ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂයේ අනාගත දේශපාලන සැලසුම් ගැන කතා කරන විට ඔබත් එහි තීරණාත්මක වැඩකොටසක් ඉටුකරන නායකයෙක්. අනාගත සැලසුම්කරුවෙක්. කොහොමද ඉදිරියේදී එන ජනාධිපතිවරණය ඔබ දකින්නේ... මොනවගේද ඊට ඔබලාගේ සූදානම...
පිළිතුර - මේ රජය පවත්වන හදිසි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නට අපට සිදුවෙනවා කියන එක එජාපය හැටියට අපි වටහා ගත්තේ 2012 දී. ඒ අනුව ඒ ගැන ප්‍රකාශයක් කරලා 2013 ප්‍රතිසංවිධාන වර්ෂයක් හැටියට නම් කළා. ඒ වගේම 2014 දී ජන බලය වැඩසටහන ක්‍රියාවට නඟලා එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් බිම් මට්‌ටමෙන්, ගම් මට්‌ටමෙන් ශක්‌තිමත් කරන එක ආරම්භ කළා. මෙයාලා හදිසි ජනාධිපතිවරණයක් කැඳවලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කාගන්න සැලසුම් කළත් අපිත් ඊට සූදානම් වීම කල් තියාම අරඹලා තිබුණා. ඒක නිසා අපිට මේ ජනාධිපතිවරණය ප්‍රශ්නයක් නොවෙයි.
ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂය හැටියට ඔබ සැම එළඹෙන ජනාධිපතිවරණය හදිසි ජනාධිපතිවරණයක් කියල හඳුන්වනවා. නමුත් මෙය ජනාධිපතිවරයා ඔහුට නීත්‍යනුකූලව හිමි වූ කාල රාමුවලට අනුකූලව කැඳවන මැතිවරණයක් නොවෙයිද?....
පිළිතුර - නෑ..නෑ.. නෑ.. නෑ.. මේක හදිසි ජනාධිපතිවරණයක් කියල අපි නොවෙයි කියන්නේ. එයාලා තමයි කියන්නේ. මම කිව්වේ අපිට හදිස්‌සියක් නෑ. නමුත් ඔවුන්ට, ආණ්‌ඩුවට හදිසි ජනාධිපතිවරණයකට යන්න වුවමනාවක් තිබෙන බව අපි දැක්‌කා. මොකද මේ රටේ පොදු ජනතාවට තිබෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න සැලැස්‌මක් හැකියාවක් මේ ආණ්‌ඩුවට නැහැ. විසඳුම් නැහැ. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ජනතාවගේ බඩගින්නට විසඳුම් නැහැ. ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනාවලට පීඩනයට මුහුණ දෙන්න සැලැස්‌මක් නැහැ. ඒක නිසා ජනතාවගේ ප්‍රශ්න තව උග්‍ර වෙන්න ඉස්‌සර වෙලා බඩගින්න වැඩි වෙන්න ඉස්‌සර වෙලා, ජාත්‍යන්තර පීඩනය වැඩි වෙන්න ඉස්‌සර වෙලා ජනතාව තව තවත් කුපිත වෙන්න ඉස්‌සර වෙලා ඉක්‌මන් මැතිවරණයක් පවත්වලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කන්න තමයි මෙයාලා මේ මැතිවරණයට යන්නේ. නැත්නම් ඉතින් 2016 නොවැම්බර් වෙනකන් මෙයාලට කාලය තියෙනවානේ.
ප්‍රශ්නය - ජනාධිපතිවරණය කලින් ඒම පිළිබඳ එක්‌සත් ජාතික පක්‍ෂයට තියෙන්නේ අවංක සතුටක්‌ද... අකැමැත්තක්‌ද? එහෙම නැතිනම් බයක්‌ද.....?
පිළිතුර - අපිට ඕක 2015 ජනවාරි තිබ්බත් එකයි, නියමිත පරිදි 2016 නොවැම්බර් තිබුණත් එකයි. අපි ඊට හො¹කාරවම සූදානම් වෙලයි ඉන්නේ. 2015 ජනවාරියේදී ජනාධිපතිවරණය තිබුණත් අපි ඒක දිනනවා. ජයග්‍රහණය කරනවා. හැබැයි 2016 නොවැම්බර් වෙනතුරු හිටියොත් ජනතා අප්‍රසාදය තව තවත් රජයට ඇතිවෙලා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙන බව අපි දන්නවා. මේ කොහොම ආවත් අපිට එකයි. මොකද අපි දැන් ශක්‌තිමත්.
ප්‍රශ්නය - 2012 සිටම එක්‌සත් ජාතික පක්‍ෂය හදිසි මැතිවරණවලට සූදානම් වුණ බව ඔබ කියනවා. ඒත් පසුගිය කාලේ අපි නම් ඔබලගේ පක්‍ෂය ඇතුළේ එහෙම දෙයක් දුටුවේ නෑ. අපි දැක්‌කේ දිගින් දිගටම අර්බුද. නායකයාට තිබුණ අභියෝග. ඇතුළේ විප්ලව. අරගල, සටන්... එහෙම නොවෙයිද...
ප්‍රශ්නය - අද පවතින මේ ක්‍රමය තුළ යම් පක්‍ෂයක් සෑහෙන කාලයක් විපක්‍ෂයේ සිටින විට විවිධාකාරයේ අභ්‍යන්තර අරගල ඇතිවෙනවා. ඒක මම පිළිගන්නවා. ඕනම පක්‍ෂයකට ඒක පොදුයි. කොටින්ම කියනවා නම් 1988 දී මම දේශ පාලනයට ප්‍රවේශ වනවිට අවුරුදු 11 ක් විපක්‍ෂයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ කොච්චර අර්බුද තිබුණද... මූලස්‌ථානය සීල් තියල තිබුණා. පක්‍ෂයේ ලාංඡනය ප්‍රශ්නවලට මැදිවෙලා තිබුණා. පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයන් විශාල ගණනක් රජයට එක්‌වෙලා තිබුණා. 88 ට පසුත් අර්බුද තිබුණා. අනුර බණ්‌ඩාරනායක මැතිතුමා හා සිරිමාවෝ මැතිනිය දෙපිලකට බෙදිල හිටියා. ඔහොමයි එතන තිබුණේ. නමුත් ජයග්‍රහණයේ සුවඳ දැනෙන්න පටන් ගන්නකොට ඔය කියන අර්බුද ගැටලු අරගල ඔක්‌කොම හිරු දුටු පිනි වගේ වාෂ්ප වෙලා යනවා.
හොඳ උදාහරණයක් කියන්නම්... එදා චන්ද්‍රිකා මැතිනිය පක්‍ෂය ප්‍රතිසංස්‌කරණය කරමින් පැමිණෙද්දී මහින්ද රාජපක්‍ෂලා කොච්චර විරුද්ධ වෙලා දැඟලුවාද. ඒත් ඉතින් චන්ද්‍රිකා මැතිනිය ජයග්‍රහණය ලබන විට ඒ සුවඳ දැනෙන විට අර ඔක්‌කොම ප්‍රශ්න අමතක කරලා සැවොම සමගි වුණානේ. ඒ වගේ අපේ පක්‍ෂයත් ජයග්‍රහණයේ සුවඳ දැනෙන විට ප්‍රශ්න පසෙක තියලා සමගි වෙලා ජයග්‍රහණය කරා යනවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ දැන් එක්‌සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණයේ සුවඳ දැනිලද තියෙන්නේ...
පිළිතුර - ඔව්... දැනිල තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි උද්ධච්ච වෙලා අපිට පමණක් මේක කරන්න පුළුවන් කියල තනි ගමනක් යන්නේ නැහැ. අපි තමයි, අද මේ රටේ තනි පක්‍ෂයක් හැටියට විශාලතම ජන බලයක් සහිත පක්‍ෂය. නමුත් අපි මේ ගමන තනිව යන්නේ නැහැ. අපි සමග මේ ගමන එකට යන්න කැමැති, මහින්ද රාජපක්‍ෂ රජය හා රෙජිමය පලවා හරින්න කැමැති සියලු බලවේග අපි ඒකරාශී කර ගන්නවා. මොකද මේ සටන හරිම තීරණාත්මකයි. අපිට ඕන එක්‌සත් ජාතික පක්‍ෂ රජයක් පිහිටුවන්නම නොවෙයි. පොදු ගමනක් යන ජනතාවකගේ සහභාගිත්වයෙන් පොදු වැඩපිළිවෙළක් සහිත පොදු වේදිකාවක් හදන්නයි අපිට ඕන. ඒ තුළින් හැමටම සතුටු විය හැකි රජයක් පිහිටු වන්නයි අපිට අවශ්‍ය.
ප්‍රශ්නය - එක්‌සත් ජනතා නිදහස් සන්ධානය එහි ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරලා ඉවරයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊළඟ මැතිවරණයට ජනාධිපති අපේක්‍ෂක විදියට ඉදිරිපත් වන බව කිව්වා. හැබැයි තාම විපක්‍ෂයට බැරි වුණා තමන්ගේ අපේක්‍ෂකයා කවුද කියල රටට කියන්න.
පිළිතුර - ඇයි අපි එහෙම කරන්නේ. රජය නිල වශයෙන් ජනාධිපතිවරණය ගැන ප්‍රකාශයක් කරල නැහැනේ. ඒ නිසා අපිටත් අපේ අපේක්‍ෂකයා කවුද කියල කියන එක කියන්න ඉක්‌මන් වෙන්න අවශ්‍ය නැහැ.
ප්‍රශ්නය - ඒක ප්‍රචාරණාත්මක වශයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට අවාසියක් කියල මම හිතනවා...
පිළිතුර - නැහැ.. මම නම් හිතන්නේ අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අපේක්‍ෂකයෙක් නොවෙයි. පොදු වැඩපිළිවෙළක්, පොදු වේදිකාවක් ජනතාව ඉල්ලන්නේ විපක්‍ෂයේ ඉන්න සියලුම දෙනාට එකඟ වෙන්න පුළුවන්, එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙළක්. අපි විපක්‍ෂයේ පක්‍ෂ ඒ සඳහා එකඟතාවකට ඇවිල්ලා පොදු වැඩපිළිවෙළක් සදමිනුයි ඉන්නේ. එජාපය හැටියට අපි සෝභිත හිමියෝ, අනෙකුත් පොඩි ලොකු පක්‍ෂ එකතු වෙලා ඒ ගැන කතා කරනවා. ඒ තුළ අපි රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් අරගෙන යනවා. ඒ අතර තුර ජනාධිපතිවරණය පිළිබඳ නිල නිවේදන නිකුත් වුණාම විපක්‍ෂයේ ඉන්න අපේ කණ්‌ඩායමට පුළුවන් අපේ පොදු අපේක්‍ෂකයා කවුද කියන එක තීරණය කරන්න. ඒකයි අපේ වැඩපිළිවෙළ.
ප්‍රශ්නය - ඕක නොවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව ඔබලාට තවම බැරි වෙලා තියෙනවා එකඟතාවකට එන්න කවුද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා කියන එක තීරණය කරගන්න...
පිළිතුර - නෑ... නෑ... අපට එහෙම ප්‍රශ්න නැහැ... හැබැයි අපෙන් හුඟ දෙනෙක් ඉල්ලන ඉල්ලීමක් තියෙනවා. පොදු අපේක්‍ෂකයා එක්‌සත් ජාතික පක්‍ෂයේ කෙනෙක් විය යුතුයි කියලා. එහෙම නැත්නම් ඒ කෙනා එජාපයේ දැඩි විශ්වාසය දිනාගත්, පක්‍ෂයේ අනුග්‍රහය ලබන කෙනෙක් විය යුතුයි කියල කියනවා. ඒ තර්කයට පදනමක් තියෙනවා. මොකද එක්‌සත් ජාතික පක්‍ෂය තමයි මේ රටේ වැඩිම ජන බලයක් තියෙන ලොකුම තනි පක්‍ෂය.
ප්‍රශ්නය - එනමුත් මම දුටුවා පත්තරවල විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක කම තමන් වහන්සේට ලබා දෙන්න කියලා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඉල්ලීමක් කරල තියෙනවා.. ඒ ගැන මොනවද කියන්නේ.
පිළිතුර - එහෙම ඉල්ලීමක් කරන්න උන්වහන්සේට අයිතිය තියෙනවා. ඒක සරත් ෙµdන්සේකාටත් තියෙන්න පුළුවන්. අපි තුළ ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ තියෙනවා. හැබැයි එකක් තියෙනවා. මොකක්‌ද... අපේ පොදු අපේක්‍ෂකයා මුලින්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ කැමැත්ත හා අනුග්‍රහය සහිත කෙනෙක් විය යුතුයි. ඊළඟට මේ රටේ ජීවත්වන සියලු සුළු පක්‍ෂවල අනෙකුත් ආගම්වල සහාය ලබන කෙනෙක් විය යුතුයි.
නමුත් අවසානයේදී ඒ කෙනා ජයග්‍රහණය කළ යුතුයි. අපට නූලෙන් පරදින්න බෑ. 20% ක් ලබල පැරදුණත් එකයි. 49.9 ක් අරන් පැරදුණත් එකයි. අපට ඕන දිනන්න. ඒ ජයග්‍රහණය අපට අරන් දෙන්න පුළුවන් කෙනා තමයි අපි පොදු අපේක්‍ෂකයා කරන්නේ. ඒකට තරගයක් නෑ. එකඟතාවක් තමයි අපි අතර තියෙන්නේ.
ප්‍රශ්නය - කොහොමද ඔබලාට උතුර නැගෙනහිර පළාත්වල සහයෝගය.... දෙමළ සන්ධානයත් දැන් එකඟද...
පිළිතුර - දෙමළ ජාතික සන්ධානය පිටරටක පක්‍ෂයක් නොවෙයිනේ. ඔවුනුත් මේ රටේ ජනතාව, දේශපාලන පක්‍ෂයක්. ඔවුන්ගේ සහයෝගය අපට තියනවා. ඒ වගේම අනෙකුන් දෙමළ මුස්‌ලිම් පක්‍ෂවල සහයත් අපට තියෙනවා. මේ රජයට එරෙහි ශ්‍රී ලාංකීය ඕනම පක්‍ෂයක් සමග මේ රජය පෙරළා දමන්නට අපි සාකච්ඡා කරනවා. වැඩ කරනවා.
ප්‍රශ්නය - ඔබලා මේ ජනාධිපතිවරණයේදී ජය ලබන්නට නම් එජාපයේ ඡන්දත් වෙනත් සුළු පක්‍ෂවල ඡන්දත් විතරක් ලබල මදි. ඒ සඳහා බලයේ සිටින සන්ධාන රජයේ යම් යම් බලවේගවල සහයෝගයත් අවශ්‍යයි. මොකක්‌ද ඒ සඳහා ඔබලාගේ තියෙන සූදානම...
පිළිතුර - අපි බලමු ඉතින්... අපි දන්නවා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න විශාල පිරිසක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන විශාල පිරිසක් අද කලකිරීමෙන් කණස්‌සල්ලෙන් තමයි ඉන්නේ. මොකද රාජපක්‍ෂ රෙජිමය අද වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා ජ්‍යෙෂ්ඨයෝ අමතක කරලයි. ඒකේ වේදනාව ඒ අය තුළ තියෙන නිසා මේ රාජපක්‍ෂ රෙජිමය පරදවන්න ඒ අයත් ලෑස්‌තියි. අපි අන්න එහෙම බලවේග හොයන්නත් වැඩපිළිවෙළක් යොදලයි තියෙන්නේ. ඒ ගැන ඉතින් වැඩි විස්‌තර ඕන නැහැනේ.
ප්‍රශ්නය - එහෙම නම් අද ඔබලා ඉන්නේ ලොකු තක්‌සේරුවක...
පිළිතුර - ඔව්... මම දකින විදියට මේ ජනාධිපතිවරණය සාමාන්‍ය සටනක් නොවෙයි. තීරණාත්මක සටනක්. ඒ වගේම මේක නිදහසෙන් පසු මේ රටේ පැවැත්වෙන භයානකම මැතිවරණයක්. මේක රාජපක්‍ෂ රෙජිමයට ගල උඩ සටනක්. බලය ආරක්‍ෂා කර ගන්න කරන සටනක්.
ඇයි මම එහෙම කියන්නේ... එහෙම කියන්නේ 1948 න් පසුව මේ රටේ ආණ්‌ඩු පාලනය කළ හැම කෙනකුටම දිනන්න වගේම පරදින්නත් පුළුවන් වුණා. ඩී. එස්. ලා, ඩඩ්ලිලා, සිරිමාවෝලා, ඡේ. ආර්.ලා ඔක්‌කොම ආණ්‌ඩුවෙත් සිටියා. විපක්‍ෂයෙත් සිටියා. ඒ ගැන බයක් ප්‍රශ්නයක් කාටවත් තිබුණේ නැහැ. හැබැයි මේ රාජපක්‍ෂ රෙජිමයට පරදින්න නම් බෑ. පහුගිය කාලේ කරපු මහා පරිමාණයේ වංචා දූෂණ හා චෝදනාවලට අනුව බලයෙන් තොර ලෝකයක් තියෙයිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. බලය නැත්නම් මෙයාලට පැවැත්මක් තියේවිද. බලය නැත්නම් මෙයාලට රටෙත් ඉන්න බෑ. විදේශයක ඉන්නත් බෑ. එක වෙලාවකට හිතෙනවා අර රෙජිමයේ ඊළඟ පරපුර රොකට් හදනවා කියල කියන්නේ අභ්‍යවකාශයටවත් යන්නද කියලා.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබලා මෙය දිනන්නේ නෑ කියන එක ගැනවත්ද?
පිළිතුර - නෑ... නෑ... මේක අපි දිනනවා. නිකන් ලේසියෙන් නොවෙයි. රාජපක්‍ෂ රෙජිමය සමග ලොකු සටනක් කරලා අපි දිනනවා. මේක අපි දිනන ජනපතිවරණයක්. අපි මේක ජයග්‍රහණය ඔඩොක්‌කුවට ඉබේ වැටෙන ජනාධිපති වරණයක් කියල හිතන්නේ නෑ.
ප්‍රශ්නය - හරි... අපි තවත් වැදගත් කාරණයක් ගැන කතා කරමු. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිනිය විපක්‍ෂයේ එක්‌සත් සන්ධානයට සහයෝගය දෙන්න ලංකාවට එනවා කියලා කතාවක් තියෙනවා. කවදාද එතුමිය එන්නේ...?
පිළිතුර - මම දන්නේ නෑ... එතුමියගෙන්ම අහන්න ඕන. අනිත් ඒක එතුමිය ලංකාවට එනවා කියල විශේෂයෙන් එන්න ඕන නෑ. එතුමිය ලංකාවේ තමයි ජීවත් වෙන්නේ. මම දන්න හැටියට එතුමිය තමන්ගේ දියණියගේ තුන්වැනි දරුවා ඉපදීම නිමිත්තෙන් ලංකාවෙන් පිටව ගිහින් තියෙන්නේ. ඒ දරුවා බලන්න. තුන්වැනි වරටත් මිත්තණියක් වුණා මේ නොබෝදා. ඒ කටයුත්ත ඉවර කරලා එතුමිය නැවත ලංකාවට ඒවි. ඒ එන්නේ දේශපාලනය කරන්න කියල අර්ථ දක්‌වන එක මම හිතන්නේ වැරදියි.
ප්‍රශ්නය - ඒ වුණාට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාව පොදු අපේක්‍ෂකයාට සහාය දෙන ස්‌ථාවරයට ගේන්න ඔබ මහන්සි වෙනවා කියලයි රටේ කතාව යන්නේ...
පිළිතුර - ඇත්ත වශයෙන්ම මමයි චන්ද්‍රිකායි දැන් හොඳම කල්‍යාණ මිත්‍රයෝ. අපි හමුවුණාම දේශපාලනය ගැන කතා කරන්නේවත් නෑ. අපි දැන් කතා කරන්නේ සාහිත්‍යය, කලාව, චිත්‍ර, චිත්‍රපට වගේ මාතෘකා ගැන. ඒ හැරුණු විට ඕපාදූප ටිකක් කතා කරනවා. අපි දේශපාලනය ගැන කතා කරන්නේ නෑ.
ප්‍රශ්නය - ඒකෙන් කියවෙන්නේ නැහැනේ එතුමිය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය දෙන්නේ නැහැ කියලා.
පිළිතුර - ඒක ඉතින් මම දන්නේ නෑ... එතුමියගෙන්ම අහල බලන්න.
ප්‍රශ්නය - ඔබ එතුමියත් එජාපයත් අතර දේශපාලන මැදිහත්කරුවා කියලයි රටේ ජනතාව කතා වෙන්නේ....
පිළිතුර - නෑ. නෑ... එතුමිය පැහැදිලිsව කියල තියෙනවා ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ නෑ කියලා...
ප්‍රශ්නය - ඒ කිව්වේ ක්‍රියාකාරී දේශපාලනයටනේ.a ක්‍රියාකාරී දේශපාලනයට නාවට පොදු අපේක්‍ෂකයාට උදව් කරන එකට ඇයට බාධාවක් නැහැනේ.
පිළිතුර - බාධාවක් නෑ. ඒ වගේම මමත් හිතනවා, රට ගැන හිතන රටේ ජනතාව ගැන හිතන හදවතක් තියෙන ඕනම කෙනෙක් මේ තීරණාත්මක වෙලාවේ පොදු අපේක්‍ෂකයකුට උදව් කරන්න ඕන. මොකද රාජපක්‍ෂ රෙජිමයෙන් මේ රට ගලවා ගන්න එක හැම කෙනෙක්‌ම සතු ජාතික වගකීමක්.
ප්‍රශ්නය - ඒ ගැන ඔබ ජනාධිපතිනි චන්ද්‍රිකාට යෝජනාවක් කරල නැද්ද?
පිළිතුර - නැහැ... එතුමිය දේශපාලනයට ගෙනල්ලා එයාව අමාරුවේ දාන්න මම කැමති නෑ. ඒ මොකද මේ රාජපක්‍ෂවරු චන්ද්‍රිකාගෙන් ගොඩක් පලිගත්තා. තවදුරටත් ඇයට අමාරුවේ දාන්න මම කැමති නෑ.
ප්‍රශ්නය - හරි.... මැතිවරණය දිනන්න නම් රජයේ බලවේගවල සහාය අවශ්‍යයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නොමැතිව ඔබලා කොහොමද රජය තුළ ඉන්න පාර්ශ්වවල සහාය ලබන්නේ. මොනවද උපාය මාර්ග....
පිළිතුර - ඒක අපි ඒ වෙලාවට බලමුකෝ..... උපාය මාර්ග තියෙනවා...
ප්‍රශ්නය - මේ ජනාධිපතිවරණ සටනේ ඔබලාගේ මූලික තේමාව මොකක්‌ද... කොතනටද සටන ඉලක්‌ක කරන්නේ.
පිළිතුර - විධායක ජනාධිපති ක්‍රමයට. අපේ මූලික තේමාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීම.. ඒක තමයි අපේ මූලික තේමාව.
රටේ තියෙන්නේ වැරදි මතයක්.... රටේ ආරක්‍ෂාවට, රටේ ස්‌වෛරීභාවය රැක ගන්න නම් විධායක ජනාධිපති ක්‍රමයම ඕන කියල වැරදි මතයක් අරන් යනවානේ. ඒක ලොකු රැවටීමක්. හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාවේ තියෙන්නේ විධායක අග්‍රාමාත්‍ය ධුරයක් තියෙන වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලන ක්‍රමයයි. රටක නිවැරදි නීති රීති පද්ධතියක් ආරක්‍ෂක පද්ධතියක් තියෙනවා නම් රටේ මුල රජය බැඳුණු නීතියක් තියෙනවා නම් ඔය ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ඉන්දියාවේ කොපමණ හැලහැප්පීම් තියෙනවාද. ප්‍රශ්න තියෙනවද, කාශ්මීරයේ පකිස්‌තාන බෝඩර් වලින් නේපාලය පැත්තෙන්, චීන මායිම්වල ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවාට මුහුණ දෙන්න ශක්‌තිය ඒ රටේ ව්‍යවස්‌ථාව හා නීති රීති පද්ධතිය තුළ තියනවා. රටක් පාලනය කරන්න ඒ කියන අගමැති ක්‍රමය හොඳටම ප්‍රමාණවත්. විධායක ජනාධිපති ක්‍රමයම ඕන ප්‍රශ්න විසඳන්න කියන්නේ ලොකු මුලාවක්. අපි ඒ මුලාව ජනතාවට පැහැදිලි කරලා දෙනවා. අපි බය නැතිව කියනවා, ඔප්පු කරනවා විධායක ජනාධිපති ක්‍රමයෙන් රටකට තියෙන ප්‍රයෝජනවලට වඩා වැඩියි ඉන් තිබෙන අයහපත කියලා.
ප්‍රශ්නය - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තුළ රටේ සියලු ප්‍රශ්න විසඳෙයිද?
පිළිතුර - අනේ නැහැ. ඒ විසඳුම කෝකටත් තෛලය නොවෙයි. රටක ප්‍රශ්න විසඳන්න ආණ්‌ඩුවක් හුඟක් දේවල් කරන්න ඕන. ඒක මම දන්නවා. අපි ඒවා ගැන වෙන වෙනම කතා කළ යුතුයි. අපි ඒ ගැනත් වෙලාවක කතා කරමු....
බුලිත ප්‍රදීප් කුමාර