නවකයෙක් විදියට ක්ෂේත්‍රයට පැමිණි ගමන් මග පැහැදිළි කලොත්
මම පොඩි කාලේ ඉදන්ම සංගීතයට, චිත්‍රපටි වලට, චිත්‍රවලට ගොඩක් ආසාවක් දැක්කුව. ඊට පස්සෙ මට බන්දුල විතානගේ සර් ව ගොඩ කාලයක් ලගින් ඇසුරු කලා. එතුමාගේ පොත් පත් කියෙව්වා. ඒ අතරේදී මම ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයගෙ වැඩමුළු වලට සහභාගී උනා. ඊට අමතරව මම එතුමගේ 'ත්‍රිකෝණය' හි සාමාජිකත්වය දැරුව. එතුමාගේ වැඩමුළුවලට සහභාගී වෙමින් ඉන්න අතරතුර මට ස්විස්ටර්ලන්ත හා ඉන්දියන් අධ්‍යක්ෂවරු දෙදෙනෙකුගේත් වැඩමුළු කීපයකටම සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඔය ඉන්න අතරේදී තමයි නාලක විතානගේ මට ආරාධනා කලේ ඔහුගේ පළමු චිත්‍රපටිය උන 'අනිත්‍යා' චිත්‍රපටයෙ රඟපාන්න. ඒ චිත්‍රපටියෙ මම පෙනී හිටියේ පොඩි චරිතෙකට. ඊට පස්සෙ ඔහුගේම දෙවැනි චිත්‍රපටිය උන 'රූපාන්තරණය' ප්‍රධාන චරිතය සඳහා මාව තොර ගත්ත.
'රූපාන්තරණ' තුළ ඔබේ චරිතය ඔබ දකින්නේ කොහොමද ?
'රූපාන්තරණය' චිත්‍රපටියේ මම නිරූපණය කරන්නෙ වරුන් කියල චරිතයක්. වරුන් කියන්නෙ ත්‍රස්ත වාදී කණ්ඩායමකට සම්බන්ධ තරුණයෙක්. ඔහු උත්සහ කරනව යුධ හමුදාවේ බ්‍රිගේඩියර් වරයෙකුගේ දියණියක් සමග යාළුවෙලා ඒ මගින් යුධමය තොරතුරු ලබාගන්න. වරුන් කියන චරිතය හරහා තමයි මුළු චිත්‍රපටියම ගලාගෙන යන්නෙ.
සිනමාවෙන් ලාංකීය සමාජයට කරන්න පුළුවං බලපෑම ඔබ දකින්නේ කොහොමද ?
ඇත්තටම චිත්‍රපටි හරහා සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මිනිස්සු ගොඩක් ආදරේ කරපු නළුවෝ හිටියා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග , ජෝ අබේවික්‍රම වැනි නළුවන් ඔවුන්ගේ චරිත හරහා ලොකු බලපෑමක් සමාජයට කළා. අනිත් කාරණය තමයි චිත්‍රපටියක් වගේ දෙයක් කරන්න ඕන අපිට හිමි දේවල් හා අහිමි උන දේවල් ගැන. එතකොට තමයි මිනිස්සුන්ට හොදට ඒක දැනෙන්නේ. ඒ වගේ චරිත කරනවානම් මිනිස්සු ඒ චරිතවලින් ආදර්ශ ගන්නවා. නමුත් දැන් කෙරෙන් නිර්මාණ වලින් සමාජයට දැනෙන යමක් වෙනවද කියන ගැටලුව ඇති වෙනවා.
ලංකාවේ සිනමාව ඉතිහාස කතා රැල්ලකට හසු වීම ගැන ඔබේ අදහස ?
ඔය වගේ චිත්‍රපටි බැලුවම හිතෙනවා මේ අපි ඉගෙන ගත්ත ඉතිහාසයද මේ කියල. මම නම් වැඩිපුර ඒ වගේ චිත්‍රපටි බලල නෑ. සමහර චිත්‍රපටි වල යම් සාර්ථකත්වයක් තියනවා. මම හිතන්නෙ ඉතිහාස කතා වගේ ඒවා නිර්මාණය කරනවට වඩා අද දවසේ සමාජයේ ජීවත් වන මිනිස්සු ගැන නිර්මාණ කරන එක හොඳයි. අනිත් කාරණය ඉතිහාස කතාවක් කරනවානම් හොඳ හැදෑරීමක් කරල ලොකු නිෂ්පාදන වියදමක් දරන්න ඕන. ලෝකයේ ඒ ආකාරයේ දැවැන්ත නිර්මාණ තියනවා. නමුත් ලංකාවේ එහෙම ලොකු නිෂ්පාදන වියදමක් දරන්නේ නෑ. එහෙම උනාම කරන නිර්මාණයේ ප්‍රමිතිය ගැන ගැටළුවක් එනවා.
බොහෝ අය මෙගා ටෙලිනාට්‍ය වලට වචනෙන් විරුද්ද වෙන ගමන් ම ගිහින් ඒවට දායක වෙනවා. ඒක මුදල් ඉස්සරහ ප්‍රතිපත්ති දිය කිරීමක් නේද ?
මමනම් දකින විදියට එක එක්කෙනාට බැන බැන ඉඳීමේ තේරුමක් නෑ . තමන්ට හැකියාවක් තියෙන්න ඕන තමන්ට ලැබෙන චරිත තෝරා බේරාගෙන රඟපාන්න. අනිත් කාරණය මෙගා ටෙලි නාට්‍ය වල හොඳ නිර්මාණත් තියනවා. හොඳ අධ්‍යක්ෂනයක් හොඳ පිටපතක් තියන නිර්මාණත් දකින්න ලැබෙනවා. තමන්ගේ නිර්මාණය සල්ලි වලට යට නොකර කරන්න පුලුවන්නම් හොඳ දෙයක් කරන්න පුළුවන් මෙගා වලින් උනත්. පිටරටවල ඒ වගේ නිර්මාණ තියනවා. මෙතන තියන ගැටලුව වෙන්නේ මුල මැද අග කිසිම සැලසුමක් නැතිව පටන් අරගෙන කතාවක් ඔහේ ගලාගෙන යාමට සැලැස්වීමයි.
ප්‍රවීනයින් සහ නවකයින් අතර පරම්පරා දෙකක ගැටුම කලාවේ බොහෝ ක්ෂේත්‍ර වල දකින්න තියෙන දෙයක්. නවකයෙක් විදිහට මේ ගැන ඔබේ විග්‍රහය කොහොමද ?
ඇත්තටම මටනම් එහෙම ගැටුමක් දකින්න ලැබිල නෑ. මම දායක උන හැම නිර්මාණයකදිම ප්‍රවීනයන්ගෙන් මට ලැබුනේ ලොකු සහයෝගයක්. මම රුපන්තරණ චිත්‍රපටිය කරද්දී රවින්ද්‍ර රන්දෙනිය, තිස්ස විජේසුරේන්ද්‍ර, දමිතා අබේරත්න , සාරංග දිසාසේකර වගේ ප්‍රවීනයන්ගෙන් ලැබුනේ ඉතා හොඳ සහයෝගයක්. ඒ ගොල්ලො මට හොඳ සහයෝගයක් දුන්න වගේම මගේ රඟපෑම් බලල අදහස් පවා ලබාදුන්නා. සමහරවිට නවකයින්ගෙත් ප්‍රවීනයන්ට ගරු නොකිරීමක් ඇති. අපි ප්‍රවීනයන්ට ගරු කල යුතුයි. නමුත් මටනම් එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නෑ.
ලංකාව තුළ කෙටි චිත්‍රපට වලින් කෙරෙන කාර්යය ගැන ඔබේ දැක්ම මොන වගේ ද ?
මම හිතන්නේ කෙටි චිත්‍රපටියක්ද දිග චිත්‍රපටියක්ද කියන කාරණය අදාල නෑ. හොඳ නිර්මාණයක් නම් එකෙන් ලොකු බලපෑමක් සමාජයට කරන්න පුළුවන්.මේ සඳහා ලොකු ප්‍රාග්ධනයක් ඕන නැනේ. අලුතෙන් එන ශිල්පියෙකුට එයාගේ දක්ෂතා පෙන්නන්න තියන හොඳ විධික්‍රමයක් තමයි කෙටි චිත්‍රපටි කියන්නේ. මම දැනට ඒක කෙටි චිත්‍රපටියයි කරලා තියෙන්නෙ. නමුත් ඒක හරහා මට ගොඩක් ප්‍රතිචාර ලැබුනා. නමුත් ගොඩක් දෙනෙක් එය නරඹල තිබුනා. මේ සම්බන්ධව උනන්දුවක් තිබෙන පිරිස් ඉන්නවා. ඒක අධ්‍යක්ෂක දිමුතු ලියනගේ කියන්නේ හොඳ හැදෑරීමක් සහිත පුද්ගලයෙක්. ලොකු දෙයක් විනාඩි 10ක් 15ක් වගේ කාලයකට ලගු කරලා ඉදිරිපත් කරනව කියන්නෙ විශාල කාර්යයක්.
කලාව හා දේශපාලනය අද දවසේ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මොකද හිතන්නේ?
කලාව හා දේශපාලනය අද දවසේ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන නම් මගේ ඒ තරම් පැහැදීමක් නෑ. කලාවෙ නියැලෙන අය දේශපාලනේට සම්බන්ධ වෙන ප්‍රවනතාවයක් නේ දකින්න ලැබෙන්නේ. කෙනෙකුට රඟපාන්න පුළුවන් කියල ඒ පුද්ගලයා කොහොමවත් දේශපාලනයට සුදුසු වෙන්නේ නෑ . දේශපලනයටත් යම් හැකියාවක් තිබිය යුතුයි. දේශපාලනේ හරි විදියට කරපු කලාකරුවොත් හිටිය. නමුත් ඒ කාර්ය හැමෝටම කරන්න බෑ. ඒවගේම එවැනි මිනිස්සු සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ සම්බන්ධව වර්තමානයේදීත් උදාහරණ දකින්න ලැබෙනවා.
නළුවෙක් වීම තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද ?
මගේ බලාපොරොත්තුව තමයි මට දැනෙන නිර්මාණයක් හරහා සමාජයට යමක් කිරීම. ඒක චිත්‍රපටියක්ද ,ටෙලි නාට්‍යක්ද, කෙටි චිත්‍රපටියක්ද කියන එක අදාළ නෑ . මට එක දැනෙනවානම් මම ඒක කරනවා. ඒවගේම හොඳ නිරමාණයක් කරලා ලංකාවේ සිනමා කර්මාන්තය වෙනුවෙන් යමක් කරලා උසස් තැනකට ගෙන එන්න පුලුවන්නම් ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
ඉදිරියට දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කරොත්?
චාමර ජයවීර පීරිස්ගෙ අලුත් නිර්මාණයක් වෙන "720 MINUTES" ටෙලි චිත්‍රපටියක් හා ටෙලි නාට්‍යක් ලඟදි විකාශය වීමට නියමිතව තියනවා. ඊට අමතරව දිමුතු ලියනගේගේ පළමුවෙනි කෙටි චිත්‍රපටිය ප්‍රධාන චරිතයකට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුනා . ඒවගේම චාමර ජයවීරගේම අයාල්-2 ෂුටින් සැප්තැම්බර් මාසේ ඇරඹීමට නියමිතව තියනවා. ජනවාරි මාසේ තවත් චිත්‍රපටියක රුගත කිරීම් පටන් ගන්න තියනවා. එය වරුන් චන්ද්‍රමොහන් කියල අධ්‍යක්ෂක වරයෙකුගේ 'ඇනා' නම් චිත්‍රපටියක්.
සටහන - සිතාරා කුළරත්න