භාෂාව නමැති කඩතුරාවෙන් වැසුණු ස්ත්‍රි පුරුෂ ප්‍රේම සබඳතාව පිළිබඳ නිදසුනක් සඳහා වරෙක එරික් ඉලයප්ආරච්චි මෙම සිතුවම අදාළ කර ගනී. කෙසේ නමුදු මෙම සිතුවම නරඹන්නා තුළ ඇති කරනුයේ මුහුණු ආවරණය පිළිබඳ නොරිස්සුමකි. මුහුණු නිරාවරණය වනු දැකීමේ ආශාවකි. රොඩින් නම් මූර්ති ශිල්පියාගේ “හාද්ද” මූර්ති කෘතිය නැරඹීමේ දී ලබන්නා බඳු සෞන්දර්යාත්මක අත්දැකීමක අපේක්ෂාවකි. මිනිස් බැඳීම් උදෙසා බාධක ඉවත්වනු දැකීමේ කැමැත්තකි. මානවීයතාවට දිශාගත වූ හැඟීමකි. මානව සමාජයට ප්‍රේමය නැවත උදාකරගත යුතු බව සමකාලීන ප්‍රංස දාර්ශනික ඇලෙන් බදියු සඳහන් කරයි.
1928 දී නිම කරන ලද මෙම සිතුවම නම් කර ඇත්තේ ප්‍රේමවන්තයෝ (Lovers) යනුවෙනි. කැන්වසය මත තෙල් සායමින් චිත්‍රණය කර ඇත. තිස්වැනි වියේ දි තරම් තරුණ අවදියේ මාග්‍රිට් නිම කරන ලද මෙහි දී කැන්වසය මත තෙල් සායම ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හැසිරවීමට දැක්වූ කැමැත්ත හා දක්ෂතාවය ද පැහැදිලි වේ.
උදයසිරි වික්‍රමරත්නගේ “පෙම් යුවළක් ඕනෑකර තිබේ” වේදිකා නාට්‍යයේ දී චිත්‍රපටයක රඟපෑම සඳහා සැබෑ පෙම්වතුන් අපේක්ෂිතව සැබෑ පෙම් යුවළක් සම්මුඛ පරීක්ෂණයට ලක්කරයි. එකිනෙකාගේ මුහුණු දෙස බලමින් හැඟිම්බරව ‘පෙම්බස්’ දෙඩීමට අපොහොසත් වන ඔවුහු පෙරළා පවසනුයේ ඔවුනොවුන් අබිමුව පෙම් හැඟුම් මතු නොවන බවත්, එම හැඟීම් මතුවෙනුයේ හෑන්ඩ්ෆෝනය සමඟ හුදෙකලා වූ විට බවත් ය. ඒ අනුව ප්‍රේමයේ හැඩතල අප ගෙවන මේ නිමේෂයේ දී වෙනස් වී ඇත. විසිවැනි සියවසේ මුල් අර්ධයේ යුරෝපීය සමාජ සන්දර්භයක් මත ගොඩනැඟුණු මෙම කලා කෘතිය මේ මොහොතේ දී අප හමුවේ පවා නව්‍ය අරුත් උත්පාදනය කරයි. එය අර්ථ පූර්ණ කලා කෘතියක ගතිලක්ෂණයකි. එනම් අර්ථකථන ලෝකයකට මඟ විවර කරන්නකි. ඒ අනුව ප්‍රේමය පිළිබඳව කාලිදාසගේ මේඝදූතය කාව්‍ය පරිදිම රෙනේ මග්‍රිට් ගේ මෙම සිතුවම ද අද දවසේ ප්‍රේමය පිළිබඳව කාව්‍යයක් සේ පෙනී සිටී.
අපට දෘශ්‍යමාන වන ලෝකය යනු යථාර්ථයක් ද ප්‍රබන්ධයක් ද, යථා ලෝකය තුළ දෘශ්‍යගෝචරව අප අත්විඳින දෙයෙහි ප්‍රබන්ධය කෙබඳු වූවක් ද, යථාර්ථය තුළ ගැබ්වෙන මායාමය ස්වරූපයත්, මායාව තුළ පවතින යථාර්ථයත් කුමක් ද, එබඳු බුද්ධි විෂයයික කරුණු දෘශ්‍ය කලාවට අදාළ කරගත හැකි ද ඒ කෙසේ ද, රෙනේ මග්‍රිට්ගේ කලාව එබඳු බුද්ධි කැලඹීමක් චිත්‍රකලා රසිකයා තුළ සිදුකරයි. ඒ අනුව ඔහුගේ කලා කෘති හමුවේ අපට සරලව ඉවතට යා නොහැක.
වරෙක මග්‍රිට් ගේ සිතුවමක නිරූපණය වනුයේ රාත්‍රි භුමි දර්ශනයකි. එහෙත් එහි දැකිය හැක්කේ වලා සපිරි දිවා අහස් තලයයි. ප්‍රතිපක්ෂ දෘශ්‍ය අංග ද්විත්වයක් එකම සිතුවම මත සම්බන්ධකර සහෘදය මනසට තර්කය මුසුකරයි. වරෙක ඔහු සිතුවමක දැක්වෙනුයේ කැඩපතකින් මුහුණ බලන මහත්මයෙකි. එහිදී එම කැඩපතින් පිළිබිඹු වනුයේ ඔහු පිළිබිඹුව නොවේ. කැඩපත මත ද දිස්වනුයේ තත් ආකාර දිශාගත මිනිස් රුවයි. සිතුවම මත අප අපේක්ෂිත දෘශ්‍ය රුව සත්‍ය නොවන බව එම සිතුවම තුළින් ම අපට පසක් කරයි.
රෙනේ මග්‍රිට් මෙන් ම ඔහුට සමකාලීන අනිකුත් කලා ශිල්පීන්ගේ කලා කෘති අර්ථ ගැන්වීම සඳහා ඔවුන්ට ක්‍රියාකාරීවීමට සිදු වූ සමාජ පදනම තේරුම් ගත යුතු වේ. එයින් වියුක්තව ගත් විට මෙම කලා කෘති නිරූපණය කරනුයේ හුදු මායාකාරී දෙයක් පමණි. පළමු ලෝක යුද්ධයේ අත්දැකීම් තුළින් මිනිස් සමාජය පිළිබඳව නවමු චින්තනමය දිශානතියකට යොමු වූ යුරෝපීය සමාජය එකී මානවීයතාවට එරෙහි අභියෝග තුළම ප්‍රබුද්ධතාව ද අත්පත් කර ගැනීමට පෙලඹුණි. එම චින්තනමය ජයග්‍රහණ මත සාහිත්‍යය ද, දෘශ්‍ය කලාව ද එකිනෙක හා අන්‍යෝන්‍යව බැඳුණු ක්‍රියාකාරිත්වයක් බවට පත්විය. කලා කෘති උත්පාදනය සඳහා කලා ශිල්පීන් මෙහෙයවනු ලැබූ වේදිතයන් සංකීර්ණ විය. එක් අතකින් ධනේශ්වර සමාජය වර්ධනය වීම තුළ මානවයා සුඛිත මුදිත වීමත්, එමෙන් ම තවත් අතකින් ඊට සාපේක්ෂව මානව සමාජ කොටස් නොවක් දුක්ඛ පීඩනවලට ලක්වීමත් යන ප්‍රතිවිරෝධතාව මතුවන්නට විය. එහිදී සෞන්දර්ය හා කලාව පිළිබඳව පූර්ව පැවැති අදහස ද අභියෝගයට ලක්වන්නට විය. ඒ අනුව විසිවැනි සියවස මුල දී යුරෝපයේ මතු වූ ඩාඩා වාදී කලාව හා අධිතාත්වික කලාව යනු එකී සමාජ පදනම් මත තාර්කිකව ගොඩනැඟුණු කලා ප්‍රවණතා වේ.
ඩාඩා කලා ව්‍යාපාරය 1918 දි ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයෙන් ඇරඹුණු ප්‍රති - කලා ව්‍යාපාරයකි. එය කලාව පිළිබඳව නැවුම් සිතීමකට ඉඩසැලසූ කලා ව්‍යාපාරයක් වූ නමුදු කලාවේ රස නිෂ්පත්තිය පිළිබඳව එහි දී නැවත ගැටලු මතු විණි. මෙහි දි පැහැදිලි වන කරුණක් වනුයේ කලාවේ රස වින්දනය යන්න සපුරා බැහැර කළ නොහැකි බවයි.
සංකල්පීය බව ප්‍රබලවීම තුළම මතු කෙරෙන සීමාකාරී බවයි. අධිතාත්විකවාදි කලාව බිහිවීමට සමීපතම හේතුවක් වනුයේ ද ඩාඩා වාදි කලාව තුළ පැවති මෙම සීමාසහිත බවයි.
අධිසත්තවාදය හෙවත් අධි යථාර්ථවාදය කලා ප්‍රවණතාවක් ලෙස ප්‍රංසයේ දී විකසිතව යුරෝපය පුරා පැතිරිණි. මාක්ස්වාදය මෙන් ම මනෝවිග්‍රහය පිළිබඳ කතිකාව ද ඒ සඳහා මූලිකව බලපාන ලද සමාජ න්‍යාය බවට හා තර්ක බවට පත්විණි. ප්‍රංස ජාතික කවියෙකු, න්‍යායධරයෙකු, ලේඛකයෙකු වූ ආන්ද්‍රේ බිටොන්ගේ ලිවීම්, න්‍යායාත්මක ප්‍රවේශයන් ඒ සඳහා පදනම දැමීය. අදේවවාදියෙකු මෙන් ම කොමියුනිස්ට්වාදියෙකු ද වූ බ්‍රිටොන්ගේ අදහස් වෙත චිත්‍ර ශිල්පීන් ආකර්ෂණය වූ අතර ඔහු අධිතාත්වික න්‍යායයේ පුරෝගාමියා විය. රෙනේ මග්‍රිට් ඔහු හා පැවති ඇසුර මෙන් ම ප්ලේටෝ, හේගල්, හෛඩගර්, හුසෙල්, නීට්ෂේ, ෆුකෝ ආදි දාර්ශනිකයින්ගේ කෘති කියවීම් මැග්‍රිට් ගේ කලා කෘතිවලට බලපාන ලද චින්තනය පොහොසත් කර ඇත.
නිරූපණාත්මක බව ඔහුගේ සිතුවම් තුළ විශද කෙරෙන මූලික ලක්ෂණයකි. එනම් විෂය ලෝකෙට ඉඳුරා පටහැණි රූප එම සිතුවම් හි දක්නට නොමැත. එහෙත් සිතුවම් මතට එම රූපික අංග අදාළ කරගෙන ඇති ආකාරය තුළින් රසික සම්මුති දෘශ්‍ය ලෝකය බිඳ දමයි. ස්වභාව නිරූපණයකදි අන්තර්ගත ප්‍රමාණ හා පරිමාව යන මූලධර්ම ඉවත හළයි. එතුළින් කලා රසිකයා බුද්ධිමය සංවාදයකට නතුකර ගනී.
වරෙක ග්‍රැෆික් සැලසුම් ශිල්පියෙකු ලෙස මෙන් ම දැන්වීම් සැලසුම් ශිල්පියෙකු ලෙස ද ව්‍යවහාරික කලාවේ නියැළී සිටි ඔහු ඒ තුළින් ලද පරිචය ඔහුගේ කලා කෘති සඳහා අදාළ කරගෙන ඇති ආකාරය පෙනේ.
එමෙන් ම බොහෝ ප්‍රකට ප්‍රංස ලේඛකයින්ගේ කෘති සඳහා නිදර්ශන සිතුවම් මග්‍රිට් අතින් නිම වී ඇත.
1898 නොවැම්බර් 21 දින උපත ලද මග්‍රිට් 1967 අගෝස්තු 15 දින අභාවප්‍රාප්ත විය.
සිසිර කුමාර මහගම
silumina