“පුංචිම කාලේ ඉඳන් මම හැදුණේ වැඩුණේ ස්වාධීන දරුවෙක්, ක්‍රියාශීලී ජව සම්පන්න දරුවෙක් විදිහට. පිරිමි ළමුන් එක්ක පවා රණ්ඩු කරගත්තු අවස්ථා තියෙනවා. අනිත් අයගේ හැසිරීම්, ඉරියව් අනුකරණය කිරීම පුංචිම කාලේ පටන් මා තුළ තිබූ පුරුද්දක්. එක දවසක් මම අම්මාව අනුකරණය කරලා අම්මා වේවැල අරගෙන එද්දී ගහකට නැග්ගා. ගහෙන් බහිනකල්ම අම්මා ගහමුලට වෙලා හිටියා. මගේ ඔය සෑම ක්‍රියාකාරකමක්ම මගේ ජීවිතයට වගේම රංගන ජීවිතය ගොඩ නැගෙන්නටත් හේතු වෙන්නට ඇති”.
වේදිකාව, සිනමාව සේම පුංචි තිරය තුළද චරිතාංග රංගනය තුළින් විශිෂ්ට දස්කම් දැක් වූ සීමිත නළු නිළි කැළ අතරට එක්වන නිළියක ලෙස දුලීකා මාරපන හැඳින්වීම වැරදි නැහැ. කිසිදු දිනෙක ජනප්‍රිය නිළි සම්මානයෙන් පිදුම් නොලදද ඇයට ජනතාව අතර ඇති ප්‍රියතාවද ඉතා ඉහළය. සාමාන්‍ය ගැහැනියක ලෙස පොදු ජනතාව අතරට පිවිසෙන විට එකිනෙකට වෙනස් වූ ඇගේ අපූරු රංගනයන්ට ආදරය කරන්නන් අතර දුලීකා තරුවක් වන්නේ නිරායාසයෙනි.
දුලීකා මාරපන ලෙසින් රටම හඳුනන ඇගේ රංගන ජීවිතයට දශක ගණනක ඉතිහාසයක් නැතත් රැඳී හුන් කාල පරාසය තුළ ඈ කළ චරිත සංඛ්‍යාව පුළුල් පරාසයක් ඔස්සේ විහිදේ.
දුලීකා ඉපැදුණේ අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේදීය. එවකට ජනතාව අතර සිනමා තාරකාවලට සේම සිනමා තිරයේ මැවුණු චරිතවලටද තිබුණේ සුවිශාල ආකර්ෂණයකි. විජය කුමාරතුංග සහ බියුලා ඩයස් රඟපෑ “දුලීකා” චිත්‍රපටය 1975 වසරේ අතිශය ජනතා ප්‍රසාදයක් දිනාගත් චිත්‍රපටයක් විය. අබේනාග විජේකෝන් සහ මානෙල් මාරපනගේ කුළුදුල් දියණිය මහනුවර මහ රෝහලේදී මෙලොව එළිය දුටුවේ 1975 නොවැම්බර් 15 දිනයේදීය. අබේනාග සිය බිරිඳ සහ දියණිය බැලීමට රෝහල කරා යමින් සිටියේය. මහනුවර සුපිරි වෙළෙඳසල අසල ලොතරැයි කූඩුවේ විකාශය වෙමින් තිබුණේ එච්.ආර්. ජෝතිපාල “දුලීකා” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ අතිශය ජනප්‍රිය ගීයකි.
“ආදර මල් පවනේ - ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා.... දුලීකා....”
වසර හතළිහකටත් වඩා පැරණි ඉතිහාසයක් සහිතව අදද පවතින මෙම ලොතරැයි අලෙවිසලෙන් එදා ඇසුණු ගී හඬ අලුත උපන් දියණියට තැබිය යුතු නම අබේනාගගේ සිතේ සටහන් කළේය. ඔහු සිය දියණියට “දුලීකා” යැයි නම තබන්නට සිතුවේ ජෝතිගේ ජනප්‍රිය ගීතය ඇසීමෙන් සිතට නැගි සිතිවිල්ල අනුවය.
වාසල කුලතුංග විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරි විජේකෝන් මාරපන, ඉපැදී හැදී වැඩුණේ උඩරට කුලවත් පවුලක දියණියක ලෙසය. මාරපන වලව්වේ සාම්ප්‍රදායික සීමා දුලීකාගේ ජීවිතයට ද යම් යම් බලපෑම් ඇති කළද ඇගේ ජීවිතය සාම්ප්‍රදායික වලව්වක කුල කතට සීමා නොවීය.
“මගේ මවගේ පියා ටී.බි. මාරපන දෙවැනි ලෝක යුද්ධය සඳහා යුද වැදුණු සෙබළෙක්. ඔහු විදෙස් රටවල කළ සංචාර, එහිදී විඳි අත්දැකීම් ගැන මම පුංචි කාලේ මාව ළඟින් තියාගෙන කියනවා. ඒ කතා රස විඳපු හැටි මගේ හිතේ තවමත් සුන්දර මතකයක් ලෙස ඉතිරි වී තිබෙනවා.’
“මම ඩී.එස්. සේනානායක අගමැතිතුමාලා එක්ක එකතු වෙලා අපේ රටට නිදහස ලබා ගන්න සටන් කළා. මම කවද හරි මැරෙන්නේ පෙබරවාරි 4දාවක. මම මාරපන කියන නම රටේ විශේෂ තැනකට ගෙනිච්චා. දුවත් කවද හරි ඒ දේ කරන්න ඕනෑ”. සීයා නිතර කී ඒ කතාව අදත් මගේ මනසේ රැව් දෙන්නේ ඒ කී විදිහටම 1993 පෙබරවාරි 04 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත් නිසා විය යුතුයි. නිළියක් වී රට තුළ නමක් තැබිමේ අදහස මගේ සිතට ඇති කරන්නට මෙවැනි අත්දැකීම් පවා බලපෑවා” දුලීකා කියයි.
මහනුවර හිල්වුඩ් විදුහල, කෑගල්ල බාලිකා මහ විදුහල සහ ශාන්ත ජෝසප් විදුහලින් අධ්‍යාපනය ලැබූ දුලීකා ඉන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. ඉන්පසු ඇය කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන්නට තීරණය කළේ ජන සන්නිවේදනය හැදෑරීමටය. එහෙත් දුලීකා මාරපන නම් රංගන ශිල්පිනිය බිහිවීමට මූලික අඩිතාලම දැමුවේ කැලණි සරසවි බිමයි. වේදිකාව මත සිය රංගන කුසලතා පළකළ ඇය ඒ හරහා 2000දී “සඳ අමාවකයි” ටෙලි නාට්‍යයෙන් සහ “ඉරුස්මා” චිත්‍රපටයෙන් එකම වසරකදී සිනමාවට සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසීමට වරම් ලැබුවාය. එදා මෙදා තුර රංගන ජීවිතයේදී ඇය ලද අමතක නොවන අත්දැකීම් බොහෝය. ඒ සියල්ලටම හේතු වූයේ ඇගේ සුවිශේෂ රංගන රටාවයි. නිර්මාණය තුළ තම භූමිකාව ප්‍රධාන හෝ උපප්‍රධාන එකක් වුවද එය ඉතා ප්‍රබල ආකාරයෙන් මතු කරලීමට ඈ සමත්ය.
“මට පුංචි කාලෙ ඉඳන්ම මිනිස්සු අනුකරණය කිරීමේ හැකියාව තියෙනවා. අදත් මම මට හමුවන සෑම සියලු දෙනාගේම කවර හෝ ඉරියව්වක් සොරකම් කර ගන්නවා. කතා විලාසය, ගමන බිමන, ඇතැම් විට ඇතැම් අය භාවිතා කරන වචන, ඒ ඒ අයට විශේෂිත මුහුණේ ඉරියව් මේ කවර හෝ දෙයක් මම ඒ අයගෙන් සොරා ගන්නවා.
“මම රඟපාන කවර හෝ චරිතයකට මෙම අමුද්‍රව්‍ය මට ප්‍රයෝජනවත් වනවා. පිටපතේ තියෙන දේට අමතරව එම චරිතය ගොඩ නගන්න මම ඒ දේවල් යොදා ගන්නවා”.
මේ අයුරින් දුලීකා මැවූ බොහෝ
චරිත පොදු ජනතාව අතරට ගියේය. එබඳු ජනතාවගෙන් ඈ ලද ප්‍රතිචාර බොහෝය.
“එක දවසක් මම පාරේ යද්දී බොහොම වයසක ආච්චි කෙනෙක් හිනාවේගෙන මගේ ළඟට ආවේ කාලෙක ඉඳල හඳුනන කෙනෙක් වගේ. මමත් යන්න ගිය ගමන නවත්තලා ඇයට කතා කරන්න නතර වුණා. සාමාන්‍යයෙන් පාරේ තොටේ මේ විදිහට හමුවන රසික රසිකාවියෝ අපිට කතා කරලා අපේ තොරතුරු අහනවා. එහෙම නැතිනම් රඟපෑ චරිත ගැන අහනවා. ඒත් මේ ආච්චි කිසිම දෙයක් නොකියා මගේ අත්දෙක අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. මටත් හිනා ගියේ ඉබේම. ඇය නතර නොවී දිගින් දිගටම හිනාවෙනවා. මමත් ඇයට හිනා වෙන්න ඉඩ දීලා නිකං හිටියේ මගේ රඟපෑම් තුළ ඇති සමහර හාස්‍යජනක තැන් මතක් කර කර හිනාවෙන බව වැටහුණු නිසා. මේ විදිහට හිනාවෙලා හිනාවෙලා අන්තිමේ මුකුත් නොකියා මගෙන් සමු අරගෙන යන්න ගියා.” ඇය එක් අපූරු රසික ප්‍රතිචාරයක් සිහිපත් කළේ ඒ ආකාරයෙනි.
දුලීකා විශ්වවිද්‍යාලයට ගිය මුල්ම කාලයේ ඇති වූ අයහපත් වාතාවරණය නිසා අවුරුද්දෙන් වැඩි කාලයක් සරසවිය තිබුණේ වසා දමාය. එකී කාල පරිච්ජේදය තුළ ඇය එක්තරා ආයතනයක් හා එක්වී පරිසර වැඩසටහන් හා සම්බන්ධව කටයුතු කළාය. “පරිසරයට විනාඩියක්” ඇතුළු වැඩසටහන් රැසක් නිර්මාණය සඳහා දුලීකා දායක විය. එකී කාලය තුළ සිදුවූ සිදුවීමක් අදද ඇය සිහිපත් කරන්නේ විස්මය දනවන සතුටකිනි.
“මම ‘සඳ අමාවකයි’ හා ‘ඉරුස්මා’ තුළින් 2000දී නිළිකමට ආවත් මගේ ජීවිතය තුළ විඳි අපූරුම අමතක නොවන අත්දැකීම අත්වින්දේ 1998දී”
මහරාජා ආයතනයේ සේවය කරන සමයේදී දුලීකා සිය රැකියාවට ගියේ ඔසරිය හැඳ කොණ්ඩය බැඳ උඩරට සිංහල කතකගේ හැඩරුවිනි. එවකට ඇය නව යොවුන් තරුණියක විය. දිනක් ඇය සිය රැකියා ස්ථානයේ පඩිපෙළ බැසගෙන එන විට විශේෂිත පුද්ගලයෙකුගේ අවධානය දුලීකාට යොමු විය. එම පුද්ගලයා ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනිය වෙත ගොස් දුලීකාගේ තොරතුරු විමසුවේය.
“මට දුරකථන ඇමතුමක් ආවා. ඒ ඇමතුම බොහොම ගාම්භීර පිරිමි හඬක්. ‘මම ගාමිණි ෆොන්සේකා. මට ඔබතුමිය හමුවන්න පුළුවනිද?’ කියා ඔහු ඇසුවා. ඒත් මම ඒ මොහොතේ කොහොමටවත් සිතුවේ නැහැ මේ කතා කරන්නේ අපේ සිනමා සක්විති ගාමිණී
ෆොන්සේකා මහතා කියලා. “මගේ ඔෆිස් එකේදී හමුවන්න පුළුවනි කියා” මම පිළිතුරු දුන්නා. ඉන්පසු ඔහු මා හමුවන්නට ආවා. මට කතා කළේ හෙළ සිනමාවේ සක්විති බව දෑසින් දුටු විට මට අදහාගන්න බැරිවුණා”.
එවකට ගාමිණී ෆොන්සේකා සිය නවතම චිත්‍රපටය සඳහා සූදානම් වෙමින් සිටියේය. “ජජ්මන්ට්” (විනිශ්චය) නමැති එම සිනමා
පටය ප්‍රබල දේශපාලන තේමාවක් රැගත් චිත්‍රපටයකි. ගාමිණී ෆොන්සේකා එහි දේශපාලනයට සම්බන්ධ චරිතයක් රඟපෑමට නියමිතව තිබිණි. චිත්‍රපටයේ හැටියට ඔහුගේ පෙම්වතිය ඔහුගේ වයසට වඩා අඩකටත් බාල උඩරට තරුණියකි.
“මාව එම චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා මහතාගේ පෙම්වතියගේ චරිතයට තෝරාගත් බව එතුමා පැවසුවාම මට ඇති වුණේ විශ්වාස කරන්න බැරි තරම් විස්මයක්. එවකට මම සිනමාවට එනවාට ගෙදරින් කැමැත්තක් තිබුණේ නැහැ. මම ඒ සීමා බිඳගෙන චිත්‍රපටයට එකතු වුණා. ගාමිණී ෆොන්සේකා මහතා සමග සමීපව ඇසුරු කරන්න ඒ කාලයේ මට ඉඩ ලැබුණා. එය ඉතා
මත් විශේෂිත අත්දැකීමක්. එතුමා දැනුම් සම්භාරයකින් පිරි සොඳුරු මිනිසෙක්. ඒත් එම චිත්‍රපටයෙන් එවකට පැවැති චන්ද්‍රිකා කුමාරතුංග රජය විවේචනය කෙරෙනවාය යන චෝදනාව නිසා රජය එය
තහනම් කළා. චිත්‍රපටය කෙරුණේ නැහැ. එම චිත්‍රපටය කෙරුණා නම් මම රංගනයට එන්නේ “ජජ්මන්ට්” චිත්‍රපටයෙන්”
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට ගුරු වෘත්තියට එක්වූ දුලීකා අද ඉන් සමුගෙන උපදේශිකාවක ලෙස විවිධ ආයතනවල දේශන සඳහා එක් වෙමින් සිටියි. රංගන ශිල්පිනියක ලෙස ඉහළ තලයක සිටියද අද ද ඇය මහපොළොවේ ජීවත්වන සාමාන්‍ය ගැහැනියකි. තම ගමේ පිහිටි කුඹුරු වතුපිටි ගැන පවා නිරතුරුව ඇය සොයා බලයි. වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍ර තුළ රංගනයේ යෙදෙන, එසේම අධ්‍යක්ෂවරයකුද වන සුජීව ප්‍රියලාල් සමග විවාහ වී යුග දිවිගමන් ඇරඹීමට ඇය මේ දිනවල සූදානමින් සිටියි.
(ලක්බිම)