මේ එලඹිලා තිබෙන්නෙ තීරණාත්මක සහ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නෙ? මේ වන විට පැහැදිලිව ම දකින්න තිබෙන දෙයක් තමයි ලංකාව දේශපාලන අධිකාරිය ඒකාධිපති ක්‍රමයකට ගන් කරමින් තිබෙන බව. ඒකාධිපති ක්‍රමයක පූර්ව ලක්ෂණයක් තමයි මිනිසුන් තුළ බයඇති කිරීම. වඩාත් පැහැදිලිව කියනව නම්: මිනිස්සු රටේ තිබෙන දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්න බයයි, ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බයයි, පාලකයන්ගේ නොපනත්කම්වලට එරෙහි යමක් ලියන්න බයයි, ඒ කාරණය අරබයා කිසියම් වූ කලා නිර්මාණයක් කරන්න බයයි. සරලව ම කියනව නම් මේ පවතින පාලන ක්‍රමය පිළිබඳව කෙතරම් දැනුවත්ව හිටියත්, ඒ පිළිබඳව වද වෙමින් හිටියත් එළියට ඇවිත් එය ප්‍රකාශ කරන්නෙ නැහැ. ඒ පීඩනය ඉතා අසීරුවෙන් දරාගෙන ජීවත් වෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල අපි හිතන්න ඕන.
ඒකට හේතුව තමයි: එවැනි අදහසක් ප්‍රකාශ කළාට පස්සෙ ඒ පුද්ගලයට තමන්ගෙ රැකියාව පිළිබඳ ප්‍රශ්නයකට, තමන්ගෙ දරුවන් පිළිබඳ ප්‍රශ්නයකට එහෙමත් නැත්නම් තමන්ගෙ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වේදෝ කියන සැකය මුළුමහත් සමාජය පුරාම පවතිනවා. ඒක මිනිසකුට නිදහසේ සිතන්න, ලියන්න, කියන්න සහ ජීවත්වෙන්න තියෙන අවකාශය අවලංගු වීමක්. මෙන්න මේ තත්ත්වය නිසා සියල්ලෝ ම මුනිවත රකිමින් ජීවත් වෙනවා.
මේක ඒකාධිපති ක්‍රමයක පූර්ව ලක්ෂණයක්. ඒකාධිපති පාලනක් ස්ථාපිත වුණු හැම රටක ම පූර්ව ක්‍රියාවලිය මේක ම තමයි. රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ අවබෝධය අඩු සාමාන්‍ය ජනතාවට මෙය වැටහෙන්නේ නැහැ. ඔවුන් හිතන්නෙ ‘අපිට මොකද? අපි කාටවත් පක්ෂත් නැහැ විරුද්ධත් නැහැ. ඒ නිසා අපිට මොනවත් වෙන එකක් නැහැ’ කියල. නමුත් යථාර්ථය ඒක නෙවෙයි. මේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න ඉඩ දුන්නොත් අනිවාර්යයෙන් ම තව වසර හතරක් පහක් ඇතුළත මේ ක්‍රමයට විරුද්ධව හඬ නගන මිනිසුත්, නිහඬව සිටින මිනිසුන්ටත් බෙදන්නෙ එකම හැන්දෙන් බව කියන්න ඕන. ඒක ස්ථිරයි. කවුරු හරි කියනව නම් අපි ඒ අයට විරුද්ධ වුණේ නැහැ. අපි අපේ පාඩුවෙ හිටිය කියල. ඒක හිතළුවක් වෙනවා.
මේක තේ කෝප්පයේ කිඹුල්ලු දැකීමක් නෙවෙයි ද?
යම් යම් අය කියන්න පුළුවන් අපි මේ කරන පූර්ව නිගමන යථාර්ථයක් වෙන්නෙ නැහැ කියල. නමුත් මේ ක්‍රමය ඇතුළෙ ඒකාධිපති පාලනයක් සඳහා පූර්ව සැකසුම් සියල්ල නිම කර හමාරයි. මේව උපකල්පන නෙවෙයි. කෙටි උදාහරණ කීපයක් කියනවා නම්: සියලු රාජ්‍ය ආයතන හමුදාකරණයට ලක් කරලා. බොහෝ රාජ්‍ය ආයතනවලට අයත් භූමි හමුදාවට යටත් කරලා. සරසවි ශිෂ්‍යයාගේ සිට සියලු රාජ්‍ය නිලධාරීන්ට හමුදා පුහුණුව යැයි කියන ඊනියා පුහුණුවක් දෙමින් ඔවුන්ට හමුදා නිල තල ලබා දෙනවා. මේව කරන්නෙ සෙල්ලමට නෙවෙයි.
රටේ ආදායම් කේන්ද්‍රෙයන් 70% බෙදී ගිහින් තිබෙන්නේ එක් පවුල් සංස්ථාවක් වටා පමණයි. ඒ පවුල් සංස්ථාව තමන්ගේ අනාගත අභිවෘද්ධිය තකා වැඩ කරනව මිසක් රටේ සමස්ත ජනතාව පිළිබඳ අවධානය යොමු කරන බවක් පේන්න නැහැ. ඒ අයගෙ දරුවන්ට ලක්ෂ දෙකහමාරෙ සපත්තු, කෝටි ප්‍රකෝටි ගණන් වටිනා රේස් කාර්. උදේ හවස කොළඹ ඉඳල නුවර එළියට යන්න එන්නත් ගුවන් පහසුකම්. දුප්පත් පාසල් දරුවන්ට පාසලට දාන්න සපත්තු දෙකක් ගන්න ක්‍රමයක් නැහැ. ග්‍රාමිය ජනතාවට පමණක් නෙවෙයි නාගරික ජනතාවට වුණත් නිසි ප්‍රවාහන පහසුකමක් නැහැ. මේකෙන් හොඳට ම පැහැදිලි වෙනවා මේ සම්පත්, බලය සහ ආදායම් සියල්ල කේන්ද්‍රගතවෙමින් තිබෙන්නේ පවුල් සංස්ථාවක් වටා බව. මෙහි අනෙක් ප්‍රතිඵලය තමයි රටේ බහුතර ජනතාවකගේ ආදායම පහත වැටීම සහ ඔවුන් දැඩි ජීවන අරගලයකට මුහුණ පෑම.
නමුත් ඔබ ඔය සඳහන් කරන කණ්ඩායම එහෙමත් නැත්නම් මේ පවතින දේශපාලන බලාධිකාරිය නිරන්තරයෙන් කියන දෙයක් තමයි ‘ජනතාව අපෙන් ඉල්ලුවෙ ත්‍රස්තවාදය පරාද කරන්න කියල. අපි ඒක කරා’ කියල.
පැහැදිලිව ම කියන්න ඕන යුද්ධය නිමා කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගත් පියවරවල් සඳහා මම හිස නමා ගෞරව කරනවා. 2005 මහින්ද රාජපක්ෂ මහත්මය ජනාධිපති ධුරයට පත්වෙන්නට පෙර ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ ප්‍රධාන කාරණයක් තමයි මේ රටේ පවතින ත්‍රස්තවාදය අවසන් කිරිම. 2009 මැයි වන විට ඒ කටයුත්ත අවසන් කරනවා. වසර තිහක් පුරා රටේ පැවති යුද වාතාවරණය නිම කිරීම සඳහා එතෙක් කිසිඳු පාලකයෙක් අනුගමනය නොකළ කාර්යභාරයක් ඔහු විසින් සිදු කළා.
ඒ සඳහා මේ රටේ ජනතාව කෘතගුණ සැලකුවේ 2010 වසරෙදි මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති පුටුවෙ වාඩිකරවලා. එදා ඔහු මොනවද කිව්වෙ? ‘දැන් යුද්ධයට වියදම් වෙන්නෙ නැහැ. ඒ සම්පත් අපිට ඉතුරු වෙනවා. ත්‍රිවිධ හමුදාවේ පිරිස් වෙනත් සංවර්ධන වැඩ සඳහා යෙදවිය හැකියි. අපි ඒ සංවර්ධනය රටට උදා කර දෙනවා’ කියල. නමුත් ඒ කියපු සංවර්ධනය අපේ රටට උදා වෙලා තියෙනව ද? මත්තල ගුවන් තොටුපළ හැදුව කියල හම්බන්තොට වරාය හැදුව කියල මත්තලට ගුවන් යානා එනවද? හම්බන්තොට වරායට නැව් එනවද? අපි කරන්න ඕන මුදල් නාස්ති නොකර තිබෙන ස්ථාන වැඩි දියුණු කරන එකනෙ.
නමුත් අවසානයේ මොකක් ද සිද්ධ වෙලා තියෙන්නෙ? ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් යටිමඩි ගසාගැනීමනෙ. නාස්තිකාර වියදම්වලට යන්නෙ නැතුව කරන්න තිබුණෙ කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ වැඩි දියුණු කරන්නනෙ. දැන් අපි හිතමු සිංගප්පුරුවේ සැන්ඩි ගුවන්තොටුපොළ. ඒක ආසියාවේ විතරක් නෙවෙයි ලෝකයේ ම ගුවන් තොටුපොළවල් අතරින් ප්‍රමුඛස්ථානය උසුලන ගුවන් තොටුපොළක්. ඔවුන් දැනටත් කරන්නෙ ඒ ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න සහ ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරගැනීම සඳහා කටයුතු කිරීම. නමුත් මෙම නව ඉදිකිරීම් හරහා මේ පවුල් සංස්ථාවට ලැබෙන අයතා මුදල් ප්‍රමාණය නිසා තමයි මේ වගේ අසාර්ථක ව්‍යාපෘති අරඹලා තියෙන්නෙ. දැන් මේ පිළිබඳ සියලු තොරතුරු හෙළි වෙමින් පවතිනවා.මේ සියලු ප්‍රශ්න අතරෙ පවතින දැවැන්ත ම ප්‍රශ්නය තමයි විධායක ජනාධිපති ක්‍රමය.
මේ ක්‍රමය අහෝසි කරන බවට මහින්ද රාජපක්ෂ මහත්මය පොරොන්දු වෙලා දැන වසර දහයක් වෙනවා. අපි දන්නවා 77 ව්‍යවස්ථාවෙ තිබෙන්නෙ එක් පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරයට තරග කරන්න පුළුවන් දෙවතාවක් පමණයි කියල. ඇමරිකාවෙත් එහෙමයි. ඒත් වසර හතරකට වරක්. ඒ කියන්නෙ උපරිම වසර අටයි. ලංකාවෙ තුන් වතාවක් කියන්නෙ වසර දහඅටක්
. ඒක අසීමාන්තික බල ව්‍යුහයක් එක් පුද්ගලයෙක් වටා කේන්ද්‍ර කරගැනීමක්. මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි. නමුත් ග්‍රාමිය ජනතාව අහන්න පුළුවන්‘අනේ ඉතිං මේක තිබුණම මොක ද’ කියල.
මේ වචනවල අරුත බොහෝ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් ද? සමාජවාදය කියන්නෙ මොකක් ද? ෆැසිස්ට්වාදය කියන්නෙ මොකක් ද? ලිබරල්වාදය කියන්නෙ මොකක් ද? කියන කාරණය රටේ බහුතර පිරිසකට තේරෙන්නෙ නැහැ. මේවායේ අනතුරට මුහුණ දුන්නට පස්සෙ තේරිලත් වැඩක් නැහැ.
ඒ නිසා මට දැනෙන මේ ව්‍යසනය ව්‍යසනයක් කියල රටේ ජනතාවට පහදල දෙන්න බැරිනම්, එහෙමත් නැත්නම් පහදල නොදි ඉන්නව නම් මම මනුෂ්‍යෙක් නෙවෙයි තිරිසනෙක් ගානට වැටෙනවා. මට කවද හරි පශ්චාත්තාප වෙන්න සිද්ධ වෙනවා ඇයි මම මේ මොහොතෙ නිහඬව සිටියෙ කියලා. මේ දේ පැහැදිලි කරා කියල මට ලැබෙන දෙයක් නැහැ. තිබෙන යමක් නතිවෙන එක පමණයි වෙන්නෙ. නමුත් එහෙම කියල නිහඬව ඉන්න බැහැ.
යුද්ධය අවසන් කිරිම සතුටු වෙන බව ඔබ පැවසුවා. නමුත් අසුව දශකයේ ආරම්භයේ දී ම කුට්ටමනි ප්‍රකාශ කළා ‘අද උතුරේ අපි වෙත එල්ලවෙන අවිය හෙට දකුණේ ඔබ වෙතට එල්ල වෙනවා’ කියල. අනතුරුව යුද්ධය පවතින මොහොතේ යුද්ධයට විරුද්ධ දකුණේ ජනතාව කිව්වා ‘අද උතුරට එරෙහිව එල්ලවන අවිය හෙට දකුණට එල්ල වේවි’ කියල.
අපිට මෙතනදි අවධානය යොමු කරන්න වෙන ප්‍රධාන ම කාරණය තමයි ප්‍රභාකරන් නමැති මිනිසා නිර්මාණය වුණේ කොහොම ද කියලා සොයන එක. ප්‍රභාකරන් කියන්නෙ කුල පීඩනයෙන්, ආර්ථික පීඩනයෙන් වගේ ම සමාජ පීඩනයෙන් හෙම්බත් වුණ පුද්ගලයෙක්. ඔහු සටන්කාමියෙක් විදියට වර්ධනය වුණ සාධක අතිශය මානුෂිකයි. එහි තර්කයක් නෑ. නමුත් පසු කාලයකදි ඔහු තමන්ගේ අරමුණ වෙනස් කරමින් එය බල වියරුවක් දක්වා වර්ධනය කරගන්නවා. අන්න එතනදි තමයි ඔහු ත්‍රස්තවාදියෙක් වෙන්නෙ.
ඔහු තමන්ගෙ ඉලක්කයට යොමු කරගන්නෙ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි. මුස්ලිම් ප්‍රජාව වගේ ම දෙමළ ප්‍රජාවත් එයාගෙ තුවක්කුවේ බෝම්බයේ ඉලක්කය බවට පත්වෙනවා. ඔහු දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් නම් ඉදිරිපත් වෙන්නෙ කොහොමද දෙමළ මිනිසුන් ඝාතනය කරන්නෙ. ඔහු තමන්ගෙ විමුක්ති ව්‍යාපාරය ආරම්භ කරන්නෙ ම දොරේ අප්පා ඝාතනය කරමින්. මම හිතන්නෙ ඒක න්‍යායාත්මකව ම වැරදියි. අපි හැමෝ ම දන්නව බෞද්ධ දර්ශනයේ තියෙන කියමන. ඒක තමයි ‘අවි ගත්තෝ අවියෙන් ම නසී’ කියන එක. ඒක තමයි ප්‍රභාකරන්ටත් සිද්ධ වුණේ.
එතකොට උතුරු වසන්තය...?
මම නැවතත් කියන්නෙ ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියා මතු වෙන්න බල පෑ සාධක අපි අමතක නොකළ යුතු යි. 2009 ප්‍රභාකරන් ඝාතනය කළාට දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නය තවමත් අවබෝධ කරගෙනත් නෑ. ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලත් නෑ. කවුරුහරි කියන්න පුළුවන් පාරවල් හදල තියෙනවා, පාලම් හදලා තියෙවා, ගෙවල් හදලා තියෙනවා කියල. නමුත් මේ මොනව තිබුණත් ඒ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් තවමත් ස්ථාපිත වෙලා නැහැ. ඒ මිනිස්සුන්ට ගේ දොර, වතුපිටි, මිල මුදල්වලට වඩා අත්‍යාවශ්‍ය වුවමනාවන් තිබෙනවා. ඒ තමයි තමන්ගේ අනන්‍යතාව රැකගෙන ජීවත්වීම. ඒ නිසා සරලවම මේ දේ විග්‍රහ කරනව නම් කියන්න තිබෙන්නේ ප්‍රභාකරන් ඉවර වුණාට දෙමළ මිනිසාගේ ප්‍රශ්නය විසඳිලා නැහැ.
මෙහි වැදගත්ම දේ මේක නෙවෙයි. දැන් මොකක් ද දකුණෙ සිද්ධවෙන්නෙ? දකුණේ සිද්ධ වෙන්නෙ බලය සහ සම්පත් ඉතා සීමිත පිරිසක් වටා ඒකරාශී වෙමින් පවතිනවා. මෙන්න මේ ව්‍යසනය ඉවසාගෙන සිටීමේ සීමාව ඉක්මවා ගිය තැන තමයි පවතින ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා වන මෛත්‍රිපාල සිරිසේන මහත්මයා තමන්ගෙ සියලු නිලතල විසි කරල දාල එලඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නෙ. අර මා කලින් සඳහන් කළ බල කේන්ද්‍රයට අවශ්‍ය ආකාරයට තමයි සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල කටයුතු සිද්ධ වෙන්නෙ. ඇමතිවරු ඉන්නෙ නමට පමණයි.
මේ විදියට බලය සහ සම්පත් සීමිත පිරිසක් අතරෙ රැඳුනාම වෙන්නෙ සමස්ත ජනතාවට ලැබෙන්න තිබෙන පහසුකම් අවම වීම. මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නෙ මොකක් ද? මම නිශ්චිත වශයෙන් ම කියනව මේ රටේ නැවතත් කැරැල්ලක් ඇතිවෙන්න මේ කරුණු හේ සාධක වෙනවා. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජාතීන් පමණක් නොවෙයි කිසිඳු ආගම් භේදයකින් තොරව සාමුහිකව පැන නැගෙන කැරැල්ලක්. ඒකට මොන ජාතියක් සම්බන්ධ වුණත් මොන ආගමික පිරිසක් සම්බන්ධ වුණත් මූලිකත්වය දෙන්නෙ සිංහල බෞද්ධයො. මේ කැරැල්ල වැඩි ඇතක සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
ඉතා ආසන්න කාලවකවානුවක සිද්ධ වෙන දෙයක්. මේක මනෝ විකාරයක් එහෙම නෙවෙයි. මේකම තමයි ලිබියාවෙ වුණේ. ටියුනීසියාවෙ වුණේ. මේ වන විට ලෝකය ම එක යායාක් බවට පත්වෙලා තිබෙනවා. තොරතුරු තාක්ෂණය අතින් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ දියුණුවත් එක්ක කැරැල්ලක් පැනනැගෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි. එතනදි මහා ඝාතනයක්, ලේ වැගිරීමක් සිද්ධවේවි. ලෝකයේ කොතනකවත් ඒකාධිපති පාලකයො සුඛිත මුදිත ජීවිත ගතකරල නැහැ. හොඳ ම උදාහරණය ගඩාපි.
ගඩාපි 1969 හමුදා පාලකය බවට පත්වෙන්නෙ කොහොම ද? ලිබියාවෙ හිටපු ඉඩ්‍රිස් නමැති රජු බටහිර ගැති පුද්ගලයෙක්. විශේෂයෙන් ම ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල් එක්ක දැඩි සම්බන්ධතා තිබුණ රජ කෙනෙක්. බටහිර රටවල් ඒ සම්බන්ධතාවය පවත්වාගෙන ගියේ ලිබියාවේ තිබෙන තෙල් සම්පතට ඇහැ ගහගෙන. මේ ඉඩ්‍රිස් රජු බටහිර රටවල් සමග එකතු වෙලා තමන්ගේ සුඛවිහරණය සලසා ගත්ත මිසක් රටේ ජනතාව ගැන අවධානය යොමු කළේ නැහැ.
රටේ සම්පත් බටහිරට පිටත්කර හැරියා. ඉන් ලැබෙන අධික ලාභය තමන්ගෙ පුද්ගලික ගිණුම්වලට දාගත්තා. මේ අවකාශය ප්‍රයෝජනයට ගත්ත තරුණ හමුදා නායකයකු වුණ ගඩාපි ඉඩ්‍රිස් රජතුමා තමන්ගෙ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගන්න තුර්කියට සහ ග්‍රීසියට ගිය මොහොතක රටේ බලය අල්ලා ගන්නවා. ඒ විදියට බලයට පැමිණි ගඩාපි මිනිස්සුන්ට හිතාගන්න බැරි විදියෙ සහන ලබා දෙනවා. ගඩාපි බලය අල්ලාගන්න මොහොතෙ ලිබියාවෙ සාක්ශරතාවය 15% යි. ගඩාපි ඇවිත් ඒ ප්‍රතිශතය 75% දක්වා වර්ධනය කරනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව ස්ථාපිත කරනවා. නිවාස ඉදිකරනවා. ආදායම් මාර්ග ලබා දෙනවා. මේ හේතුව නිසා හැත්තෑවෙ දශකය වන විට මිනිස්සු හිතනවා අල්ලා දෙවියො පහල වෙලා කියලා. මේක තමයි එදා ලිබියාවෙ ඇත්ත තත්ත්වය.
අපි දන්නවා ‘යුතෝපියාව’ නමින් හඳුන්වන්නෙ සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය වුණ දේශයක් කියන එක. එබඳු කටයුත්තක් තමයි හැත්තෑවෙ දශකයේ ලිබියාවෙ සිද්ද වෙන්නෙ. නමුත් අසුව දශකය ආරම්භ වන විට මොකද සිද්ධ වෙන්නෙ?රටේ කිසිම පුද්ගලයකුට ගඩාපි පාලනයට එරෙහි වචනයක්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ. විරුද්ධ පක්ෂය කියන එක අහෝසි කරනවා. පාලකයා ගඩාපි පමණක් බවට පත්වෙනවා.
ගැහැනියට තිබෙන සමාජ අයිතිවාසිකම් සියල්ල අහෝසි කර දමනවා. ඔහුගේ ආරක්ෂක බලකාය ගොඩනගන්නෙ කාන්තාවන්ගෙන්. ඒ ඔහුගෙ හමුදාවෙ හිටපු, ඔහු සහ ඔහු සමග හිටපු හමුදා නිලධාරින්ගේ ලිංගික සහකාරියන් බවට පත්කරගෙන හිටපු එහෙමත් නැත්නම් දූෂණයට ලක් කරපු කාන්තාවො. ඒ කාන්තාවන්ගෙ මාර්ගයෙන් හිරිමල් වයසේ තරුණ ගෑනු ළමයි තමන්ගෙ ලිංගික වහලියන් බවට පත්කර ගන්නවා. මෙවැනි තත්තවයක් ලිබියාවෙ වර්ධනය වෙනවා. අවසානයේ දි ඒ කියන්නෙ දශක තුනක් ඉක්ම යන විට මොකක්ද වෙන්නෙ? මේ ඒකාධිපතියට විරුද්ධව රට තුළම විරෝධයක් පැන නගිනවා. ඒ විරෝධය හේතුවෙන් මේ මහා බලවතා, ඒකාධිපතියා තිරිසනෙක් වගේ පාරෙ මිය යනවා.
යමෙක් තර්ක කරන්න පුළුවන් ඒ දේ සිද්ධ වුණේ ඇමරිකාවෙන් සහ බටහිර රටවලින් අවි ආයුද දිපු නිසා කියල. ඒක අමූලික බොරුවක්. රටක අභ්‍යන්තර ප්‍රශ්නයක් නැත්නම් කිසිම රටකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න වෙනත් රටකට බැහැ. ඒ අභ්‍යන්තර ප්‍රශ්නය ඇති කරන්නෙ පාලකයන් විසින් ම යි. එහෙම ප්‍රශ්නයක් තිබුණම තමයි ඒකට සහයෝගය දෙන්නෙ. ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නයක් හදන් බැහැ.
ගඩාපි මරල දාන්නෙ ඇමරිකාවෙ හරි යුරෝපයේ නායකයො නෙවෙයි. ගඩාපිගෙ ම රටේ මිනිස්සු. විශේෂයෙන් ම තරුණ පරම්පරාව. ඇයි එහෙම වෙන්නෙ? ඒකාධිපතියෙක් ලෙස කටයුතු කරපු නිසා. එදා සිද්ධ වුණු සිවිල් කැරැල්ලෙන් මොනතරම් ජන කොටසක් ඝාතනය වෙනව ද? කෙතරම් විශාල ලේ වැගිරීමක් සිද්ධ වුණා ද? ඒක තමයි ඒකාධිපති වියරුවේ අවසානය. ඊජිප්තුවේ සහ ටියුනීසියාවෙ වුනෙත් මේක. පිලිපීනයේ මාකෝස්ට අත්වුණෙත් මේ ඉරණම. විධායක ක්‍රමය ඇතුළෙ නිර්මාණය කරන්නෙ මේ වගේ ඒකාධිපතියො තමයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි තබපු විශ්වාසය පළුදු වුණ නිසා මේ මොහොතෙ එම පක්ෂයේ ම ලේකම් තුමා පොදු අකේෂකයා විදියට ඉදිරිපත්වෙලා තියෙනවා. 48 න් පසු බලයට පැමිණි හැම පාලකයකු ම කළ දේවල් පිළිබඳ ආපසු හැරිල බලද්දි මෛත්‍රීපාල මහත්මය විශ්වාස කරන්න පුළුවන් ද?
ඔබ හරි... අපි බහුතරයක් දෙනා මෛත්‍රීපාල රස බලල නැහැ. හැබැයි මේ පවතින ක්‍රමය උදාවේවි කියල එදා හිතුවෙත් නැහැ. මෛත්‍රී මොනව කරයිද කියල අපිට පූර්ව නිගමනයකට එන්න බැහැ. නමුත් අපිට දැනට අත්දකින්නට ලැබෙන ලක්ෂණ අනුව මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද? මහින්ද රාජපක්ෂ පරාජය කිරීම. ඊට සුදුසු ම පුද්ගලය මෛත්‍රිපාල සිරිසේන.
මොකද ඔහු මේ ක්‍රමයට විරුද්ධ වෙන්නෙ පිටට ඇවිත් නෙවෙයි. මේ ක්‍රමය ගැන හොඳින්ම හදාරල; හරි වැරැද්ද තේරුම් අරගෙන. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ජනාධිපතිවරණය නම් කරන්නෙ ඉලක්කය වැරදී ගිය මොහොතක. මොකද මේ වෙලාවෙ ඔහුගේ ජනප්‍රියත්වය අඩුවෙලා කියල ඔහු හොඳට ම දන්නා. තව වසර දෙකක් හිටියොත් තව තවත් අප්‍රසාදයට ලක් වෙනවා. ඒ නිසා ඔහු බලාපොරොත්තු වුණේ ඔහුට වඩා දුර්වල පුද්ගලයෙක් සමග සටන් වැදිලා නැවතත් ජනාධිපති පුටුවෙ වාඩි වෙන්න; මම තවමත් මේ රටේ ජනාධිපති කියල ලෝකයට ප්‍රදර්ශනය කරන්න. නමුත් දැන් ඔහු පමණක් නොවෙයි ඔහු වටා සිටි කිසිවකුත් නොසිතපු මොහොතක දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. තමන්ගෙ ම බලකණ්ඩායමේ ප්‍රබලයෙක් තමන්ට එරෙහිව ඉදිරිපත්වෙලා තිබෙනවා. ඒ නිසා ඇත්තට ම මේක වැරදුණු කුරුමානමක්.
අවසාන වශයෙන් මම අහන්නෙ කලාකරුවෙක් විදියට සහ මේ සමාජයේ වරප්‍රසාදලාභී පුද්ගලයෙක් විදියට ජනතාවට දෙන පණිවිඩය මොකක් ද?
හොඳ ම සහ එක ම පණිවිඩය මේකයි. මේ වෙලාවෙ ජනතාව නිහඬව ඉන්නවා. ඒක ජනතාවගේ වැරැද්දක් නෙවෙයි. මේ ඒකාධිකාරි බල ව්‍යුහයේ වැරැද්ද. ඒ නිහඬ බව ඇති කරල තියෙන්නෙත් මේ ඒකාධිපති බලතල විසින්. හඬ නැගුවොත් තමන්ගෙ ජිවිතයට ලොකු තර්ජනයක් වෙනවා. මේ විදියට හඬ නගන මට ඇතුළු තවත් බොහෝ දෙනෙකුට ඒ ඉරණම අත්වෙන්න පුළුවන්. අපිට ලැබෙන්න තියෙන දේ බොහොම අවම යි. නැති වෙන්න තියෙන දේ බොහොම ඉහළ යි.
නමුත් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන්න ඉඩ දෙන්න බැහැ. ඉඩ දෙන්නත් එපා. මේ ක්‍රමය දිගට ම පැවතුනොත් අපි විතරක් නෙවෙයි අපේ දරුවොන්ගෙ දරුවොත් මේ ක්‍රමයට බිලි වෙනවා. මෙන්න මේ යථාර්තය තේරුම් ගන්න කියල මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එලඹීමට නියමිත ඒකාධිපති පාලනය වළක්වා ගතයුතුයි කියල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අපි දන්නවා බෞද්ධ දර්හනයේ තිබෙන්නේ බල තන්හාව අත්හරින්න කියලා. නමුත් දැන් රට පාලනය කරන්නෙ බෞද්ධ දර්ශනයට පටහැනි පාලකයෙක්. මේ රටේ බහුතරයක් ඉන්නෙ බෞද්ධයොනෙ. ඒ බෞද්ධයො හොඳට කල්පනා කරල බලන්න බෞද්ධ දර්ශනයට පටහැනි පාලකයෙක් තවදුරටත් රටේ නායකය බවට පත්කරනව ද කියල.