20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔබ ඇතුළු කුඩා පක්ෂ නියෝජිතයන්ගේ විරෝධතා හා විවේචන තිබුණා. පසුගියදා කැබිනට් මණ්ඩලයෙන් මන්ත්‍රීවරුන් 237 ක් තෝරා පත්කර ගන්නා නව මැතිවරණ ක්‍රමයකට අනුමැතිය ලැබුණා. ඔබ පක්ෂය මේ තීරණය ගැන එකඟ ද?
අපේ විවේචන තිබුණෙ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම ගැන නොවෙයි. අප විරුද්ධ වුණේ ආසන ක්‍රමයට තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 125 ට වඩා අඩු කරන්න එජාපය කළ යෝජනාවටයි. අප කිව්වේ මුළු මන්ත්‍රී ගණන 255 ක් කරන්නයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා මේ වන විට රටට මහා බරක්. මොකද මෑත කාලයේ ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනා ම ඇමැති, නියෝජ්‍ය ඇමැති තනතුරුවලට පත්වුණා. එවැනි පූර්වාදර්ශ තිබියදීත් මන්ත්‍රී සංඛ්‍යාව 255 ක් කළ යුතු බව කීම සාධාරණ ද?
මන්ත්‍රී සංඛ්‍යාව අඩු වුණොත් ඊට වඩා ප්‍රශ්න ඇතිවෙනවා. එහෙම වුණොත් ඇති වෙන්නෙ සංස්කෘතික ප්‍රශ්න. ඒවා අලුත් බරපතළ ප්‍රශ්න බවට පත්වීම වළක්වන්න බෑ. අම්බලන්ගොඩ, බලපිටිය, නාරන්දෙණිය, කඹුරුපිටිය වගේ ආසන නැති කළොත් ඒ ජනතාව පාරට බහිවී. එතකොට ජනාධිපතිතුමාට තව යුද්ධයක් විසඳන්න හමුදාව දාන්න වේවි. ඒ නිසා මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුත්තේ ප්‍රශ්න විසඳීමට මිස තව ප්‍රශ්න ඇතිකිරීමට නොවෙයි.
කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ මන්ත්‍රී ධුර 237 කටයි. මේ ප්‍රමාණය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
අපි ඉල්ලුවේ 255 ක්. එහෙත් මැද තැනකට හෝ ඒමට හැකිවීම ගැන අපි සතුටුයි.
මේ ඡන්ද ක්‍රමයේ ප්‍රතිඵල අවුරුදු 37 ක් තිස්සේ අපි අත්වින්දා. මේ ක්‍රමයෙන් මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික්කයම නියෝජනය කරන්න වෙනවා. කෝටි ගණන් මුදල් නැත්නම් මේ ක්‍රමයේදී යමකුට පාර්ලිමේන්තුවට එන්න බෑ. අනෙක් පැත්තෙන් ජනතාවට තමන්ගෙ ආසනයට මන්ත්‍රීවරයකු නැති වුණාම ඔවුන්ගේ වුවමනා ඉටු කරන්න ඊට වග කියන්න මන්ත්‍රීවරයකු නැති වේවි. ඒ නිසා අවුරුදු 37 ක් තිස්සේ ජනතාව ඉල්ලා සිටියේ තමන්ට සාධාරණ ඡන්ද ක්‍රමයක්. ඒ නිසා අපි මේ ඡන්ද ක්‍රමයට එකඟයි.
තවමත් ඇතැම් පක්ෂ වැඩි බරක් දෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවීමට මිස 20 සම්මත කර ගැනීමට නො වේ. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
අවුරුදු 37 ක් තිස්සේ ජනතාව ඉල්ලා හිටියේ, ඡන්දය දුන්නේ මේ ක්‍රමය වෙනස් කිරීමටයි. මේ මොහොතේ එය කිරීම අනිවාර්යයයි. මොකද ආයෙ කිසිම දවසක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් එන්නේ නෑ. එවැනි බලයක් ආවේ යුද ජයග්‍රහණය නිසා රටේ ඇතිවූ තත්ත්වය මතයි. ඒ නිසා මේ වෙලාවේ කළ යුත්තේ 20 සම්මත කිරීම මිස මැතිවරණයකට යාම නොවෙයි. “20” සම්මත කිරීම අත්‍යවශ්‍යයි.
ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳත් යම් ගැටලු පැන නැඟ තිබෙනවා. සිවිල් සාමාජිකයන් තිදෙනා පත් කර ගැනීමට ආණ්ඩුවට තවම නො හැකි වී තිබීම ගැන මොකද හිතන්නේ?
එහි වැරැද්ද තිබෙන්නේ විපක්ෂ නායක හා අගමැතිතුමා අතෙයි. මොකද ඒ දෙන්නා සිවිල් සාමාජිකයන් තිදෙනා ගැන ප්‍රසිද්ධ කළා. ඔවුන්ට කරන්න තිබුණේ මේ නම් පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පසු මාධ්‍යයට ලබා දීමටයි. එහෙම වුණා නම් කවුරුත් විරුද්ධ වන්නේ නෑ. රහස්‍ය දෙයක් ප්‍රසිද්ධ කරන්න ගියාම ඔහොම වෙනවා.
මේ සාමාජිකයන් නැතිව හෝ ව්‍යවස්ථාදායක සභාවට කටයුතු කළ හැකියි යන මතයක් ගොඩනැඟී තිබෙනවා. එවැන්නක් සිදුවුවහොත් ස්වාධීන කොමිෂන් සභා පත්වන්නේ පූර්ණ ලෙසම දේශපාලන බල අධිකාරියක් විසින්. එවැනි සභාවක් පත් කරන කොමිෂන් සභා ස්වාධීන විය හැකි ද?
ව්‍යවස්ථාදායක සභාවට 10 දෙනාම පත්විය යුතුයි යන්න මගේ පෞද්ගලික මතය තමයි. එහෙත් ඒ තිදෙනා පත්කර නොගැනීම හේතුවෙන් සභාවේ වැඩ කටයුතු ප්‍රමාද වෙන්න බෑ. මොකද ඉදිරියේදී මැතිවරණයක් එනවා. පොලිස් කොමිෂම, මැතිවරණ කොමිෂම, රාජ්‍ය සේවා කොමිෂම ෙම්වා නැතිව කොහොමද මැතිවරණයකට යන්නෙ. ඒ නිසා මම කියන්නෙ දැනට ව්‍යවස්ථාදායක සභාවේ සිටින සාමාජිකයන්ගෙන් හෝ මේ කොමිෂන් සභා පත්කළ යුතුයි. එහෙම නැතිව කොහොමද මැතිවරණයකට යන්නෙ. කොමිෂන් සභා පත් නොකර මැතිවරණයකට යාම ලොකු ප්‍රශ්නයක්.
දෙමළ ඩයස්පෝරාව සහභාගි වන අන්තර්ජාතික සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරන බවට යම් යම් චෝදනා නැඟෙමින් තිබෙනවා. මේ සමුළුව පැවැත්වීම හා ඒ ගැන නැඟෙන චෝදනා ගැන ඔබ දරන මතය කුමක් ද?
දෙමළ ඩයස්පෝරාව කියන වචනය ඇහුණ ගමන් ශ්‍රී ලංකාව බය වෙනවා. මිනිස්සු හිතන්නේ ඩයස්පෝරාව කියන්නෙ කොටි සංවිධානය කියලයි. මේ වැරැදි අර්ථගැන්වීම් දේශපාලන වාසි තකා කළ ඒවා.
ඩයස්පෝරාව කියන්නෙ ලංකාවෙන් විදේශවලට ගිහින් රැකියා කරමින් එහි පදිංචි වී සිටින ශ්‍රී ලාංකේය ජන සමූහයටයි. එතැන සිංහල, මුස්ලිම්, දෙමළ කියන හැම වර්ගයක්ම ඉන්නවා. එහෙම නැතිව ඩයස්පෝරාව කියන්නෙ කොටි නොවෙයි.
මේ කොටස ඇතුළෙ දෙමළ අන්තවාදීන්, මුස්ලිම් අන්තවාදීන් මෙන්ම සිංහල අන්තවාදීනුත් ඉන්නවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවේ කොටින්ට විරුද්ධ අයත් ඉන්නවා. එතකොට ඒ අයත් කොටි ද? මම නම් කියන්නේ මෙවැනි සමුළු ලංකාවේ පැවැත්විය යුතුයි.
අවුරුදු තිහක් තිස්සේ විදේශගත වුණ දෙමළ ජනතාව මේ රටට එන්න ඕනෙ. ඇවිත් මෙහේ සිටින ජනතාව සමඟ පුළුල් සංවාදයකට හවුල් වෙන්න ඕනෙ. එකිනෙකා හඳුනාගන්න ඕනෙ. එතකොට තමයි සංහිඳියාව ඇතිවෙන්නෙ.
ඒ කියන්නෙ මේ සමුළුව කොටින්ට අනුග්‍රහයක් නොවෙයි?
මේකනෙ. යුද්ධ කාලේ මේ වචන පට්ට ගහලනෙ තියෙන්නෙ. දෙමළ ඩයස්පෝරාව කියන වචනයත් කොටින්ටම සම්බන්ධ කරලා හංවඩු ගහලා තියෙන්නෙ.
ජනමාධ්‍යයයි දේශපාලකයොයි දෙගොල්ලම මේකට වගකියන්න ඕනෙ. ශ්‍රී ලංකාවේ අද තියෙන්නෙ විද්‍යාව යටගහලා මිථ්‍යාව උඩට ගෙනෙන ක්‍රමයක්නෙ. ඒ ක්‍රමය යටතේ වචනවල තේරුමත් විකෘති කරලා. ඇත්තටම විය යුත්තේ බෙදුම්වාදී කොන්දේසි යළි ඇති නොවන විදියට කටයුතු කිරීමයි. ඒ සඳහා මෙවැනි සමුළු විශාල පිටිවහලක්.
මෙවැනි සමුළු පැවැත්විය යුතු බවට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේත් සඳහන් වී තිබුණා. ඒ කාලේ අද ඔබ අගයන මේ සමුළු පැවැත්වීමට හිටපු ජනපතිතුමාට උපදෙස් නුදුන්නේ ඇයි?
මොකද නුදුන්නේ? දවසක් පැය දෙකක් තිස්සේ මම මේ ගැන කිව්වා. ඒ විතරක් නොවේ, කොමිෂම් වාර්තාව ක්‍රියාවට නංවන ලෙසත් මම කියා සිටියා. කොහෙද ඒ කාලෙ අපි කියපුවා ඇහුවේ නෑ. එතුමා ඇහැව්වේ ජාතිවාදීන් කියපු දේවල්.
ඔය වාර්තාව ගෝනි බිල්ලෙක් කළෙත් දේශපාලකයොම නේද?
ඒකට තමයි ජනමාධ්‍ය තියෙන්නෙ. නිවැරැදි තොරතුරු ජනතාවට දෙන්න මාධ්‍ය දැනගන්න ඕනෙ. ඒ අයත් විකුණා ගන්න පුළුවන් දේ ගැන බලනවා මිසක් හරි දේ රටට දෙන්නේ නෑනෙ.
අපි එදා මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට කිව්වා ජාතිවාදීන්ට යට නොවී වැඩ කරන්න කියලා. අපි කියන දේ ඇහැව්වේ නෑ. අද අලුත් ජනාධිපතිතුමා හෝ මේ වාර්තාව ක්‍රියාවට නැඟීමට කටයුතු කිරීම අපට සතුටක්. ඔය එක එක්කෙනා කියන හැටියට රට පාලනය කරන්න බෑ.
ක්‍රියාත්මක කරන්න තිබුණු බාධක මොනවද?
මහින්ද මහත්තයා හැදුවේ 13 ත් වෙනස් කරන්න. එහෙම වුණා නම් ආයෙත් යුද්ධයකට යෑමේ කොන්දේසි ගොඩනැඟෙනවා. රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ හා මම එකතුවෙලයි යන්තම් ඒක වළක්වා ගත්තේ.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම් වාර්තාව හැදුවේ බුද්ධි මණ්ඩලයක්. දැන්වත් ඒ කාරණා ඉටුවෙන්න ඕනෙ. ඔය වාර්තාව විවේචනය කරන මන්ත්‍රීවරු අඩුම තරමේ ඕක කියවලාවත් නෑ.
නමුත් ඒ අයගේ විරෝධතාවලටත් හේතු ඇති නේද?
1948 කලින් තිබුණෙ යූ. එන්. පී. ය විතරයි. දැන් දෙමළ පක්ෂ 10 ක් තියෙනවා. මුස්ලිම් පක්ෂ 10 ක් තියෙනවා. බෞද්ධ පක්ෂත් තියෙනවා. මෙහෙම බෙදී වෙන්වුණ රටක් මොකටද? මේ දේවල් ගැන නිවැරැදි විග්‍රහයකට යන්න ඕනෙ. එහෙම නැතිව පටු පරමාර්ථවල ඉඳගෙන වැඩ කරන්න හොඳ නෑ.
ඒ අය විවේචන කරන්නෙ පටු පරමාර්ථ ඇතිව අද තියෙන්නෙ ප්‍රතිලාභ දේශපාලනයක්. ප්‍රතිපත්ති දේශපාලනයක් නැතිවීම කනගාටුවක්. මම මහින්දට ඒ කාලෙ කිව්වා ළමයි වඩා ගත්තට, විවෘත කිරීම්වලට ගියාට වැඩක් නෑ ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න කියලා. අපි කියපු දේ ඇහුවේ නෑ.
එදා මැතිනිය හොඳ නිසා තමයි ගම්වල මිනිස්සු මේ පක්ෂය සමඟ හිටියෙ. අද දේශපාලකයෝ ජනතාවට කිසිම දේශපාලන අවබෝධයක් දෙන්නෙ නෑ. ඒ අවබෝධය නැත්නම් එහෙම ආණ්ඩු මිනිස්සු රකින්නෙත් නෑ.
තවමත් ක්‍රියාත්මක වන්නෙ වරප්‍රසාද දේශපාලනය කියලා ද ඔබට හිතෙන්නෙ?
ඔය ඇමැතිකම් තව සති දෙකනේ. ඉන් පස්සෙ ඕවා ඉවරයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂ නායකයා වෙයි කියලා ඔය කවුරුත් හිතුවේ නෑනෙ. දැන් ඔහු නායකයා වුණා. ඒ කාර්යය කරගෙන යන්න දැන් ඔහුට ඉඩ දිය යුතුයි.
ඉදිරි මැතිවරණයට මොකද කරන්නෙ.
මම නම් ඉල්ලන්නෙ නෑ.
කොමියුනිස්ට් පක්ෂය සන්ධානගත වන්නේ ශ්‍රීලනිපය සමඟ ද, මහින්ද පිල සමඟ ද?
අපි තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. අපේ බලාපොරොත්තුව එම සන්ධානයත් සමඟ හිඳීමටයි.
එම සන්ධානය දෙකට තුනට කැඩෙයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම වුණොත් එතකොට බලමු.