ආණ්ඩුවට යනවනම් යන්නේ ප්‍රතිපත්තිමය කාරණා නිසා විතරයි

Sunday, 21 September 2014 09:31

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සමග ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවකි.

ප්‍ර: එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දැන් මොකද වෙන්නෙ?

පි: එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහීව ඉදිරියට යමින් පවතිනවා. මට මතකයි නායකත්ව මණ්ඩලය ගිය අවුරුද්දේ පිහිටුවන කොට අර්බුද රාශියක් තිබුණත් ඒවා ඔක්කොම ක්‍රමක්‍රමයෙන් විසඳගෙන පක්ෂය එක්සේසත් කර ගැනීමේ අරමුණෙන් අපේ ජාතික නායකතුමත්, නායකත්ව මණ්ඩලයත් කටයුතු කළා. ජනජය වැඩසටහන හදලා මුලු රටපුරාම ජාතික මැතිවරණයකට පක්ෂය සූදානම් කළා. ඒ වගේම අපේ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න විවිධ ක්‍රියාමාර්ග අනුමගමනය කළා. ඒ හැම එකකම ප්‍රතිඵලය තමයි අද අපට භුක්ති විඳින්න තියෙන්නෙ.

ප්‍ර: පක්ෂයේ ප්‍රශ්න විසඳා ගත්තා කියලා කිව්වත් දැන් ආපහු පක්ෂය තුළ ප්‍රශ්න මතුවෙලා තියෙනවා.

පි: මම නම් හිතන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ප්‍රශ්නයක් විදියට හඳුන්වන එක වැරදියි. එක පැත්තකින් ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙනුත් මම විශ්වාස කරනවා පක්ෂය ලබා ඇති ප්‍රගතිය හොඳින්ම බලාගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ප්‍රගතිය වඩාත් ශක්තිමත් කරලා, ඒ අත්තිවාරම තවත් ශක්තිමත් කරලා ඊළඟට පැවැත්වීමට නියමිත මැතිවරණවලට යාමේ දී වඩාත් ජයග්‍රාහීව යායුත්තේ කොහොමද කියන සංවාදයක් තමයි තියෙන්නෙ.

ප්‍ර: අපි කෙළින්ම ප්‍රශ්නවලට එමු. පක්ෂයේ නියෝජ්‍ය නායකධූරයට සජිත්ගේ නම රනිල් යෝජනා කරනවා.

පි: ඇත්ත වශයෙන්ම නායකතුමා මුල ඉඳලම ඒ මතයේ හිටියේ. අද ඊයේ නායකතුමාට සහාය දෙනවා කියන අයම ඉතාම පහත් විදියට, ම්ලේච්ඡ විදියට පහර දෙන කොටත් අපි පැහැදිලිවම කියා සිටියේ නායකතුමාගේ එකම අරමුණ විය යුත්තේ පක්ෂයේ සමගිය ඇති කිරීම කියලයි. ඒ නිසා මම දන්නවා.... මේ මැතිවරණයේ දී පමණක් නෙවෙයි... මීට පෙරත් සෑම මැතිවරණයකදී ම විවිධ කල්ලි කණ්ඩායම් පක්ෂය තුළ ඉන්නවා නම් ඒවා එකතු කරන්න එතුමා විශාල උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයන් යම් යම් පිරිස් විසින් විශේෂයෙන්ම රජයට වක්‍රව සහාය දෙන යම් යම් මාධ්‍ය ආයතන විසින් ඒ සමගිය නැති කරන්න කටයුතු කළත් නායකතුමා පක්ෂය එකතු කිරීමේ කාර්යභාරය අත්හැරියේ නැහැ. ඒ මාධ්‍යවලින් කරපු ප්‍රහාරවලින් අධෛර්මත් වුණෙත් නැහැ.

ප්‍ර: සජිත්ට නියෝජ්‍ය නායක ධුරය දෙනවට ඔබ, රවී ඇතුළු පක්ෂයේ ප්‍රබල පිරිසක් විරුද්ධයි?

පි: නෑ.... අපි කවදාවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට තනතුරක් දෙනවට විරුද්ධ වුණෙත් නැහැ. මට නම් එහෙම විරුද්ධ වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අපි කිව්වේ මේ වෙලාවේ මේ මොහොත කියලා කියන්නේ තනතුරුවට පොරකන වෙලාවෙක් නෙවෙයි කියලයි. ඇත්ත වශයෙන්ම මේ මොහොත කියන්නෙ අපේ ආණ්ඩුවක් ගන්න සියලු දෙනා එක්සේසත් විය යුතු මොහොතක් මේක. නමුත් අවසානයේ දී තනතුරු ලබා ගැනීම ඒ ඒ පුද්ගලයන්ගේ පළමු පරමාර්ථය නම් ඒ තනතුරු ලබාදීලා අපි අවංකවම එක්සත් ජාතික පක්ෂයේ හා මේ රටේ ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ.

ප්‍ර: ඌවේ වේදිකාවට නගින්න නියෝජ්‍ය නායක ධූරය අවශ්‍යයි කියලා සජිත් කිව්වා?

පි: සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා ඉදිරිපත් කළැයි කියන කොන්දේසි සම්බන්ධයෙන් මට කිසිම දැනුමක් නැහැ. එහෙම ඉදිරිපත් කළාද නැද්ද කියලා මම දන්නෙත් කටකතා විතරයි.

ප්‍ර: නියෝජ්‍ය නායක ධුරය භාරගන්න නම් නායකත්ව මණ්ඩලය අහෝසි කළ යුතුයි කියලත් කොන්දේසියක් තියෙනවා?

පි: එහෙම ඉල්ලීමක් තියෙනවා නම්, නායකතුමා නායකත්ව මණ්ඩලයට, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා කියනවා කියලා මට විශ්වාසයි. ඇත්ත වශයෙන්ම නායකත්ව මණ්ඩලය ගිරාඹේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි එදා ක්‍රියාත්මක කළේ පක්ෂයේ භයානකම මොහොතක. ඇත්ත වශයෙන්ම එදා තමයි පක්ෂය කැඩෙන්න තිබුණ මොහොත. ඒ මොහොතේ පක්ෂය එක්සේසත් කළේ නායකත්ව මණ්ඩලයයි. පක්ෂය ඒ විදියට එක්සේසත් කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පක්ෂය තුළ වඩාත් තහවුරු කළේ නායකත්වය මණ්ඩලයයි.


එවැනි පසුබිමක් තුළ එවැනි ඉල්ලීමක් තිබුණා නම් නායකතුමා නායකත්ව මණ්ඩලය දැනුම්වත් කරනවා. ඒ වගේම එවැනි ඉල්ලීමක් ආවත් ඒ ඉල්ලීමට එකඟ වෙන්නෙ නෑ කියලා විශ්වාසයක් මට තියෙනවා.

ප්‍ර: සජිත්ට නියෝජ්‍ය නායකත්වය දෙන යෝජනාවට විරෝධය පළකරලා ඔබ විදේශගත වුණා?

පි: ඒක සම්පූර්ණයෙන් බොරුවක්. මොකද මම විදේශගත වීමට සැලසුම් කළේ මේ කතා මොකවත් මතුවන්න පෙරයි. මට මතකයි මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ දීම මම නායකතුමාගනුත් මහ ලේකම්තුමාගෙනුත් ඉල්ලීමක් කළා 8 වෙනිදා වෙනකම් මට රැස්වීම් දාන්න එපා කියලා.

ප්‍ර: නමුත් මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඔබ විදේශගත වීම අහම්බයක් නෙවෙයි.!

පි: මම ඒකයි කිව්වේ, ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ම‍ගේ පෞද්ගලික මිත්‍රයකුගේ........ එකට පාසල් ගිය මිත්‍රයකුගෙ විශේෂ උත්සවයක් තිබුණා. මම ගියේ ඒකටයි. හරියටම ඒ වෙලාවේ මම නොසිටිය නිසා ඒ වටා කතාවක් ගෙතුවා මිසක් ඒ කතාවේ කිසි සත්‍යයක් නැහැ.

ප්‍ර: සජිත්ට නියෝජ්‍ය නායකධුරය දෙනවනම් ආපහු ආණ්ඩුවට යනවා කියලා ඔබ තර්ජනය කළා.?

පි: මම ආණ්ඩුවේ ඉඳලා මෙහෙට ආවෙත් මෙහෙන් ආණ්ඩුවට යනවනම් යන්නෙත් ප්‍රතිපත්තිමය කාරණා උඩ මිසක් වෙනත් හේතුවක් නිසා නෙවෙයි. මම 2008 දී අවුරුදු 25ක් තිස්සේ දරදිය ඇදපු ජනාධිපතිතුමා පවා පත්කරන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය හදන්න ජනාධිපතිතුමාටත් වඩා කටයුතු කරපු කෙනෙක් හැටියට ඒ සියල්ල අතහැරලා ආවේ මම හැමදාම නියෝජනය කරපු කාරණාවලින් ආණ්ඩුව ඈත් වෙච්ච නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා ජනවාර්ගික සමගිය කියන මෙන්න මේ ප්‍රධාන ප්‍රතිපත්ති තමයි මගේ මුළු ජීවිතය පුරාම මගේ දේශපාලනය හැඩගැස්සුවේ. මේ ප්‍රතිපත්තිවලින් බැහැර යන බව 2006 විතර වෙනකොට මම දැක්කා.

ප්‍ර: නමුත් ඔබ ආණ්ඩුවෙන් එන්නෙ පෞද්ගලික කාරණා මුල්කරගෙනයි.?

පි: නෑ. මම විදේශ ඇමතිවරයා හැටියට අන්තිමට බැරිම තැන ජනාධිපතිවරයාට දීර්ඝ ලිපි පවා ලිව්වා. මොකද මගේ තියෙන ඒ ප්‍රශ්න ඉතිහාසයට හරි එකතුවෙන්න ඕන නිසා. අවසානයේ මට ආණ්ඩුවෙන් යන්න වුණේ ඒ ලිපිය නිසා.

ප්‍ර: ඔබට නැවත වරක් ජනාධිපතිවරයා ආරාධනා කළා.?

පි: ඔව්! ආරාධනා කළා. නමුත් මම ආණ්ඩුවට එකතු නොවුණේ මම දැක්කෙ නැහැ ආණ්ඩුවේ කිසිම ප්‍රතිපත්තියක් වෙනස් වෙලා තියෙනවා.

ප්‍ර: නමුත් මෙවර විදේශගත වෙච්ච වෙලාවේ බටහිර තානාපති කාර්යාලයක නිලධාරිනියක් එක්ක ආණ්ඩුවට එකතු වෙන්න ඔබ සාකච්ඡා කළා. ?

පි: ඒක සම්පූර්ණ බොරුවක්. මම කිසිම තානාපතිනියක් හෝ කිසිම දේශපාලඥයෙක් පිටරට හිටපු දවස් 7ට හමුවු‍ණේ නැහැ. ඇත්තම කියනවානම් ඒ දවස් හතේදි මට කිසිම ශ්‍රී ලාංකිකයෙක් හමුවුණේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔය කතා ඔක්කොම බොරු. ඒකයි මම කිව්වේ... අද වෙනකම් මේ ආණ්ඩුවේ අර මම කියපු විදියේ කිසිම ආකාරයේ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති වෙලා නැහැ. ඒ වගේම මම කියන්න ඕනෑ මම එක්සත් ජාතික පක්ෂයට 2010 මහ මැතිවරණයෙන් පස්සෙ එකතු වුණේ. පක්ෂය කෙරෙහි තියෙන විශ්වාසයටත් වඩා ඇත්තම කියතොත් රනිල් වික්‍රමසිංහ නායකතුමා ගැන තියෙන විශ්වාසය උඩයි.

මොකද මම දකින්නේ ලංකාවේ තියෙන මේ දේශපාලන කාන්තාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, මම කියන අනෙකුත් මූලධර්ම ගරු කරන, රට ලෝකයත් සමග ඉදිරියට ගෙනියන්න පුළුවන් අවසන් ලිබරල් නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා ගැන තියෙන විශ්වාසය නිසා තමයි මම පක්ෂයට එකතු වුණේ. මම විශ්වාස කරනවා එතුමා මේ රටේ තියෙන තත්ත්වය උඩ ජනාධිපති වුණොත් විතරමයි මේ රටට යහපතක් ඇති වෙන්නෙ කියලා. මේ කාරණා දෙක උඩ මේ පක්ෂය දාලා වෙන පක්ෂයකට යාමේ අවශ්‍යතාවයක් ඇති වෙලා නෑ.

ප්‍ර: ඒ කියන්නේ ඔබ දැන් “කැපුවත් කොළ” පාක්ෂිකයෙක්?

පි: යම් විදියකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂයට නායකත්වය නොදෙන දවසකට, නැවතත් එක්සත් ජාතික පක්ෂය පටු වර්ගවාදී කුහක දේශපාලනයට යොමු වුණොත් අන්න එදාට මම මගේ තීන්දුව වෙනස් කරයි.

ප්‍ර: ඔබ රට ගිහින් ඇවිත් කරපු පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී “ජනාධිපතිතුමා මගේ සහෝදරයෙක් වගෙයි” කියලා කිව්වා?

පි: ඒකත් සම්පූර්ණ බොරුවක්නෙ. මම ජනාධිපතිතුමාව වර්ණනා කළේ නැහැ. මාධ්‍ය වේදියෙක් අහපු ප්‍රශ්නයකට මම පිළිතුරක් හැටියට දුන්න, මම හැමදාම ප්‍රතිපත්ති උඩ මිසක් පුද්ගලයෙක් මත නෙවෙයි දේශපාලනය කරන්නේ. ඒ නිසා අද වුණත් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිවලට ඔය අනිත් අය වගේ නෙවෙයි මම ප්‍රසිද්ධියේ වේදිකාවල, පුවත්පත් සාකච්ඡාවලදී බය නැතුව විවේචනය කරන්නේ. එහෙම කරන අපේ පක්ෂයේ අය අතර මම ඉන්නෙ ඉදිරියෙන්. හැබැයි ඒ හැම එකක්ම තිබියදීත් මට මහින්ද රාජපක්ෂ සහෝදරයෙක් වගේ, මට හිනාවෙලා කතා කරන්න පුළුවන්. එතුමා එක්ක මට පෞද්ගලික වෛරයක් නෑ. නමුත් එතුමාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මට ප්‍රශ්න රාශියක් තියෙනවා.

ප්‍ර: රනිල් ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නැහැ කියලා ඔබ කිව්වත් රනිල් ඔබ ඇතුළු පිරිස් පාවා දුන්නා කියලා එජාපයේ නායකයන්ම කියන්න පටන් අරගෙන තියෙනවා.?

පි: මම එහෙම කියන්නෙ නම් නැහැ. මොකද නායකයෙක් වුණාම හැම කෙනෙක්ම එකතු කරගන්න ඕනෑ. නමුත් කාටහරි බයවෙලා.... මාධ්‍ය මුදලාලිලාගේ වුවමනාවන් අනුව ඒ කොන්දේසිවලට යටවෙලා මොනවාහරි කරනවා නම් ඒක වැරදියි. නමුත් මම දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කවුර මොනවා කිව්වත් සජිත් නෙවෙයි මුළු පක්ෂයම එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මෙතෙක් ඒක සිද්ධ නොවුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. මම එදා ඉඳලා කිව්වෙ අත්පුඩි ගහන්න අත් දෙකම ඕනෑ.

ප්‍ර: සජිත්ට නියෝජ්‍ය නායකත්වය දුන්නොත් ඔබ හිතන්නෙ නැද්ද පක්ෂය තුළ නැවත පිපිරිල්ලක් ඇතිවෙයි කියලා?

පි: ඒ සම්බන්ධයෙන් විවිධ මත තියෙන බව ඇත්ත. නමුත් මම නම් දකින්නේ මෙතන තියෙන ප්‍රශ්නය සජිත්ට නියෝජ්‍ය නායකත්වය දෙනවාද නැද්ද කියන එක නෙවෙයි. පක්ෂයේ දියුණුව ඒකෙන් හැදෙනවා නම් දුන්නට කමක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟ මේ රටේ පොදු ආපේක්ෂකයා බවට පත්කිරීමේ ක්‍රියාවලියට පටහැනි කොන්දේසිවලට යටත්ව දෙනවටයි මම විරුද්ධ. මෙතැන අපේ මූලික පරමාර්ථය විය යුත්තේ මේ දූෂිත පවුල් පාලනය පරාජය කිරීමයි. කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. ඒ පරාජය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පුළුල් වේදිකාවක් අවශ්‍යයි. ඒ පුළුල් වේදිකාව නිර්මාණය කරන්න.... අපි අණබෙර නොගැහුවට බොහොම නිශ්ශබ්දව අවශ්‍ය අය සමග සාකච්ඡා කරමින් ශක්තිමත් අත්තිවාරමක් දාල තියෙන්නෙ. අන්න ඒ අත්තිවාරම කැඩෙන විදියට වැඩ කරන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. අන්න ඒකයි මගේ තියෙන මූලික අදහස.

ප්‍ර: ‘අලියා එපා. කොළපාටත් එපා.’ කියලා ඔබ කිව්වා. ඒවා අහලා යූඑන්පී පාක්ෂිකයන් කුපිත වෙලා කියලා සමහරු කියනවා.?

පි: ඔව්. අපි දැක්කා අර මාධ්‍ය මුදලාලි කෙනෙක් මම කියපු අදහස විකෘති කරල දානවා. මම දැනුත් කියනවා. අපි ජනාධිපතිවරණයට යන්න ඕනෑ පොදු ලකුණකින් සහ පොදු පෙරමුණකින් කියලා.

ප්‍ර: ඔබම කියපු විදියට ඒකට සජිත් සැර උත්තරයක් දීලා තිබුණා?

පි: සජිත්ගේ සැර උත්තර මෙතැනට අදාළ නැහැ. මෙතැනට අදාළ පරාජය වීමේ සැබෑ වුවමනාව අනුව තමයි මම කියන එක තේරුම් ගන්න වෙන්නේ. ඉතිහාසය පුරාම මම සන්ධාන දේශපාලනය වෙනුවෙන් පෙනී ඉන්නේ ලංකාව තුළ මොනතරම් ප්‍රබල පක්ෂයක් වුණත් සන්ධානයකින් තමයි ජය ගන්න වෙන්නෙ කියලා ඔප්පු වෙලා තියෙන නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තියෙන ප්‍රබලම පක්ෂයක් වුණත් මං හිතන්නෙ 1960 ජූලි මාසයේදීයි 1970 දී ඇරෙන්න අනිත් හැම අවස්ථාවකදීම ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ පොදු ලකුණකින්. 1956 දී පළමු ආණ්ඩුව ආවෙත් රෝදය ලකුණෙන්. 1994 දී බලයට ආවේ පුටුව ලකුණෙන්. 2004 දී බලයට ආවේ බුලත් කොළයෙන්.


විශේෂයෙන්ම 2004 දී සන්ධානය හැදුවෙ මගේ ගෙදරදි, උයන ගෑනු මනුස්සයා සභාපති හැටියට දාල තමයි ඒ සන්ධානය ලියාපදිංචි කළෙත්. මාතර මගේ ගෙදර කුස්සියෙ වැඩට හිටපු මාලනී කියන කාන්තාව තමයි මේ සන්ධානයේ පළමු සභාපතිනිය. ඊට පස්සෙ බුලත් කොළය ලකුණ චන්ද්‍රිකා මැතිණිය තමන්ගෙ අතින් ඇඳලා දුන්නෙ. එතුමිය චිත්‍රවලට දක්ෂයි. එතුමිය ඇඳපු බුලත් කොළයේ ෆොටෝ කොපි එකක් අරන් තමයි අපි මැතිවරණ කොමසාරිස්ට දුන්නෙ. මේ විදියට අපි සන්ධානය හැදුවෙ. සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය සන්ධානවලට ආවේ පක්ෂයට ආදරේ නැති නිසා නෙවෙයි. ප්‍රායෝගික අවශ්‍යතාවය තේරුම් අරගෙනයි. සන්ධානයෙන් ආවත් මොන ලකුණක් ඉදිරිපත් කළත් ආණ්ඩුවක් හැදුවට පස්සෙ ඒ ආණ්ඩුව අයිති ශ්‍රී ලංකාකරයන්ට කියන එක ඒ අය හොඳට තේරුම් අරගෙන හිටියේ. මෙන්න මේ යථාර්ථය එක්සත් ජාතික පාක්ෂිකයන් තේරුම් ගත්තෙ නැත්නම් අපි අමාරුවෙ වැටෙනවා.

ප්‍ර: නමුත් ඔබ එජාපය විනාශ කරනවා කියලයි චෝදනා නැඟෙන්නෙ?

පි: මම ඕකට උත්තරයක් දෙන්නම්. අර මාධ්‍ය මුදලාලි කෙනෙක් මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න යොදා ගත්තෙ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික හිතවතෙක් කියලා, මහින්දවාදියෙක් කියලා තමන්ම කියාගන්න මාතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය ඒ නාලිකාවට ඇවිත් මට බනිනවා. ඒ බැනිල්ලෙන්ම බළලා මල්ලෙන් එළියට පැන්නා. එයා කියනවා මමනම් මහින්දවාදියෙක් වුණාට මම කියනවා එක්සත් ජාතික පක්ෂය ප්‍රබල විපක්ෂයක් විදියට ඉන්න නම් අලියා ලකුණ ඕනෑ කියලා. ඒ අයට ඕනෑ අලියා ලකුණ අපට දීලා ප්‍රබල විපක්ෂයක් විදියට අපව තියාගන්නයි. හැබැයි අපට ඕනෑ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල විපක්ෂයක් විදියට තියාගන්න නෙවෙයි. අපට ඕනැ 2021 දී නෙවෙයි 2015දී රටේ පාලනය අපේ පක්ෂයට ගන්නයි.

ප්‍ර: රනිල් විනාශ කරපු, එජාපය විනාශ කරපු මංගලට එජාපය ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා සජිත් ප්‍රශ්න කරනවා.?

පි: ඕක තමයි ප්‍රශ්නය. එහෙම කිව්වා නම් ඒක ඒ අයගේ පටු, කුහක දේශපාලන නොතේරුම්කම් තේරුම් ගන්න ප්‍රකාශයක්නෙ ඒක. මොකද සජිත් එහෙම කිව්වා නම් මම සජිත්ට කියනවා ගෝඨාභයලා, මහින්දලා එක්ක හැංගි හොරා කතා කරන්නෙ නැතිව ඒ අයගෙන් ඉගෙන ගන්න කියලා. බලන්න, මහින්ද රාජපක්ෂ අර අච්චර මීනි මරපු බවට චෝදනා ලබපු කරුණා මේ පැත්තට ආවාම ඒ අතීතය ගැන කතා කරන්නෙ නැතිව පක්ෂයට ගත්තා විතරක් නෙවෙයි ජ්‍යෙෂ්ට උපසභාපතිකමකුත් දුන්නා. ජෝන්ස්ටන්ලා, රාජිතලා, එස්.බී.ලා වගේ අයට හොඳ ඇමතිකම් දුන්නා. මේ අය අපේ මිත්‍රයෝ තමයි. එහෙම තමයි වැඩ කරන්න ඕනෑ.


පක්ෂයේ පැරැන්නන් කියන අය ආණ්ඩුවත් එක්ක ඩීල් ගහද්දි, තියෙන තනතුරුත් දාල ආයෙමත් එන්න කිව්වත් නොගිය, ආණ්ඩුවට ඍජුවම විරුද්ධව පෙනී ඉන්න මගෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්නෙ නැතිව මේ විදියට මට ප්‍රහාර එල්ල කිරීම තුළින්ම ඒ අයගේ තියෙන දේශපාලන බොළඳභාවයත්, ඒ අය කාවෙනුවෙන්ද තාම පෙනී සිටින්නේ කියන එකත් හොඳට පෙන්නුම් කිරීමක්. අද ආණ්ඩුවටත් මම එජාපය තුළ ඉඳීම ලොකු ප්‍රශ්නයක්. ඒක මම දන්නවා. ඔය විදියට මට ඉන්න බැරි තත්ත්වයක් හදාවි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මා කෙරෙහි විශ්වාසයක් තියෙන තාක් කල් ඔය කවුරු මොනවා කිව්වත් දුම් ගැහුවත් මමනම් යන්නෙ නැහැ.

ප්‍ර: පක්ෂයේ මහලේකම් ධූරයෙන් තිස්සව අයින් කරන්නෙ කවද්ද?

පි: ඇයි එහෙම අහන්නෙ?

ප්‍ර: රනිල්-සජිත් කපුකම කළේ ඔහු බවට කියමින් පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ඔහු ඉවත් කරන්න සැලසුම් කරන බව වාර්තා වෙනවා.

පි: කපුකම කළේ මම කියලා එතුමාම කියලා තියෙනවා. ඒක එතුමාගේ දෙයක්. කපුකමක් කරන්න ඕනැ දන්නේ නැති පාර්ශවයන් දෙකක් අතර කසාදයක් බන්දන්නනේ. ඒත් මේ එකම ගෙදර එකම වහළක් යට ඉන්න දෙන්නෙකුට කපුකම් කරන්න අවශ්‍ය නැහැ. තිස්සව එලවන්න ප්ලෑන් එකක් තියෙනවද කියලා මමනම් දන්නෙ නැහැ. මොකද මෙයට පෙර නායකත්ව මණ්ඩලය හදන්න ඉස්සෙල්ලා යම් කසුකුසුවක් ගිය වෙලාවේ තිස්ස අත්තනායක දිගටම ලේකම්ධූරයේ ඉන්න ඕනෑ කියලා පෙනී හිටපු කෙනෙක් මම.


ප්‍ර: “දේශපාලන ගෙවලයන් එක්ක දේශපාලනය කරන්න වෙලා” කියලා මන්ත්‍රී බුද්ධික පතිරණ කිව්වා?

පි: බුද්ධික පතිරණ මහතාගේ දේශපාලනය සම්බන්ධයෙන් මට වඩා හොඳට අද මාතර ජනතාව දන්නවා. මොකද මම මේ වගකීමෙන් කියන්නේ, එයා අද දේශපාලන විකට චරිතයක් බවට පත්වෙලා තියෙනවා. මොකද අපි මන්ත්‍රීවරු හැටියට එන්නෙ මොකක් හරි පදනමක් හදාගෙන ඒකට තියෙන සල්ලි ඔක්කොම දාලා බඩු බෙද බෙදා ගිහින් මිරිස් කන්න නෙවෙයි. වකුගඩු රෝගයටයි කියලා මිරිස් කෑවත් අපි දන්නවා අමු මිරිස් කෑම තමයි වකුගඩු රෝගයටත් සිරෝසිස් රෝගවලටත් මුල වෙන්නෙ. මෙන්න මේ වගේ මෝඩ තක්කඩි දේශපාලඥයන් ගැන මම කියන්න යනනේ නැහැ. ඊළඟ මැතිවරණයෙදි ඔය පුද්ගලයන්ට මාතර ජනතාව නිවැරදි පිළිතුරු දේවි.

ප‍්‍ර: ඒ වුණත් පසුගිය මහ මැතිවරණයේදී ඔබ ඔහුට දෙවැනි වුණා?

පි: ඒ මැතිවරණයේදී මම තරඟ කළේ දෙලොවක් අතරයි. ඒ මහ මැතිවරණයේදී මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙවෙයි. මැතිවරණයට මම ආවේ ‘ම’ පාර්ශවයෙන්. මැතිවරණයෙන් පසුසේ නායකතුමාගේ ආරාධනයෙන් තමයි මම පක්ෂයට ආවේ. ඡන්දෙට එනකොට මම ශ්‍රී ලංකත් නෙවෙයි. යූඑන්පීත් නෙවෙයි. ඒකයි මම කිව්වේ දොලොවක් අතර හිටියෙ කියලා. ඒ අනුව මම දෙවැනියා වීමත් මට පුදුමයක්.

දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මොකද මේ කාලය තුළ මමනම් මිරිස් කකා බඩු බෙදපු දේශපාලනය නෙවෙයි කළේ. ඔය පදනම් දේශපාලනය මහා ජාවාරම්කාර වැඩපිළිවෙළක්. ඔය පදනම්වලට කොයි තරම් මුදල් ලැබෙනවද? ඒ මුදලින් කීයක් වියදම් කරනවද කියලා ඒ අය ජනතාවට පෙන්නන්නෙ නැහැ. සමහර විට අපි දකිනවා එකම දිනය තියෙන එකම චෙක්පතක් හැම තැනම ගිහින් පෙන්වලා අහිංසක මිනිස්සුන්ව මෝඩයන් කරනවා. මම නම් කවදාවත් විපක්ෂයේ ඉන්න කොට ඔය බඩු බෙදන දේශපාලනය කළේ නැහැ. මම මට ලැබෙන විමධ්‍යගත අරමුදල, ඒ ලක්ෂ 50ක මුදල මම මගේ අරමුදලකට දාගන්නේ නැහැ. ඒක මම මුළු දිස්ත්‍රික්කයේම මන්ත්‍රිවරුන්ගෙන් මගෙන් ඉල්ලන මන්ත්‍රීවරුන් කොටසකට බෙදලා දෙනවා. ඒ සංවර්ධන ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක වෙන්නෙ.


නමුත් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා වගේ අය සම්පූර්ණයෙන්ම ඒ ලක්ෂ 50 ම තමන්ගේ පදනමට දාගන්නවා. ඒ වගේම වෙනත් රටවලින්, විදේශ ආයතනවලින් මුදල් එකතු කරනවා. ඒ මුදල්වලින් අපට ආරංචි විදියට තමන්ගෙ ගෙවල්වල ඉන්න ඥාති හිත මිත්‍රාදීන්ටත් පඩි දෙනවා කියලා කට කතාවක් තියෙනවා. ඒ අනුව මේක ජනතාව රවටමින් අද අනිත් අයට ඇඟිල්ල දික් කරන්න හදනවා. මම බුද්ධිකට කියන්නේ “වීදුරු ගෙවල්වල ඉඳගෙන නම් ගල් ගහන්න එපා” කියලයි.


ප්‍ර: රුපියල් පනස් දාහකට හා ගල් අරක්කු බෝතලයකට ඔබේ පියා පක්ෂය මාරු කළ බවටත් බුද්ධික චෝදනා කරනවා?

පි: බුද්ධික පතිරණ වගේ තාම දේශපාලනය හරිහැටි තේරුම් නොගත්ත දේශපාලන සෙල්ලක්කාරයෙක් ඇවිල්ලා අවුරුදු 48කට ඉස්සෙල්ලා මිය ගිය මගේ පියාට පවා ඉතා පහත් අන්දමින් පහර දීමයි මට තියෙන කණගාටුව. මහනාම සමරවීර කිව්වාම මාතර දිස්ත්‍රික්කයේ ජනතාව විතරක් නොවෙයි මුළු රටේම ජනතාව දන්නවා නිවසක් නැතුව හිටපු එකම නිවාස ඇමති කියලා. සල්ලි නැතිකම නිසා නෙවෙයි එතුමා ළඟ තිබුණ සල්ලිත් වියදම් කරගෙන තමයි දේශපාලනය කළේ. මගේ සීයා දොන් ෆැන්සිස් සමරවීර කියන්නේ දෙනියායේ හිටපු විශාලතම ඉඩම්හිමි වැවිලිකරුවා. මම අහල තියෙන විදියට ඒ කාලයේ ඒ පළාතේ වාහනයක් තිබිලා තියෙන්නේ අපේ පවුලට විතරයි. එතුමා බෞද්ධකම වැළඳගෙන දේශපාලනයට ඇවිත් අන්තිමට මිය යන කොට බැංකු පොතේ රුපියල් 150ක්වත් තිබිලා නැහැ.


අපට අපේ අම්මා තාත්තා ඉතිරි කරපු ඉඩම් ටික විකුණලා තමයි මටයි අයියටයි අධ්‍යාපනය ලබා දුන්නෙ. 1964 දි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවෙන් එතුමා ඉවත් වුණෙත් ප්‍රතිපත්තිමය කාරණා උඩයි. ඒ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නෙ එදා සිරිමාවෝ මැතිණිය ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට කටයුතු කරපු නිසයි. ජනමාධ්‍ය නිසහස වෙනුවෙන් තමයි එතුමා එදා සටන් කළේ. දැන් ඒකට තමයි කියන්නේ ගල් බෝතලයකටයි රුපියල් පනස්දාහකටයි ඒ දේ කළා කියලා. මගේ පියාට ඒ විදියට නිග්‍රහා කිරීම ගැන මට විශාල වේදනාවක් තියෙනවා. ඒකයි මම හිතුවේ මට කරන නින්දා අපහාසවලට මට උත්තර දෙන්න පුළුවන්.

නමුත් මැරිච්ච මනුස්සයාට, ඒ තරම් සේවයක් කරපු මනුස්සයාට මෙහෙම කරද්දී මට නිහඬව ඉන්න බෑ. ඒ නිසා මම තීරණය කරලා තියෙනවා බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට විරුද්ධව මගේ පියාට කළ අපහාසය වෙනුවෙන් මගේ නීතීඥයන් දැන් මේ වෙනකොටත් කටයුතු කරගෙන යනවා. මම ඔහුට විරුද්ධව නඩු පවරනවා. එතකොට බුද්ධික පතිරණට පුළුවන්, පුළුවන්නම් ඔප්පු කරන්න රුපියල් පනස්දාහ ගත්තා, ගල් අරක්කු බෝතලයක් ගත්තා කියලා. එහෙම අරගෙන ආණ්ඩුව පාවලා දුන්නා කියලා ඔප්පු කරන්න පුළුවන්.

(සංවාද සටහන- ප්‍රසන්න සංජිව තෙන්නකෝන්)

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us