වු පුද්ගලයකුගේ රුපකායක් වැනි ය.
කුඩාවුන් වඩාගෙන නැළ වූ

යකඩ ඔන්චිල්ලාව

බිම හොවාගෙන හිඳී

රැඳවුමෙන් ගැලවුණ අතක්

මෙරට අධයාපනඥයන්ට මතු නොව මාධ්‍යෙව්දින්ට ද මුහුණ පෑමට සිදුව ඇත්තේ මෙවන් ඉරණමකට ය. අයුක්තිය අසාධාරණයට එරෙහිව පැන මෙහෙය වූ. සිය දරුවන් හදා වඩා සුරතල් කළ මාධ්‍යවේදින්ගේ දෙපා බිඳ දමා තිබු අයුරු මෙහි දී සිහිපත් වන්නේ නිරායාසයෙනි.
වට ඉවුරු දිරා ගිය

වැලිකොටුව මැද

වැවී ඇත සරුවට

මල්බර නියඟලා වැලක්

පාසල් භූමියක් මධ්‍යයේ පවතින්නේ බොහෝ විට වැලි සහිත පොළවකි. එහෙත් කවියා මෙහි දී ‘වැලි කොටුව’ යනුවෙන් යොදා ඇත්තේ එකී වැලි සහිත භූමිය ද එසේත් නැතිනම් කැලය, වනය යන අරුතෙන් ද විය හැකිය. ‘වට ඉවුරු දිරා ගිය’ යනුවෙන් මවනා රූපකය පාසල වටා පැවති ආරක්ෂක වැට පිළිබඳ මතකය අවදි කරයි. මෙම කාරණා ද්විත්වය ම සැලකිල්ලට ගත්ත ද අවසානයේ ඒ මධ්‍යයේ පිහිටා තිබෙන්නේ කුමක් ද? ඒ සරුවට මල් පිපුණු නියඟලා මලකි. නියඟලා මල යනු හලා හල විස සහිත මල් වර්ගයකි. එමෙන් ම එහි අලය ද උග්‍ර විෂ සහිත ය. ධනේශ්වර ක්‍රමය තුළ නිදහස් අධයාපනය නමැති භූමිය මධ්‍යයේ මෙවන් විස සහිත නියඟලා වැල් සරුවට වැවුණු කල නිදහස් අධ්‍යාපනයේ ඉරණම කෙබඳු ද යන්න අප මැනවින් වටහා ගත යුතුව ඇත.

වර්තමානයේ පවතින්නේ ඔළුවෙන් සිටවූ අධ්‍යාපනයකි. එම අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කරන්නේ වෘත්තිකයන් මිස මනුෂ්‍යයන් නොවේ. මෙය කවියා අපුරුවට විග්‍රහ කරන රුපකය දෙස අවධානය යොමු කරමු.
ගලා ගිය වැසි දිය

එකතු කළ කුණු රොඩු අතර

හිස බිම ඔබාගත්

කහපාට පැන්සල් කොටය

‘හිස බිම ඔබාගත්’ යන පදය ඉහත කී ආකාරයේ ඔළුවෙන් සිටවු අධ්‍යාපනය පිළිබඳ කදිම සංකේතයක් වන අතර විවිධ වර්ණයෙන් යුක්ත පැන්සල් අතර ‘කහ පාට පැන්සල් කොටය’ නමැති සංකේතය මගින් ස්වාධිනත්වයත්, නිවහල් භාවයත් දුප්පත්කමත් පිළිබිඹු නොවන්නේ ද?

ස්වභාව සෞන්දර්යයත් මිනිසාත් අතර පවත්නේ විස්මය ජනක බැඳිමකි. ගස් - වල්වලින් උත්පාදනය වන පල කිසිවකු භුක්ති නොවිඳින්නේ නම් එකි පල පොළොව මතට ඇද වැටෙන්නේ මහත් කම්පාවෙනි. සිය බිලිඳාට මවු කිරි දීමට නොහැකි වු විට මවගේ පයෝදර ඉදිමී වේදනා දෙන අතර ඉන් මවුකිරි වෑහෙන්නේ මවගේ මෙන් ම දකින අයගේ ද හද කම්පා කරමිනි. ගසක හටගත් පල කිසිවකු භුක්ති නෙවිඳිනා විට සිදවන්නේ ද මේ හා සමාන ක්‍රියාවලියකි. මෙකී ඛේදය කවියා අපුරුවට විද්‍යාමාන කරන ආකාරය විමසා බලමු.
තැන තැන කටුපඳුරු මතු වුණු

සෙල්ලම් පිටිය කෙළවර

වියපත් අඹතුරක්

අත’ගින් ගෙන කුඩා පල

බලා හිඳී

දරු පැටව් එනතුරු

ගහෙන් වෑහුණ කඳුළු බිඳු

තිබේ එහි පාමුල

මෙහි දී කවියා මවන චිත්තරුපයට අනුව අඹ ගස තිබෙන්නේ ද සෙල්ලම් පිටිය කෙළවරක ය. පවතින පාලනය විසින් අධ්‍යාපනය නමැති මහත් පල ගෙන දෙන වෘක්ෂය ද පිහිටුවා ඇත්තේ මේ ආකාරයට සියලු ක්ෂේත්‍රයන්ට ඈතින් නොවන්නේ ද?

කවියා සිය නිර්මාණය අවසන් කරන්නේ දැවැන්ත අභියෝගයක් කරමිනි.
ගන්නවානම් කිසිවකු

මේ ඉඩම

හදන්නට කම්හලක්, ගොවිපොළක්

නැතහොත් කොටස් කර විකුණන්නට

කපා දමන්නට වේවි පළමුවෙන්

මේ මහලු අඹගස

මේ වන විට ලාංකිය භූමියේ ආර්ථික වශයෙන් වැදගත්වන ස්ථාන බොහොමයක විවිධාකාරයේ ව්‍යාපාර සඳහා බදු දී ඇත. කම්හල් ඉදිකොට ඇත. ඇතැම් ආර්ථික මර්මස්ථාන විදෙස් ජාවාරම්කරුවන්ට විකුණා දමා ඇති අතර තවත් එබඳු ස්ථාන විශාල ප්‍රමාණයක් විකුණා දැමිම සඳහා පිඹුරුපත් සලසා ඇත. එහෙත් අධ්‍යාපනය නමැති මහත් පළ ලබා දෙන වෘක්ෂය තිබෙන විට එහි පළ ලබාගන්නා ජනයා මීට එරෙහි වීම වළකාලිය නොහැකි ය.
කපාදමන්නට වේවි පළමුවෙන්

මේ මහලු අඹගස

යනුවෙන් කවියා පවසන්නේ ජනතාවගේ පණ නල රැගෙන මිස අධ්‍යාපනය නමැති විෂය විකුණා දැමිය නොහැකි බව නොවේ ද?

මෙම නිර්මාණය සඳහා භාවිතා කොට ඇති සියලු සංකේත සහ රූපක හරහා පසක් කරන්නේ වර්තමානයේ අධ්‍යාපනය නමැති විෂය කෙතරම් ඛේද ජනක ඉරණමකට ලක් වී ඇද්ද යන්න නොවේ ද?

සැබැවින් ම මෙය කලාකරුවාගේ යුතුකම සහ වගකීමකි. අවි රැගෙන පෙරමුණට යන විප්ලවවාදියා මෙන් ම කවි රැගෙන ඉදිරියට යන විප්ලවවාදියා ද විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. කම්මැල්ලවීර කවියා, පවතින එක් සමාජ ඛේදවාචකයක් පිළිබඳ දනන් දනුවත් කිරීම සඳහා කවිය නමැති අවිය භාවිතයට ගෙන ඇත.

‘‘කාගෙද වසන්තය’’ කම්මල්ලවීර කවියාගේ ප්‍රථම කාව්‍යය සංග්‍රහය වුව ද ඔහු එහි නිර්මාණ සඳහා තමා අනුදත් සමාජ, ආර්ථික, දේශාලනික අනුභූතීන් ඉතා මැනවින් ග්‍රහණය කොට ගෙන ඇත. ‘සර්වජන’ නමැති නිර්මාණය ද එය කදිමට පිළිබිඹු කොට ඇත.
දිස්පැන්සරියේ බෙහෙත් පෝලිමේ

කහින, හඬන, කෙඳිරිගාන

නිදාවැටෙන හොටු සූරන

හැම දෙනාම දනිති යමක්

‘තමා ලෙඩින් පසු වන බව

ලෙඩට බෙහෙත් ගතයුතු බව

දිස්පැන්සරියෙන් ගෙන යන

පෙත්තෙන්, කරලෙන්, වතුරෙන්

ලෙඩ සනීප නොවනා බව’

සමස්ත රටවැසියා ම මේ මොහොතේ සිටින්නේ දිස්පැන්සරියේ බෙහෙත් පෝලිමේ බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. මේ සැම රටවැසියකුට ම පොදු රෝග මෙන් ම එකිනෙකාට විවිධ වු රෝග පීඩන ද එමට ය. කුඩා දරුවා පාසලකට ඇතුළත් කරගැනීමේ සිට විශ්‍රාම වැටුප ලබාගැනීම දක්වා වූ විවිධ මානයන්හි ලෙඩ රෝග බහුල ය. එක් පුද්ගලයෙක් තමන් සතු ධනය පරිත්‍යාග කරන විට එදිනෙදා දිවි ගැටගසා ගැනීම සඳහා තවකෙක් දෛයිනික වැටුපට සිය ශ්‍රමය වගුරවයි. එය ද නොහැකි වූ තවත් පිරිසක් මහ මග සිඟමන් යදිති. මේ සියල්ලෝ ම රෝගිහු වෙති.

මේ රෝගීහු රෝගය සුවපත් නොවනා බෙහෙතක් ලබාගැනීම උදෙසා 1948 පෙරත් ඉන් පසුවත් දිගින් දිගට ම පෝලිමේ රැඳී සිටිති. තම තමන්ට වැලඳුණා වූ රෝග සමනය කරගැනීම සඳහා එදා සිට මේ දක්වා පෙති, කරල්, වතුර මතු නොව කුඩු ද ලබාගත්තෝ ය. එහෙත් රෝගය සුව වූයේ නම් නැත. මතුවට සුවවේදැයි කාට නම් කිව හැකි ද...? ඒ ලංකාව නම් ඩිස්පැන්සරියේ විදිය යි.
කම්මැල්ලවීර කවියා සිය කාව්‍ය නිර්මාණ සඳහා උපස්තම්භක කොට ගෙන ඇති රූපක සහ සංකේත ද අදාළ කවියේ ව්‍යංගාර්ථය ඉස්මතු කිරීම සඳහා මැනවින් සසඳා ඇත. ‘‘රුව දකිමි - සුවය නොලබමි’’ පද්‍ය ය ඒ සඳහා කදිම නිදසුනකි.
උදා හිරු රැස් පතිත වැව් දිය

රිදි පලසකි දිදුලන

පිස එන සුළඟ

තවරා සිසිල සියොලඟ

ඇරයුම් කරයි මට

ගිලී කිමිදී සුවය විඳගන්න

ඔවදනකි මා පිටුපස

‘‘එපා බසින්නට දියට

කුඹුරෙන් කොරටුවෙන් ගලා එන විෂ

තැන්පත්ව ඇත එහි පතුලේ’’

වාඩිවි වැව් ඉවුරේ

තැවුල් සිතින්

නරඹමි වැව් දිය මතුපිට අසිරිය

නොලබා පහස

රුව දැක සැනසෙන

මානවකයකු සේ

මෙම නිර්මාණයේ මතුපිට චිත්තරූප පෙළ පාඨකයා වෙත රැගෙන එන්නේ මනරම් දසුනකි; සිත් තැවුලකි; කෝපයකි.

වැව් දියමත පතිත උදා හිරු රැස් මනරම් දසුනකි. එහෙත් ඒ වැව් පතුලේ රසායනික විෂ සැඟව තිබීම පිළිබඳ ඇතිවන්නේ සිත් තැවුලකි. එහෙයින් වැව් දියේ පහස නොලැබීම හේතුවෙන් සිතේ හටගන්නේ කෝපයකි. එමෙන් ම කවියා මෙකී සිද්ධිය හරහා ස්ත්‍රිය කෙරෙහි ඇතිවන පුරුෂයාගේ ආකර්ෂණය කදිමට පිළිබිඹු කොට ඇත.

ඒ මතුපිට තලය යි. දැන් අපි මෙහි සැඟව පවත්නා යටිපෙළ අරුත කෙරෙහි යොමු වෙමු.

හොඳ යැයි අප සිතන, සුභ යැයි අප සිතන, ලස්සන යැයි අප දකින, මිහිරි යැයි අප අසන, ප්‍රණීත යැයි අප බුදින සියල්ල යට පවත්නේ: නරක, අසුභ, අවලස්සන, අමිහිරි, නීරස යථාර්ථයකි. එහෙත් තාවකාලික සුව පතා අප සියල්ලෝ ම මේ සියලු දැ වැලඳ ගති. එහෙත් මෙවන් දෑ ලබාගැනීම අසිරු වු කල්හි මිදි තිත්ත යැයි පවසා සිත් සනසා ගති. මේ ලෝක ස්වභාවය යි. කවියා ඒ යථාර්ථය පිළිබිඹු කරන්නට සිය කවීත්වය මැනවින් භාවිත කොට ඇත.

මීට වසර ගණනාවකට පෙර පත්තර රස්සාව යනු නම්බුකාර රැකියාවකි. එහෙත් පුවත්පත, සහ ගුවන්විදුලිය මෙන් ම රූපවාහිනි මාධ්‍යය ද දේශපාලනීකරණය වීමෙන් ඉක්බිති පත්තර රස්සාව යනු ඉතාමත් අවරගනයේ රැකියාවක් බවට පත්ව ඇත. වර්තමානයේ පත්තරකාරයන්ගේ පෑන පසෙකලා ඔවුන්ට ලියන්නට සිදු වී තිබෙන්නේ දේශපාලකයාගේ පෑනෙනි. ඒ පෑනෙන් වුව ද ලියන්නේ මොනවාද යන්න තීරණය කරන්නේ ද දේශපාලකයා ය. කම්මැල්ලවීර කවියා මේ සමස්ත ඛේදවාචකය ‘‘පත්තර රස්සාව’’ නමැති එක් පද්‍ය පන්තියක් හරහා කදිමට ස්ඵුට කොට ඇත.
බඩගිනි වෙලා මා ගිය කල ඔහුගෙ ගෙට

මැනලා වී දෙකක් තබලා පැත්තකට

හට්ටි වළං පෑවා මට සෝදන්ට

බඩගින්නේ ම ආවා මම මගේ ගෙට

වර්තමානයේ ද මෙබඳු පත්තරකරුවන් නැතුවා නොවේ. එහෙත් වැඩිපුර සිටින්නේ කවියා පවසන පරිදි බඩගින්න වෙනුවෙන් ලියන පත්තරකාරයන් නොව වළං සෝදන පත්තරකාරයෝ ය. එහෙයින් කශේරුකාවේ ප්‍රාණය රැඳි පත්තරකාරයන් කොතෙක් සිටිය ද කශේරුකාවක් නොමැති පත්තරකාරයන් නිසා අද රටේ මාධ්‍යය භාවිතය ‘‘බල්ලා මාර්ක්’’ ගානට වැටී ඇත. කවියා සිය නිර්මාණය හරහා විශද කරන්නේ මෙකී ඛේදවාචකය නොවන්නේ ද...?

මීට පෙර සඳහන් කළ පරිදි ම කම්මැල්ලවීර සිය කාව්‍ය නිර්මාණ හරහා එක් එක් සමාජ සිද්ධීන් පිළිබඳ විවරණයන් සපයන්නේ කිසිඳු ආයාසයකින් තොරව ය. ‘‘ඇයි මේ?’’ නමැති නිර්මාණය ද එබන්දකි.
බොර වතුර

රැගෙන යයි පහළට

සුවඳ පතුරමින් සිටි

මලක්

 

හෙට එය රැඳෙනු ඇති

පල්ගඳ ගහන ගොහොරුවක

ගංදිය රැගෙන ආ

කුණු රොඩු අතර
මෙම නිර්මාණය කියවු සැණින් පාඨකයාගේ මනසේ කිසියම් වු චිත්ත රුප සමුහයක් සිත්තම් වන බව කිව මනා නොවේ. එහෙත් එකී චිත්තරුපාභ්‍යන්තරයේ සැඟව පවත්නා සමාජ දේශපාලන ව්‍යසනය කුමක් ද යන්න වටහා ගැනිමේ ශක්තිය පාඨකයා සතු නොවන්නේ නම් කවියාගේ අභිප්‍රාය සඵල නොවන්නේ ය. එහෙත් එය කවියාගේ වරදක් නොව රසවිදින්නාගේ වරදකි.

ගෝලීය කරණය යනු පැහැදිලිව ම බොරවතුර ප්‍රවාහයකි. මෙම ප්‍රවාහය විසින් ගං ඉවුරු අසල පිපී සුවඳ පතුරමින් සිටි පුෂ්පයන් රැගෙන යන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. ලාංකීය භූමිය මත ගලා යන මජර දේශපාලන ප්‍රවාහය විසින් රැගෙන ගිය සුවඳවත් කුසුම් මෙපමණ යැයි කිව නොහැකි තරම් ය. සැබැවින් ම ඒ කුසුම් පසු දින සිට පල් ගඳ හමන මඩ ගොහොරුවේ කුණු රොඩු අතර රැඳී සිටින විට ඔවුන් කෙරෙහි වෛර කරන්වා ද අනුකම්පා කරන්වා ද යන්න වටහා ගත නොහැකි පැනයකි. මෙහි ඛේදවාචකය වන්නේ තවමත් මෙකී ප්‍රවාහයට ගොදුරු නොවී සිටිනා සුවඳවත් කුසුම් පොදි ද තම මඩ ගොහොරුවට ඇද ගන්නට යත්න දරනා ගඳගසන කුසුම් කෙරෙහි කෙසේ අනුකම්පා කරන්න ද යන්න ය.

ඉහත විචාරක්ෂියට බඳුන් කළ නිර්මාණ පහ හැර මගේ විඳීමට බදුන් වූ නිර්මාණ කිහිපයක් මෙසේ ය.

උදාරම්, දැක්ම, උගත් පාඩම්, නූතන ගුරු ගීතය, සුනඛ නියාමක, දරණ, එතෙර දී හමු වූ මිතුරෙකුට, පැන විමසුම්, පොදු උපදෙස්, කාක්කෝ, පොඩ්ඩකට සහ කාගෙද වසන්තය එම නිර්මාණ සමුච්ඡය යි.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us