බුදුන්ද ජේසුද අල්ලාද ඇතුලු ඕනෑම දෙවියෙකු හා සම්ප්‍රදායක්, පූජනීය දෙයක් විවේචනයට, හාස්‍යයට, උපහාසයට හා අර්ථකතනයට විවෘතයි. ඒ තමයි නිදහස් මිනිසාගේ බුද්ධියේ හා භාෂණයේ නිදහස කියන්නේ. ජේසු, බුදුන් ආදී ආගම් ශාස්තෘවරුන්ගේ ස්ත්‍රී දෘශ්ඨිය ආදී ලිංගික නැමියාවේ සිට ඔවුන්ගේ ධර්මය හා චරිතය ඇතුලු විවිධාකාර අංශ ගැන සමාජ- මනෝවිද්‍යාත්මකව කරන විවේචන, විමර්ශන, පර්යේෂණ ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල ආදී 'බුද්ධිමය ක්‍රියාකාරකම්' ඇති පරිසරයන් තුල අතිශයන් සාමන්‍යයි.
එසේ ප්‍රකාශනයකින් කෙනෙකු තල ඇතිවන අපහසුතාවය (Disturbance) යනු කුමක්ද හා එය ආවේ කොහෙන්ද ආදී සියල්ල ද අප කලාවේදී විමසන අතර සමහර කලා කෘතිවල අරමුණම රසිකයා තුල අපහසුතාවයක් ඇති කිරීමයි. හේතුව අපහසුතාවය යනු සමාජ සංස්කෘතික නිෂ්පාදනයක් වීමයි. අපහසුතාවයක් යනු ප්‍රශ්න කළ නොහැකි පරමාදර්ශී අහිංසක හැඟීමක් විදියට සලකන් නෑ. ලිපිය දිග්ගැස්සෙන නිසා එක උදාහරණයක් කියනවනම්, කුරුසයේ ඇණගසා ඇති ජේසුගේ පින්තූරයක් කලාකරුවා තම මුත්‍රා දැමූ වීදුරු බඳුනක් තුල දැමීම සම්මාන දිනූ විශිෂ්ට කලාකෘතියක් වෙලා අද කලාගාරයේ තියනවා. (Piss Christ by Andres Serrano). දැන් මේක කලා කෘතියක් වෙන්නේ කොහොමද ඒක හරිද වැරදිද කියන එකට උඩින් බලලා කොලොප්පන් කරන්න බැරි දීර්ඝ කලා කතිකාවක් තියනවා. මේවා කලා හා බුද්ධිමය කතිකාවන් තුල අතිශයන්ම සමාන්‍යයි. අර Piss Christ නම් නිර්මාණය පවා කෙරුණේ නවසිය අසූගණන් වල. ඒවාට පවා විශාල විරෝධතා ඇවිත් තියනවා. ඊට අමතර ලංකාවේම ආගමික හා පූජනීය සංකල්ප දෘශ්‍ය කලාව තුල එවායේ පූජනීය බව නොසලකා විවිධ අයුරින් යොදා ගැනීම ශ්‍රී ලංකාවේම පැරඩයිස් රෝඩ්, බෙයාර්ෆූට් ආදී කලාගාර සමාජයන් තුල සුලභව සිදුවෙනවා.
මේ වන විට සමාජය කියන්නේ විවිධාකාර විශ්වාස හා සම්ප්‍රදායන් ඇති මිනිසුන් එකට වසන සංකීර්ණ තැනක්. බුද්ධාගම හෝ ක්‍රිස්තියානී ආදී විශාල ආගම් පමණක් නොව කෙනෙක් තවත් සුළු ආගම් විශ්වාස ද ගහකට සතෙකුට හෝ අම්මාට තාත්තාට ආදි ලෙස නිමක් නැති දේවල්වලට සමහරවිට ඔය දාගැබටත් වඩා ගෞරවයෙන් පුජනීයත්වයයෙන් සලකනවා. තවත් මිනිසකුට ප්‍රශ්න කරන්න සිදුවෙන්නේත් තවත් කෙනෙක් ගෞරව කරන දේම තමයි. මේ සියලු දෙනාට අපහසුතාවයක් අති නොවන්න පවතින දේවල් ප්‍රශ්න කරන්න බැරි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කෙනෙකුට අපහාසයක් ලෙස දැනෙන සියල්ල අනිත් කෙනා අපහාසයක් ලෙසටම නිෂ්පාදනය කළ දේවල නොවන අතර සමහර අවස්ථාවල අපහාසයක් හා උපහාසයක් අතර වෙනස පවා අතිශයින් විවාධාත්මකයි. ඒ අතර අදහස් ප්‍රකාශ කිරීමේ සීමාව පිලිබඳ විවාදයද හැමදාමත් පවතිනවා. ඒක සාමාන්‍යයි. පවත්වා ගතයුත්තේ ඒ විවාදයේ ශිෂ්ඨත්වය හා නීරෝගීභාවයයි. දැන් බැරි වී ඇත්තේම එයයි. හේතුව මේ තර්ජන -විරෝධ පැණ නගින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිට කලා ආශ්වාදය දක්වා හරයන් හිඳී ගිය විශ්වයක් තුලින් වීමයි. ඒ අපේ සම්ප්‍රදායයි!
ධනංජය කරුණාරත්න