මොකක්ද මේ ත්‍රිමාණ කියවීමක් කියන්නෙ?
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, දීප්ති කුමාර ගුණරත්න , ජයසිරි අලවත්ත කියන විචාරකයන් තුන් දෙනා මගේ මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා කියන නව කථා ත්‍රිත්වය මාන තුනකින් විචාරයට ලක් කරනවා. ඒ කියවීම තමයි ත්‍රිමාණ කියවීමක් ලෙස නම් කරලා තියෙන්නෙ.
ඔබේ පොත් ගැන ඇයි මෙවැනි විචාර එකතුවක් නිකුත් කරන්න කල්පනා කළේ?
අපේ රටේ සාහිත්‍ය කලා විචාරය අද ඉතා ඛේදනීය තත්වයක තියෙන්නෙ. සාහිත්‍ය විචාර කියලා අද අපිට කියවන්න හම්බවෙන්නෙ, ජාතික පුවත් පත්වළ සතියකට සැරයක් පළ වන කොලම් කීපයක විචාර පමණයි. අනිත් පැත්තෙන් විචාර පොතකට රටේ ඉල්ලුමක් නැති තරම්, ඒ නිසා පොත් ප්‍රකාශකයන් විචාර පොතක් අච්චු ගහන්න දෙවරක් නෙමෙයි හතර පස් සැරයක් හිතනවා. ඉතිං පොත් ප්‍රකාශකයන් ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි නිසාත් මේ විචාර පත්තරවල පළ කරන්න බැරි තරම් දීර්ඝ විචාර තියෙනවා, මං කල්පනා මවිසින්ම මේක මුද්‍රණය කරන්න.
ඔබ හිතනවද මේ උත්සාහයෙන් සාහිත්‍ය විචාර පොත් පිළීබඳව රටේ උනන්දුවක් ඇති වෙයි කියලා?
ඒ ගැන කීයටවත් මට සහතික වෙන්න බැහැ. ඒත් ප්‍රථම වතාවට මගේ පොත් ගැන පළ වෙච්ච ෆේස් බුක් කොමෙන්ට්ස් එකසිය දෙකක් මේ පොතට එකතු කරලා තියෙනවා.
ඇයි ඔබ ෆේස් බුක් කොමෙන්ට්ස් මේකට එකතු කරන්න කල්පනා කළේ?
ෆේස් බුක් පරිහරණය කරන බොහෝ අය රටේ සම්මත විචාර කුල කිසිවකට අයත් නැහැ. ඔවුන් පොතක් කියවලා තමන්ට දැනෙන හැඟීම නිදහස්ව නිර්ව්‍යාජව ප්‍රකාශ කරනවා. උදාහරණයක් විඳියට යම් පොතක් අති විශිෂ්ඨ පොතක් කියලා සම්මත විචාරකයන් නම් කරනකොට ෆේස් බුක් පරිහරණය කරන තරුණයන් එය සටහන් කරන්නේ, මේක නම් පට්ට පොතක් කියලා. අදහස එකමයි. භාෂා ප්‍රවේශය විතරක් වෙනස්. අනික් අතට ෆේස් බුක් කොමෙන්ට් කියන්නෙ, අද දවසේ නූතන තාරුණ්‍යයයේ රස වින්දනය තේරුම්ගත හැකි එක්තරා කැඩපතක්.
එතකොට මේ දහ වෙනිදා තියෙන කතා බහත් ඔබ නම් කරලා තියෙන්නෙ ආදරණීය වික්ටෝරියා ත්‍රිමාණ කියවීමක් කියලා නේද?
ඔව්! මහාචාර්ය ඉඳුරාරේ ධම්මරතන හිමි, අනුර කුමාර දිසානායක සහ අශෝක හඳගම කියන තුන් දෙනා සහමුලින්ම එකිනෙකට වෙනස් චරිත තුනක්. ඒ තුන් දෙනා මාන තුනකින් ආදරණීය වික්ටෝරියා කියවන විඳිහ, ජූනි දහවෙනිදා හවස තුනට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී දැක ගන්න පුළුවන්.
ජවිපෙ නායක අනුර කුමාර සාහිත්‍ය කියවීමක් සඳහා සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය විය හැකියි. ඔබ ඔහුට ආරාධනා කළේ, අමතර ප්‍රසිද්ධියක් ලබා ගන්නද?
ආදරණීය වික්ටෝරියා පොතේ අන්තර්ගත වෙන්නෙ දහ නව වෙනි සියවසේ රට පුරා ව්‍යාප්ත වුණු අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාවයි. ඉඩම් හිමි රදළ පන්තිය අභිබවා ලංකාවේ මුල්ම ධනපතියන් බිහි වෙන්නෙ, මේ අරක්කු රේන්ද ව්‍යාපාරයෙන්. අනික් අතට විසි වෙනි සියවසේ ආරම්භයේ, මේ රටේ දේශපාලනයට එළඹෙන්නෙ, එක්කො මේ අරක්කු රේන්ද මුදලාලිලාගෙ පුත්තු නැත්නම් ඥාතීන්. එහෙමත් නැතිනම් ඔවුන්ගේ හිතවතුන්. අවුරුදු සියයකට පස්සෙ වුණත් අද දේශපාලනය තුළත් සිද්ධ වෙන්නෙ මේකමයි. අරක්කු, කසිප්පු, කුඩු එතනෝල් බිස්නස් කාරයන් සහ දේශපාලඥයන් එකිනෙකාගෙන් වෙන් කරන්න බැහැ. ඒ නිසා මේ ගැන කතා කරන්න අනුර කුමාර වඩා සුදුසුයි කියලා මං කල්පනා කළා.